නික්මයාම 20:1-26

20  දෙවි මේ සියලු ආඥා දුන්නේය.+  “ඔබ බැළ මෙහෙවරකම් කළ ඊජිප්තු දේශයෙන් ඔබව පිටතට ගෙනා+ ඔබේ දෙවි වන යෙහෝවා මමය.+  මා හැර වෙන කිසි දෙවි කෙනෙකුට ඔබ නමස්කාර නොකළ යුතුය.+  “රූප සාදා නොගන්න. අහසේ හෝ පොළොවේ හෝ ජලයේ හෝ තිබෙන කිසිම දෙයක හැඩයකට සමාන රූප සාදා නොගන්න.+  ඔබ ඒවා ඉදිරියේ වැඳ නොවැටෙන්න. නමස්කාර නොකරන්න.+ මන්ද යෙහෝවා නම් වූ ඔබේ දෙවි වන මම වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින්නෙමි.+ මට වෛර කරන අයගේ වැරදිවලට ඔවුන්ගේ තුන්වෙනි හා හතරවෙනි පරම්පරා දක්වා මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි.+  නමුත් මට ප්‍රේම කරන, මගේ ආඥා පවත්වන අයගේ පරම්පරා දහස් ගණනකට මම මහත් ප්‍රේමයක්* පෙන්වන්නෙමි.+  “යෙහෝවා යන ඔබේ දෙවිගේ නාමයට අගෞරවයක් ගෙන දෙන ආකාරයෙන් එම නාමය සඳහන් නොකරන්න.+ යෙහෝවා දෙවි වන මම මාගේ නාමයට අපහාස කරන සියලුදෙනාටම අනිවාර්යයෙන්ම දඬුවම් කරන්නෙමි.+  “සබත් දවස ශුද්ධ දවසක් බව මතක තබාගන්න.+  ඔබ දවස් හයක් පුරා වෙහෙස මහන්සි වී වැඩ කරන්න.+ 10  නමුත් හත්වෙනි දවසේදී ඔබේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් සබතක් පවත්වන්න.+ ඔබත් ඔබේ දූපුතුන්වත් ඔබේ දාසදාසීන්වත් ඔබේ සතුන්වත් ඔබේ නුවරේ ජීවත් වන විදේශිකයන්වත් එදින කිසි වැඩක් නොකළ යුතුයි.+ 11  මන්ද යෙහෝවා දෙවි වන මම අහසද පොළොවද මුහුදද ඒවායේ තිබෙන සියල්ලද දවස් හයකින් සාදා+ හත්වෙනි දවසේදී විවේක ගත්තෙමි.+ යෙහෝවා දෙවි සබත් දවසට ආශීර්වාද කර එය ශුද්ධ දවසක් ලෙස වෙන් කර තැබුවේ ඒ නිසාය.+ 12  “ඔබේ දෙවි වන යෙහෝවා ඔබට දෙන දේශයේ ඔබ බොහෝ කාලයක් ජීවත් වන පිණිස+ ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.+ 13  “මිනී නොමරන්න.+ 14  “අනාචාරයේ නොහැසිරෙන්න.*+ 15  “සොරකම් නොකරන්න.+ 16  “වෙනත් කෙනෙකුට විරුද්ධව බොරු සාක්ෂි නොදෙන්න.+ 17  “වෙනත් කෙනෙකුගේ නිවසට ආශා නොකරන්න. වෙනත් කෙනෙකුගේ භාර්යාවට+ හෝ ඔහුගේ දාසයාට හෝ දාසියට හෝ ගවයාට හෝ බූරුවාට හෝ ඔහුට අයිති වෙන ඕනෑම දෙයකට හෝ ආශා නොකරන්න.”+ 18  කන්දෙන් දුම් නඟිනවාත් සමඟම විදුලි කෙටීම් හා ගිගුරුම් හඬ මැද මහා හොරණෑ ශබ්දයක් ඇසුණු විට සෙනඟ භයෙන් වෙවුලුවෝය. එහෙයින් ඔවුහු කන්ද ළඟට නොගියෝය.+ 19  ඔවුහු මෝසෙස්ට මෙසේ කීවෝය. “දෙවි අප සමඟ කෙළින්ම කතා කළොත් අපි මැරෙයි. ඒ නිසා දෙවි කියන දේ ඔබ ඇවිත් අපට කියන්න. අප ඒ අනුව ක්‍රියා කරන්නම්.”+ 20  එවිට මෝසෙස්, “භය වෙන්න එපා. සැබෑ දෙවි ඔබ ඉදිරියට ඇවිත් සිටින්නේ ඔබේ සිත් විමසා බලන්නයි.+ ඒ වගේම ඔහුට විරුද්ධව පව් නොකරන පිණිස ඔබ තුළ දෙවි කෙරෙහි ගරුබියක් ඇති කරන්නයි”+ කියා සෙනඟට කීවේය. 21  එහෙත් ඔවුහු කන්ද ළඟට ආවේ නැත. මෝසෙස් ගන වලාකුළ තිබෙන තැනට ගියේය. සැබෑ දෙවි එහි සිටියේය.+ 22  යෙහෝවා දෙවි තවදුරටත් මෝසෙස්ට මෙසේ කීවේය.+ “ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘මා ඔබ සියලුදෙනාට ස්වර්ගයේ සිට කතා කළ බව ඔබ දැන් දුටුවහුය.+ 23  මා හැර වෙන කිසි දෙවි කෙනෙකුට නමස්කාර නොකරන්න. නමස්කාර කරන පිණිස රන්වලින්වත් රිදීවලින්වත් දේවතා රූප සාදා නොගන්න.+ 24  පස්වලින් මට පූජාසනයක්+ ගොඩනඟා ඒ මත දවන පූජා හා හවුල් පූජා* ඔප්පු කරන්න. ඔබේ එළුවන්, බැටළුවන් හා ගවයන් ඒ මත ඔප්පු කරන්න.+ මාගේ නාමය ප්‍රකාශ කරන පිණිස මා තෝරාගන්නා ඕනෑම ස්ථානයකදී මම ඔබ ළඟ සිට ඔබට ආශීර්වාද කරන්නෙමි.+ 25  ඔබ මට ගල්වලින් පූජාසනයක් ගොඩනඟන්නේ නම් කැපූ ගල්වලින් එය නොසාදන්න. මන්ද ඔබ ආයුධයකින් එය කැපුවොත් පූජාසනය අපවිත්‍ර වන්නේය.+ 26  මාගේ පූජාසනය වෙතට ඔබ නැඟ යන විට ඔබේ නග්නභාවය නොපෙනෙන පිණිස පූජාසනයට යෑම සඳහා පඩි සාදා නොගන්න.’

පාදසටහන්

හෝ, “ළැදි ප්‍රේමයක්.”
මූ.අ., “පරදාර සේවනයේ නොයෙදෙන්න.”
හෝ, “සාම පූජා.” එය ඔප්පු කළ තැනැත්තාත් දෙවිත් අතර සමාදානය තිබූ බව එයින් පෙන්වයි.