ද්විතීය කතාව 23:1-25

23  “වෘෂණ කෝෂ තුවාල වී+ ඇති කෙනෙකුට හෝ ලිංගේන්ද්‍රිය කපා ඉවත් කර+ ඇති කෙනෙකුට යෙහෝවා දෙවි ඉදිරියේ රැස් වන සභාව සමඟ එකතු වෙන්න අවසර නැහැ.  “අනාචාරයේ යෙදීමේ ප්‍රතිඵලයක් ලෙස උපන් පුත්‍රයෙකුට+ යෙහෝවා දෙවි ඉදිරියේ රැස් වන සභාව සමඟ එකතු වෙන්න අවසර නැහැ. ඔහුගෙන් පැවතෙන අයගේ දහවන පරම්පරාවට පවා යෙහෝවා දෙවි ඉදිරියේ රැස් වන සභාව සමඟ එකතු විය නොහැකියි.  “කිසිම අම්මොන් ජාතිකයෙකුට හෝ මෝවබ් ජාතිකයෙකුට යෙහෝවා දෙවි ඉදිරියේ රැස් වන සභාව සමඟ එකතු වෙන්න අවසර නැහැ.+ ඔවුන්ගෙන් පැවතෙන අයටද කිසිදා යෙහෝවා දෙවි ඉදිරියේ රැස් වන සභාව සමඟ එකතු වෙන්න අවසර නැහැ. ඔවුන්ගේ දහවන පරම්පරාව දක්වා පවා එසේ කළ නොහැකියි.  මන්ද ඊශ්‍රායෙල් සෙනඟ ඊජිප්තුවෙන් නිදහස් වී ගමන් කරන විට+ ඔවුන් ඊශ්‍රායෙල්වරුන්ට උපකාර කළේවත්+ ඔවුන්ට කෑම බීම ලබා දුන්නේවත් නැහැ. ඒ විතරක් නොවෙයි, ඊශ්‍රායෙල් සෙනඟට ශාප කිරීමට+ මෙසපොතේමියාවේ පෙතෝර් නුවරේ සිටි බෙයොර්ගේ පුත් බාලාම්ව ඔවුන් කුලියට ගත්තා.  නමුත් බාලාම් සෙනඟට ශාප කරන්න උත්සාහ කළ අවස්ථාවේදී යෙහෝවා දෙවි එයට ඉඩ දුන්නේ නැහැ.+ යෙහෝවා දෙවි ඔහු ලවා සෙනඟට ආශීර්වාද කළා.+ යෙහෝවා දෙවි ඒ දේ කළේ ඔබට ප්‍රේම කළ නිසයි.+  ඒ නිසා ඔබ කිසිදාක ඒ ජාතීන්ගේ ශුභසිද්ධිය තකා වැඩ නොකළ යුතුයි. මේ තහනම සදහටම අදාළයි.+  “ඒදොම්වරුන් ඔබේ සහෝදරයන් වන නිසා ඔවුන්ව පිළිකුල් නොකරන්න.+ “ඔබ ඊජිප්තුවරුන්වත් පිළිකුල් නොකළ යුතුයි. මන්ද ඔබ ඔවුන්ගේ දේශයේ විදේශිකයන් ලෙස ජීවත් වුණා.+  ඔවුන්ගෙන් කැමති කෙනෙකුට යෙහෝවා දෙවි ඉදිරියේ රැස් වන සභාව සමඟ එකතු විය හැකියි. නමුත් එසේ කළ හැක්කේ ඔවුන් ඔබ අතරේ පදිංචි වී පරම්පරා තුනක් ගත වූවායින් පසුවයි.  “ඔබ සතුරන්ට විරුද්ධව යුද්ධයකට ගොස් කඳවුරු බැඳගෙන සිටින විට සියලුම නුසුදුසු දේවලින් වැළකී සිටිය යුතුයි.+ 10  කඳවුරේ සිටින පුරුෂයෙකුට රාත්‍රියේදී ශුක්‍රාණු පිට වී අපවිත්‍ර තත්වයකට පත් වුණොත්+ ඔහු කඳවුරෙන් පිටතට යා යුතුයි. ඒ දවසේදී කඳවුරට ඇතුල් වෙන්න ඔහුට අවසර නැහැ.+ 11  සවස් වන විට ඔහු තමන්ගේ ඇඟපත සෝදාගත යුතුයි. ඔහුට නැවතත් කඳවුරට ඇතුල් වෙන්න අවසර ලැබෙන්නේ හිරු බැස ගියායින් පසුවයි.+ 12  කඳවුරේ සිටින අයට මලපහ කිරීම සඳහා වෙනම ස්ථානයක් වෙන් කළ යුතුයි. එම ස්ථානය තිබිය යුත්තේ කඳවුරෙන් පිටතයි. 