ද්විතීය කතාව 18:1-22

18  “ලෙවී ගෝත්‍රයට අයත් කිසිවෙකුට ඊශ්‍රායෙල් දේශයේ උරුමයක් ලැබෙන්නේ නැහැ.+ නමුත් සෙනඟ ගින්නෙන් පුලුස්සා යෙහෝවා දෙවිට ඔප්පු කරන පූජාවලින් කොටසක් පූජකයන්ට හා ලෙවීවරුන්ට හිමි වන අතර ඒ කොටස අනුභව කරන්න ඔවුන්ට පුළුවන්.+  ඊශ්‍රායෙල්වරුන්ගේ අනිකුත් ගෝත්‍රවලට මෙන් ඔවුන්ට උරුමයක් නොලැබෙන්නේ යෙහෝවා දෙවිම ඔවුන්ගේ උරුමය වන නිසයි.+ මේ බව දෙවිම ඔවුන්ට සහතික කර තිබෙනවා.  “සෙනඟ ඇවිත් ගවයෙකු හෝ බැටළුවෙකු හෝ පූජා කරන විට එයින් කොටසක් පූජකයන්ටත් හිමි විය යුතුයි. ඒ නිසා සතාගේ ඉදිරි ගාතය, බඩ හා හකු යනාදි කොටස් පූජකයන්ට දෙන්න.  ඔබ මුලින්ම නෙළාගත් ධාන්‍යවලින්, මුලින්ම පෙරූ වයින්වලින්, මුලින්ම නිපදවූ තෙල්වලින් සහ ඔබේ බැටළුවන්ගෙන් මුලින්ම කැපූ ලොම්වලින්ද කොටසක් ඔවුන්ට දෙන්න.+  මන්ද ඔබේ සියලු ගෝත්‍ර අතරින් ඔවුන්වත් ඔවුන්ගේ පුත්‍රයන්වත් තෝරාගෙන තිබෙන්නේ යෙහෝවා දෙවියි. ඔවුන්ගේ වගකීම වන්නේ නිතරම යෙහෝවා දෙවිගේ නියෝජිතයන් ලෙස කටයුතු කරමින් ඔහුට සේවය කිරීමයි.+  “ඊශ්‍රායෙල් දේශයේ යම් නුවරක පදිංචිව සිටින ලෙවීවරයෙකුට+ යෙහෝවා දෙවි තෝරාගන්නා ස්ථානයට+ ගොස් දිගටම සේවය කරන්න මහත් ආශාවක් ඇති වුණොත් තම නුවර අත්හැර ඒ ස්ථානයට යන්න ඔහුට අවසර තිබෙනවා. ඔහු එතැනට ගිය පසු,  යෙහෝවා දෙවිගේ නියෝජිතයන් ලෙස එහි සේවය කරන සෙසු ලෙවීවරුන් මෙන් ඔහුද යෙහෝවා දෙවිට සේවය කළ යුතුයි.+  ඔහු තමාට හිමි දේපළ විකුණා එයින් මුදලක් ලැබුවත් අනිකුත් ලෙවීවරුන්ට ලැබෙනවා හා සමාන ආහාර කොටසක් ඔහුටද ලබා දිය යුතුයි.+  “යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශයට ගොස් එහි පදිංචි වූ විට, ඔබ ඒ දේශයේ සිටින ජාතීන් කරන කිසිම පිළිකුල්සහගත දෙයක් කරන්න පුරුදු නොවෙන්න.+ 10  ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් තම පුතාව හෝ දුවව හෝ ගින්නෙන් දවා පූජා නොකළ යුතුයි.+ පේන+ කියන්නවත් මන්තර ගුරුකම්+ කරන්නවත් නැකත්+ බලන්නවත් මායා බලයෙන්+ දේවල් කරන්නවත් ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් නොපෙලඹිය යුතුයි. 