Skip to content

පටුනට යන්න

ප්‍රතිසංස්කරණවලට වඩා හොඳ දෙයක්

ප්‍රතිසංස්කරණවලට වඩා හොඳ දෙයක්

ප්‍රතිසංස්කරණවලට වඩා හොඳ දෙයක්

යම් ගසක හටගන්නේ කිසිම ප්‍රයෝජනයක් නැති පල නම්, ඊට විසඳුම වන්නේ එම ගසේ අතු කිහිපයක් කපා දැමීම නොවේ. කළ යුත්තේ එම ගස කපා, එය මුල්වලින්ම උදුරා දැමීමෙන් පසු හොඳ පල දරන වෙනත් ගසක් සිටවීමයි.—මතෙව් 7:16-20.

ඒ හා සමානව, යහපත් අරමුණු පෙරදැරි කරගෙන කටයුතු කරන ප්‍රතිසංස්කරණවාදීන් පවා විසඳීමට තැත් කරන්නේ දූෂණය, අයුක්තිය, දුගීබව හා සොරකම වැනි සමාජයේ පවතින වැරදිවල බාහිරින් දැකිය හැකි රෝග ලක්ෂණ පමණයි. කෙසේවෙතත් එම ගැටලුවලට මූලික හේතුව අප සිතනවාට වඩා ගැඹුරට මුල් බැස ඇත. වෙනස් කළ යුත්තේ සමස්ත සමාජ ක්‍රමයයි. මෙවන් වෙනසක් කරන බවට බයිබලයෙහි පොරොන්දු කර ඇත.

දේවරාජ්‍යය ස්වර්ගයේ පිහිටුවා තිබෙන ආණ්ඩුවකි. මෙමගින් සමාජයේ යම් දේවල් යළි සකස් කිරීම හෝ ප්‍රතිසංවිධානය කිරීම හෝ වෙනස්කම්වලට ලක් කිරීම වැනි දේවලට වඩා වැඩි යමක් කරයි. මුළු මනුෂ්‍ය වර්ගයාවම එක්සත් කරවමින් මිනිසුන්ගේ කටයුතු මෙහෙයවනු ලබන සම්පූර්ණයෙන්ම අලුත් ක්‍රමයක් මෙම ආණ්ඩුව මගින් හඳුන්වා දෙනු ලබනවා ඇත. මෙම ආණ්ඩුව අධ්‍යාපනය, රැකියා, නිවාස, පෝෂණය, සෞඛ්‍යය හා පරිසරය වැනි ක්ෂේත්‍රවල කිසිදු ගැටලුවක් ඇතිවීමට ඉඩ නොතබනු ඇත.

මෙසියානු රාජ්‍යයේ රජ මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් කිරීමට නියමිත දෙය, අනාවැකියක් ලෙස ගීතාවලිය 72:12-14හි මෙසේ විස්තර කරයි. “ඔහු මොරගසන දිලිඳාද උපකාරකාරයෙක් නැති දුප්පතාද මුදාහරින්නේය. ඔහු දුප්පතුන් සහ දිලිඳුන් කෙරෙහි අනුකම්පා කරන්නේය. දිලිඳුන්ගේ ප්‍රාණයන් ගලවන්නේය. ඔහු ඔවුන්ගේ ප්‍රාණය පීඩාවෙන්ද බලාත්කාරයෙන්ද මුදන්නේය.”

එහෙත් දූෂණය, අයුක්තිය, දුගීකම යනාදිය සමාජයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න නම් ආණ්ඩුව පමණක් නොව මිනිසුන්ද වෙනස් වීම අවශ්‍ය වනු ඇත. එමනිසා දේවරාජ්‍යය මගින් සෑම කෙනෙකුටම ප්‍රීතිමත්, අර්ථවත් හා තෘප්තිමත් ජීවිතයක් ගත කරන ආකාරය ගැන පෞද්ගලිකව මඟ පෙන්වීම් ලබා දෙනු ඇත. දේවරාජ්‍යය මගින් එහි යටත්වැසියන්ට සිය කැමැත්තෙන්ම වෙනස්කම් කරගැනීමට උපකාර කරන බවට බයිබලයෙහි පොරොන්දු වී තිබේ. මෙවැනි දෙයක් සිදු වන්නේ කෙසේද?

මෙම රාජ්‍යය මගින් යෙහෝවා දෙවිගේ මාර්ග ගැන එහි යටත්වැසියන්ව දැනුවත් කරනු ඇත. මෙහි ප්‍රතිඵලයක් හැටියට ඔහු කෙරෙහි තිබෙන ඔවුන්ගේ ඇදහිල්ල හා ප්‍රේමය වර්ධනය වේ. (යෙසායා 11:9) දෙවිට තිබෙන ප්‍රේමය මගින් යමෙකුගේ සිත ක්‍රියාවට පෙලඹේ. මේ සම්බන්ධයෙන් නිදසුනක් සලකා බලන්න. මිනිසුන්ගේ බදු මුදල් වංචා කර, තමන්ගේ සාක්කුව පුරවාගනිමින් සිටි අයබදු අය කරන ප්‍රධානියෙකු වූ සකෙවුස්ව යේසුස්ට මුණගැසුණේය. මේ දූෂිත නිලධාරියා තුළ වෙනසක් ඇති කිරීමට යේසුස් තැත් කළේ ඔහුව ලජ්ජාවට පත් කරමින් නොවේ. සකෙවුස්ට ඔහුගේ වරද තේරුම්ගෙන, පසුතැවීමට යේසුස් උපකාර කළේය. සකෙවුස්ට දේවප්‍රතිපත්ති පිළිබඳව ලැබුණු නිවැරදි දැනුම හා දෙවි කෙරෙහි ඇති වූ ප්‍රේමය නිසා හරි දෙය කිරීමට ඔහු පෙලඹුණේය. එමෙන්ම ඔහු සිය ජීවිතයේ විශාල වෙනස්කම් කළේය.—ලූක් 19:1-10.

මෙය සමාජයේ තිබෙන අඩු පාඩුකම්වලට වඩාත් උසස් පිළියමක් නොවේද? මේ සඳහා ඇති පිළියම වන්නේ මිනිසාගේ කටයුතු කෙරෙහි නිසි සැලකිල්ලක් දක්වන්නාවූද, තමන් තුළ වෙනස්කම් ඇති කරගැනීමට සිය කැමැත්තෙන්ම පෙලඹෙන යටත්වැසියන් සිටින්නාවූද පරිපූර්ණ, ධර්මිෂ්ඨ ආණ්ඩුවකි. මෙවන් ආණ්ඩුවක් පවතින කාලයකදී අපට ප්‍රතිසංස්කරණයන් අවශ්‍ය වනු ඇද්ද? දෙවි සෑම දෙයක්ම අලුත් කර තිබෙනු ඇති නිසා ප්‍රතිසංස්කරණයන් තවදුරටත් අවශ්‍ය නොවනු ඇත. පළමු දේවල් පහව ගොස් තිබෙනු ඇත.—එළිදරව් 21:4, 5.

[10වන පිටුවේ පින්තූර]

දේවරාජ්‍යය මගින් සිදු කරනු ලබන්නේ ප්‍රතිසංස්කරණයක් නොව, සම්පූර්ණ වෙනසකි

[11වන පිටුවේ පින්තූරය]

යේසුස් පොළොවේ සිටි කාලයේදී මිනිසුන්ට තමන්ගේ ජීවිතවල වෙනස්කම් කරගැනීමට පෞද්ගලිකව උපකාර කළේය