නික්මයාම 18:1-27

18  දෙවි, මෝසෙස් වෙනුවෙන්ද තම සෙනඟ වන ඊශ්‍රායෙල් ජාතිය වෙනුවෙන්ද කළ සියලු දේ මෝසෙස්ගේ මාමා වූ මිදියන්හි පූජක යෙත්‍රෝට+ ආරංචි විය. යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා ආකාරයද ඔහුට දැනගන්න ලැබිණ.+  (මේ වන විට මෝසෙස් තම මාමා වන යෙත්‍රෝ වෙතට තම භාර්යාවව යවා තිබිණ.) යෙත්‍රෝ මෝසෙස්ගේ භාර්යාව වන ෂිප්පොරාවද  ඇගේ පුත්‍රයන් දෙදෙනාවද+ කැඳවාගෙන ආවේය. ඇගේ වැඩිමල් පුත්‍රයාගේ නම ගේර්ෂොම්ය.+ ඔහුට එම නම දෙනු ලැබුවේ, “මම මේ දේශයේ ජීවත් වෙන්නේ විදේශිකයෙක් ලෙසයි” කියා මෝසෙස් පැවසූ නිසාය.  ඇගේ දෙවෙනි පුත්‍රයාගේ නම එලියේසර්ය.+ ඔහුට එම නම දුන් අවස්ථාවේදී මෝසෙස් මෙසේ කියා තිබිණ. “මගේ උපකාරකයා වන්නේ මගේ පියාගේ දෙවිය. මාව පාරාවෝගේ අතින් ගලවාගත්තේ ඔහුය.”+  පසුව මෝසෙස්ගේ මාමා වන යෙත්‍රෝද මෝසෙස්ගේ පුතුන් දෙදෙනා හා ඔහුගේ භාර්යාවද පාළුකරයේ ඔහු කඳවුරු බැඳගෙන සිටි ස්ථානය අසලට පැමිණියෝය. මෝසෙස් කඳවුරු බැඳගෙන සිටියේ සැබෑ දෙවිගේ කන්ද+ අසලය.  යෙත්‍රෝ+ මෝසෙස්ට පණිවිඩයක් යවා මෙසේ දැන්වීය. “ඔබේ භාර්යාව හා පුතුන් දෙදෙනා සමඟ මම ඔබව බලන්න ඇවිත් සිටිනවා.”  එය ඇසූ විගස මෝසෙස් තම මාමාව හමු වීමට ගියේය. ඔහු හිස නමා යෙත්‍රෝට ආචාර කර ඔහුව සිපගත්තේය.+ ඉන්පසු ඔවුහු එකිනෙකාගෙන් සැප දුක් විමසා කූඩාරම ඇතුළට ගියෝය.  යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් සෙනඟව ගලවාගැනීමට පාරාවෝට හා ඊජිප්තු සෙනඟට කළ සියල්ල මෝසෙස් තම මාමා වන යෙත්‍රෝට විස්තර කළේය.+ ගමන අතරතුරේදී ඔවුන්ට මුහුණ දීමට සිදු වූ සියලු දුෂ්කරතා+ ගැනද යෙහෝවා දෙවි ඔවුන්ව ගලවාගත් ආකාරය+ ගැනද මෝසෙස් ඔහුට කීවේය.  යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් සෙනඟව ඊජිප්තුවරුන්ගේ අතින් බේරාගෙන ඔවුන් වෙනුවෙන් කළ සියලු යහපත්කම් ගැන ඇසූ විට යෙත්‍රෝ ඉතා සතුටු විය.+ 10  ඔහු මෙසේ කීවේය. “ඊජිප්තුවරුන්ගේ හා පාරාවෝගේ අතින් ඔබව ගලවාගත් යෙහෝවා දෙවිට ප්‍රශංසා වේවා!+ 11  සියලු දෙවිවරුන්ට වඩා යෙහෝවා දෙවි උසස්+ බව දැන් මම දන්නවා. ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව උද්ධච්ච ලෙස ක්‍රියා කළ ඊජිප්තුවරුන්ට දෙවි කළ දෙයින් ඒ බව හොඳින් ඔප්පු වුණා.” 12  දෙවිට ඔප්පු කරන පිණිස යාග හා දවන පූජාවක්+ යෙත්‍රෝ ගෙනාවේය. පසුව ආරොන්ද ඊශ්‍රායෙල්හි සියලු වැඩිමහල්ලෝද මෝසෙස්ගේ මාමා සමඟ එකට ඉඳගෙන සැබෑ දෙවි ඉදිරියේ කෑම කෑවෝය.+ 13  පසුවදා මෝසෙස් සුපුරුදු පරිදි සෙනඟගේ නඩු විභාග කිරීම සඳහා හිඳගත්තේය.