මාක් 5:1-43

5  ඔවුහු ගලීල මුහුදෙන් එගොඩ වී ගෙරසීනයන්ගේ පළාතට ගියහ.+  ඔහු ඔරුවෙන් බැස ආ විගස සොහොන් ගෙවල් අතර ගැවසුණු මිනිසෙක් ඔහු ළඟට පැමිණියේය. ඒ මිනිසාට භූතයෙකු ආවේශ වී තිබිණ.+  ඔහු නිතරම පාහේ ගැවසුණේ සොහොන් ගෙවල් අතරය. මේ දක්වා ඔහුව දම්වැල්වලින් වුවත් බැඳ මෙල්ල කරගැනීමට කිසිවෙකුට නොහැකි විය.  මන්ද බොහෝ වර විලංගු යොදා දම්වැල්වලින් ඔහුව බඳිනු ලැබුවත් ඔහු දම්වැල් කඩා දමා, විලංගු සුනුවිසුනු කර දැමුවේය. කිසි කෙනෙකුට ඔහුව මෙල්ල කරන්න ශක්තියක් නොතිබිණ.  දිවා රෑ දෙකෙහිම නොකඩවා මොරගසමින් සිටි මේ මිනිසා ගල්වලින් තමාගේ සිරුර කපාගනිමින් සොහොන් ගෙවල්වලත් කඳුවලත් ගැවසෙමින් සිටියේය.  නමුත් ඈතක සිට යේසුස්ව දුටු ඔහු දුවගෙන ඇවිත් ඔහුගේ පාමුල දණින් වැටුණේය.  ඔහු මහත් හඬකින් මොරගසා,+ “මහෝත්තම දෙවිගේ පුත් යේසුස්,+ ඔබ හා මා අතර කිසිම ගනු දෙනුවක් නැහැ. මට වධ දෙන්නේ නැහැ කියා+ දෙවිගේ නාමයෙන් මට දිවුරන්න”+ කියා කීවේය.  ඔහු එසේ කීවේ, “මේ මිනිසාගෙන් පිටතට එන්න”+ කියා යේසුස් එම භූතයාට පැවසූ නිසාය.  යේසුස්, “ඔබේ නම මොකක්ද” කියා ඔහුගෙන් ඇසුවේය. එවිට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. “බොහෝදෙනෙක් සිටින නිසා+ අපිට කියන්නේ සේනාංකය+ කියලයි.” 10  එමෙන්ම ඔහු කිහිප වතාවක්ම බැගෑපත් වෙමින් යේසුස්ගෙන් ඉල්ලුවේ එම භූතයන්ව මේ ප්‍රදේශයෙන් පිට නොකරන ලෙසයි.+ 11  මේ අතරතුර එක්තරා කන්දක විශාල ඌරු රැළක්+ කෑම කමින් සිටියහ.+ 12  එහෙයින් ඔවුහු, “ඒ ඌරු රැළට වැහෙන්න අපට ඉඩ දෙන්න” කියා ඔහුගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියහ. 13  ඔහු ඔවුන්ට ඒ සඳහා අවසර දුන් විට ඒ භූතයෝ මිනිසාගෙන් පිටතට ඇවිත් ඌරන්ට වැහුණෝය. දෙදහසක් පමණ වූ ඒ ඌරු රැළ වේගයෙන් දුව ගොස් එකා පිට එකා ප්‍රපාතයකින් වැටී දියේ ගිලී මිය ගියෝය.+ 14  එවිට එම රැළ රැකබලා ගත් අය දුව ගොස් නුවරේ වැසියන්ටත් පිටිසර පළාත්වල සිටි අයටත් සිදු වූ දේ ගැන දැනුම් දුන්නෝය. සිදු වූ දේ කුමක්දැයි බැලීමට මිනිස්සු පැමිණියහ.