Skip to content

පටුනට යන්න

ගීතාවලිය පොතෙන් විශේෂාංග (පළමුවන කාණ්ඩය)

ගීතාවලිය පොතෙන් විශේෂාංග (පළමුවන කාණ්ඩය)

යෙහෝවාගේ වචනය ජීවමානයි

ගීතාවලිය පොතෙන් විශේෂාංග (පළමුවන කාණ්ඩය)

යෙහෝවා දෙවිට වැඩියෙන්ම ගීතිකාවලින් ප්‍රශංසා කර තිබෙන පොතකට දිය හැකි හොඳම නම ගීතාවලිය නොවේද? බයිබලයේ දිගම පොත වන ගීතාවලිය පොතේ දෙවිගේ පුදුමාකාර ගුණාංග, ඔහුගේ බලවත් ක්‍රියා මෙන්ම බොහෝ අනාවැකි කාව්‍යමය ආකාරයකින් සඳහන් වෙනවා. මෙහි ගීතිකා රචනා කර තිබෙන අය නොයෙක් පීඩා කරදර අද්දුටු අවස්ථාවලදී ඔවුන්ට හැඟුණු ආකාරය ගැන විස්තර කරනවා. මෝසෙස්ගේ කාලයේ සිට ඊශ්‍රායෙල්වරුන් බැබිලෝනියෙන් නිදහස ලැබීමෙන් පසු කාලය දක්වා යුදෙව්වන් අද්දුටු දේවල් ගැන මෙම ගීතිකාවල සඳහන් වෙනවා. ඒ නිසා මෙහි අවුරුදු දාහක තරම් කාලයක් ඇතුළත සිදු වූ දේවල් අඩංගුයි කියා පැවසිය හැකියි. මෙහි මෝසෙස්, දාවිත් රජ හා අනිකුත් අය ලියූ ගීතිකා අඩංගුයි. මෙම ගීතිකා අනුපිළිවෙළකට සකස් කර තිබෙන්නේ එස්රා විසිනුයි. මේ ගීතිකා ඇතුළත් ගීතාවලිය පොතෙන් කරුණු ටිකක් අපි දැන් සලකා බලමු.

ඈත අතීතයේ පටන්ම ගීතාවලිය පොත කාණ්ඩ පහකට වෙන් කර තිබුණා. ඒවා වෙන් කර තිබුණේ මෙසේයි. (1) ගීතාවලිය 1-41; (2) ගීතාවලිය 42-72; (3) ගීතාවලිය 73-89; (4) ගීතාවලිය 90-106; සහ (5) ගීතාවලිය 107-150 යනුවෙනුයි. මෙම ලිපියේ කතා කරන්නේ පළවෙනි කාණ්ඩය ගැනයි. මෙම කාණ්ඩයේ තිබෙන ගීතිකා තුනක් හැර අන් සියලුම ගීතිකා දාවිත් විසින් ලියූ ඒවායි. නමුත් ඉතිරි ගීතිකා තුන (1, 10 සහ 33) ලියූ අය ගැන හරියටම කිව නොහැකියි.

“මාගේ දෙවි මාගේ ශක්තිමත් පර්වතයය”

(ගීතාවලිය 1:1–24:10)

පළමුවන ගීතිකාවේ දෙවිගේ ව්‍යවස්ථාව කෙරෙහි මහත් ආශාවක් දක්වන තැනැත්තා ප්‍රීතිමත් කෙනෙක් බව පවසන අතර දෙවෙනි ගීතිකාව කෙළින්ම යොමු දක්වන්නේ දේවරාජ්‍යයටයි. * මෙම කාණ්ඩයේ වැඩියෙන්ම දකින්නට තිබෙන්නේ දෙවිට කරන කන්නලව් ඇතුළත් ගීතිකායි. උදාහරණයක් හැටියට ගීතා. 3, 4, 5, 12, 13 සහ 17වැනි ගීතිකාවල තමන්ගේ සතුරන්ගෙන් තමන්ව බේරාගන්න කියා කරන අයැදීම් දැකිය හැකියි. යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨත්වය ගැන සලකා බලද්දී මිනිසා කොතරම් සුළුද කියා 8වෙනි ගීතිකාවේ පෙන්වා දෙනවා.

