Skip to content

පටුනට යන්න

මෝසෙස්ගේ ජීවිතය ඔබට බලපාන අයුරු

මෝසෙස්ගේ ජීවිතය ඔබට බලපාන අයුරු

බොහෝ විශාරදයන් හා විවේචකයන් මෝසෙස්ව සලකන්නේ නිකම්ම මනඃකල්පිත පුද්ගලයෙකු වශයෙනි. ඔවුන් මෝසෙස් පිළිබඳ බයිබල් වාර්තාව ප්‍රතික්ෂේප කරන්නේ තමන් බලාපොරොත්තු වන ආකාරයේ සාක්ෂි සොයාගැනීමට නොහැකි වී තිබෙන නිසාය. ඇත්තවශයෙන්ම, ඔවුන් තිබිය යුතුයයි කියන සාක්ෂි ප්ලේටෝ හා සොක්‍රටීස් වැනි අය සම්බන්ධයෙන්වත් සොයාගෙන නැත. එසේනම්, එවැනි පුද්ගලයන් පවා ඓතිහාසික නොවන බව පිළිගැනීමට සිදු වේ.

එහෙත් මෙතෙක් අප සලකා බැලූ කරුණුවලින් පැහැදිලි වූ පරිදි මෝසෙස් පිළිබඳ බයිබල් වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට සාධාරණ පදනමක් නැත. ඒ වෙනුවට, ඇදහිල්ල ඇති අයට මුළු බයිබලයම “දෙවිගේ වචනය” බව පිළිගැනීම සඳහා ඇති තරම් සාක්ෂි තිබේ. * (1 තෙසලෝනික 2:13; හෙබ්‍රෙව් 11:1) එවැනි අය මෝසෙස්ගේ ජීවිත කතාව අධ්‍යයනය කරන්නේ නිකම්ම දැනුම් සම්භාරයක් එකතු කරගැනීමට නොවේ. ඔවුන්ගේ ඇදහිල්ල ගොඩනඟා ගැනීමටයි.

මෝසෙස්ගේ සැබෑ චරිතය

චිත්‍රපට නිෂ්පාදකයන් බොහෝවිට මෝසෙස්ව නිරූපණය කරන්නේ ඉතා නිර්භීත වීරයෙකු ලෙසය. මන්ද ප්‍රේක්ෂකයන්ගේ සිත් සාමාන්‍යයෙන් ඇදී යන්නේ එවැනි ගුණාංග තිබෙන චරිත වෙතටයි. මෝසෙස් ධෛර්යවත් පුද්ගලයෙකු වූ බව ඇත්තයි. (නික්මයාම 2:16-19) එහෙත් ඔහුගේ ප්‍රධාන ගුණාංගය වූයේ ඇදහිල්ලයි. ඔහු දෙවිව සැලකුවේ සැබෑ පුද්ගලයෙකු ලෙසයි. දෙවි මෝසෙස්ට කොයි තරම් සැබෑ වුණාද කිවහොත් ප්‍රේරිත පාවුල් පසු කලෙක ඔහුව විස්තර කළේ ‘අදෘශ්‍යමාන තැනැත්තාව දකින්නාක් මෙන් දිගටම ස්ථිරව සිටි’ කෙනෙකු වශයෙනි.—හෙබ්‍රෙව් 11:24-28, 4NW.

එසේනම්, මෝසෙස් තම ආදර්ශය තුළින් අපට උගන්වන්නේ දෙවි සමඟ සබඳතාවක් ගොඩනඟා ගැනීමේ ඇති වැදගත්කම ගැනයි. අපේ දෛනික ජීවිතයේදී දෙවිව දකින්නාක් මෙන් හැසිරීමට අපටද පුළුවන! අප එසේ කරනවා නම්, දෙවිව අසතුටු කරන අන්දමේ කිසිවක් නොකිරීමට අප වගබලා ගනීවි. මෙයත් සැලකිල්ලට ගන්න. මෝසෙස්ගේ හදවතේ ඇදහිල්ල පැලපදියම් කරනු ලැබුවේ ඔහු ළදරුවෙකුව සිටියදීය. ඔහුගේ ඇදහිල්ල කොයි තරම් ශක්තිමත්ද කිවහොත් ‘ඊජිප්තුවරුන්ට තිබුණු සියලු ප්‍රඥාවටවත්’ බැරි වූවා එය බිඳ හෙළන්නට. (ක්‍රියා 7:22NW) ළදරු කාලයේ සිටම තම දරුවන්ට දෙවි ගැන උගන්වන්නට දෙමව්පියන්ට මෙමගින් ලැබෙන්නේ මොන තරම් හොඳ දිරිගැන්වීමක්ද!—හිතෝපදේශ 22:6; 2 තිමෝති 3:15.

