ගීතාවලිය 107:1-43

(ගීතාවලිය 107 – 150) 107  ජනයෙනි, යෙහෝවා දෙවිට ස්තුති කරන්න. මන්ද ඔහු යහපත්ය.+ඔහුගේ ඉමහත් ප්‍රේමය* සදහටම පවතින්නේය.+   යෙහෝවා දෙවි විසින් ගලවාගත් ජනයෙනි, ඔහුට ප්‍රශංසා කරන්න.+මන්ද ඔහු සතුරාගේ අතින් ඔබව බේරාගත්තේය.+   විසිරී සිටි දේශයන්ගෙන් ඔබව පිටතට ගෙනැවිත් එකට එක් රැස් කළේය.+නැඟෙනහිරෙන්ද බස්නාහිරෙන්ද+උතුරෙන්ද දකුණෙන්ද ඔහු ඔබව එකතු කරගත්තේය.+   ඔහුගේ සෙනඟ පාළුකරයේ ඒ මේ අත ඇවිදිමින් ජීවත් වුණෝය.+ඒ වියළි දේශයේ+ වාසය කිරීමට නුවරක් ඔවුන්ට සම්බ නොවුණේය.+   ඔවුන්ට කන්නවත් බොන්නවත් කිසිවක් නොතිබුණේය.+ඔවුහු දිනෙන් දින මරණයේ අබියසටම පැමිණියෝය.+   ඔවුන්ගේ දුකේදී ඔවුහු දිගටම යෙහෝවා දෙවිට හඬගැසුවෝය.+ඔවුන් අද්දුටු දුක් ගැහැටවලින් දෙවි ඔවුන්ව බේරාගත්තේය.+   වාසය කිරීමට නුවරක් සම්බ වන තෙක්+දෙවි ඔවුන්ව හරි මාර්ගයේ ගෙන ගියේය.+   ජනයෙනි, යෙහෝවා දෙවිට ස්තුති කරන්න. මන්ද ඔහු පෙන්වා තිබෙන ප්‍රේමය* අතිමහත්ය.+මනුෂ්‍යයන් වෙනුවෙන් ඔහු කර තිබෙන පුදුමාකාර දේවල් බොහෝය.+   පිපාසිතව සිටි තැනැත්තාගේ පිපාසය ඔහු නිවා දැමුවේය.+කුසගින්නෙන් සිටි තැනැත්තාව ඔහු තෘප්තිමත් කළේය.+ 10  සමහරෙක් ගන අඳුරෙහිද මරණ සෙවණෙහිද සිටියෝය.+විලංගු දැමූ සිරකරුවන් ලෙස වධ විඳිමින් සිටියෝය.+ 11  මන්ද ඔවුහු දෙවිට අකීකරු වී+ ඔහුට විරුද්ධව කැරලිගැසුවෝය.+මහෝත්තමයාණන්ගේ මඟ පෙන්වීම් නොසලකාහැරියෝය.+ 12  එබැවින් දෙවි ඔවුන්ට දුක් විඳීමට ඉඩහැර ඔවුන්ට නිහතමානී වීමට සැලැස්වූවේය.+ඔවුහු දුක් ගැහැටවලින් හෙම්බත් වී ඇද වැටුණෝය. ඔවුන්ට උපකාර කිරීමට කිසිවෙක් නොසිටියේය.+ 13  ඔවුහු උපකාරය පතා යෙහෝවා දෙවිට හඬගැසුවෝය.+කලින් වතාවල මෙන් ඔවුන් අද්දුටු දුක් ගැහැටවලින් දෙවි ඔවුන්ව බේරාගත්තේය.+ 14  ඔහු ඔවුන්ගේ යදම් බිඳ දමා+ගන අඳුරෙන්ද මරණ සෙවණෙන්ද ඔවුන්ව පිටතට ගෙනාවේය.+ 15  ජනයෙනි, යෙහෝවා දෙවිට ස්තුති කරන්න. මන්ද ඔහු පෙන්වා තිබෙන ප්‍රේමය* අතිමහත්ය.+මනුෂ්‍යයන් වෙනුවෙන් ඔහු කර තිබෙන පුදුමාකාර දේවල් බොහෝය.+ 16  ඔහු තඹ දොරටු බිඳ දමා+යකඩ පොලු කපා දැමුවේය.+ 17  අඥානයෝ වැරදි මාර්ගයේ ගමන් කළෝය.+ඔවුන් කළ පව් නිසා අවසානයේදී බොහෝ දුක් පීඩාවලට මුහුණ දීමට ඔවුන්ට සිදු විය.+ 18  සෑම ආහාරයක්ම ඔවුන්ට පිළිකුල් විය.+මරණය අබියසටම ඔවුහු පැමිණියෝය.+ 19  ඔවුහු උපකාරය පතා නැවතත් යෙහෝවා දෙවිට හඬගැසුවෝය.+කලින් වතාවල මෙන් ඔවුන් අද්දුටු දුක් ගැහැටවලින් දෙවි ඔවුන්ව බේරාගත්තේය.+ 20  දෙවි අණ දුන්නේය. එවිට ඔවුහු සුවය ලැබූහ.+ඔහු ඔවුන්ව මිනී වළෙන් ගලවාගත්තේය.+ 21  ජනයෙනි, යෙහෝවා දෙවිට ස්තුති කරන්න. මන්ද ඔහු පෙන්වා තිබෙන ප්‍රේමය* අතිමහත්ය.+මනුෂ්‍යයන් වෙනුවෙන් ඔහු කර තිබෙන පුදුමාකාර දේවල් බොහෝය.+ 22  ජනයෙනි, දෙවිට ස්තුති පූජා ඔප්පු කරන්න.