Skip to content

පටුනට යන්න

යෙහෝවා ඔබ ගැන සලකයි

යෙහෝවා ඔබ ගැන සලකයි

යෙහෝවා ඔබ ගැන සලකයි

‘දෙවි ඔබ ගැන සලකන බැවින් ඔබේ හැම කරදරයක්ම ඔහු පිට තබන්න.’—1 පේතෘස් 5:7.

1. යෙහෝවා සහ සාතන් හාත්පසින්ම වෙනස් දෙදෙනෙක් වන්නේ කවර වැදගත් කාරණය සම්බන්ධයෙන්ද?

 යෙහෝවා සහ සාතන් කියන්නේ සම්පූර්ණයෙන්ම එකිනෙකාට වෙනස් දෙදෙනෙකි. යෙහෝවාට ළං වෙන්න ආශාවක් දක්වන ඕනෑම කෙනෙකුට යක්ෂයා ගැන ඇති වන්නේ ඉමහත් පිළිකුලකි. පිළිගත් ආශ්‍රේය ග්‍රන්ථයක මෙම කැපීපෙනෙන වෙනස ගැන සඳහන් වේ. සාතන්ගේ ක්‍රියාවන් ගැන බයිබලයේ යෝබ් පොතේ සඳහන් දේවල් සම්බන්ධයෙන් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකාහි (1970) මෙසේ අදහස් පළ කර තිබේ. ‘සාතන්ගේ කාර්ය වන්නේ පොළොව පුරා ඔබ මොබ ඇවිදිමින් නපුරු ක්‍රියා හෝ නපුරුකම් කරන මනුෂ්‍යයන් පිළිබඳව කරුණු එකතු කිරීමයි. ඔහුගේ මෙම ක්‍රියා කලාපය “ස්වාමීන් තමන්ගේ ඇස්” පොළොව කෙරෙහි යොමු කිරීමේ අරමුණට හාත්පසින්ම වෙනස් වේ. ස්වාමීන් පොළොව පුරා ඔබ මොබ බලන්නේ යහපතට නැඹුරු වූ සියල්ල ශක්තිමත් කිරීමේ අරමුණ ඇතුවයි (II ලේක. xvi, 9). පරාර්ථකාමීව පෙන්නුම් කරන මිනිස් කරුණාව සාතන් දකින්නේ යහපත් දෙයක් ලෙස නොව ද්වේෂසහගත දෙයක් ලෙසයි. එමනිසා එය පරීක්ෂණයට ලක් කිරීමට සාතන්ට ඉඩ දී තිබේ. කෙසේවෙතත්, එසේ කළ හැක්කේ දෙවිගේ අධිකාරයට යටත්ව, දෙවි විසින් පනවන ලද සීමා තහංචිවලට එකඟවය.’ දෙවි හා සාතන් පරාර්ථකාමී මිනිස් කරුණාව සලකන ආකාරය මොනතරම් වෙනස්ද!—යෝබ් 1:6-12; 2:1-7.

2, 3. (අ) යෝබ් අද්දුටු දේවලින් “යක්ෂයා” යන වචනයේ අර්ථය මනාව පැහැදිලි වන්නේ කෙසේද? (ආ) සාතන් පොළොව මත සිටින දෙවිගේ සේවකයන්ට දිගටම චෝදනා කරන බව බයිබලයේ පෙන්වා දී තිබෙන්නේ කෙසේද?

2 “යක්ෂයා” ලෙස පරිවර්තනය කර තිබෙන ග්‍රීක් වචනයේ අර්ථය වන්නේ “බොරුවට චෝදනා කරන්නා” හෝ “අපහාස කරන්නා” යන්නයි. යෝබ් යෙහෝවාට විශ්වාසවන්තව සේවය කළ කෙනෙකි. ඔහු එසේ යෙහෝවාට සේවය කළේ ආත්මාර්ථකාමී චේතනාවෙන් කියා සාතන් චෝදනා කළ බව යෝබ් පොතේ සඳහන් වේ. “යෝබ් දෙවි කෙරෙහි භය වන්නේ නිකමටද” කියා සාතන් ඇසුවේය. (යෝබ් 1:9) පීඩා හා පරීක්ෂණ මැද පවා යෝබ් තව තවත් යෙහෝවාට ළං වූ බව යෝබ් පොතේ සඳහන් වාර්තාව පෙන්වා දෙයි. (යෝබ් 10:9, 12; 12:9, 10; 19:25; 27:5; 28:28) ඔහුගේ පීඩා සහිත කාලය නිමවීමෙන් පසු ඔහු දෙවිට මෙසේ පැවසුවේය. “මා ඔබ ගැන කනින් අසා තිබුණේය. නුමුත් දැන් මාගේ ඇසින් ඔබ දකිමි.”—යෝබ් 42:5.