+ 15  ඔවුහු යේසුස් ළඟට පැමිණි විට භූතයන් ආවේශ වූ මිනිසා එනම්, භූතයන් සේනාංකය වැහී සිටි ඒ මිනිසා ඇඳුම් ඇඳගෙන හොඳ සිහිකල්පනාව ඇතුව ඉඳගෙන සිටිනවා දැක බිය වූහ. 16  එම සිද්ධිය දුටු අය භූතයන් ආවේශ වී සිටි ඒ මිනිසා සුව වූ ආකාරය ගැනත් ඌරන්ට සිදු වූ දේ ගැනත් ඔවුන්ට විස්තර කළෝය. 17  එවිට ඔවුහු තම ප්‍රදේශවලින් පිටත් වී යන ලෙස ඔහුගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියහ.+ 18  එතැනින් පිටත් වීමට යේසුස් ඔරුවට නඟිනවාත් සමඟම කලින් භූතයන් ආවේශ වී සිටි මිනිසා, තමාටත් ඔහු සමඟ එන්න ඉඩ දෙන්න කියා ඔහුගෙන් බැගෑපත්ව ඉල්ලුවේය.+ 19  නමුත් යේසුස් ඊට ඉඩ නොදී, “ඔබේ ගෙදර ගිහින්, යෙහෝවා දෙවි ඔබ වෙනුවෙන් කළ සියලු දේ+ ගැනත් ඔහු ඔබට පෙන්වූ දයාව+ ගැනත් ඔබේ නෑදෑයන්ට කියන්න”+ කියා කීවේය. 20  එවිට ඔහු එතැනින් පිටත් වී, යේසුස් තමන් වෙනුවෙන් කළ සියල්ල ගැන නුවරවල් දසයකින් යුත් දෙකපොලිසය+ පුරාම ප්‍රකාශ කරන්න පටන්ගත්තේය. එය ඇසූ සියලුදෙනාම පුදුම වූහ.+ 21  යේසුස් නැවතත් ඔරුවෙන් එගොඩට ගිය විට මහත් සමූහයක් වෙරළෙහි සිටි ඔහුව හමු වීමට රැස් වූහ.+ 22  එවිට සිනගෝගයේ සේවය කළ නිලධාරියෙකු වූ යායිරස් නම් තැනැත්තෙක් ඇවිත් ඔහුව දැක ඔහුගේ පාමුල වැටී,+ 23  “මගේ චූටි දුව දරුණු අසනීපයකින් පෙළෙනවා. අනේ ඔබට පුළුවන්ද ඇවිත් ඇය පිට ඔබේ අත තියන්න.+ එවිට ඇයට සුවය ලැබිලා ඇය ජීවත් වෙයි”+ කියා බොහෝ වර ඔහුගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියේය. 24  එවිට යේසුස් ඔහු සමඟ ගියේය. විශාල සෙනඟක් තෙරපෙමින් ඔහු පසුපස ගියහ.+ 25  මේ අතර අවුරුදු දොළහක් පුරා+ ලේ ගැලීමක්+ නිසා රෝගී වූ ස්ත්‍රියක් සිටියාය. 26  මේ වන විට ඇය බොහෝ වෛද්‍යවරුන්ගෙන්+ ප්‍රතිකාර ලබා තිබිණ. ඇය සතු සෑම දෙයක්ම වියදම් කර තිබුණේ ඒ අසනීපය වෙනුවෙනි. නමුත් එයින් සුවය ලබනවා වෙනුවට බොහෝ සෙයින් ඇය දුක් වින්ද අතර ඇගේ තත්වය තවත් දරුණු අතට හැරී තිබිණ. 27  ඇයට යේසුස් ගැන ආරංචි වූ විට ඇය සමූහයා මැදින් ඔහුගේ පිටුපසින් ඇවිත් ඔහුගේ වස්ත්‍රය ඇල්ලුවාය.+ 28  මන්ද “ඔහුගේ වස්ත්‍රය ඇල්ලුවත් ඇති. ඒකෙන් මාව සුව වෙයි”+ කියා ඇය නිරතුරුව සිතුවාය. 29  ඒ මොහොතේදීම ඇගේ ලේ ගැලීම නතර වූ අතර ඒ බරපතළ රෝගයෙන් තමන් සුව වූ බව ඇයට දැනිණ.