+ උදෑසන සිට සවස දක්වාම සෙනඟ ඔහු ළඟට ආවෝය. 14  මෝසෙස් සෙනඟ වෙනුවෙන් කළ සියල්ල දැක ඔහුගේ මාමා ඔහුට මෙසේ කීවේය. “ඔබ ඇයි මේ විදිහට නඩු විසඳන්නේ? උදේ සිට හවස් වන තුරු සෙනඟ ඔබ ළඟට එනවා. ඔබ තනියෙන්ම ඔවුන්ගේ නඩු විසඳනවා.” 15  එවිට මෝසෙස් තම මාමාට මෙසේ උත්තර දුන්නේය. “සෙනඟ මා ළඟට එන්නේ යම් යම් කාරණා සම්බන්ධයෙන් දෙවිගේ උපදෙස් ලබාගන්නයි.+ 16  ඔවුන්ට විසඳගන්න නඩුවක්+ තිබුණාම ඔවුන් මා ළඟට එනවා. නඩුවට සම්බන්ධ දෙපිරිසගේම කාරණා ඇසූ පසු මම සැබෑ දෙවිගේ අණපනත් හා ඔහුගේ තීන්දුව ඔවුන්ට දන්වනවා.”+ 17  එය අසා මෝසෙස්ගේ මාමා ඔහුට මෙසේ කීවේය. “ඔබ කටයුතු කරන ආකාරය එතරම් සාර්ථක නැහැ. 18  ඔබ මෙලෙස දිගටම කළොත් ඔබත් ඔබ ළඟ සිටින සෙනඟත් හොඳටම හෙම්බත් වෙයි.+ කාගෙන් හෝ උදව්වක් නොමැතිව මේ කටයුතු සියල්ල ඔබට තනියෙන් කරන්න බැහැ.+ 19  දැන් මා කියන දේ අසන්න.+ මේ කාර්යය කරන්න ඕන විදිහ මම ඔබට කියා දෙන්නම්. දෙවි ඔබේ උපකාරයට ඉන්නවා+ කියා මට විශ්වාසයි. ඔබ සෙනඟ ඉදිරියේ සැබෑ දෙවිගේ නියෝජිතයා ලෙස කටයුතු කරන්න.+ ඔබ ළඟට නඩුවක් ගෙනා විට ඔබ ඒ ගැන සැබෑ දෙවිට දන්වන්න.+ 20  සෙනඟ පිළිපැදිය යුතු නීති හා පනත් ඔබ ඔවුන්ට දන්වන්න.+ ඔවුන් ජීවත් විය යුතු ආකාරය ගැනත් ඔවුන් ක්‍රියා කළ යුත්තේ කෙසේද කියාත් ඔවුන්ට කියා දෙන්න.+ 21  ඔබ මුළු සෙනඟ අතරින් වගකීම් දැරිය හැකි පුරුෂයන් කිහිපදෙනෙකුව තෝරාගන්න.+ ඔබ තෝරාගත් පුරුෂයන් අයුතු ලෙස ලාභ ප්‍රයෝජන ගැනීම පිළිකුල් කරන,+ දෙවිට ගරුබිය දක්වන,+ විශ්වාසවන්ත අය+ විය යුතුයි. සෙනඟව දහසක්, සියයක්, පනහක් හා දහයක් බැගින් වූ කණ්ඩායම්වලට+ වෙන් කර ඔවුන්ව බලාගැනීම සඳහා ඒ පුරුෂයන්ව+ පත් කරන්න. 22  එවිට සෙනඟගේ එදිනෙදා කාරණා ඔවුන්ට විභාග කළ හැකියි. නමුත් විනිශ්චය කිරීමට අමාරු නඩු ඔවුන් ඔබ වෙතට ගෙනා යුතුයි.+ සුළු සුළු නඩු ඔවුන්ට තනියෙන් විසඳිය හැකියි. ඔබේ වැඩේ වඩාත් පහසු කරගැනීමට ඔබේ වගකීම ඔවුන් සමඟ බෙදාගන්න.+ 23  මම කියන විදිහට කළොත් මේ කාර්යය සාර්ථකව කරගැනීමට ඔබට හැකි වෙයි. සෙනඟද සමාදානයෙන් තම තමන්ගේ නිවෙස්වලට යයි.+ දෙවිත් මා කියන දේට එකඟ වෙයි.” 24  මෝසෙස් ඒ මොහොතේදීම තම මාමාගේ උපදෙස් පිළිගෙන ඒ අනුව ක්‍රියා කළේය.+ 25  ඔහු ඊශ්‍රායෙල් සෙනඟ අතරින් වගකීම් දැරිය හැකි පුරුෂයන්ව තෝරාගත්තේය. පසුව ඔහු දහසක්, සියයක්, පනහක් හා දහයක් බැගින් වූ කණ්ඩායම්වලට සෙනඟව වෙන් කර ඔවුන්ව බලාගැනීමට තෝරාගත් පුරුෂයන්ව පත් කළේය.+ 26  සෙනඟගේ එදිනෙදා කාරණා හා සුළු සුළු නඩු ඔවුහු තනිව විභාග කර විසඳුවෝය. නමුත් විනිශ්චය කිරීමට අමාරු නඩු ඔවුහු මෝසෙස් වෙත ගෙන ආවෝය.+ 27  මෝසෙස්ගේ මාමා තමාගේ දේශයට පිටත්ව ගියේය.+

පාදසටහන්