3 යෝබ්ගේ කාලයේ පටන් දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ට චෝදනා කිරීම සාතන් නතර කර තිබේද? නැත. එළිදරව් පොත පෙන්වා දෙන්නේ මේ අවසාන කාලයේදී සාතන් ක්‍රිස්තුස්ගේ ආලේප ලත් සහෝදරයන්ට දිගටම චෝදනා කරන බවයි. ඔවුන්ගේ විශ්වාසවන්ත සමීප ආශ්‍රිතයන්ටද ඔහු එසේ චෝදනා කරන බවටද සැකයක් නැත. (2 තිමෝති 3:12; එළිදරව් 12:10, 16ආ) මේ නිසා සැබෑ ක්‍රිස්තියානීන් වශයෙන් අප සියලුදෙනාටම තිබෙන දැඩි අවශ්‍යතාවක් වන්නේ අප ගැන සලකන අපේ දෙවි යෙහෝවාට ගැඹුරු ප්‍රේමයකින් සේවය කරමින් ඔහුට යටත් වීමයි. මෙසේ කිරීමෙන් සාතන්ගේ චෝදනා බොරු බව ඔප්පු කළ හැක. එමෙන්ම යෙහෝවාගේ හදවත සතුටු කිරීමටද අපට හැකි වනු ඇත.—හිතෝපදේශ 27:11.

අපට උපකාර කළ හැකි ක්‍රම යෙහෝවා සොයා බලයි

4, 5. (අ) සාතන්ට වෙනස්ව යෙහෝවා පොළොව දෙස බලන්නේ කුමක් සඳහාද? (ආ) යෙහෝවාගේ අනුමැතිය අප ලැබීමට නම් අපේ පැත්තෙන් කුමක් කිරීම අවශ්‍යද?

4 චෝදනා කරන්නේ කාටද, ගිල දමන්නේ කාවද කියා සොයමින් යක්ෂයා පොළොව පුරා සක්මන් කරයි. (යෝබ් 1:7, 9; 1 පේතෘස් 5:8) ඊට හාත්පසින්ම වෙනස්ව යෙහෝවා තමාගේ ශක්තිය අවශ්‍ය කරන අයට උපකාර කළ හැකි ක්‍රම සොයයි. අනාගතවක්තෘ හනානි ආසා රජට මෙසේ පැවසුවේය. “යෙහෝවා කෙරෙහි සම්පූර්ණ සිත් ඇත්තන්ට පිහිට වෙන පිණිස ඔහුගේ බලය පාමින්, ඔහුගේ ඇස් පොළොව මුළුල්ලෙහි ඔබමොබ දුවන්නේය.” (2 ලේකම් 16:9) සාතන්ගේ දුෂ්ට බැල්ම හා යෙහෝවාගේ ප්‍රේමණීය සැලකිල්ල අතර තිබෙන්නේ මොනතරම් ප්‍රබල වෙනසක්ද!

5 යෙහෝවා අප දෙස බලන්නේ අප කරන සෑම වරදක්ම අල්ලාගැනීමේ අරමුණින් නොවේ. “යෙහෝවා, ඔබ අයුතුකම් ගණනට ගන්නේ නම්, යාහ්, කාට සිටින්ට හැක්කේද” කියා ගීතිකාකරු ලීවේය. (ගීතාවලිය 130:3) උත්තරය පැහැදිලිය. කිසිවෙකුට නොහැක. (දේශනාකාරයා 7:20) අප සම්පූර්ණ හදවතකින් යෙහෝවාට ළං වෙනවා නම් ඔහුගේ ඇස් අප කෙරෙහි යොමු වනු ඇත. මෙසේ ඔහු අප කෙරෙහි සිය ඇස් යොමු කරන්නේ අපව හෙළාදැකීමට නොව, අප දරන වෑයම් නිරීක්ෂණය කිරීමට හා උපකාරය මෙන්ම සමාව ඉල්ලා අප කරන යාච්ඤාවලට සවන් දීම සඳහාය. ප්‍රේරිත පේතෘස් මෙසේ ලීවේය. “යෙහෝවාගේ ඇස් ධර්මිෂ්ඨයන් කෙරෙහිත් ඔහුගේ කන් ඔවුන්ගේ කන්නලව්ව දෙසටත් යොමා තිබේ. නුමුත් යෙහෝවාගේ මුහුණ නපුර කරන්නන්ට විරුද්ධව තිබේ.”—1 පේතෘස් 3:12.

6. දාවිත්ගේ සිද්ධිය සහනයක් මෙන්ම අනතුරු ඇඟවීමක්ද වන්නේ කෙසේද?