යෙහෝවා සිය සෙනඟව ආරක්ෂා කරන බව විස්තර කරමින්, දාවිත් මෙසේ ගායනා කළා. “මාගේ දෙවි මාගේ ශක්තිමත් පර්වතයය, ඔහු කෙරෙහි විශ්වාස කරන්නෙමි.” (ගීතාවලිය 18:2) ගීතාවලිය 19හි යෙහෝවා දෙවි අපේ මැවුම්කරු මෙන්ම නීතිදායකයාණන් ලෙස විස්තර කර තිබෙනවා. ගීතාවලිය 20හි ඔහුව ගැලවුම්කරු ලෙසත් 21වෙනි ගීතිකාවේ අභිෂේක ලත් රජගේ ගැලවුම්කරු ලෙසටත් හඳුන්වා දී තිබෙනවා. ගීතාවලිය 23හි දෙවිව ප්‍රධාන එඬේරා ලෙසද 24වෙනි ගීතිකාවේ ඔහුව තේජවත් රජ ලෙසද හඳුන්වනවා.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

2:1, 2—ජාතීන් කතා කරමින් සිටින්නේ කුමන “නිෂ්ඵල දෙයක්” ගැනද? පාලකයන් නිතරම කල්පනා කරන්නේ තමන්ගේ බලය දිගටම පවත්වාගන්නේ කොහොමද කියායි. මෙය “නිෂ්ඵල දෙයක්” වන්නේ එය කවදාවත් සාර්ථක නොවන නිසයි. ‘යෙහෝවා දෙවිට සහ ඔහුගේ අභිෂේක ලත් තැනැත්තාට’ විරුද්ධව ක්‍රියා කරන්න පාලකයන්ට කිසිවිටකත් හැකි වන්නේ නැහැ.

2:7—‘යෙහෝවා කළ නියමය [හෙවත් ගිවිසුම]’ කුමක්ද? මෙම ගිවිසුම නම් රාජ්‍යයක් සඳහා කළ ගිවිසුමයි. යෙහෝවා දෙවි මෙම ගිවිසුම කළේ ඔහුගේ ප්‍රේමණීය පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් සමඟයි.—ලූක් 22:28, 29.

2:12—පාලකයන්ට “පුත්‍රයාණන් සිඹින්න” කියා පවසා තිබෙන්නේ කුමන අර්ථයෙන්ද? පුරාණ කාලවලදී සිපගැනීමෙන් පෙන්නුම් කළේ මිත්‍රත්වය හා විශ්වාසවන්තභාවයයි. එය අමුත්තන්ව සාදරයෙන් පිළිගැනීමේ එක් ක්‍රමයක්ද වුණා. පොළොවේ රජවරුන්ට යේසුස්ව සිපගන්න කියා අණ කිරීමෙන් පෙන්නුම් කරන්නේ ඔවුන් යේසුස්ව රජ හැටියට පිළිගත යුතු බවයි.

3:ශිර්ෂපාඨය—ගීතාවලිය පොතේ සමහර ගීතිකාවල ආරම්භයට කලින් ශිර්ෂපාඨයක් ඇතුළත් කර තිබෙන්නේ ඇයි? මෙවැනි ශිර්ෂ පාඨ සමහර බයිබල් පරිවර්තනවල දැකිය හැකියි. උදාහරණයක් හැටියට 3වෙනි ගීතිකාවේ ආරම්භයේ (පැරණි අනුවාදය) තිබෙන ශිර්ෂපාඨයෙන් එම ගීතිකාව ලිවීමට හේතු පාදක වූ තත්වය සහ එහි කර්තෘව හඳුන්වා දී තිබෙනවා. තවද ශිර්ෂපාඨ මගින් එය ලිවීමේ අරමුණ හා එය ගායනා කරන ආකාරය (ගීතාවලිය 4 සහ 5 පැ.අ.) මෙන්ම සංගීතය සම්බන්ධයෙන් යම් උපදෙස්ද දී තිබෙනවා (ගීතාවලිය 6 පැ.අ.).

11:3—විනාශ වීමට තිබෙන්නේ කුමන අත්තිවාරම්ද? මේවායින් අදහස් කරන්නේ මිනිස් සමාජය රඳා පවතින නීතිය, සාමය හා යුක්තියයි. මේවා නිසි ලෙස ක්‍රියාත්මක නොවන සෑම තැනකම දකින්න තිබෙන්නේ අයුක්තියයි. මෙවැනි සමාජයක ජීවත් වන ‘ධර්මිෂ්ඨ අය’ දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තබා ක්‍රියා කළ යුතුයි.—ගීතාවලිය 11:4-7.

