එසකියෙල් 9:1-11

9  “නුවර විනාශ කිරීමට පත් කර ඇති සියල්ලන්ට තමන්ගේ ආයුධ රැගෙන මෙතැනට එන්න කියන්න” යයි දෙවි මහත් හඬකින් පවසනවා මට ඇසුණේය.  එවිට උතුරු දෙසින් පිහිටා ඇති ඉහළ දොරටුවෙන්+ පුරුෂයන් හයදෙනෙකු පැමිණෙනවා මම දුටුවෙමි. මහත් විනාශයක් ඇති කළ හැකි ආයුධ ඔවුන් අත තිබිණ. සිහින් ලිනන් රෙද්දෙන් මැසූ වස්ත්‍රයක් ඇඳගෙන සිටි+ පුරුෂයෙක් ඔවුන් සමඟ සිටි අතර ලේකම්වරයෙකු භාවිත කරන තීන්ත කූඩුවක් ඔහු තම ඉණේ බැඳගෙන සිටියේය. ඔවුහු සියලුදෙනාම තඹ පූජාසනය අසලට පැමිණ සිටගත්තෝය.+  මීට පෙරාතුව කෙරුබ්වරුන්ට*+ ඉහළින් දක්නට තිබුණු ඊශ්‍රායෙල්හි දෙවිගේ තේජස+ ශුද්ධස්ථානයට පිවිසෙන ස්ථානයෙහි+ බැබළෙන්න පටන්ගත්තේය. සිහින් ලිනන් වස්ත්‍රයක් ඇඳ,+ ලේකම්වරයෙකු භාවිත කරන තීන්ත කූඩුවක් ඉණේ බැඳගෙන සිටි පුරුෂයාට දෙවි කතා කළේය.  යෙහෝවා දෙවි ඔහුට මෙසේ පැවසීය. “යෙරුසලම් නුවර මැදින් ගොස් එහි සිදු වන සියලුම පිළිකුල්සහගත දේවල් ගැන+ දුක් වෙමින් සුසුම්ලන+ මිනිසුන්ගේ නළල්වල ලකුණක් දමන්න.”  දෙවි අනික් අයට මෙසේ පවසනවා මට ඇසුණේය. “ඔහු පසුපස යන්න. ඔහු තම කාර්යය නිම කළ පසු නුවරේ වැසියන්ට පහර දෙන්න. ඒ ගැන දුක් නොවන්න. ඔවුන්ට කිසි අනුකම්පාවක් නොපෙන්වන්න.+  ඔබ මහල්ලන්ද තරුණයන්ද කන්‍යාවන්ද කුඩා දරුවන්ද ස්ත්‍රීන්ද+ යන සියලුදෙනාවම මරා දැමිය යුතුයි. කිසිවෙකුව ඉතුරු නොකරන්න. එහෙත් යමෙකුගේ නළල මත ලකුණක් ඇත්නම් ඔහු ළඟට නොයන්න.+ ඔබේ කාර්යය මාගේ ශුද්ධස්ථානයේ සිටම ආරම්භ කළ යුතුය.”+ එහෙයින් ඔවුහු දෙවිගේ ගෘහය ඉදිරියේ සිටි වැඩිමහල්ලන්ගෙන්+ තම කාර්යය ආරම්භ කළෝය.  ඔහු ඔවුන්ට මෙසේද පැවසීය. “යන්න! ගොස් මාගේ ගෘහය කෙලෙසන්න. මළ සිරුරුවලින් එම ගෘහයේ මළු පුරවන්න.”+ එවිට ඔවුහු ගොස් නුවරේ සිටි සෙනඟට පහර දුන්නෝය.  ඔවුන් පහර දෙන විට ඉන් බේරුණේ මා පමණයි. මම මුණින් වැටී+ මෙසේ මොරගැසුවෙමි. “අනේ,+ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි! යෙරුසලම පිට ඔබේ උදහස වගුරුවා මුළු ඊශ්‍රායෙල් ජාතිය අතරින් ඉතුරුව සිටි මේ අයවත් ඔබ විනාශ කර දමනවාද?”+  එවිට ඔහු මට මෙසේ පැවසීය. “ඊශ්‍රායෙල් සහ යූදා වැසියන් කර ඇති වැරදි+ අතිමහත්ය.+ දේශය ලෙයින් නැහැවී ඇත.+ නුවරද වංචාවෙන් පිරී තිබේ.+ මන්ද, ‘යෙහෝවා දෙවි දේශය අත්හැර ගිහින්.+ යෙහෝවා දෙවිට අපව පේන්නේ නැහැ’+ කියා ඔවුහු පැවසුවෝය. 10  ඔවුන් ගැන කිසි දුකක්වත්+ අනුකම්පාවක්වත් මට ඇති වන්නේ නැත.+ ඔවුන් කළ දේවල ප්‍රතිඵල මම ඔවුන් පිටටම ගෙනෙන්නෙමි.”+ 11  එවිට සිහින් ලිනන් වස්ත්‍රයක් ඇඳ, තීන්ත කූඩුවක් ඉණේ බැඳගෙන සිටි පුරුෂයා නැවත පැමිණ මෙසේ පැවසීය. “ඔබ අණ කළ ලෙසම මම කළෙමි.”+

පාදසටහන්

‘කෙරුබ්වරුන්’ යන වචනය මෙම පොතේ මුල් වරට සඳහන් වන්නේ මෙතැනය. එස 1:22-28ද බලන්න.