6 දාවිත් අසම්පූර්ණ මිනිසෙකු වූ අතර බරපතළ පාපද කළේය. (2 සාමුවෙල් 12:7-9) එනමුත් දාවිත් යෙහෝවා ඉදිරියෙහි තමාගේ හදවත වගුරුවමින් මහත් උනන්දුවෙන් යාච්ඤා කරමින් ඔහුට ළං විය. (ගීතාවලිය 51:1-12, ශීර්ෂ පාඨය) යෙහෝවා ඔහුගේ යාච්ඤාවට සවන් දී ඔහුට සමාව දුන්නේය. කෙසේවෙතත්, ඔහු කළ පාපයේ අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණ දීමට දාවිත්ට සිදු විය. (2 සාමුවෙල් 12:10-14) මෙම සිද්ධිය අපට සහනයක් මෙන්ම අනතුරු ඇඟවීමක්ද විය යුතුයි. අප අවංකවම පසුතැවිලි වෙනවා නම් අපේ පාපවලට සමාව දීමට යෙහෝවා කැමැත්තෙන් සිටින බව දැනගන්න ලැබීම සහනයකි. එනමුත් පව් කිරීමේ ප්‍රතිඵල සැමවිටම දරුණු බව සිතට ගැනීමටද එම සිද්ධිය අපට උපකාරවත් වේ. (ගලාති 6:7-9) යෙහෝවාට ළංව සිටීමට අපට වුවමනා නම් ඔහුව අසතුටට පත් කරවන ඕනෑම දෙයකින් අප හැකි තරම් ඈත්ව සිටිය යුතුයි.—ගීතාවලිය 97:10.

යෙහෝවා සිය සෙනඟව තමන් වෙතට ඇදගනියි

7. යෙහෝවා ඔහුගේ ඇස් යොමු කරන්නේ කුමන ආකාරයේ අය කෙරෙහිද? එවැනි අයව ඔහු තමන්ට ළං කරගන්නේ කෙසේද?

7 දාවිත් ඔහුගේ එක් ගීතිකාවක මෙසේ ලීවේය. “යෙහෝවා උසස් නුමුත් පහත් [යටහත් පහත්, NW] අය සලකන්නේය. නුමුත් උඩඟු අය දුරදීම දන්නේය.” (ගීතාවලිය 138:6) මේ හා සමාන දෙයක් තවත් ගීතිකාවක මෙසේ සඳහන් වේ. “උසස් තැන්හි සිටින්නාවූ, ස්වර්ගයේද පෘථිවියේද තිබෙන දේ බලන්ට තමන්ම යටත්වන්නාවූ අපේ දෙවිවූ යෙහෝවාට සමාන කවුද? . . . ඔහු දුප්පතා [පහත් අයව, NW] ධූලියෙන් නැඟිටුවන්නේය.” (ගීතාවලිය 113:5-6, 8) ඔව්, මුළු විශ්වයේම සර්වබලධාරි මැවුම්කරු යටහත්ව පොළොව දෙස බලයි. ඔහුගේ ඇස් යොමු වන්නේ “යටහත් පහත්” හා “පහත්” අය, එනම් අද සිදු වෙමින් පවතින “සියලු පිළිකුල්කම් ගැන සුසුම්ලා කෙඳිරිගාන මනුෂ්‍යයන්” දෙසය. (එසකියෙල් 9:4) ඔහු මෙවැනි අයව තමන් වෙතට ළං කරගන්නේ ඔහුගේ පුත්‍රයා මාර්ගයෙනි. පොළොව මත සිටි කාලයේදී යේසුස් මෙසේ සඳහන් කළේය. “මා එවූ පියා විසින් අදිනු ලැබූ කෙනෙකුට මිස වෙන කිසිවෙකුට මා ළඟට එන්ට බැරිය. . . . මාගේ පියාණන්ගෙන් බලය ලැබූ කෙනෙකුට මිස අන් කිසිවෙකුට මා වෙතට එන්ට බැරිය.”—යොහන් 6:44, 65.

8, 9. (අ) අප සියලුදෙනාම යේසුස් වෙතට පැමිණිය යුත්තේ මන්ද? (ආ) මිදීමේ මිලය නමැති විධිවිධානයේ තිබෙන සුවිශේෂත්වය කුමක්ද?

8 සියලුම මිනිසුන් යේසුස් වෙතට පැමිණ මිදීමේ මිල පූජාව කෙරෙහි ඇදහිල්ල තැබිය යුතුය. මන්ද මිනිසුන් සියලුදෙනාම පව්කාරයන් ලෙස ඉපද දෙවිගෙන් දුරස්ව සිටින බැවිනි. (යොහන් 3:36) ඔවුන් දෙවි සමඟ සමඟි විය යුතුයි. (2 කොරින්ති 5:20) තමන් සමඟ සාමකාමී සබඳතාවක් ඇති කරගත හැකි යම් විධිවිධානයක් පිහිටුවන මෙන් පව්කාරයන් කන්නලව් කරන තෙක් දෙවි බලා සිටියේ නැත. මේ ගැන ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය. “දෙවි අප කෙරෙහි ඇති තමන්ගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස් මරණය විඳීමෙන්ය. මක්නිසාද අපි සතුරන්ව සිටියදීම දෙවිගේ පුත්‍රයාගේ මරණය කරණකොටගෙන ඔහු සමඟ අපි සමඟි කරනු ලැබුවෙමු නම්, සමඟි වුණාවූ අපි ඊටත් වඩා ඔහුගේ ජීවනය කරණකොටගෙන ගළවනු ලබන්නෙමු.”—රෝම 5:8, 10.