21:3—“පවිත්‍ර රන් ඔටුන්නක” ඇති වැදගත්කම කුමක්ද? මෙම ඔටුන්න සැබෑ එකක්ද නැත්නම් දාවිත් ලැබූ බොහෝ ජයග්‍රහණ නිසා හිමි වූ මහත් තේජස එයින් නියෝජනය කරනවාද කියා මෙහි හරියටම සඳහන් කර නැහැ. කෙසේවෙතත් මෙම පදයෙන් විශේෂයෙන්ම කාවද්දන්නේ 1914දී යේසුස් රජ වශයෙන් පත්වීමේදී යෙහෝවාගෙන් ලද ඔටුන්නයි. ඔටුන්න රන් එකක් වීමෙන් අඟවන්නේ ඔහුගේ පාලනය විශිෂ්ට එකක් වන බවයි.

22:1, 2—යෙහෝවා දෙවි තමාව අත්හැරියා කියා දාවිත්ට හැඟෙන්න ඇත්තේ ඇයි? දාවිත්ට ඔහුගේ සතුරන්ගෙන් පැමිණුණු පීඩා කොතරම් දරුණු වූවාද කියනවා නම් ඔහුට මෙසේ හැඟුණා. “මාගේ සිත ඉටි මෙන්ය; එය මාගේ බඩ ඇතුළේ දියව තිබේ.” (ගීතාවලිය 22:14) සමහරවිට ඔහුට සිතෙන්න ඇති යෙහෝවා ඔහුව අත්හැරියා කියා. යේසුස්ව වධ කණුවේ ඇණ ගසා තිබෙන විට ඔහුටත් එසේ හැඟුණා. (මතෙව් 27:46) දාවිත් ක්‍රියා කළේත් වෙන ඕනෑම කෙනෙක් අසීරු තත්වයකදී ක්‍රියා කරන ආකාරයටයි. ඒ කෙසේවෙතත් ගීතාවලිය 22:16-21 දක්වා සඳහන් වී ඇති දාවිත්ගේ යාච්ඤාවෙන් පෙනී යන්නේ ඔහුට යෙහෝවා කෙරෙහි තිබූ ඇදහිල්ල හීන වී ගොස් නොතිබූ බවයි.

අපට ගත හැකි පාඩම්:

1:1. යෙහෝවා දෙවිට ප්‍රේම නොකරන අයව ඇසුරු කිරීමෙන් අප වැළකිය යුතුයි.—1 කොරින්ති 15:33.

1:2. දෙවිට කරන නමස්කාරය හා සම්බන්ධ කාරණාවල අප සෑම දවසකම නොවරදවාම නියැලිය යුතුයි.—මතෙව් 4:4.

4:4. අපට යම් අමනාපයක් හෝ කෝපයක් ඇති වන අවස්ථාවලදී කළ හැකි ඥානවන්තම දෙය අපේ දිව හොඳින් පාලනය කරගෙන නිහඬව සිටීමයි. අපි එසේ කරනවා නම් අප අතින් යම් අනවශ්‍ය දෙයක් කියවුණා කියා පසුවට පසුතැවිලි වෙන්න සිදු වන්නේ නැහැ.—එෆීස 4:26.

4:5. අප දෙවිගේ නමස්කාරය හා සම්බන්ධව කරන පූජා “ධර්මිෂ්ඨකමේ පූජා” වන්නේ අප හරි ආකල්පයකින් ඒවා ඔප්පු කරනවා නම් හා යෙහෝවා දෙවිගේ ප්‍රමිතිවලට අනුව අප ජීවත් වෙනවා නම් විතරයි.

6:5. අපට ජීවත් වීමට තිබෙන හොඳම හේතුව යෙහෝවාට ප්‍රශංසා කිරීමට ලැබීම නෙවෙයිද!—ගීතාවලිය 115:17.

9:12. යෙහෝවා ලේ වගුරුවන අය ගැන සොයා බලන්නේ ඔවුන්ට නිසි දඬුවම් දීමටයි. ඒ වගේම ඔහු “දිලිඳාගේ මොරගැසීම” මතක නැති නොකරයි.

