Skip to content

පටුනට යන්න

දෙවි ලබා දෙන ගැලවීම අත ළඟයි

දෙවි ලබා දෙන ගැලවීම අත ළඟයි

දෙවි ලබා දෙන ගැලවීම අත ළඟයි

“ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා.”—මතෙ. 6:10.

1. යේසුස් ප්‍රධාන වශයෙන් ඉගැන්වූයේ කුමක් ගැනද?

යේසුස් ක්‍රිස්තුස් කන්ද උඩ දේශනාවේදී තම ගෝලයන්ට ආදර්ශ යාච්ඤාව උගන්වද්දී තම සේවයේ ප්‍රධාන විෂය කුමක්ද කියා පෙන්වා දෙමින් පැවසුවේ “ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා” කියායි. (මතෙ. 6:9-13) ඒ අනුව යේසුස් කළේ “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරමින්ද ප්‍රකාශ කරමින්ද නුවරින් නුවරටත් ගමින් ගමටත් ගමන්” කිරීමයි. (ලූක් 8:1) ඔහු තම ගෝලයන්ටද උනන්දු කළේ “පළමුකොට රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද නොකඩවාම සොයන්න” කියායි. (මතෙ. 6:33) එසේනම් දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීම කොතරම් වැදගත්ද? දේවරාජ්‍යය තුළින් ඉටු වන්නේ කුමක්ද? දේවරාජ්‍යය මිනිස් වර්ගයාට ගැලවීම ලබා දෙන්නේ කුමකින්ද? ඔබ මේ ලිපිය අධ්‍යයනය කරන අතරතුර මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයාගෙන, ඒවා දේවසේවයේදී යොදාගත හැකි ආකාරය සලකා බලන්න.

2. දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීම කොතරම් වැදගත්ද?

2 දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචියේ ඇති වැදගත්කම යේසුස් කාවැද්දුවේ “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය. එවිට අවසානය පැමිණෙන්නේය” කියා පවසමිනුයි. (මතෙ. 24:14) මේ ශුභාරංචිය කොතරම් වැදගත්ද කියා කියනවා නම් එය ලොව පුරා දේශනා කළ යුතුයි. එය තේරුම්ගෙන සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මිලියන හතකට ආසන්න පිරිසක් ලොව පුරා සභා 1,00,000කට අධික සංඛ්‍යාවක මෙම කාර්යය කරමින් සිටිනවා. දේවරාජ්‍යය ස්වර්ගයේ පිහිටුවා ඇති බවට වූ ශුභාරංචිය ඔවුන් ප්‍රකාශ කරනවා. එය ශුභාරංචියක් වන්නේ එමගින් ළඟදීම මේ පොළොව පාලනය කරන්න යන නිසයි. එවිට දෙවිගේ කැමැත්ත ස්වර්ගයේ වගේම මේ පොළොවේද ඉටු වෙනවා.

3, 4. දෙවිගේ කැමැත්ත පොළොවේ සිදු වෙද්දී ලැබෙන ආශීර්වාද මොනවාද?

3 දෙවිගේ කැමැත්ත පොළොවේ ඉටු වෙද්දී මිනිසුන්ට සිදු වන්නේ කුමක්ද? ඒ ගැන බයිබලයේ පවසන්නේ දෙවි “ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය; මරණයද තවත් නොවන්නේය; වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය” කියායි. (එළි. 21:4) මින් අදහස් කරන්නේ නැවත කිසිදාක මිනිසුන් පාපය නිසා අසනීප වී මිය යන්නේ නැති බවයි. මිය ගියත් නැවත ජීවත් වීමේ අවස්ථාවත් දෙවි ලබා දෙනවා. ඒ ගැන බයිබලයේ පවසන්නේ “ධර්මිෂ්ඨ සහ අධර්මිෂ්ඨ යන දෙපිරිසගේම නැවත නැඟිටීමක් තිබෙන්න යන” බවයි. (ක්‍රියා 24:15) ඒ කාලයේදී යුද්ධ, අසනීප, කුසගින්න තවත් නැහැ. දරුණු සතුන් අතරත් සතුන් සහ මිනිසුන් අතරත් සාමය තිබෙනවා.—ගීතා. 46:9; 72:16; යෙසා. 11:6-9; 33:24; ලූක් 23:43.