9 දෙවි විසින්ම මිනිසුන්ව තමන් සමඟ සමඟි කරගනිමින් සිටින බවට වූ අගනා වටිනා සත්‍යය තහවුරු කරමින් ප්‍රේරිත යොහන් මෙසේ ලීවේය. “අප කෙරෙහි තිබෙන දෙවිගේ ප්‍රේමය ප්‍රකාශ කරනු ලැබුවේ දෙවි ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් කරණකොටගෙන අප ජීවත් වන පිණිස ඔහු ලෝකයට එවූ කාරණයෙන්ය. ප්‍රේමය මේය, එනම් අප දෙවිට ප්‍රේම කළා නොව ඔහු අපට ප්‍රේම කොට, අපේ පව් උදෙසා ශාන්තිකර පූජාව වන පිණිස තමන්ගේ පුත්‍රයා එවූ බවය.” (1 යොහන් 4:9, 10) ඇත්තෙන්ම මුල් පියවර ගත්තේ මිනිසුන් නොව දෙවිය. ‘පව්කාරයන්ට’ පමණක් නොව ‘සතුරන්ට’ පවා ඉමහත් ප්‍රේමයක් පෙන්වා තිබෙන දෙවි කෙනෙකුට ළංවීමට ආශාවක් ඔබට ඇති වන්නේ නැද්ද?—යොහන් 3:16.

යෙහෝවාව සෙවීමේ අවශ්‍යතාව

10, 11. (අ) යෙහෝවාව සෙවීමට නම් අප කුමක් කළ යුතුද? (ආ) සාතන්ගේ පාලනය යටතේ තිබෙන ක්‍රමය අප සැලකිය යුත්තේ කෙසේද?

10 තමන් වෙතට පැමිණීමට යෙහෝවා අපට බල නොකරන බව අපි දනිමු. අප ඔහුව සෙවිය යුතුයි. එමෙන්ම ‘යම් අන්දමකින් ඔහුව සම්බවන ලෙස අතගා යමින්වත් යා යුතුයි. එහෙත් ඔහු අප එකිනෙකාට නුදුරුව සිටින්නේය.’ (ක්‍රියා 17:27) තමන්ට යටත් වෙන මෙන් අපෙන් ඉල්ලා සිටීමට යෙහෝවාට තිබෙන අයිතිය අප පිළිගත යුතුයි. ශ්‍රාවක යාකොබ් මෙසේ ලීවේය. “දෙවිට යටත්ව සිටින්න. නුමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න. එවිට ඔහු නුඹලා වෙතින් පලායනවා ඇත. දෙවිට ළං වෙන්න. එවිට ඔහු නුඹලාට ළං වන්නේය. පව්කාරයෙනි, නුඹලාගේ අත් පවිත්‍ර කරගන්න. දෙසිත් ඇත්තෙනි, නුඹලාගේ සිත් පිරිසිදු කරගන්න.” (යාකොබ් 4:7, 8) යක්ෂයාට විරුද්ධව සිටීම සඳහාත් යෙහෝවාට පක්ෂව සිටීම සඳහාත් දැඩි ස්ථාවරයක් ගැනීම ගැන අප දෙගිඩියාවෙන් නොසිටිය යුතුයි.

11 මින් අදහස් කරන්නේ අප සාතන්ගේ දුෂ්ට ක්‍රමයෙන් දුරස්ව සිටීමයි. යාකොබ් තවදුරටත් මෙසේද ලීවේය. “ලෝකය සමඟ මිත්‍රකම දෙවිට සතුරුකම බව නුඹලා දන්නේ නැද්ද? එබැවින් කවරෙක් නමුත් ලෝකයට මිත්‍ර වෙන්ට කැමැත්තේ නම්, ඔහු දෙවිට සතුරෙක් වන්නේය.” (යාකොබ් 4:4) දෙවිගේ මිතුරන් වීමට අප කැමති වෙනවා නම්, අප සාතන්ගේ ලෝකයේ වෛරයට පාත්‍රවීම අපේක්ෂා කළ යුතු දෙයකි.—යොහන් 15:19; 1 යොහන් 3:13.

