ක්‍රියා 3:1-26

3  දිනක් පේතෘස් සහ යොහන් යාච්ඤා කිරීම සඳහා වෙන් කළ පැය වන නවවෙනි පැයේදී*+ දේවමාලිගාවට ගියෝය.  මේ අතර උපන් දා සිට කොරව සිටි මිනිසෙකුව+ එක්තරා පිරිසක් විසින් උසුලාගෙන එනු ලැබීය. ඔවුහු ඔහුව දිනපතා එසේ උසුලාගෙන ඇවිත් දේවමාලිගාවේ අලංකාර දොරටුව+ ලෙස හැඳින්වූ දොරටුව අසල තැබුවෝය. එහිදී ඔහු දේවමාලිගාවට ඇතුල් වෙමින් සිටි අයගෙන් සිඟමන්* ඉල්ලීමට පුරුදු වී සිටියේය.+  පේතෘස් සහ යොහන් දේවමාලිගාවට ඇතුල් වන විට තමාට යමක් දෙන්න* කියා ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.+  එවිට ඔහු දෙස හොඳින් බැලූ+ පේතෘස් සහ යොහන්, “අප දිහා බලන්න” කියා ඔහුට කීවේය.  ඔහු, ඔවුන්ගෙන් යමක් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් ඔවුන් දෙස බලාගෙන සිටියේය.  ඒ මොහොතේදී පේතෘස් මෙසේ කීවේය. “රන් රිදී මා ළඟ නැහැ. නමුත් මට තිබෙන දේ ඔබට මම දෙනවා.+ නාසරෙත් නුවරෙන් පැමිණි+ යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් නැඟිට ඇවිදින්න!”+  එසේ කියා පේතෘස් ඔහුගේ දකුණු අත අල්ලා+ ඔහුට නැඟිටින්න උපකාර කළේය. ඒ මොහොතේදීම ඔහුගේ යටි පතුල්ද වළලුකර අස්ථිද සවිමත් විය.+  එවිට ඔහු උඩ පනිමින්+ ඇවිදින්න පටන්ගත්තේය. උඩ පනිමින් ඇවිද ආ ඔහු දෙවිට ප්‍රශංසා කරමින් ඔවුන් සමඟ දේවමාලිගාවට ඇතුල් වූයේය.+  ඔහු ඇවිදින ආකාරයත් දෙවිට ප්‍රශංසා කරමින් සිටින ආකාරයත් සියලුදෙනාගේ අවධානයට ලක් විය.+ 10  මොහු දේවමාලිගාවේ අලංකාර දොරටුව+ අසල ඉඳගෙන සිඟමන්* ඉල්ලමින් සිටි මිනිසා බව හඳුනාගත් ඔවුහු, ඔහුට සිදු වූ දේ ගැන පුදුම වෙමින් ප්‍රීතියෙන් ඉපිල ගියෝය.+ 11  ඒ මිනිසා පේතෘස්ට සහ යොහන්ට යන්න නොදී අල්ලාගෙන සිටියදී පුදුමයට පත් වී සිටි මුළු සෙනඟ සලමොන්ගේ සක්මන් මළුව*+ ලෙස හැඳින්වූ ස්ථානයේ සිටි ඔවුන් වෙතට දුවගෙන ආවෝය. 12  එය දුටු පේතෘස් සෙනඟට මෙසේ කීවේය. “ඊශ්‍රායෙල්වරුනි, ඔබ අප කළ දේ ගැන පුදුම වන්නේ ඇයි? ඔහු ඇවිදින්නේ අපේ බලය නිසාවත් අපේ මහත් භක්තිය නිසාවත් නොවෙයි.+ ඒ නිසා අප දිහා පුදුමයෙන් බලන්න එපා. 13  ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවි වූ+ අපේ මුතුන්මිත්තන්ගේ දෙවි තමන්ගේ සේවකයා+ වන යේසුස්ව දැන් තේජසට පත් කර තිබෙනවා.+ නමුත් මොනවාද ඔබ කළේ? පිලාත් ඔහුව නිදහස් කරන්න තීරණය කළත්+ ඔබ ඔහුව පිලාත් ඉදිරියේම ප්‍රතික්ෂේප කර මිනිසුන්ගේ අතට පාවා දුන්නා.+ 14  ඔබ ඒ ශුද්ධ මෙන්ම ධර්මිෂ්ඨ තැනැත්තාව ප්‍රතික්ෂේප කළා.