+ප්‍රීති ඝෝෂා නඟමින් ඔහුගේ ක්‍රියා ගැන ප්‍රකාශ කරන්න.+ 23  නැව් නැඟ යාත්‍රා කරන්නෝ+එසේය, මහ සාගරය හරහා ගොස් වෙළඳාම් කරන්නෝ+ 24  යෙහෝවා දෙවිගේ ක්‍රියා හොඳින් දකින්නෝය.+මහ සයුරේදී ඔහුගේ පුදුමාකාර දේවල් ඔවුහු තම දෙනෙතින්ම දැකගනිති.+ 25  ඔහු අණ දෙන විට චණ්ඩ මාරුතයක් ඇති වී+මුහුදේ රළ තවත් ඉහළට නැංවෙයි.+ 26  නැවියෝ අහස දෙසට වීසි වෙති.ඔවුහු මුහුදු පත්ලටම ගිලා බසිති.භීතිය ඔවුන්ගේ සිත් වෙළාගනියි.+ 27  ඔවුන් වෙරි මතින් ඒ මේ අත වීසි වී යන අය හා සමානය.+ඔවුන් කොතරම් දක්ෂ වුවත් මෙවැනි අවස්ථාවක කළ යුතු දේ ඔවුන්ට සිතාගන්නවත් බැරිය.+ 28  ඔවුන්ගේ දුකේදී ඔවුහු යෙහෝවා දෙවිට කන්නලව් කළෝය.+ඔහු ඔවුන්ව බේරාගන්නේය.+ 29  ඔහු කුණාටුව නතර කර+මුහුද නිශ්චල කරන්නේය.+ 30  සන්සුන් වූ සයුර දැක ඔවුහු ප්‍රීති ඝෝෂා නඟන්නෝය.ඔවුන් බලාපොරොත්තු වූ ලෙස සුරක්ෂිත ස්ථානයට ඔහු ඔවුන්ව ගෙන යන්නේය.+ 31  ජනයෙනි, යෙහෝවා දෙවිට ස්තුති කරන්න. මන්ද ඔහු පෙන්වා තිබෙන ප්‍රේමය* අතිමහත්ය.+මනුෂ්‍යයන් වෙනුවෙන් ඔහු කර තිබෙන පුදුමාකාර දේවල් බොහෝය.+ 32  ජනයෙනි, මහත් සෙනඟක් අතරේ දෙවිට ප්‍රශංසා කරන්න.+මහලු අය සමඟ එක්ව ඔහුව පැසසුමට ලක් කරන්න.+ 33  ඔහු ගංගාවන් කාන්තාර බවට පත් කරන්නේය.+ගලා යන දිය පහරවල් වියළි බිම් බවටද+ 34  සාරවත් දේශයන් ලුණු කතර බවටද පත් කරන්නේය.+ඒ දේශයන්හි වෙසෙන්නන්ගේ දුෂ්ටකම් නිසා ඔහු එසේ කරන්නේය. 35  ඔහු කාන්තාර දිය පොකුණු වීමට සලස්වන්නේය.+වියළි දේශයක් දිය පහරවල් ගලා යන දේශයක් බවට පත් කරන්නේය.+ 36  කුසගින්නෙන් පෙළෙන්නන්ව ඔහු එතැනට ගෙනෙන්නේය.+නුවරක් ගොඩනඟා ඔවුන්ට එහි ජීවත් වීමට හැකි වන පිණිස ඔහු එසේ කරන්නේය.+ 37  ඔවුහු එහි කෙත්වල බීජ වපුරන්නෝය. මිදිවතු වවන්නෝය.+එයින් හොඳ පලදාවක් ලබාගන්නෝය.+ 38  දෙවි ඔවුන්ට ආශීර්වාද කරන්නේය. ඔවුහු මහත් ජාතියක් වන්නෝය.+ඔවුන්ට සත්ව සම්පතින් කිසි හිඟයක් නොවන්නේය.+ 39  නමුත් ඔවුන් පිටට පැමිණෙන දුක් පීඩා හා විපත්ති නිසා+ඔවුහු නැවතත් ගණනින් අඩු වී යන්නෝය. නැවතත් පහතට ඇද වැටෙන්නෝය.+ 40  දෙවි වංශවත් අය පිටට තම උදහස වගුරුවන්නේය.+ඔවුන්ට පාළුකරයේ ඒ මේ අත ගමන් කිරීමට සලස්වන්නේය.+ 41  නමුත් ඔහු දිලිඳුන්ව පීඩාවලින් ආරක්ෂා කරන්නේය.+බැටළු රැළක් මෙන්+ ඔවුන්ගේ පවුල් ගණනින් වැඩි කරන්නේය. 42  ධර්මිෂ්ඨයෝ එය දැක සතුටු වනු ඇත.+නමුත් සියලු අධර්මිෂ්ඨයන්ගේ කටවල් වැසෙනු ඇත.+ 43  ප්‍රඥාවන්තයෙක්, මේ සෑම දෙයක් ගැනම හොඳින් සිතා බලන්නේය.+යෙහෝවා දෙවි මහත් ප්‍රේමයකින්* යුක්තව සිදු කළ මේ සෑම ක්‍රියාවක් ගැනම ඔහු ගැඹුරින් කල්පනා කර බලන්නේය.+

පාදසටහන්

හෝ, “ළැදි ප්‍රේමය.”
හෝ, “ළැදි ප්‍රේමය.”
හෝ, “ළැදි ප්‍රේමය.”
හෝ, “ළැදි ප්‍රේමය.”
හෝ, “ළැදි ප්‍රේමය.”
හෝ, “ළැදි ප්‍රේමයකින්.”