ලූක් 7:1-50

7  තමාට සවන් දෙන්න පැමිණි ජනයාට ඉගැන්වූ පසු යේසුස් කපර්ණවුමට ගියේය.+  මේ අතර එක්තරා හමුදා නිලධාරියෙක් සිටියේය. ඔහු බොහෝ සෙයින් ආදරය කළ දාසයෙක් අසනීප වී මරණාසන්නව සිටියේය.+  යේසුස් ගැන ඒ හමුදා නිලධාරියාට ආරංචි වූ විට තම දාසයාව සුව කරන ලෙස ඉල්ලමින් ඔහු යුදෙව් වැඩිමහල්ලන් අත යේසුස්ට පණිවිඩයක් යැව්වේය.  ඒ පණිවිඩය සමඟ යේසුස් ළඟට පැමිණි අය ඉතා බැගෑපත්ව ඔහුගෙන් මෙසේ අයැද සිටියෝය. “ඔබේ කරුණාව ලබන්න මේ මිනිසා ඇත්තටම සුදුසුයි.  ඔහු අපේ ජාතියටත් හුඟක් ආදරෙයි.+ ඔහු අපිට සිනගෝගයකුත් සාදා දුන්නා.”  පණිවිඩය ඇසූ පසු යේසුස් ඔවුන් සමඟ ගියේය. නමුත් ඔවුන් හමුදා නිලධාරියාගේ නිවසට ටිකක් දුරින් සිටියදී හමුදා නිලධාරියා තම මිතුරන් කිහිපදෙනෙකු අත තවත් පණිවිඩයක් එවා තිබිණ. ඔහු එවූ පණිවිඩය මෙයයි. “මහත්මයාණෙනි, මගේ නිවසටම එන්න කරදර වෙන්න එපා. මන්ද ඔබ වගේ කෙනෙක් මගේ වහල යටට එන්න තරම් මම වටින කෙනෙක් නෙවෙයි.+  මා ඔබව හමු වෙන්න ආවේ නැත්තෙත් ඒ හේතුව නිසයි. ඔබ එක වචනයක් කිව්වත් ඇති. එයින්ම මගේ දාසයා සුව වෙයි.  මාත් බලධාරීන් යටතේ සේවය කරන මිනිසෙක්. මා යටතේත් හේවායෝ සිටිනවා. මා කෙනෙකුට ‘යන්න’ කියා පැවසුවොත් ඔහු යයි. තවත් කෙනෙකුට ‘එන්න’ කියා පැවසුවොත් ඔහු එයි. මගේ දාසයාට ‘මෙය කරන්න’ කියා කිව්වොත් ඔහු එය කරයි.”+  ඒ වචනවලට සවන් දුන් යේසුස් පුදුමයට පත් විය. එහෙයින් ඔහු තමන් පසුපස එමින් සිටි පිරිස දෙසට හැරී, “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ඊශ්‍රායෙල් ජාතියේ කිසිවෙකු තුළවත් මෙතරම් විශ්වාසයක් මා දුටුවේ නැති බවයි.”+ 10  හමුදා නිලධාරියාගේ පණිවිඩකරුවෝ නැවතත් ඔහුගේ නිවසට පැමිණි විට එම දාසයා සුව වී ඇති බව දුටුවෝය.+ 11  ඉන්පසු ඔහු නායින් නම් නුවරකට ගමන් කළේය. එම ගමනට ඔහුගේ ගෝලයෝ සහ විශාල සමූහයක් ඔහු සමඟ එක් වූහ. 12  යේසුස් ඒ නුවරෙහි දොරටුව ළඟට පැමිණි විට මිය ගොස් සිටි මිනිසෙකුගේ දේහය+ උසුලාගෙන යන ආකාරය ඔහු දුටුවේය. මිය ගොස් සිටියේ එක් වැන්දඹුවකගේ පුතෙක්ය. ඇයට සිටි එකම+ පුතා ඔහුය. නුවරින් පැමිණි විශාල පිරිසක්ද ඇය සමඟ ගමන් කරමින් සිටියෝය. 13  ඇය දුටු විගස යේසුස්ට ඇය ගැන මහත් අනුකම්පාවක් ඇති විය.