13  ඔබ මලපහ කිරීමට එම ස්ථානයට යන විට කුඩා ආයුධයක්ද රැගෙන යන්න. එයින් වළක් හාරා එහි මලපහ කරන්න. ඉන්පසු එය පස්වලින් වසා දමන්න.+ 14  ඔබේ දෙවි වන යෙහෝවා ඔබ සමඟ ඔබේ කඳවුරේ සිටින බව නිතරම මතක තබාගන්න.+ ඔහු ඔබව ආරක්ෂා කරමින් ඔබේ සතුරන්ව ඔබේ අතට හසු කර දෙනවා.+ ඒ නිසා ඔබ සියලුදෙනා ශුද්ධව සිටිනවා වගේම කඳවුරත් ශුද්ධව තබාගත යුතුයි.+ ඔබ අතරේ යම් කෙනෙක් නොමනා දෙයක් කරනවා දෙවි දුටුවොත් දෙවි ඔබව සම්පූර්ණයෙන්ම අත්හරියි.+ 15  “දාසයෙක් තමාගේ ස්වාමියාගෙන් පලා ගොස් ඔබ ළඟට පැමිණියොත් නැවතත් ඔහුව තම ස්වාමියාට භාර නොදෙන්න.+ 16  තමාට කැමති ප්‍රදේශයක, කැමති නුවරක, තමන් කැමති කෙනෙකු සමඟ වාසය කරන්න ඔහුට අවසර තිබෙනවා.+ ඔහුට හිරිහැර නොකරන්න.+ 17  “ඊශ්‍රායෙල් ජනයෙනි, ඔබේ දූවරුන්ට දේවාලවල ගණිකාවන් ලෙස හැසිරීමටවත්+ ඔබේ පුතුන්ට මුදලට සමලිංගික සේවනයේ යෙදීමටවත් ඉඩ නොදිය යුතුයි.+ 18  එසේම යම් භාරයක් ඔප්පු කිරීමේ අදහසින් වේශ්‍යාවක් උපයන මුදල්වත්+ සමලිංගික සේවනයේ යෙදෙන පිරිමියෙක්* උපයන මුදල්වත්+ යෙහෝවා දෙවිගේ ගෘහයට නොගෙනා යුතුයි. මන්ද යෙහෝවා දෙවි ඒවා සලකන්නේ ඉතා පිළිකුල්සහගත දේවල් ලෙසයි. 19  “ඔබේ සහෝදරයෙක් මුදල්, ආහාර+ හෝ වෙන යම් දෙයක් ඔබෙන් ණයට ගත්තොත් ඒ සඳහා පොලියක්+ අය කරන්න එපා. 20  විදේශිකයෙක් ඔබෙන් ණයක් ගත්තොත් ඒ සඳහා පොලී අය කරන්න ඔබට අවසර තිබෙනවා.+ නමුත් ඔබේ සහෝදරයෙකුගෙන් නම් පොලී අය කරන්න එපා.+ ඔබ මේ දේවලට කීකරු වුණොත් ඔබට උරුම වන දේශයේ ඔබ කරන සෑම දෙයකටම යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ඔබට නොඅඩුව ලැබෙයි.+ 21  “ඔබ යෙහෝවා දෙවිට භාරයක් වුණොත්+ එය ඉටු කිරීමට ප්‍රමාද නොවන්න.+ ඔබ ඒ භාරය ඉටු කරයි කියා යෙහෝවා දෙවි ඔබෙන් බලාපොරොත්තු වෙනවා. ඔබ එය ඉටු නොකළොත් එය පාපයක් වෙයි.+ 22  නමුත් භාරයක් නොවී සිටීම පාපයක් නොවෙයි.+ 23  ඔබේ දෙවි වන යෙහෝවාට ඔබ භාරයක් වුණොත් එය කඩ නොකළ යුතුයි.+ ඔබේ කැමැත්තෙන්ම ඉදිරිපත් වී කළ එම පොරොන්දුව එලෙසම ඉටු කරන්න.+ 24  “ඔබ ඔබේ අසල්වාසියාගේ මිදිවත්තට ගියොත් කැමති මිදි ප්‍රමාණයක් කන්න ඔබට පුළුවන්. නමුත් මිදි කූඩයකට දමා රැගෙන යන්න එපා.+ 25  “ඔබේ අසල්වාසියා වගා කළ කෙතක් මැදින් ඔබ ගමන් කළොත් එහි ඇති පැසුණු ධාන්‍ය කරල් කඩාගෙන කන්න ඔබට පුළුවන්. නමුත් ඔබේ අසල්වාසියා වගා කළ ඒ කෙතේ අස්වැන්න දෑකැත්තකින් නෙළාගන්න ඔබට අවසර නැහැ.+

පාදසටහන්

මූ.අ., “බල්ලෙක්.”