12. (අ) දාවිත් ලියූ සැනසිලිදායක වදන් මොනවාද? (ආ) යෙහෝවා අනාගතවක්තෘ අසරියා මාර්ගයෙන් දුන් අනතුරු ඇඟවීම කුමක්ද?

12 යම් විශේෂිත ආකාරයකින් සාතන්ගේ ලෝකයෙන් අපට විරුද්ධවාදීකම් එල්ල වෙද්දී අප උපකාරය පතා විශේෂයෙන් කළ යුත්තේ යෙහෝවාට යාච්ඤා කිරීමයි. අවස්ථා බොහොමයකදී යෙහෝවාගේ ගැළවීමේ හස්තයේ උපකාරයෙන් තම ජීවිතය ගළවාගත් දාවිත් මෙම වදන් ලිව්වේ අපට සැනසිල්ල ලබාගත හැකි වන පිණිසය. “යෙහෝවා තමන්ට යාච්ඤා කරන සියල්ලන්ට, එනම් සැබවින් [සැබෑකමින්, NW] ඔහුට යාච්ඤා කරන සියල්ලන්ට ළංව සිටියි. ඔහු තමන් කෙරෙහි භය ඇත්තන්ගේ ආශාව ඉෂ්ට කර දෙන්නේය. ඔවුන්ගේ මොරගැසීම අසා ඔවුන් ගළවන්නේය. යෙහෝවා තමන්ට ප්‍රේම කරන සියල්ලන් ආරක්ෂා කරන්නේය. නමුත් සියලු දුෂ්ටයන් විනාශ කරන්නේය.” (ගීතාවලිය 145:18-20) අප එක් එක්කෙනා පරීක්ෂණවලට මුහුණ දෙන අවස්ථාවලදී අපව ගළවාගැනීමට යෙහෝවාට හැකි බවත් ‘මහත් පීඩාවේදී’ ඔහුගේ සෙනඟව සමූහයක් හැටියට ඔහු ගළවන බවත් එම ගීතිකාවෙන් පෙන්වා දෙයි. (එළිදරව් 7:14) අප යෙහෝවාට ළංව සිටිනවා නම් ඔහුද අපට ළංව සිටිනු ඇත. ‘දෙවිගේ ආත්මයේ’ මඟ පෙන්වීම යටතේ අනාගතවක්තෘ අසරියා පොදුවේ අදාළ වන සත්‍යයක් ලෙස සැලකිය හැකි දෙයක් ගැන මෙසේ පැවසුවේය. “නුඹලා යෙහෝවා සමඟ සිටින තුරු ඔහු නුඹලා සමඟ සිටින්නේය. නුඹලා ඔහුව සොයනවා නම් ඔහු නුඹලාට සම්බ වෙනවා ඇත. නුඹලා ඔහුව අත්හැරියොත් ඔහුද නුඹලාව අත්හරිනවා ඇත.”—2 ලේකම් 15:1, 2.

යෙහෝවා අපට සැබෑ පුද්ගලයෙකු විය යුතුයි

13. යෙහෝවා අපට සැබෑ පුද්ගලයෙකු බව පෙන්විය හැක්කේ කෙසේද?

13 “අදෘශ්‍යමාන තැනැත්තා දකින්නාක් මෙන් ඔහු [දිගටම, NW] ස්ථිරව සිටියේය” කියා ප්‍රේරිත පාවුල් මෝසෙස් ගැන ලීවේය. (හෙබ්‍රෙව් 11:27) මෝසෙස් කවදාවත් යෙහෝවාව දැක්කේ නැති බව අමුතුවෙන් කිව යුතු නැත. (නික්මයාම 33:20) එනමුත් ඔහුට යෙහෝවා මොනතරම් සැබෑ ජීවමාන පුද්ගලයෙකු වූවාද කියනවා නම්, ඔහු යෙහෝවාව සැලකුවේ හරියට තමන්ගේ ඇස් දෙකෙන් දුටු පුද්ගලයෙකු වශයෙනි. මේ හා සමානව යෝබ් ඔහුගේ පීඩාවලින් පසුව ඇදහිල්ල නමැති ඇස්වලින් යෙහෝවාව පෙරට වඩා පැහැදිලිව දුටුවේය. මෙහිදී ඔහු යෙහෝවාව දුටුවේ තමන්ගේ විශ්වාසවන්ත සේවකයන්ට පීඩා අද්දැකීමට ඉඩහැරියත් ඔවුන්ව කවදාවත් අත්හරින්නේ නැති දෙවි කෙනෙකු ලෙසය. (යෝබ් 42:5) ඒනොක් සහ නෝවා ‘දෙවි සමඟ ගමන් කළ’ [NW] බව සඳහන් වේ. ඔවුන් මෙසේ දෙවි සමඟ ගමන් කළේ ඔහුව සතුටු කිරීමට මං සොයමින් හා ඔහුට කීකරු වීමෙනි. (උත්පත්ති 5:22-24; 6:9, 22; හෙබ්‍රෙව් 11:5, 7) ඒනොක්, නෝවා, යෝබ් හා මෝසෙස්ට මෙන් අපටත් යෙහෝවා සැබෑ පුද්ගලයෙකු නම්, අපේ සියලුම මාර්ගවලදී අපි ‘ඔහුව සලකන්නෙමු.’ එමෙන්ම ඔහුද “[අපේ] මාවත් සමතලා කරනවා ඇත.”—හිතෝපදේශ 3:5, 6.

