ගීතාවලිය 51:1-19
සංගීත අධ්‍යක්ෂක වෙතය. බැත්-ෂෙබා සමඟ දුරාචාරයේ යෙදුණු දාවිත්ව හමු වීමට අනාගතවක්තෘ වූ නාතන් පැමිණියේය. එම සිද්ධියෙන් පසුව දාවිත් විසින් රචනා කළ ගීතයකි.+
51 අනේ දෙවියනි, ඔබේ අතිමහත් ප්‍රේමය* මට පෙන්වන්න. මට අනුකම්පා කරන්න.+ඔබේ දයාව මට පෙන්වා මාගේ වැරදි මකා දමන්න.+
2 මාව මුළුමනින්ම සෝදා මාගේ වරද ඉවත් කරන්න.+මා කළ පාපය පහ කර මාව පවිත්‍ර කරන්න.+
3 මා කළ වැරදි මම හොඳින් දනිමි.+මා කළ පාපය නිතරම මා ඉදිරියේ තිබේ.+
4 මා පව් කළේ ඔබට විරුද්ධවය.+දුෂ්ටයි කියා ඔබ සලකන දේ මම කළෙමි.+ඒ නිසා ඔබ පවසන දේ ධර්මිෂ්ඨය.+ඔබේ විනිශ්චයන් නිවැරදිය.+
5 මාගේ මව මහත් වේදනාවකින් මාව බිහි කළේ මට පාපය උරුම කර දෙමිනි.+ඇත්තෙන්ම, මව්කුස තුළ මාව පිළිසිඳගත් මොහොතේ සිටම මා තුළ පාපය තිබිණ.+
6 ඔබ සතුටු වන්නේ මුළු හදවතින්ම, අවංකව කටයුතු කරන අය ගැනයි.+එබැවින් සැබෑ ප්‍රඥාව මාගේ හදවතට ළං කරගැනීමට මට උපකාර කරන්න.+
7 හිසොප්වලින් මාව පවිත්‍ර කර මාගේ පාපය පහ කරන්න.+මාව සෝදන්න. එවිට මා හිමවලටත් වඩා සුදු වන්නේය.+
8 ඔබ බිඳ දැමූ ඇටකටුවලට සුවයක්* ලැබෙන පිණිස+මාගේ දෙසවනට ප්‍රීති ඝෝෂා හඬ ඇසෙන්න සලස්වන්න.+
9 මා අතින් සිදු වූ පාප වෙතින් ඔබේ මුහුණ ඉවතට හරවාගන්න.+මාගේ සියලු වැරදි මකා දමන්න.+
10 අනේ දෙවියනි, මට පිරිසිදු හදවතක් ලබා දෙන්න.+නොසැලී ස්ථිරව සිටීමට හැකි වන පිණිස මා සිතන ආකාරය නිවැරදි කර, අලුත් සිතක් මට ලබා දෙන්න.+
11 ඔබ ඉදිරියෙන් මාව ඉවතට නොදමන්න.+ඔබේ බලය මට දිගටම ලබා දෙන්න. එය මාගෙන් ඉවත් නොකරන්න.+
12 ඔබ දෙන ගැලවීම නිසා ප්‍රීතිය අද්දැකීමට මට සලස්වන්න.+දිගටම ඔබේ කැමැත්ත කිරීමට මා තුළ ආශාවක් ඇති කරගැනීමට මට උපකාර කරන්න.+
13 පව්කාරයන් නැවත ඔබ වෙතට හැරී එන පිණිස+වැරදි කරන්නන්ට ඔබේ මාර්ග ගැන මම උගන්වන්නෙමි.+
14 මට ගැලවීම ලබා දෙන දෙවියනි,+ ලේ වැගිරවීමෙන් මා කළ වරද මාගෙන් ඉවත් කරන්න.+එවිට ඔබේ ධර්මිෂ්ඨකම ගැන ප්‍රීතියෙන් කතා කිරීමට මට හැකි වන්නේය.+
15 අනේ යෙහෝවා දෙවියනි, ඔබට ප්‍රශංසා කිරීමට මට හැකි වන පිණිස+මාගේ මුඛය විවෘත කරන්න.+
16 ඔබ පූජාවලට ප්‍රසන්න නොවන බව මම දනිමි. නමුත් ඔබ ඒවාට කැමති නම් මම අනිවාර්යයෙන්ම ඔබට පූජා ඔප්පු කරන්නෙමි.+දවන පූජාවලින්ද ඔබට සතුටක් නැත.+
17 දෙවියනි, ඔබට ප්‍රසන්න පූජාව නම් බිඳුණු සිතකි.+තැළුණාවූ බිඳුණාවූ හදවතක් ඔබ හෙළා නොදකින්නෙහිය.+
18 ඔබේ කරුණාව පෙන්වමින් සියොන් නුවරට යහපත කරන්න.+යෙරුසලමේ පවුරු නැවත ගොඩනඟන්න.+
19 එවිට ධර්මිෂ්ඨකමින් ඔප්පු කරන පූජා ගැනද+දවන පූජා ගැනද ඔබ සතුටට පත් වනු ඇත.+ඔබේ පූජාසනය මත ගොනුන්වද ඔප්පු කරනු ඇත.+