15:2, 3; 24:3-5. සැබෑ නමස්කාරකයන් සත්‍යය කතා කළ යුතු අතර බොරුවට දිවුරීමෙන් හා අන් අයට නින්දා කිරීමෙන් වැළකී සිටිය යුතුයි.

15:4. අප කර තිබෙන යම් පොරොන්දුවක් දේවප්‍රමිතිවලට පටහැනි නම් මිස අන් සෑම පොරොන්දුවක්ම ඉටු කිරීමට අපේ උපරිමය කළ යුතුයි. එය ඉටු කිරීම අමාරු දෙයක් වුවත් එසේ කළ යුතුයි.

15:5. යෙහෝවාගේ සේවකයන් හැටියට අප අයුතු ලාභ ලැබීමේ අරමුණින් මුදල් පරිහරණය කිරීමෙන් වැළකිය යුතුයි.

17:14, 15. මේ ජීවිතය ගැන පමණක් සිතන “ලෞකික මනුෂ්‍යයන්” සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය දේවල් ඉපයීමට තමන්ගේ කාලය වැය කරනවා. ඒ වගේම ඔවුන්ගේ දූ දරුවන්ට සැපවත් ජීවිතයක් ගත කිරීම සඳහා යම් උරුමයක් ඉතිරි කිරීමටද අමතක කරන්නේ නැහැ. ඒත් දාවිත් ඔහුගේ ජීවිතයේ මූලික අවධානය යොමු කළේ දෙවි සමඟ හොඳ නාමයක් ඇති කරගැනීමටයි. එසේ කිරීමෙන් ‘දෙවිගේ මුහුණ දැකීමට’ හෙවත් දෙවිගේ අනුමැතිය ලැබීමට දාවිත්ට හැකි වුණා. ඔහු සෑම දවසකම ‘පිබිද’ යෙහෝවාගේ පොරොන්දු ඉටු වන ආකාරය දැකීම සැලකුවේ හරියට ‘දෙවිගේ ස්වරූපය දැකීමෙන් තෘප්තියක්’ ලබනවා වගෙයි. ඔහු මින් ඔහු අදහස් කළේ දෙවි ඔහු සමඟ සිටීම නිසා ප්‍රීතියක් ලැබූ බවයි. අපිත් දාවිත් මෙන් දෙවි සමඟ තිබෙන අපේ මිත්‍රත්වය ඉතා අගය කොට සැලකිය යුතු නැද්ද?

19:1-6. කිසිම කත බහක් කරන්න බැරි ගස් වැල් වැනි දෙවිගේ මැවිලි නිහඬව යෙහෝවාට ප්‍රශංසා කරනවා නම්, කතා කිරීමේ, සිතීමේ හා නමස්කාර කිරීමේ හැකියාව තිබෙන අය හැටියට අප ඔහුට කොතරම් ප්‍රශංසා කළ යුතුද!—එළිදරව් 4:11.

19:7-11. යෙහෝවා දී තිබෙන ව්‍යවස්ථාව හෙවත් නීති අපට කොතරම් ප්‍රයෝජනවත්ද!

19:12, 13. අපි වැරදි කිරීමෙන් හා දැනගෙන පව් කිරීමෙන් හෙවත් හිතුවක්කාර ලෙස වැරදි කිරීමෙන් වැළකී සිටිය යුතුයි.

19:14. අප කරන දේ ගැන පමණක් නොවෙයි අප කියන හා සිතන දේ ගැනත් කල්පනාකාරී විය යුතුයි.

‘මාගේ සත්‍යවාදිකම [හෙවත් පක්ෂපාතකම] නිසා ඔබ විසින් ආධාර කරනු ලැබීමි’

(ගීතාවලිය 25:141:13)