මෝසෙස්ගේ තවත් කැපීපෙනෙන ගුණාංගයක් වූයේ ඔහුගේ යටහත් පහත්කමයි. ඔහු “පොළෝ මතුයෙහි සිටි සියලු මනුෂ්‍යයන්ට වඩා අධික වශයෙන් මෘදු ගුණාන්විත කෙනෙක් වූයේය.” (ගණන් කථාව 12:3) ඒ නිසා, මෝසෙස් තම වැරදි පිළිගැනීමට පසුබට වූයේ නැත. ඔහු නොසැලකිලිමත් ලෙස තම පුතාව චර්මච්ඡේදනය කිරීමට අතපසු කළ බව ඔහුම ලියයි. (නික්මයාම 4:24-26) එක් අවස්ථාවකදී දෙවිට ගෞරවය දෙන්න ඔහු අසමත් වූ බවත් දෙවි ඔහුට ඒ නිසා බරපතළ දඬුවමක් දුන් බවත් ඔහු අවංක ලෙස විස්තර කරයි. (ගණන් කථාව 20:2-12; ද්විතීය කථාව 1:37) ඒ විතරක් නොව, වෙනත් අය උපදෙස් හෝ යෝජනා දුන් විටද ඔහු ඒවා පිළිගත්තේය. (නික්මයාම 18:13-24) මෝසෙස්ගේ ආදර්ශය, ස්වාමිපුරුෂයන්, පියවරුන් හා අධිකාරිය හොබවන වෙනත් පුරුෂයන් විසින් අනුගමනය කරනු ලැබීමට හොඳ එකක් නොවේද?

ඇතැම් විවේචකයෝ මෝසෙස් ඇත්තටම මෘදු පුද්ගලයෙකුද කියා ප්‍රශ්න කරති. ඔවුන් එසේ ප්‍රශ්න කරන්නේ ඔහු සැහැසික ලෙස ක්‍රියා කළ අවස්ථා ගැන සඳහන් කරමින් ඊට හේතු දක්වමිනි. (නික්මයාම 32:26-28) ලේඛක ජොනතන් කර්ෂ් මෙසේ සඳහන් කරයි. “බයිබලයේ විස්තර කරන මෝසෙස් යටහත් පහත් ලෙස හැසිරුණේ කලාතුරකිනි. ඔහු කිසිවිටෙකවත් මෘදුව කටයුතු කළේ නැත. ඔහු සැමවිටම ධර්මිෂ්ඨව කටයුතු කළායයි පැවසීමටද නොහැකියි. මෝසෙස් අහංකාර, ලේ පිපාසිත, කෲර පුද්ගලයෙකු බව හෙළි කරන . . . භයානක සිද්ධීන් කිහිපයක්ම තිබේ.” ඇත්තෙන්ම ඒවා ඉතා පටු අදහස්ය. මෝසෙස් එසේ ක්‍රියා කිරීමට පෙලඹුණේ ඔහු කෲර පුද්ගලයෙකු වූ නිසා නොව ඔහු යුක්තියට අතිශයින් ප්‍රිය කළ, දුෂ්ටකම හෙළාදුටු අයෙකු වූ නිසාය. බහුතරයක්ම දුරාචාරමය ජීවන රටාවක් ගත කිරීමේ රැල්ලට හසු වී තිබෙන මේ යුගයේදී සදාචාර ප්‍රමිතිවලට පක්ෂපාතව සිටීමේ වැදගත්කම මෝසෙස්ගේ ආදර්ශය අපට සිහිගන්වයි.—ගීතාවලිය 97:10.