11  කොඩිවින සහ හදිහූනියම්+ කරන්නවත් කට්ටඩියෙකුගේ+ හෝ ශාස්ත්‍ර+ බලන කෙනෙකුගේ උපකාර ලබන්නවත් මළවුන්ගෙන් තොරතුරු විචාරන්නවත්+ කිසිම කෙනෙක් නොපෙලඹිය යුතුයි. එවැනි දේවල් කරන කිසිවෙක් ඔබ අතරේ නොසිටිය යුතුයි. 12  මන්ද එවැනි දේවලට හවුල් වන සෑම කෙනෙක්ම යෙහෝවා දෙවිට පිළිකුලක්. යෙහෝවා දෙවි දේශයේ සිටින ජාතීන්ව ඔබ ඉදිරියෙන් පන්නා දමන්නේ ඔවුන් කරන මේ පිළිකුල්සහගත දේවල් නිසාමයි.+ 13  ඒ නිසා ඔබ මේ දේවලට කිසිසේත් සම්බන්ධ නොවී යෙහෝවා දෙවි ඉදිරියේ නිදොස්ව සිටිය යුතුයි.+ 14  “ඔබ පලවාහරින ජාතීන් මන්තර ගුරුකම්+ හා පේන කියන අයගේ+ පිහිට පැතුවත් ඔබේ දෙවි වන යෙහෝවා එවැනි දේවල් කරන්න ඔබට අවසර දී නැහැ.+ 15  ඉදිරියේදී යෙහෝවා දෙවි ඔබේ සහෝදරයන් අතරින් ඔබ උදෙසා මා වැනි අනාගතවක්තෘ කෙනෙකුව පත් කරයි. ඔබ ඔහුට සවන් දිය යුතුයි.+ 16  යෙහෝවා දෙවි මේ දේ කරන්නේ හොරෙබ් කඳුකරයේ සිටි අවස්ථාවේදී+ ඔබ දෙවිට කී දේ නිසයි. ‘අපි ආයෙත් නම් යෙහෝවා දෙවිගේ හඬ අහන්නවත් මේ මහා ගින්න දකින්නවත් කැමති නැහැ. එහෙම වුණොත් අපි අනිවාර්යයෙන්ම මැරෙයි’+ කියා ඔබ එදා කිව්වා. 17  එවිට යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවා. ‘ඔවුන් කියන දේ නිවැරදියි.+ 18  ඊශ්‍රායෙල් සෙනඟ අතරෙන් ඔබ වැනි අනාගතවක්තෘවරයෙකුව+ මම ඔවුන් වෙනුවෙන් පත් කරනවා. මට සෙනඟට කියන්න යමක් ඇද්ද ඒ දේ මම දන්වන්නේ ඔහුටයි.+ ඔහු මා අණ කරන සියලුම දේවල් ඔවුන්ට කියා දෙයි.+ 19  මාගේ නාමයෙන් ඔහු පවසන දේවලට සවන් නොදෙන ඕනෑම කෙනෙක් අනිවාර්යයෙන්ම මට ගණන් දිය යුතුයි.+ 20  “‘ඒ වගේම අනාගතවක්තෘවරයෙක් පැමිණ මා ඔහුට අණ නොකළ දෙයක් මාගේ නාමයෙන් තම හිතුමතේට ප්‍රකාශ කළොත්+ එසේ නැත්නම් වෙනත් දෙවිවරුන්ගේ නාමයෙන් යමක් පැවසුවොත්+ ඔබ ඒ තැනැත්තාව මරා දැමිය යුතුයි.+ 21  “ඒ තැනැත්තා ප්‍රකාශ කරන දේ ඇත්තටම පැවසුවේ යෙහෝවා දෙවිද නැද්ද කියා අප දැනගන්නේ කොහොමද”+ කියා ඔබ කල්පනා කළොත් මේ දේ මතක තබාගන්න. 22  ඒ අනාගතවක්තෘවරයා යෙහෝවා දෙවිගේ නාමයෙන් යමක් ප්‍රකාශ කරන විට එය ඉටු වෙන්නේ නැත්නම් ඔහු පැවසුවේ යෙහෝවා දෙවිගෙන් ලැබුණු දෙයක් නොවන බව ඔබට දැනගන්න පුළුවන්. ඒ දේ පවසා ඇත්තේ ඔහුගේ හිතුමතේටයි.+ ඒ නිසා ඔහුට බිය නොවන්න.’+

පාදසටහන්