යෙහෝවා දෙවි කෙරෙහි තමන්ගේ සත්‍යවාදිකම හෙවත් පක්ෂපාතකම පවත්වාගැනීමට දාවිත් තුළ තිබුණාවූ දැඩි ආශාව හා අධිෂ්ඨානය ගැන මෙම කොටසේ ඔහු ලියූ පළවෙනි ගීතිකා දෙකෙහි සඳහන් කර තිබෙනවා. “මම වනාහි සත්‍යවාදිකමින් [හෙවත් පක්ෂපාතකමින්] හැසිරෙන්නෙමි” කියා දාවිත් පැවසුවා. (ගීතාවලිය 26:11) තමන් අතින් සිදු වූ පාපවලට සමාව ඉල්ලා යාච්ඤා නොකර සිටියොත් ඔහුට ඒ ගැන හැඟෙන ආකාරය ඔහු මෙසේ පැවසුවා. “මා නිශ්ශබ්දව සිටි කල දවස මුළුල්ලේ මොරගැසීමෙන් මාගේ ඇට ක්ෂය විය.” (ගීතාවලිය 32:3) යෙහෝවාට විශ්වාසවන්තව සිටින අයට ලැබෙන විපාක ගැන දාවිත් මෙසේ පොරොන්දු වුණා. “යෙහෝවාගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් ඔහුගේ කන් ඔවුන්ගේ මොරගැසීමටත් යොමා තිබේ.”—ගීතාවලිය 34:15.

තිස්හත්වෙනි ගීතාවලියේ තිබෙන උපදෙස එදා ඊශ්‍රායෙල්වරුන්ට මෙන්ම “අන්තිම දවස්වල” ජීවත් වන අපටත් කොතරම් ප්‍රයෝජනවත්ද! (2 තිමෝති 3:1-5) යේසුස් ගැන ගීතාවලිය 40:7, 8හි මෙසේ ගීතාකාකරු අනාවැකි පැවසුවා. “බැලුව මැනව, ඇවිත් සිටිමි;පොතෙහි මා ගැන ලියන ලද්දේය; මාගේ දෙවි, ඔබගේ කැමැත්ත කරන්ට ප්‍රිය වෙමි; එසේය, ඔබගේ ව්‍යවස්ථාව මාගේ සිතෙහි තිබේ.” මෙම කොටසේ අන්තිම ගීතිකාවේ සඳහන් වන්නේ දාවිත් බැත්ෂෙබා සමඟ කළ වරද නිසා ඔහුට අද්දකින්න සිදු වූ පීඩාකාරී තත්වයේදී තමන්ට උපකාර කරන්න කියා යෙහෝවාට කරන අයැදීම්. ඔහු මෙසේ ගායනා කළා. ‘මාගේ සත්‍යවාදිකම [හෙවත් පක්ෂපාතකම] නිසා ඔබ විසින් ආධාර කරනු ලැබීමි.’—ගීතාවලිය 41:12.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

26:7—අපටත් දාවිත් මෙන් සංකේතාත්මක ආකාරයකින් යෙහෝවාගේ පූජාසනය වටේ ගමන් කළ හැක්කේ කොහොමද? පූජාසනයෙන් අඟවන්නේ මනුෂ්‍ය වර්ගයාව මුදවාගැනීම සඳහා යෙහෝවා දෙවි යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ පූජාව පිළිගත් බවයි. (හෙබ්‍රෙව් 8:5; 10:5-10) අප යේසුස්ගේ මිදීමේ පූජාව කෙරෙහි ඇදහිල්ල තබනවා නම් දෙවිගේ පූජාසනය වටා ගමන් කරනවා කියා කිව හැකියි.

29:3-9යෙහෝවාගේ හඬ ගර්ජනාත්මක හෙවත් ගිගුරුම් හඬක් බවත් එය පැතිරී යන විට බිය උපදවන යමක් බවත් කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? මෙයට දිය හැකි කෙටිම පිළිතුර නම් දෙවි ඉතා බලවත් බවයි.

31:23උඩඟු ලෙස ක්‍රියා කරන්නන්ට බොහෝ සෙයින් ප්‍රතිඵල ලැබෙන්නේ කෙසේද? මෙහි ප්‍රතිඵල කීමෙන් අදහස් කරන්නේ උඩඟු අයට ලැබෙන දඬුවම්. ධර්මිෂ්ඨ කෙනෙක් හිතා මතා නොකරන වැරදිවලට ඔහුට ලැබෙන ප්‍රතිඵලය නම් යෙහෝවා දෙවිගෙන් යම් හික්මවීමක් ලැබීමයි. ඒත් උඩඟු කෙනෙක් තමන්ගේ වැරදි ක්‍රියාවලින් ආපසු හැරෙන්නේ නැති නිසා ඔහු ලබන ප්‍රතිඵලය නම් බොහෝ සේ දැඩි දඬුවම් විඳීමට සිදුවීමයි.—හිතෝපදේශ 11:31; 1 පේතෘස් 4:18.