+ 30  යේසුස්ද ඒ මොහොතේදී තමන්ගෙන් ශක්තිය+ පිට වූ බව තේරුම්ගත්තේය. එහෙයින් සමූහයාගෙන් වට වී සිටි ඔහු පිටුපසට හැරී, “මාගේ වස්ත්‍රය ඇල්ලුවේ කවුද”+ කියා ඇසුවේය. 31  එවිට ඔහුගේ ගෝලයෝ, “අප මෙතන ඉන්නේ හොඳටම තෙරපෙමින් කියලා ඔබට පෙනෙනවා නේද?+ ඉතින් ‘මාව ඇල්ලුවේ කවුද’ කියා ඔබ අහන්නේ ඇයි” කියා ඔහුගෙන් ඇසූහ. 32  කෙසේවෙතත් ඒ දේ කළ තැනැත්තියව දැකගැනීම සඳහා ඔහු වටපිට බලමින් සිටියේය. 33  එවිට තමන්ට සිදු වූ දේ හොඳින්ම දැනගත් ස්ත්‍රිය භයින් වෙවුලමින් ඔහු ළඟට ඇවිත් දණින් වැටී, කිසිවක් නොසඟවා ඇත්ත කීවාය.+ 34  ඔහු ඇයට මෙසේ පැවසුවේය. “දුවේ, ඔබ සුව වුණේ ඔබ තුළ තිබෙන විශ්වාසය නිසයි. සමාදානයෙන් යන්න.+ ඔබේ බරපතළ රෝගය දැන් සුව වෙලා.”+ 35  ඔහු කතා කරමින් සිටියදීම, සිනගෝගයේ සේවය කළ ප්‍රධාන නිලධාරියාගේ ගෙදරින් කිහිපදෙනෙක් ඇවිත්, “ගුරුතුමාට තවත් කරදර කරන්න එපා. ඔබේ දුව මිය ගියා” කියා කීවෝය.+ 36  ඔවුන් පැවසූ දේ යේසුස්ට ඇසී, “භය වෙන්න එපා. ඔබේ විශ්වාසය නැති කරගන්නත් එපා”+ කියා සිනගෝගයේ නිලධාරියාට කීවේය. 37  ඔහු පේතෘස්ට, යාකොබ්ට සහ යාකොබ්ගේ සහෝදරයා වූ යොහන්ට හැර වෙන කිසිවෙකුට තමන් සමඟ එන්න ඉඩ නොදුන්නේය.+ 38  ඔවුහු සිනගෝගයේ නිලධාරියාගේ ගෙදරට පැමිණියහ. එවිට ඔහු දුටුවේ බොහෝදෙනෙකු කලබල වී ඝෝෂා කරන ආකාරයයි. ඒ අතර සමහරු හඬමින් සහ බොහෝ සෙයින් වැලපෙමින් සිටියෝය. 39  ඔහු නිවසට ඇතුල් වූ විට, “ඔබ කලබල වී ඝෝෂා කරන්නෙත් හඬන්නෙත් ඇයි? කුඩා දැරිය මිය ගිහින් නැහැ. ඇය නිදාගෙන සිටිනවා විතරයි” කියා ඔවුන්ට කීවේය.+ 40  එවිට ඔවුහු උපහාසාත්මක ලෙස ඔහුට සිනාසුණෝය. නමුත් ඔහු ඒ සියල්ලන්වම එතැනින් පිටත් කර, කුඩා දැරියගේ පියාද මවද තමන් සමඟ සිටි අයවද කැඳවාගෙන කුඩා දැරිය සිටි තැනට ඇතුල් වූයේය.+ 41  ඔහු කුඩා දැරියගේ අත ගෙන, “තලිතා කූමි” කියා කීවේය. එහි අර්ථය නම්, “දුවේ, දැන් නැඟිටින්න” කියායි.+ 42  දොළොස් හැවිරිදි ඒ දැරිය ඒ මොහොතේදීම නැඟිට ඇවිදින්න පටන්ගත්තාය. එය දුටු විගස දෙමාපියෝ ඉමහත් ප්‍රීතියකින් ඉපිල ගියෝය.+ 43  දැරියට කෑමට යමක් දෙන ලෙස පැවසූ ඔහු, සිදු වූ දේ ගැන කිසිවෙකුට දැනගැනීමට ඉඩ නොතබන ලෙස කිහිප වරක්ම ඔවුන්ට අවවාද කළේය.+

පාදසටහන්