4 ඒ ප්‍රීතිමත් කාලය ගැන බයිබලය පවසන්නේ මෙසේයි. “නිහතමානි අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී ඇති සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.” දුෂ්ටයන්ට සිදු වන්නේ කුමක්ද? “තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය.” නමුත් “යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන අය පොළොව උරුම කරගන්නෝය.”—ගීතා. 37:9-11, නව ලොව පරිවර්තනයNW.

5. දැන් පවතින සමාජයට සිදු වන්නේ කුමක්ද?

5 මෙම ආශීර්වාද භුක්ති විඳීමට නම් දැන් පවතින පාලන ක්‍රම, ආගම් සහ ව්‍යාපාර ක්‍රම දේවරාජ්‍යය තුළින් ඉවත් කළ යුතුයි. අනාගතවක්තෘ දානියෙල් ඒ ගැන පැවසුවේ මෙසේයි. “ඒ රජුන්ගේ දවස්වලදී [එනම් වත්මන් පාලන පවතින කාලයේදී] ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් [ස්වර්ගයේ] පිහිටුවනු ඇත. එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි. එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් [එනම් දැන් පවතින පාලන] පොඩි කර නැති කර දමයි. එය සදහටම පවතියි.” (දානි. 2:44NW) එවිට අපට “ධර්මිෂ්ඨකම වාසය කරන්නාවූ අලුත් අහසක් [එනම් අලුත් ආණ්ඩුවක්] හා අලුත් පොළොවක් [එනම් අලුත් මිනිස් සමාජයක්]” තුළ ජීවත් විය හැකියි.—2 පේතෘ. 3:13.

දේවරාජ්‍යයේ ඇති අවශ්‍යතාව

6. දුෂ්ට ලෝකය ගැන බයිබලය පවසන්නේ කුමක්ද?

6 සාතන් ඒදන් උයනේදී ආදම් සහ ඒවව දෙවිට විරුද්ධව පෙලඹවූ අවස්ථාවේදී මනුෂ්‍යයන්ගේ විනාශය ආරම්භ වුණා. ඉන් වසර 1,600කට පමණ පසු එනම්, ජලගැල්මට පෙර මිනිසුන්ගේ ක්‍රියා ගැන බයිබලයේ පවසන්නේ ‘මිනිසුන්ගේ දුෂ්ටකම් බහුල බවත් ඔහුගේ සිතේ කල්පනාව නිතරම යොමු වී තිබුණේ නපුරට බවත්ය’ කියායි. (උත්. 6:5NW) ඉන් වසර 1,300කට පමණ පසු පැවති තත්වය ගැන සලමොන් රජ පැවසුවේ “ජීවත් වන කෙනෙකුගේ තත්වයට වඩා මළ කෙනෙකුගේ තත්වය හොඳයයි මම පැවසුවෙමි. නමුත් ඒ දෙගොල්ලන්ටම වඩා නූපන් තැනැත්තාගේ තත්වය හොඳය. මන්ද ඉර යට කලකිරීම ඇති කරන වැඩ ඔවුන් දැක නැත” කියායි. (දේශ. 4:2, 3NW) නමුත් එදා සිට අද වන තුරු අවුරුදු 3,000ක් පමණ ගත වී ඇති අතර අද තත්වය වෙන කවරදාටත් වඩා භයානකයි.

7. වෙන කවරදාකටත් වඩා අද දින දෙවිගේ රාජ්‍යය අවශ්‍ය වන්නේ ඇයි?