33:6—යෙහෝවාගේ මුඛයෙන් පිට වෙන “හුස්මෙන්” අදහස් කරන්නේ කුමක්ද? මෙහි සඳහන් ‘හුස්ම’ යන වචනයෙන් අදහස් කරන්නේ ආකාශ වස්තු නිර්මාණය කිරීම සඳහා දෙවි යොදාගත් ඔහුගේ ක්‍රියාකාරික බලයයි. (උත්පත්ති 1:1, 2) දෙවිගේ මේ බලය විස්තර කිරීමේදී හුස්ම යන වචනය යොදාගැනීම උචිත වන්නේ යම් දෙයක් කිරීමට තරම් බලයක් ප්‍රබල හුස්මකට තිබෙන නිසයි.

35:19—තමන්ට වෛර කරන අයට ඇස ඉඟි කරන්න ඉඩ දෙන්න එපා කියා දාවිත් ආයාචනා කිරීමෙන් අදහස් කරන්නේ කුමක්ද? දාවිත්ට පීඩා ගෙන ඒමට ඔහුගේ සතුරන් යෙදූ උපායන් සාර්ථක වීම ගැන ඔවුන් සතුටු වූ ආකාරය ඇස ඉඟි කිරීමෙන් අදහස් කළා. දාවිත් ආයාචනා කළේ එසේ වීමට ඉඩ නොදෙන්න කියායි.

අපට ගත හැකි පාඩම්:

26:4. සමහරුන් තමන් කවුද කියා වසං කරමින් අන් අයව රවටනවා. මේ අයව අපට අන්තර්ජාලයේ කතා බහ කුටිවලදී, පාසැලේදී හෝ අපේ රැකියා ස්ථානයේදී හමු වෙන්න පුළුවන්. සමහරවිට එවැනි අය කූට අරමුණු හිත්වල තියාගෙන අපට මිතුරුකමක් පෙන්වන්නත් ඉඩ තිබෙනවා. ඒ වගේම ඇදහිල්ලට විරුද්ධව කැරලි ගසන, දෙබිඩි ජීවිත ගත කරන අයත් මේ අය අතර ඉන්න පුළුවන්. මේ සියල්ලන්ගෙන් අපි පරිස්සම් වෙමු.

26:7, 12; 35:18; 40:9. අපි අපේ ක්‍රිස්තියානි රැස්වීම්වලදී යෙහෝවාට ප්‍රසිද්ධියේ ප්‍රශංසා කළ යුතුයි.

26:8; 27:4. අපි ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වෙන්නේ ඉතා ආශාවෙන්ද?

26:11. දෙවි ඉදිරියේ සත්‍යවාදිව හෙවත් ඔහුට පක්ෂපාතව සිටීමට වූ තමාගේ දැඩි අධිෂ්ඨානය ගැන පවසන අතරම දාවිත් ගැලවීමද අයැද සිටියා. ඒ වගේ අපටත් පුළුවන් අසම්පූර්ණ වුණත් දිගටම දෙවිට පක්ෂපාතව සිටින්න.

29:10. යෙහෝවා “ජලගැල්මෙහි” සිටිනවා යන්නෙන් අදහස් කරන්නේ ඔහුට සියලු දේම පාලනය කිරීමට බලය තිබෙන බවයි.

30:5 යෙහෝවාගේ ප්‍රධාන ගුණාංගය ප්‍රේමය මිස උදහස නෙවෙයි.

32:9. අප කටකලියාවකින් හෝ පටියකින් මෙල්ල වන අශ්වයෙක් වගේ වෙනවාට යෙහෝවා දෙවි කැමති නැහැ. ඔහු කැමති අපි ඔහුගේ කැමැත්ත කෙරෙහි දැනුම් තේරුම් ඇතිව ඔහුට කීකරු වෙනවා දැකීමටයි.

33:17-19. මනුෂ්‍යයන් මොන තරම් ප්‍රබල දේවල් හඳුන්වා දුන්නත් ඒ කිසිම දෙයකින් අපට ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. අප පූර්ණ විශ්වාසය තැබිය යුත්තේ යෙහෝවා දෙවි හා දේවරාජ්‍යය කෙරෙහියි.