මෝසෙස්ගේ ලියවිලි දායාදයකි

මෝසෙස් ලියවිලි රැසක්ම අපට දායාද කර ගියේය. කවි (යෝබ්, ගීතාවලිය 90), ඉතිහාස වාර්තා (උත්පත්ති, නික්මයාම, ගණන් කථාව), පෙළපත් වාර්තා (උත්පත්ති 5, 11, 19, 22, 25 පරිච්ඡේද) සහ මෝසෙස්ගේ නීතිය ලෙස හැඳින්වෙන සම්පාදනය කරන ලද සුවිශේෂී නීති සමූහයක්ද (නික්මයාම 20-40 පරිච්ඡේද; ලෙවී කථාව; ගණන් කථාව; ද්විතීය කථාව) ඒ ලියවිලි අතර දක්නට ලැබේ. මෝසෙස්ගේ කාලයට වඩා අතිශයින් දියුණු වූ, තව සියවස් ගණනාවක් යන තුරු සොයා නොගත් පරිපාලනය පිළිබඳ විවිධ සංකල්ප, නීති රීති සහ ප්‍රතිපත්ති දෙවිගෙන් ලද එම නීතියේ ඇතුළත් විය.

බොහෝවිට පල්ලියේ නායකත්වය දරන තැනැත්තාම රටේ පාලකයාද වන විට අනෙක් ආගම්වලට අයත් ජනයාගේ නිදහස සීමා කිරීම, ආගමික හේතූන් මත ඔවුන්ට හිංසා පීඩා කිරීම සහ බලය අනිසි ලෙස යොදාගැනීම සුලබව පවතී. ආගම හා දේශපාලනය වෙන්ව පැවතිය යුතුය යන ප්‍රතිපත්තිය මෝසෙස්ගේ නීතියේ ඇතුළත් විය. පූජකයෙකුගේ වගකීම් ඉටු කිරීමට රජුට අයිතියක් තිබුණේ නැත.—2 ලේකම් 26:16-18.

මෝසෙස්ගේ නීතියේ සනීපාරක්ෂාව හා රෝග පාලනය පිළිබඳ සංකල්පද ඇතුළත් විය. අද විද්‍යානුකූලව පිළිගත් ප්‍රමිති දෙකක් වන බෝ වන රෝගයක් වැලඳී සිටින ලෙඩෙකුව අන් අයගෙන් වෙන් කර තැබීම හා මලපහ වැළලීම වැනි ප්‍රමිති ඊට උදාහරණ වශයෙන් දැක්විය හැකියි. (ලෙවී කථාව 13:1-59; 14:38, 46; ද්විතීය කථාව 23:13) මෝසෙස්ගේ කාලයේදී ඊජිප්තුවේ වෛද්‍යවරුන් ඉතා භයානක වූ වැරදි ප්‍රතිකාර ක්‍රමවලට හා මිථ්‍යා විශ්වාසයන්ට වහල් වී සිටි බව සැලකිල්ලට ගනිද්දී මෙය ඇත්තෙන්ම පුදුමාකාර දෙයකි. මෝසෙස්ගේ නීතියේ සඳහන් සනීපාරක්ෂක ප්‍රමිති අනුගමනය කළහොත් දියුණු වෙමින් පවතින රටවල මිලියන ගණනකට රෝග බෝවීම වළක්වාගත හැකියි. මරණ අනුපාතයද අඩු කළ හැකියි.

ක්‍රිස්තියානීන් මෝසෙස්ගේ නීතිය අනුගමනය කිරීමට බැඳී නැත. (කොලොස්සි 2:13, 14) එහෙත් අද දිනත් එය අධ්‍යයනය කිරීම වටියි. දෙවිට පමණක් නමස්කාර කරන්න කියාත් රූප නමස්කාරයෙන් වැළකී සිටින්න කියාත් ඊශ්‍රායෙලිතයන්ට මෝසෙස්ගේ නීතිය මගින් අවවාද කර තිබුණි. (නික්මයාම 20:4; ද්විතීය කථාව 5:9) දරුවන් දෙමව්පියන්ට ගරු කළ යුතුයයි එහි සඳහන් විය. (නික්මයාම 20:12) මිනී මැරීම, පරදාර සේවනය, සොරකම, බොරු කීම හා අන් අයගේ දේවලට ආශා කිරීමද නීතියේ හෙළාදැක තිබුණි. (නික්මයාම 20:13-17) අද දිනත් එම ප්‍රතිපත්ති ක්‍රිස්තියානීන් විසින් බොහෝ සෙයින් අගය කරනු ලබයි.