14. යෙහෝවාට ‘ඇලුම්ව සිටීම’ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

14 ඉශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශයට ඇතුල් වෙන්න කලින් මෝසෙස් ඔවුන්ට මෙසේ උපදෙස් දුන්නේය. “නුඹලාගේ දෙවි වූ යෙහෝවා අනුව ගොස් ඔහුට භයව, ඔහුගේ ආඥා රක්ෂා කොට, ඔහුගේ හඬට කීකරුව, ඔහුට සේවය කර, ඔහුට ඇලුම්ව සිටින්න.” (ද්විතීය කථාව 13:4) ඔවුන් යෙහෝවා අනුව යමින් ඔහුට භයව, කීකරු වෙමින් ඔහුට ඇලුම් කළ යුතු විය. මෙම පාඨයේ සඳහන් “ඇලුම්ව සිටින්න” යනුවෙන් පරිවර්තන කර තිබෙන වචනයේ “හෙබ්‍රෙව් වචනයෙන් ඉතා සමීප මිත්‍ර සබඳතාවක් අදහස් කෙරේ” කියා බයිබල් විශාරදයෙක් සඳහන් කළේය. ගීතිකාකරු මෙසේ පැවසුවේය. “යෙහෝවා සමඟ සමීප මිත්‍රත්වයක් ඇති කරගන්නේ ඔහු කෙරෙහි භය ඇත්තන්ය.” (ගීතාවලිය 25:14, NW) අපට යෙහෝවා සැබෑ පුද්ගලයෙකු නම්, ඔහුව අසතුටට පත් කළ හැකි ඕනෑම දෙයක් කෙරෙහි දැඩි පිළිකුලක් ඇති කරගැනීමට තරම් අප ඔහුට ප්‍රේම කරනවා නම්, එවැනි අනර්ඝ සමීප සබඳතාවක් ඔහු සමඟ භුක්ති විඳීමට අපට හැකි වනු නිසැකයි.—ගීතාවලිය 19:9-14.

යෙහෝවා ඔබ ගැන සලකන බව ඔබට දැනෙනවාද?

15, 16. (අ) යෙහෝවා අප ගැන සලකන බව ගීතාවලිය 34වන පරිච්ඡේදයේ පෙන්වා දෙන්නේ කෙසේද? (ආ) යෙහෝවා අප වෙනුවෙන් කර තිබෙන යහපත් ක්‍රියා අපේ මතකයට නැඟෙන්නේ නැත්නම් අප කුමක් කළ යුතුද?

15 සාතන්ගේ එක් කපටි ක්‍රියාවක් වන්නේ අපේ දෙවි යෙහෝවා ඔහුගේ විශ්වාසවන්ත සේවකයන් කෙරෙහි නිරතුරුව සැලකිලිමත් වන බවට වූ කාරණය අපට අමතක කරවීමට වෑයම් කිරීමයි. ජීවිතය පවා අවදානමට පත් වූ අතිශය දරුණු අවස්ථාවලදී යෙහෝවා ආරක්ෂාව සපයන බව ඉශ්‍රායෙල්හි දාවිත් රජ හොඳින් දැන සිටියේය. තමා පිස්සු මිනිසෙකු බව ගාත්හි ආඛීෂ් රජ ඉදිරියෙහි ඇඟවීමට එක් අවස්ථාවකදී ඔහුට සිදු විය. මෙම සිද්ධියෙන් පසු ඉතාමත් අලංකාර ගීතිකාවක් රචනා කළ ඔහු ඇදහිල්ල ප්‍රකාශ කෙරෙන මෙම වදන්ද එයට ඇතුළත් කළේය. “මා සමඟ යෙහෝවා වර්ණනා කරව්. අපි එක්ව ඔහුගේ නාමය උසස් කරමු. යෙහෝවාව සෙවීමි. ඔහු මට උත්තර දී, මාගේ සියලු භයින් මා මිදුවේය. යෙහෝවාගේ දූතයා ඔහුට භය ඇත්තන් හාත්පස කඳවුරු බැඳ, ඔවුන් මුදාහරියි. යෙහෝවා යහපත් බව රස බලා දැනගන්න. ඔහු කෙරෙහි විශ්වාස කරන මනුෂ්‍යයා ආශීර්වාද ලද්දේය [සන්තෝෂවත්ය, NW]. යෙහෝවා බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටියි. තැළුණු ආත්ම ඇත්තන් ගළවයි. ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය. නමුත් යෙහෝවා ඒ සියල්ලෙන් ඔහු ගළවන්නේය.”—ගීතාවලිය 34:3, 4, 7, 8, 18, 19; 1 සාමුවෙල් 21:10-15.