+ “අඬන්න එපා”+ කියා ඔහු ඇයට කීවේය. 14  ඉන්පසු ඔහු දේහය තබා තිබූ යහනට අත තැබූ විට එය උසුලාගෙන ගිය අය නතර වූහ. එවිට ඔහු, “තරුණය, දැන් නැඟිටින්න”+ කියා කීවේය. 15  මිය ගොස් සිටි මිනිසා නැඟිට කතා කරන්න පටන්ගත්තේය. යේසුස් ඔහුව සිය මවට භාර දුන්නේය.+ 16  එතැන සිටි සියලුදෙනාම බියට පත් වී,+ “අප අතරට උතුම් අනාගතවක්තෘවරයෙක්+ ඇවිල්ලා” කියාද, “දෙවි තම සෙනඟට මහත් අනුකම්පාවක් දක්වනවා”+ කියාද පවසමින් දෙවිට ප්‍රශංසා කරන්න පටන්ගත්තෝය. 17  ඔහු කළ දේ ගැන ආරංචිය මුළු යුදය පුරාත් ඒ අවටත් පැතිර ගියේය. 18  මේ අතර යොහන්ගේ ගෝලයෝ යොහන්ව හමු වී සිදු වූ සියල්ල ඔහුට දැන්වූහ.+ 19  එහෙයින් යොහන් තම ගෝලයන්ගෙන් දෙදෙනෙකුව කැඳවා, “එන්න සිටින තැනැත්තා ඔබද? නැත්නම් අප වෙන කෙනෙකු එන තුරු බලා සිටිය යුතුද”+ කියා යේසුස්ගෙන් ඇසීමට ඔවුන්ව යැව්වේය. 20  ඔවුහු යේසුස් වෙතට ගොස් මෙසේ පැවසූහ. “‘එන්න සිටින තැනැත්තා ඔබද? නැතහොත් අප වෙන කෙනෙකු එන තුරු බලා සිටිය යුතුද’ කියා ඔබෙන් අසාගෙන එන්න කියා යොහන් බව්තීස්ත අපට කිව්වා.” 21  ඒ පැයේදී යේසුස් බොහෝදෙනෙකුගේ අසනීප+ සහ බරපතළ රෝග සුව කළේය. ඔවුන්ට වැහී සිටි භූතයන්වත් දුරු කළේය. අන්ධ මිනිසුන් බොහෝදෙනෙකුට කරුණාව දක්වමින් ඔවුන්ටද ඔහු පෙනීම ලබා දුන්නේය. 22  ඉන්පසු ඔහු ඒ දෙදෙනාට මෙසේ පිළිතුරු දුන්නේය. “යොහන් ළඟට ගොස්+ ඔබ ඇසූ දුටු දේ ඔහුට කියන්න. අන්ධයන්+ පෙනීම ලබන බවත් කොර වී සිටි අය ඇවිදින බවත් ලාදුරු රෝගීන්ව පවිත්‍ර කර ඇති බවත් බිහිරි වී සිටි අයට දැන් ඇසෙන බවත් මිය ගිය අයව නැවත ජීවත් කරන බවත් දිලිඳුන්ට+ ශුභාරංචිය+ ගැන කියා දෙන බවත් කියන්න. 23  යමෙකුට මා ගැන සැකයක් නැත්නම්* ඒ තැනැත්තා සන්තෝෂවත්.”+ 24  යොහන් එවූ අය එතැනින් පිටත්ව ගිය පසු යේසුස්, යොහන් ගැන රැස්ව සිටි සමූහයාට මෙසේ කීවේය. “ඔබ පාළුකරයට ගියේ කුමක් බලන්නද? සුළඟින් එහා මෙහා වැනෙන බට ගසක් බලන්නද?+ 25  ඔබ ගියේ කුමක් දකින්නද? වටිනා වස්ත්‍ර ඇඳ සිටින මිනිසෙකුව දකින්නද?+ අනර්ඝ වස්ත්‍ර ඇඳ, සැප පහසු ජීවිතයක් ගත කරන අය සිටින්නේ රජමාලිගාවලයි.+ 26  ඇත්තටම ඔබ ගියේ ඇයි? අනාගතවක්තෘවරයෙකුව දැක බලා ගන්නද?