සනීපාරක්ෂාව පිළිබඳව මෝසෙස්ගේ නීතියේ උගන්වා ඇති ප්‍රතිපත්ති අදාළ කිරීමෙන් රෝග වැලඳීම වළක්වාගත හැකියි

මෝසෙස් හා සමාන අනාගතවක්තෘවරයෙක්

අප ජීවත් වන්නේ අර්බුදකාරී කාලවලයි. මිනිසාට මෝසෙස් වැනි නායකයෙකු අවශ්‍ය බව නොකිවමනායි. අපට අවශ්‍ය වන්නේ නිකම්ම බලය හා අධිකාරිය හොබවන නායකයෙකු නොව පක්ෂපාතී, නිර්භීත, දයානුකම්පිත හා යුක්තියට අවංකවම ප්‍රිය කරන නායකයෙකුය. මෝසෙස් මිය ගිය පසු ඊශ්‍රායෙලිතයන් කල්පනා කරන්න ඇති ‘ඒ වාගේ නායකයෙකු ආපසු ලෝකයට පැමිණේවිද?’ කියා. මෝසෙස්ම එම ප්‍රශ්නයට පිළිතුරු දුන්නේය.

අසනීප හා මරණයට මුල් වූයේ කුමක්දැයි කියාත් දෙවි දුෂ්ටකම පවතින්ට ඉඩහැර තිබෙන්නේ මන්දැයි කියාත් මෝසෙස්ගේ ලියවිලිවල පැහැදිලි කර ඇත. (උත්පත්ති 3:1-19; යෝබ් 1, 2 පරිච්ඡේද) උත්පත්ති 3:15හි දෙවි මුලින්ම දුන් අනාවැකිය වාර්තා කර තිබේ. එය දුෂ්ටකම සහමුලින්ම නැති කරනු ඇති බවට පොරොන්දුවකි! එය සිදු කරනු ඇත්තේ කෙසේද? එම අනාවැකියේ පෙන්වන පරිදි යම් පුද්ගලයෙකු මෙලොවට බිහි වන අතර ඔහු මාර්ගයෙන් ගැලවීම අත් වනු ඇත. එම පොරොන්දුව නිසා මිනිස් වර්ගයාව මුදවාගැනීමට මෙසියස් කෙනෙකු නැඟී සිටින බවට වූ බලාපොරොත්තුව ජනිත විය. එහෙත් කවුද ඒ මෙසියස්? ඔහු කවුද යන වග නිසැකවම හඳුනාගැනීමට මෝසෙස් අපට උපකාර කරයි.

මෝසෙස් මිය යෑමට ටික කලකට පෙර ඔහු මෙම වැදගත් අනාවැකිය පළ කළේය. “මා [හා] සමාන අනාගතවක්තෘ කෙනෙකු ඔබ අතරෙන් ඔබේ සහෝදරයන්ගෙන් ඔබේ දෙවි වූ යෙහෝවා ඔබට නැඟුටුවා දෙනවා ඇත. ඔබ ඔහුට ඇහුම්කන් දෙන්නහුය.” (ද්විතීය කථාව 18:15) පසු කලෙක, ප්‍රේරිත පාවුල් එම වදන් ඍජුවම යේසුස්ට අදාළ කළේය.—ක්‍රියා 3:20-26.