16 යෙහෝවාගේ ගැළවීමේ බලය ගැන ඔබට දැඩි නිසැකකමක් තිබේද? ඔහු දේවදූතයන් මාර්ගයෙන් සපයන ආරක්ෂාව ගැන ඔබ හොඳින් දැන සිටිනවාද? යෙහෝවා යහපත් බව ඔබ පෞද්ගලිකව රස බලා දැනගෙන තිබෙනවාද? යෙහෝවා ඔබට යහපත කළ බව ඔබට විශේෂයෙන් දැනුණු අවසන් අවස්ථාව කුමක්ද? එය මතකයට නඟාගැනීමට උත්සාහ කරන්න. ඔබට යෙහෝවාගේ යහපත්කම දැනුණේ මහන්සි නිසා තවත් නිවෙස්වලට යන්න නම් බැහැයි කියා ඔබට දැනුණු අවස්ථාවකදී ඔබ ගිය අවසන් නිවසේදීද? සමහරවිට එහිදී ඔබ නිවැසියා සමඟ උනන්දුව දනවන සාකච්ඡාවක් කරන්න ඇති. ඔබට අවශ්‍යව තිබූ අමතර ශක්තිය සැපයීම ගැනත් ඔබට ආශීර්වාද කිරීම ගැනත් ඔබ අමතක නොකර යෙහෝවාට ස්තුති කළාද? (2 කොරින්ති 4:7) අනිත් අතට යෙහෝවා ඔබ වෙනුවෙන් කළ යම් විශේෂිත යහපත් ක්‍රියාවක් මතකයට නඟාගැනීම ඔබට අමාරු දෙයක් විය හැකියි. ඔබට සතියක්, මාසයක්, අවුරුද්දක් හෝ ඊටත් වඩා වැඩි කාලයක් ඒ ගැන සිතන්න සිදු විය හැකියි. ඔබේ තත්වය මෙය නම්, යෙහෝවාට තව තවත් ළංවීම සඳහා අවංක වෑයමක් දරමින් ඔහු ඔබට මඟ පෙන්වීම ලබා දෙන ආකාරය අද්දැකීමට වෑයම් කර බැලීම හොඳ අදහසක් නොවේද? ප්‍රේරිත පේතෘස් ක්‍රිස්තියානීන්ට මෙසේ උපදෙස් දුන්නේය. “ඔහුගේ [දෙවිගේ] බලවත් හස්තයට යටත් වෙන්න. ඔහු නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර ඔහු පිට තබන්න.” (1 පේතෘස් 5:6, 7) ඔහු ඔබ ගැන මොනතරම් සැලකිල්ලක් දක්වනවාද කියා දැකීමෙන් ඔබ පුදුම වෙනවාට සැකයක් නැත.—ගීතාවලිය 73:28.

යෙහෝවාව දිගටම සොයන්න

17. අප දිගටම යෙහෝවාව සෙවීමට නම් කළ යුතු දේවල් මොනවාද?

17 යෙහෝවා සමඟ තිබෙන අපේ සබඳතාව දිගටම පවත්වාගැනීම අඛණ්ඩව වර්ධනය වන ක්‍රියාවලියක් විය යුතුයි. යේසුස් සිය පියාව අමතමින් කළ යාච්ඤාවකදී මෙසේ පැවසුවේය. “සදාකාල ජීවනය නම් මේය. එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් ඔවුන් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3, NW) යෙහෝවා ගැනත් ඔහුගේ පුත්‍රයා ගැනත් දැනුම ලබාගැනීම සඳහා අපේ පැත්තෙන් අඛණ්ඩ වෑයමක් දැරීම අවශ්‍යයි. “දෙවිගේ ගැඹුරු දේවල්” තේරුම්ගැනීම සඳහා යාච්ඤාව හා ශුද්ධාත්මය මගින් ලැබෙන උපකාරය අපට අවශ්‍යයි. (1 කොරින්ති 2:10; ලූක් 11:13) අපට අවශ්‍ය කරන තවත් දෙයක් වන්නේ “නියම වේලාවට” අපේ මනස් ආත්මික ආහාරවලින් පෝෂණය කරගැනීම සඳහා “විශ්වාස වූ නුවණ ඇති දාසයා” ලබා දෙන මඟ පෙන්වීමයි. (මතෙව් 24:45) දිනපතා දේවවචනය කියවන්න කියාත් නිතිපතා අපේ ක්‍රිස්තියානි රැස්වීම්වලට යන්න කියාත් “රාජ්‍යයේ මේ ශුභාරංචිය” දේශනා කිරීමෙහි මුළු හදින්ම හවුල්වන්න කියාත් යෙහෝවා අපට උපදෙස් සපයා තිබෙන්නේ එම මාධ්‍යය යොදාගෙනයි. (මතෙව් 24:14) මේ දේවල් කිරීමෙන් අප ගැන සලකන අපේ දෙවි යෙහෝවාව දිගටම සෙවීමට අපට හැකි වනු ඇත.