+ මා ඔබට කියන්නේ, ඔහු අනාගතවක්තෘවරයෙකුටත් වඩා උතුම් කෙනෙක් බවයි.+ 27  මෙසේ ලියා තිබෙන්නෙත් ඔහු ගැනයි. ‘මම මාගේ පණිවිඩකරුව ඔබ ඉදිරියෙන් යවමි.+ ඔහු ඔබට කලින් ගොස් ඔබේ මඟ සූදානම් කරයි!’+ 28  මේ දේ නම් කිව යුතුමයි. ස්ත්‍රීන්ගෙන් උපන් අය අතරෙන් යොහන්ට වඩා උතුම් කෙනෙක් නැහැ.+ ඒ වුණත් දෙවිගේ රාජ්‍යයට අයත් සුළු තැනැත්තෙක් වුණත් ඔහුට වඩා උතුම්.”+ 29  (යොහන් විසින් බව්තීස්ම කර තිබූ+ අයබදු එකතු කරන්නන් ඇතුළුව රැස්ව සිටි සියලුදෙනා යේසුස් පැවසූ දේ අසා දෙවි ධර්මිෂ්ඨ කෙනෙක් බව ප්‍රකාශ කළෝය.+ 30  නමුත් යොහන් විසින් බව්තීස්ම නොකරනු ලැබූ පරිසිවරු සහ නීතිය ගැන මනා දැනුමක් ඇතුව සිටි අය යොහන් මාර්ගයෙන් දෙවි ඔවුන්ට දුන් අවවාද නොසලකාහැරියෝය.)+ 31  “මේ පරම්පරාවට අයත් මිනිසුන්ව මම සමාන කරන්නේ කාටද? ඔවුන් කවුරුන් වගේද?+ 32  ඔවුන් වෙළඳපොළක ඉඳගෙන සෙල්ලම් කරන කුඩා දරුවන්ට සමානයි. ‘අපි ඔබට නළාව පිම්බත් ඔබ නැටුවේ නැහැ. අපි විලාප නැඟුවත් ඔබ ඇඬුවේ නැහැ’+ කියා ඔවුන් එකිනෙකාට කියනවා. 33  ඒ විතරක් නෙවෙයි යොහන් බව්තීස්ත රොටි කමින් වයින් බොමින් අන් අය මෙන් තම ජීවිතය ගත කළේ නැති නිසා ‘ඔහුට භූතයෙක් ආවේශ වෙලා’+ කියා ඔබ කියනවා. 34  නමුත් මනුෂ්‍ය පුත්‍රයා කමින් බොමින් සාමාන්‍ය විදිහට තම ජීවිතය ගත කරන නිසා ‘මෙන්න, කෑදර, වයින් බීමට ලොල් වූ මිනිසෙක් ඇවිත්. ඔහු බදු එකතු කරන්නන්ගේද පව්කාරයන්ගේද මිත්‍රයෙක්’+ කියා ඔබ කියනවා. 35  කොහොමවුණත් ප්‍රඥාවන්තයෙක්+ ධර්මිෂ්ඨයි කියා ඔප්පු වන්නේ ඔහු කරන ක්‍රියාවලිනුයි.”*+ 36  දිනක් එක් පරිසිවරයෙක් යේසුස්ව කෑමකට ආරාධනා කළේය. යේසුස් ඔහුගේ නිවසට ගොස්+ කෑමට ඉඳගත්තේය. 37  පව්කාර තැනැත්තියක ලෙස එම නුවරෙහි ප්‍රසිද්ධව සිටි ස්ත්‍රියක් යේසුස් එම නිවසෙහි කෑමකට ඇවිත් සිටින බව දැනගෙන එතැනට ආවාය. ඇය පැමිණියේ සුවඳ තෙල් අඩංගු ඇලබැස්ටර්+ බඳුනක් රැගෙනය. 38  ඔහුගේ පාද ළඟ ඉඳ අඬන්න පටන්ගත් ඇය, ඇගේ කඳුළුවලින් ඔහුගේ පාද තෙමා, තම හිසකෙස්වලින් ඒ කඳුළු පිස දැමුවාය. ඉන්පසු ඇය ඔහුගේ පාද සිපගනිමින් ඒ මත සුවඳ තෙල් ආලේප කළාය. 39  ඔහුට ආරාධනා කළ පරිසිවරයා එය දැක තමාටම මෙසේ කියාගත්තේය. “මොහු අනාගතවක්තෘවරයෙක් නම්+ තමන්ට අත තබන්නේ කවුද කියාත් ඇය මොන වගේ ස්ත්‍රියක්ද කියාත් දැන සිටිය යුතුයි. ඇය පව්කාර ස්ත්‍රියක්.”