යුදෙව් විචාරකයන් බහුතරයක්ම තරයේ ප්‍රකාශ කරන්නේ මෝසෙස් හා යේසුස් අතර කිසිදු සමානකමක් නැති බවයි. මෝසෙස්ගෙන් පසුව පැමිණි ඕනෑම සැබෑ අනාගතවක්තෘවරයෙකුට එම වදන් අදාළ වන බව ඔවුහු තර්ක කරති. එහෙත් යුදෙව් ප්‍රකාශන සමිතිය විසින් ප්‍රකාශිත ටානැක් ශුද්ධ ලියවිලිවල ද්විතීය කථාව 34:10හි දක්වා තිබෙන්නේ මෙසේයි. “මුහුණට මුහුණලා ස්වාමීන් දැනගත්තාවූ මෝසෙස් වැනි අනාගතවක්තෘ කෙනෙක් ඉන්පසු ඊශ්‍රායෙල්හි නොනැඟිට්ටේය.”

යෙසායා සහ යෙරෙමියා වැනි ඇදහිලිවන්ත අනාගතවක්තෘවරුන් මෝසෙස්ගෙන් පසු පැමිණි බව ඇත්තයි. එහෙත් ඔහු දෙවි සමඟ භුක්ති වින්ද සුවිශේෂී සම්බන්ධය ඉන් එක් කෙනෙකුටවත් තිබුණේ නැත. දෙවි සමඟ “මුහුණට මුහුණලා” කතා කළේ මෝසෙස් පමණයි. එමනිසා තමා වැනි වූ අනාගතවක්තෘවරයෙකු පිළිබඳව මෝසෙස් පැවසූ අනාවැකිය අදාළ විය හැක්කේ එකම එක පුද්ගලයෙකුටයි. එනම් මෙසියස්ටයි! ක්‍රිස්තියානි ධර්මය බිහිවීමට පෙර හා බොරු ක්‍රිස්තියානීන්ගෙන් පීඩා එල්ල වීමට පෙර යුදෙව් විශාරදයන් පවා ඊට සමාන ආකල්පයක් දැරූ බව සැලකිල්ලට ගැනීම වටී. මිඩ්‍රැෂ් රබ්බා වැනි යුදෙව් ලියවිලිවලින් ඒ බව සනාථ වේ. එම ලියවිලිවල මෝසෙස්ව විස්තර කර ඇත්තේ “පසු කලෙක පැමිණෙන ගැලවුම්කරුගේ” නොහොත් මෙසියස්ගේ මුතුන්මිත්තා වශයෙනි.

යේසුස් හා මෝසෙස් අතර බොහෝ සමානකම් තිබුණු බව අවිවාදයෙන්ම පිළිගත යුත්තකි. (“මෝසෙස් හා සමාන අනාගතවක්තෘවරයෙකි යේසුස්” යන කොටුව බලන්න.) යේසුස්ට බලයද අධිකාරයද තිබුණේය. (මතෙව් 28:19) යේසුස් “මෘදු ගුණැති නිහතමානි සිතක් ඇති” කෙනෙකි. (මතෙව් 11:29NW) යේසුස් අධර්මිෂ්ඨකමට හා අයුක්තියට ද්වේෂ කරයි. (හෙබ්‍රෙව් 1:9) එමනිසා අපට අත්‍යවශ්‍ය වන නායකත්වය ලබා දීමට සුදුසුකම් ඇත්තේ ඔහුටයි! බයිබලය විස්තර කර ඇති ආකාරයට දුෂ්ටකම තුරන් කර පොළොව පාරාදීසයක් බවට පත් කරන්නේ ඔහුයි. *

^ 3 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලය දෙවිගේ වචනයද නැත්නම් මිනිසාගේද? (සිංහලෙන් නැත) යන පොත බලන්න.

^ 20 ඡේ. ක්‍රිස්තුස්ගේ රාජ්‍යය යටතේ පවතින භූමික පාරාදීසය ගැන බයිබලයේ දී ඇති පොරොන්දුව පිළිබඳව වැඩිමනත් තොරතුරු දැනගැනීමට ඔබ කැමති නම් කරුණාකර යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හමු වන්න. නොමිලේ ඔබ සමඟ බයිබලය පාඩම් කිරීමට ඔවුහු ඉතා කැමැත්තෙන්ම ඉදිරිපත් වනු ඇත.