18, 19. (අ) අප අදිටන් කරගත යුත්තේ කුමක් කිරීමටද? (ආ) යක්ෂයාට විරුද්ධව සිටීමට වූ අපේ ස්ථාවරයේ දිගටම සිටිමින් යෙහෝවාව අප සොයනවා නම් අප ආශීර්වාද ලබන්නේ කෙසේද?

18 යෙහෝවාගේ සෙනඟට හැකි සෑම පැත්තකින්ම හිංසා පීඩා, විරුද්ධවාදීකම් හා පීඩන ඇති කිරීම සඳහා සාතන් ඔහුගේ බලය යටතේ තිබෙන සෑම දෙයක්ම යොදාගනිමින් සිටියි. ඔහු වෑයම් කරන්නේ අප භුක්ති විඳින සාමය නැති කර, අපේ දෙවි සමඟ අපට තිබෙන යහපත් සබඳතාව විනාශ කර දැමීමටයි. අවංක හදවත් ඇති අයව සොයාගෙන, ප්‍රශ්නයට ලක් කර තිබෙන විශ්ව පරමාධිපත්‍යය පිළිබඳ කාරණයේදී යෙහෝවාගේ පැත්ත ගැනීම සඳහා එවැනි අයට උපකාර කරමින් අප කරන සේවය දිගටම කරගෙන යනවා දැකීමට ඔහු කැමති නැත. සැමදා යෙහෝවාට පක්ෂපාතව සිටිමින් නපුරාගෙන් අපව ගළවාගැනීමට ඔහු සතු හැකියාව කෙරෙහි දැඩි විශ්වාසයෙන් සිටීමට අප අදිටන් කරගත යුතුයි. අපට මඟ පෙන්වීම සඳහා අප දේවවචනයට ඉඩහරිනවා නම්, ඔහුගේ දෘශ්‍යමාන සංවිධානය සමඟ ක්‍රියාශීලීව සිටිනවා නම් අපට උපකාර කිරීමට සැමවිටම යෙහෝවා සූදානම්ව සිටින බවට අපට නිසැක විය හැක.—යෙසායා 41:8-13.

19 එමනිසා අප සියලුදෙනාම යක්ෂයාටත් ඔහුගේ කපටි ක්‍රියාවලටත් දක්වන දැඩි විරෝධය දිගටම දක්වමු. අපව ‘ස්ථිර කර ශක්තිමත් කිරීම’ කිසිදා පැහැර නාරින අපේ ප්‍රේමණීය දෙවි යෙහෝවාව දිගටම සොයමු. (1 පේතෘස් 5:8-11) මෙසේ කිරීමෙන් “සදාකාල ජීවනය පිණිස අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්ගේ දයාව බලා සිටිමින්, දෙවිගේ ප්‍රේමයෙහි පවතින්න” අපට හැකි වනවා නිසැකයි.—යූද් 21.

ඔබ උත්තර දෙන්නේ කෙසේද?

• “යක්ෂයා” යන වචනයේ අර්ථය කුමක්ද? එම අර්ථයට එකඟව ඔහු කටයුතු කරන්නේ කෙසේද?

• පොළෝවාසීන්ට නිරීක්ෂණය කිරීමේදී යෙහෝවා සාතන්ට වඩා වෙනස් වන්නේ කෙසේද?

• යෙහෝවා වෙතට ළඟාවීම සඳහා යමෙකු මිදීමේ මිලය පිළිගත යුත්තේ මන්ද?

• යෙහෝවාට ‘ඇලුම්ව සිටීම’ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? දිගටම යෙහෝවාව සොයමින් සිටීමට අපට හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූරය]

පීඩා අද්දුටුවත් යෙහෝවා තමන් ගැන සලකන බව යෝබ් තේරුම්ගත්තේය

[16, 17වන පිටුවේ පින්තූර]

දිනපතා බයිබලය කියවීම, ක්‍රිස්තියානි රැස්වීම්වලට නිතිපතා යෑම, දේශනා සේවයේ ජ්වලිතව හවුල් වීම වැනි ක්‍රියාකාරකම් මගින් යෙහෝවා අප ගැන සලකන බව අපට සිහිපත් වෙයි