+ ඔහු වෙනුවට මිනී මරුවෙකුව+ නිදහස් කරන්න කියා ඉල්ලා, 15  ජීවනය ලබා දීමට පත් කර ඇති ප්‍රධාන තැනැත්තාව+ මරණයට පත් කළා. නමුත් දෙවි ඔහුව මරණයෙන් නැවත නැඟිටුවා තිබෙනවා. අපි එයට සාක්ෂිකරුවෝ.+ 16  අපි මේ මිනිසාව සුව කළේ ඔහුගේ නාමයෙනුයි. ඒ කියන්නේ ඔහුගේ නාමය කෙරෙහි අපට තිබෙන විශ්වාසය නිසයි ඔබ දන්නා හඳුනන මේ මිනිසාට සුවයක් ලැබුණේ. ඇත්තෙන්ම ඔබ සියල්ලන් ඉදිරියේ මේ මිනිසාට සම්පූර්ණ සුවයක් ලබා දෙන්න අපට හැකි වුණේ යේසුස් කෙරෙහි අපට තිබෙන විශ්වාසය නිසායි. 17  සහෝදරයෙනි, ඔබේ පාලකයන් මෙන්+ ඔබත් ක්‍රියා කළේ නොදැනුවත්කමින්.+ 18  නමුත් ක්‍රිස්තුස් වධ විඳිය යුතුයි කියා දෙවි සියලු අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් කල්තියාම දැන්වූ දේවල් එලෙසම ඉටු වී තිබෙනවා.+ 19  “දැන් පසුතැවිලි වෙන්න.+ ඔබ ගත කරන ජීවිතය වෙනස් කරගෙන*+ පව්වලට සමාව ලබාගන්න.*+ එසේ කරනවා නම් ඔබට යෙහෝවා දෙවිගෙන් මහත් සහනයක්+ ලැබෙන අතර, 20  ඔහු ඔබ උදෙසා පත් කළ ක්‍රිස්තුස් නම් යේසුස්ව ඔබ වෙනුවෙන් එවයි. 21  පුරාණ කාලයේ විසූ තම ශුද්ධ අනාගතවක්තෘවරුන්ගේ මුවින් දෙවි පැවසූ ලෙස+ සියල්ල නැවත පිහිටුවීමට නියමිත කාලය පැමිණෙන තුරු+ ඔහු ස්වර්ගයේ සිටිය යුතුයි.+ 22  ඇත්තෙන්ම මෝසෙස් මෙසේ පැවසූ ආකාරය ඔබට මතක ඇති. ‘යෙහෝවා දෙවි ඔබේ සහෝදරයන් අතරින් ඔබ උදෙසා මා වැනි අනාගතවක්තෘවරයෙකුව පත් කරයි.+ ඔහු ඔබට පවසන සියල්ලට ඔබ සවන් දිය යුතුයි.+ 23  ඇත්තෙන්ම ඒ අනාගතවක්තෘවරයාට යමෙක් සවන් නොදුන්නොත් ඒ තැනැත්තාව සෙනඟ අතරින් සහමුලින්ම විනාශ කරනු ලබයි.’+ 24  සාමුවෙල් පටන් සෑම අනාගතවක්තෘවරයෙක්ම මේ කාලය ගැන පැහැදිලිව ප්‍රකාශ කළා.+ 25  ඔබ පැවතෙන්නේ+ එදා සිටි එම අනාගතවක්තෘවරුන්ගෙනුයි. දෙවි ඔබේ මුතුන්මිත්තන් සමඟ කළ ගිවිසුමේ සඳහන් පොරොන්දුවල උරුමක්කාරයන් ඔබයි. ඒ අනුව දෙවි ආබ්‍රහම්ට මෙසේ පැවසුවා. ‘ඔබෙන් පැවතෙන තැනැත්තා මාර්ගයෙන් පොළොවේ සියලු පවුල් ආශීර්වාද ලබන්නෝය.’+ 26  දෙවි තම සේවකයාව පත් කළ පසු ඔහුව මුලින්ම එව්වේ ඔබ ළඟටයි.+ එසේ කළේ ඔබ සියලුදෙනාව තම තමන්ගේ දුෂ්ට ක්‍රියාවලින් මුදාගෙන ඔබට ආශීර්වාද ලබා දීම සඳහායි.”

පාදසටහන්

එනම්, ප.ව. 3ට පමණ.
එනම්, දයාවෙන් කරන පරිත්‍යාග.
එනම්, දයාන්විතව යමක් පරිත්‍යාග කරන්න.
එනම්, දයාවෙන් කරන පරිත්‍යාග.
හෝ, “කුලුනුවලින් සෑදුණු විවෘත ප්‍රදේශය.”
මූ.අ., “හැරී.”
එනම්, පව් මකාගන්න.