1 සාමුවෙල් 21:1-15

21  පසුව දාවිත් නොබ් නුවරේ+ සිටි පූජක අහිමෙලෙක්+ වෙත ගියේය. අහිමෙලෙක් දාවිත්ව දැක මහත් සේ භය වී ඔහුගෙන් මෙසේ ඇසුවේය. “ඇයි ඔබ තනියම මෙහෙට ආවේ?”+  එවිට දාවිත් මෙසේ කීවේය. “රජු මට විශේෂ වැඩක් භාර දීලා,+ ‘මම ඔබට කරන්න අණ කළ මේ වැඩේ ගැන කාටවත් කියන්න එපා’ කියලා මට පැවසුවා. මේ වැඩේ සඳහා මාත් එක්ක යන අනික් පුරුෂයන්ව වෙනත් තැනකදී හමු වෙන්න මම සැලසුම් කරලා තියෙනවා.  ඉතින් ඔබ ළඟ රොටි පහක් හරි වෙනත් කෑමක් හරි තියෙනවා නම් අපිට කන්න දෙන්න.”+  එවිට පූජකයා, “නිකං රොටි නම් මා ළඟ නැහැ. මා ළඟ තියෙන්නේ දෙවිට කැප කළ රොටි+ විතරයි. ඔබත් සමඟ යන පුරුෂයන් මේ දවස්වල ස්ත්‍රීන් සමඟ සම්බන්ධකම් පවත්වා නැත්නම්+ ඒ රොටි දෙන්න පුළුවන්” කියා දාවිත්ට කීවේය.  දාවිත් පූජකයාට මෙසේ කීවේය. “සාමාන්‍යයෙන් පුරුෂයන් යුද්දෙට යන්නේ පවිත්‍ර වෙලයි. ඒ වගේම අපි යම් රාජකාරියක නිරත වෙද්දී ස්ත්‍රීන් සමඟ සම්බන්ධකම් පවත්වන්නේ නැහැ.+ එහෙමනම් මේ වගේ විශේෂ වැඩකට යද්දී අපි ඊටත් වඩා පවිත්‍රව ඉන්න උත්සාහ කරයි කියලා ඔබ හිතන්නේ නැද්ද?”  එදින යෙහෝවා දෙවි ඉදිරියේ අලුත් රොටි තබන පිණිස පරණ රොටි ඉවත් කර තිබිණ.+ එබැවින් පූජකයා ඒ රොටි දාවිත්ට දුන්නේය. මන්ද දෙවි ඉදිරියේ පිදූ රොටි+ හැර ඔවුන්ට කන්න දීමට වෙන කිසිවක් ඔහු ළඟ තිබුණේ නැත.  සාවුල් රජුගේ සේවකයෙක් වූ ඒදොම්+ ජාතික දොවෙග්+ එදින එතැන සිටියේය. ඔහු සාවුල් රජුගේ බැටළුවන් බලාගන්නන්ගේ ප්‍රධානියාය.+ ඔහු එදින යෙහෝවා දෙවි ඉදිරියේ යම් වගකීමක් ඉටු කිරීමට+ එහි නැවතී සිටියේය.  දාවිත්ද, “ඔබ ළඟ කඩුවක් හරි හෙල්ලයක් හරි තියෙනවාද? මේ විශේෂ වැඩේට මම හදිස්සියේ ආව නිසා මට මගේ කඩුවවත් අනික් ආයුධවත් ගන්න වෙලාවක් ලැබුණේ නැහැ” කියා අහිමෙලෙක්ට කීවේය.  එවිට පූජකයා මෙසේ කීවේය. “ඔබ ඒලාහ් තැනිතලාවේ මරලා දාපු+ පිලිස්තියාගේ කඩුව+ මා ළඟ තියෙනවා. ඒක රෙද්දකින් ඔතලා ඒෆොද් හැට්ටයට+ එහායින් තියලා තියෙනවා. ඔබ කැමති නම් ඒක ගන්න. මා ළඟ වෙන ආයුධ නම් නැහැ.” දාවිත්ද, “ගොලියත්ගේ කඩුව තරම් හොඳ එකක් තවත් නැහැ. ඒක මට දෙන්න” කියා පූජකයාට කීවේය. 10  ඉන්පසු දාවිත් සාවුල් රජුගෙන් ගැලවෙන පිණිස එතැනින් පලා ගියේය.+ පසුව ඔහු ගාත්හි රජු වන ආකිෂ්+ වෙතට පැමිණියේය. 11  එවිට ආකිෂ් රජුගේ සේවකයෝ මෙසේ කීවෝය. “මේ ඊශ්‍රායෙල් දේශයේ රජු වන දාවිත්+ නේද? මිනිස්සු ගී ගයමින් නටමින්,+‘සාවුල් දහස් ගණන් මැරුවෝය.දාවිත් දසදහස් ගණන් මැරුවෝය’ කියා කිව්වේ ඔහු ගැන නේද?”+ 12  තමා ගැන පැවසූ දේවල් අසා දාවිත්ට ගාත්හි රජු වන ආකිෂ් ගැන මහත් භයක් දැනුණේය.+ 13  එබැවින් ඔවුන් දාවිත්ව අල්ලාගත් විට ඔහු දොරවල් සූරමින් රැවුල දිගේ කෙළ පෙරාගනිමින් ඔවුන් ඉදිරියේ+ පිස්සෙක් මෙන්+ හැසිරීමට පටන්ගත්තේය. 14  ආකිෂ් රජ තම සේවකයන්ට මෙසේ කීවේය. “මේ මිනිහා පිස්සෙක් කියා ඔබට පෙනෙන්නේ නැද්ද? ඔහුව මා ඉදිරියට ගෙනාවේ ඇයි? 15  මේ වගේ කෙනෙක්ගෙන් මට කිසි ප්‍රයෝජනයක් තියෙනවාද? පිස්සෙක්ව මගේ ගෙදරට වැද්දගන්න කියාද ඔබ මට කියන්නේ?”

පාදසටහන්