+ 40  නමුත් යේසුස් ඔහුට මෙසේ පැවසුවේය. “සීමොන්, මම කැමතියි ඔබට යමක් කියන්න.” “ගුරුතුමනි, කියන්න” කියා ඔහු පිළිතුරු දුන්නේය. 41  “එක්තරා ණයහිමියෙකුට මිනිසුන් දෙදෙනෙක් ණය වෙලා සිටියා. එක් කෙනෙකුට ගෙවන්න තිබුණු ණය ඩිනාරි* පන්සියයයි.+ අනික් තැනැත්තාගේ ණය ඩිනාරි පනහක් පමණයි. 42  ඔවුන් දෙදෙනාටම එම ණය ආපසු ගෙවන්න බැරි වුණු නිසා ණයහිමියා කැමැත්තෙන්ම ඔවුන් දෙදෙනාවම ණයෙන් නිදහස් කළා.*+ දැන් මේ ගැන හිතන්න. ඔවුන් දෙදෙනාගෙන් ණයහිමියාට වැඩියෙන් ආදරය කරන්නේ කවුද?” 43  සීමොන් පිළිතුරු වශයෙන් මෙසේ කීවේය. “වැඩියෙන් ණය වෙලා සිටි තැනැත්තා විය යුතුයි.” යේසුස්, “ඔබේ නිගමනය හරියි” කියා කීවේය. 44  ඉන්පසු ඔහු ඒ ස්ත්‍රිය දෙස බලා සීමොන්ට මෙසේ කීවේය. “ඔබට මේ ස්ත්‍රියව පෙනෙනවාද? මම ඔබේ නිවසට ආවත් ඔබ මගේ පාද සේදීමට වතුර ගෙනාවේ නැහැ.+ නමුත් මේ ස්ත්‍රිය ඇගේ කඳුළුවලින් මගේ පාද තෙමා, ඇගේ හිසකෙස්වලින් ඒ කඳුළු පිස දැමුවා. 45  ඔබ මාව සිඹ පිළිගත්තේවත් නැහැ.+ නමුත් මේ ස්ත්‍රිය මා ඇතුළට පැමිණි පැයේ පටන් මගේ පාද සිපගෙන මාව පිළිගත්තා. 46  ඔබ මගේ හිසට තෙල් ආලේප කළේ නැහැ.+ නමුත් මේ ස්ත්‍රිය ඇවිත් මගේ පාද සුවඳ තෙලින් ආලේප කළා. 47  ඒ නිසා මම ඔබට කියන මේ දේ හොඳින් මතක තබාගන්න. මේ ස්ත්‍රිය බොහෝ පව් කර තිබුණත් ඇයට සමාව ලැබෙනවා.+ ඒ නිසා ඇය මට වැඩියෙන් ප්‍රේමය පෙන්වනවා. නමුත් ස්වල්ප වශයෙන් පව් කර සමාව ලබන තැනැත්තා අන් අයට වැඩියෙන් ප්‍රේමය පෙන්වන්නේ නැහැ.” 48  එහෙයින් යේසුස් ඇයට මෙසේ කීවේය. “ඔබේ පව්වලට දැන් සමාව ලැබිලා.”+ 49  එවිට ඔහු සමඟ කෑමට ඉඳගෙන සිටි අය ඔහු පැවසූ දේ අසා මෙසේ සිතූහ. “පව්වලට සමාව දෙන්න තරම් හැකියාවක් තිබෙන මේ මිනිසා කවුද?”+ 50  යේසුස් නැවතත් එම ස්ත්‍රියට මෙසේ කීවේය. “ඔබට දැන් සමාදානයෙන් යන්න පුළුවන්.+ ඔබේ විශ්වාසය නිසා ඔබට ගැලවීම ලැබුණා.”+

පාදසටහන්

මූ.අ., “පය පැකිළී වැටෙන්නේ නැත්නම්.”
මූ.අ., “ඔහුගේ දරුවන්ගෙනුයි.”
ග්‍රෑම් 3.85ක් බර රෝමානු රිදී කාසියක්.
හෝ, “සමාව දුන්නා.”