නික්මයාම 24:1-18

24  දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “කන්දට නැඟ යෙහෝවා දෙවි වන මා වෙතට එන්න. ආරොන්වද නාදාබ්වද අබිහුවද+ ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලන් හැත්තෑදෙනෙකුවද+ ඔබ සමඟ රැගෙන එන්න. සියලුදෙනාම දුරින් සිට මට නමස්කාර කළ යුතුයි.  යෙහෝවා දෙවි වන මා වෙතට පැමිණිය හැක්කේ මෝසෙස්ට පමණයි. අනික් අය මා වෙතට නොපැමිණිය යුතුයි. ඔබ සමඟ කන්දට නැඟ ඒමට සෙනඟට ඉඩ නොදෙන්න.”+  පසුව මෝසෙස් සෙනඟ ළඟට පැමිණ, යෙහෝවා දෙවි පැවසූ සියලු දේද ඔහු දුන් සෑම නියෝගයන්ද ඔවුන්ට දැන්වීය.+ එය අසා සෙනඟ එක හඬින් මෙසේ කීවෝය. “යෙහෝවා දෙවි පැවසූ සියල්ල කිරීමට අප සතුටුයි.”+  එහෙයින් මෝසෙස් යෙහෝවා දෙවි පැවසූ සෑම වචනයක්ම ලියා තැබුවේය.+ ඔහු පසුවදා හිමිදිරියේ නැඟිට කන්ද පාමුලට ගොස් එහි පූජාසනයක් ගොඩනැඟුවේය. ඊශ්‍රායෙල්හි ගෝත්‍ර දොළහ නියෝජනය කිරීමට එහි කණු දොළහක්ද ඉදි කළේය.+  ඉන්පසු ඔහු ඊශ්‍රායෙල් සෙනඟ අතරින් තරුණයන් කිහිපදෙනෙකුව තෝරාගත්තේය. ඔවුහු දවන පූජාද හවුල් පූජා+ ලෙස ගවයන්ද යෙහෝවා දෙවිට ඔප්පු කළෝය.  මෝසෙස් පූජාවලට ඔප්පු කළ සතුන්ගේ ලෙයින් භාගයක් භාජනවලට වත් කළේය.+ ඉතුරු ලේ ටික ඔහු පූජාසනය මත ඉස්සේය.+  පසුව ඔහු ගිවිසුම සඳහන් වී තිබෙන ලියවිල්ල+ අතට ගෙන එහි සඳහන් දේවල් සෙනඟ ඉදිරියේ ශබ්ද නඟා කියෙව්වේය.+ ඉන්පසු සෙනඟ, “යෙහෝවා දෙවි පැවසූ සෑම දෙයක්ම ඉටු කරන්න අපි එකඟයි. අපි ඔහුට කීකරු වෙනවා” කියා පොරොන්දු වූහ.+  එහෙයින් මෝසෙස් සෙනඟ මත ලේ ඉසිමින්+ මෙසේ කීවේය. “ඔබ දැන් සවන් දුන් සෑම වචනයක්ම පැවැත්වීමට ඔබ පොරොන්දු වුණා. එම පොරොන්දුවට එකඟව යෙහෝවා දෙවි ඔබ සමඟ ඇති කරගත් ගිවිසුම මේ ලේ මාර්ගයෙන් ස්ථිර වෙයි.”+  පසුව ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටි වැඩිමහල්ලන් සැත්තෑදෙනෙකු සමඟ මෝසෙස්, ආරොන්, නාදාබ් හා අබිහු කන්දට නඟින්න පටන්ගත්තෝය. 10  ඔවුහු ඊශ්‍රායෙල්හි දෙවිව දර්ශනයකින් දුටුවෝය.+ දෙවිගේ පාද යට නීල මාණික්‍යවලින් සෑදූ වේදිකාවක් වැනි යමක් දක්නට තිබිණ. එය පැහැදිලි නිල් අහස්තලය මෙන් විය.+ 11  දෙවි ඊශ්‍රායෙල් ජනයාගේ ප්‍රධානීන්ට විරුද්ධව කිසිවක් කළේ නැත.+ ඔවුන් සැබෑ දෙවිව දුටුවේ+ කමින් බොමින් සිටියදීය.+ 12  යෙහෝවා දෙවි නැවත මෝසෙස්ට මෙසේ කීවේය. “කන්ද මුදුනට නැඟ මා ළඟට එන්න. මගේ නීති හා ආඥා සෙනඟට උගන්වන පිණිස මම ඒවා ගල් පුවරු මත ලියා ඔබට දෙන්නෙමි.”+ 13  ඉන්පසු මෝසෙස් හා ඔහුගේ සේවකයා වන යොෂුවා, සැබෑ දෙවි සිටි කඳු මුදුනට නඟින්න පටන්ගත්තෝය.+ 14  මෝසෙස් පිටත්ව යෑමට පෙර වැඩිමහල්ලන්ට මෙසේ කීවේය. “ඔබ අපි එන තුරු මෙතැනට වී බලා සිටින්න.+ ආරොන් හා හූර්+ ඔබ සමඟ සිටීවි. යම් නඩුවක් විසඳාගැනීමට තිබේ නම් ඔවුන් දෙදෙනා ළඟට යන්න.”+ 15  මෝසෙස් කඳු මුදුනට යෑමට පිටත් වූ අවස්ථාවේදී වලාකුළෙන් කන්ද වැසී තිබිණ.+ 16  යෙහෝවා දෙවිගේ තේජස+ සීනයි කන්ද+ මත දිස් වෙමින් තිබූ අතර දවස් හයක් පුරාම එය වලාකුළෙන් වැසී තිබිණ. හත්වෙනි දවසේදී දෙවි වලාකුළේ සිට+ මෝසෙස්ට කතා කළේය. 17  කඳු මුදුනේ බුරබුරා නඟින ගින්නක් මෙන්+ යෙහෝවා දෙවිගේ තේජස ඊශ්‍රායෙල් සෙනඟ දුටුවෝය. 18  ඒ අවස්ථාවේදී මෝසෙස් වලාකුළ තුළට ගියේය.+ ඔහු දහවල් හතළිහක්ද රාත්‍රි හතළිහක්ද කන්දෙහි සිටියේය.+

පාදසටහන්