34:10. රාජ්‍ය කටයුතු මුල් තැනට තබා වැඩ කරන අයට මෙය මොන තරම් සහනයක් ගෙන දෙන පොරොන්දුවක්ද!

39:1, 2. දුෂ්ටයන් අපේ සෙසු සහෝදරයන්ට පීඩා කිරීම සඳහා තොරතුරු ලබාගැනීමට උත්සාහ කරන විට අප ‘කටකලියාවකින් මුඛය රැකගනිමින්’ ප්‍රඥාවන්තව ක්‍රියා කරනවා.

40:1, 2. යෙහෝවා කෙරෙහි බලා සිටීමෙන් අපට පුළුවන්, ‘භයානක වළෙන්ද හැල්පතින්ද [හෙවත් මඩ වගුරෙන්ද]’ ගොඩ එන්න. එනම් ජීවිතයේ අප මුහුණ දෙන කාංසාවෙන්ගෙන් මිදෙන්න.

40:5, 12. අපට කොතරම් පීඩාවලට මුහුණ දෙන්න සිදු වුණත්, අපට කොතරම් අඩු පාඩුකම් තිබුණත් අපට යෙහෝවාගෙන් ලැබෙන ආශීර්වාද ‘ගණන් කරන්ට පුළුවන්වාටත් වැඩි’ බව අප මතක තබාගන්නවා නම් ඒ පීඩා කරදර අපට දැනෙන්නේ සුළු දේවල් හැටියටයි.

‘යෙහෝවාට ප්‍රශංසා වේවා’

අප පළවෙනි කොටසින් සලකා බැලූ ගීතිකා 41 මොන තරම් සැනසීමක් ගෙන දෙන්නක්ද! අප යම් කරදරයකින් හෝ එසේත් නැත්නම් වධ දෙන හෘදය සාක්ෂියකින් පීඩා විඳිනවා නම් දෙවිගේ බලවත් වචන අඩංගු මේ කොටසින් ලොකු ශක්තියක් හා දිරිගැන්වීමක් ලබාගැනීමට පුළුවන්. (හෙබ්‍රෙව් 4:12) අපේ ජීවිතයට අදාළ කරගන්න පුළුවන් පාඩම් මේ ගීතාවලිය කොටසින් දැනගන්න ලැබුණා. අපට මොන තරම් කරදර පැමිණියත් යෙහෝවා අපව කවදාවත් අත් නොහරින බව බොහෝ වාර ගණනක් පොරොන්දු කර තිබෙනවා.

යෙහෝවාට සදාකාලෙන් සදාකාලේට ප්‍රශංසා වේවා.’ (ගීතාවලිය 41:13) ගීතාවලිය පොතේ පළවෙනි කොටස සලකා බැලීමෙන් පසු යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීමට ඔබ පෙලඹෙන්නේ නැද්ද?

[පාදසටහන]

^ 3 ඡේ. ගීතාවලිය 2හි සඳහන් දේ පළමු වරට ඉෂ්ට වුණේ දාවිත්ගේ කාලයේයි.

[19වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

කතා බහ කළ නොහැකි මැවිලි නිහඬව දෙවිට ප්‍රශංසා කරනවා නම් අප ඊටත් වඩා කොපමණ වැඩියෙන් ඔහුට ප්‍රශංසා කළ යුතුද!

[17වන පිටුවේ පින්තූරය]

ගීතාවලියේ පළවෙනි කාණ්ඩයේ අඩංගු ගීතිකා 41න් බොහොමයක් ලියා තිබෙන්නේ දාවිත් රජයි

[18වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවිව ප්‍රධාන එඬේරා ලෙස හඳුන්වා තිබෙන්නේ කීවෙනි ගීතිකාවේද කියා ඔබට මතකද?

[20වන පිටුවේ පින්තූරය]

දෙවිගේ නමස්කාරය හා සම්බන්ධ කාරණාවල සෑම දවසකම අතපසු නොකර නියැලෙන්න

[17වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Stars: Courtesy United States Naval Observatory

[19වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Stars, pages 18 and 19: Courtesy United States Naval Observatory

[20වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Stars: Courtesy United States Naval Observatory