7 දුෂ්ටකම දසත පැතිරී ඇති මේ කාලයේදී අපට දෙවිගේ රාජ්‍යයේ අවශ්‍යතාව වැඩියෙන් දැනෙනවා. පසුගිය වසර සියය තුළ ලෝකයේ සිදුවීම් වෙන කවරදාකටත් වඩා දරුණු අතට හැරී තිබෙනවා. මේ ගැන එක් ආයතනයක් වාර්තා කළේ “ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේ සිට වර්ෂ 1899 දක්වා කාලයේදී යුද්ධයට ගොදුරු වූ මිනිසුන් මෙන් තුන් ගුණයක් විසිවෙනි ශතවර්ෂයේ පමණක් සිදු වූ යුද්ධවලින් මිය ගොස් තිබෙනවා” කියායි. (Worldwatch Institute නම් ආයතනය) වර්ෂ 1914 සිට මිලියන සියයකගේ ජීවිත යුද්ධය නිසා නැති වී තිබෙනවා. දෙවන ලෝක යුද්ධයේදී මිනිසුන් මිලියන 60ක් පමණ මිය ගිය බව තවත් වාර්තාවක සඳහන් වෙනවා. දැන් තත්වය ඊට වඩා දරුණුයි. ඊට හේතුව මිනිසුන්ගෙන් විශාල ප්‍රමාණයක් සමූල ඝාතනය කිරීමට හැකි න්‍යෂ්ටික අවි සමහර ආණ්ඩු සතුවීමයි. අද විද්‍යාව සහ වෛද්‍ය ක්ෂේත්‍රය දියුණු තත්වයක පැවතුණත් කුසගින්නෙන් තවමත් වසරකට ළමුන් මිලියන පහක් පමණ පීඩා විඳිනවා.—බයිබල් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු පොතේ නවවෙනි පරිච්ඡේදය බලන්න.

8. මනුෂ්‍ය පාලන තුළින් ඔප්පු වී තිබෙන්නේ කුමක්ද?

8 සියලු ප්‍රශ්න විසඳීමට මිනිසුන් ගත් සියලු වෑයම් නිෂ්ඵල වී තිබෙනවා. දේශපාලනය, ව්‍යාපාර ක්‍රම සහ ආගමික සංවිධාන මිනිසුන්ගේ ප්‍රශ්න විසඳා සාමය හා සෞභාග්‍යය උදා කරනවා වෙනුවට තව තවත් ප්‍රශ්න වැඩි කර තිබෙනවා. මනුෂ්‍ය පාලන ගැන කියා තිබූ මෙම වදන්වල සත්‍යතාව අපට පැහැදිලියි. “මිනිසෙකුට තමන් යා යුතු මාර්ගය කුමක්ද කියා තනිව තීරණය කරන්න අයිතියක් නැති බව මම හොඳින් දනිමි. තම ජීවිත ගමනේ පියවර තබන අයුරු තනිව තීරණය කරන්නද ඔහුට හැකියාවක් නැත.” (යෙරෙ. 10:23NW) ඇත්තෙන්ම “මිනිසා තවත් මිනිසෙකුට හානි වන ලෙස බලය ක්‍රියාත්මක කර ඇත.” (දේශ. 8:9NW) ඒ නිසා “මුළු මැවිල්ලම, මේ දක්වා එක්ව කෙඳිරිගාමින්ද වේදනා විඳිමින්ද සිටින බව” පැහැදිලියි.—රෝම 8:22.

9. “අන්තිම දවස්” ගැන සැබෑ ක්‍රිස්තියානීන් දන්නේ කුමක්ද?

9 වර්තමාන කාලය ගැන බයිබලයේ තවදුරටත් සඳහන් වන්නේ “අන්තිම දවස්වලදී කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක කාලවල්” පැමිණෙන බවයි. මිනිසුන්ගේ ක්‍රියා ගැන සඳහන් කිරීමෙන් පසු පාවුල් මෙසේද පැවසුවා. ‘දුෂ්ට මිනිස්සු හා ප්‍රෝඩාකාරයෝ වඩ වඩාත් නරක් වන්නෝය.’ (2 තිමෝති 3:1-5, 13 කියවන්න.) අප ‘මුළු ලෝකයම දුෂ්ටයා වන සාතන්ගේ බලයට යටත් බව’ දන්නවා. (1 යොහ. 5:19) නමුත් යෙහෝවා දෙවි ඔහුට ප්‍රේම කරන අයව මේ දුෂ්ට ලෝකයෙන් ළඟදීම ගලවාගන්නවා බවද අප දන්න නිසා අපට සතුටු විය හැකියි.

ගැලවීම ලැබීමට එකම මඟ

10. ගැලවීම ලැබිය හැක්කේ යෙහෝවා දෙවිගෙන් පමණක් බව පැවසිය හැක්කේ ඇයි?

10 ඔබ ශුභාරංචිය දේශනා කරද්දී ගැලවීම ලැබිය හැක්කේ යෙහෝවා දෙවිගෙන් පමණක් බව සඳහන් කරන්න. දෙවිට ඔහුගේ සෙනඟව මේ දුෂ්ට ලෝකයෙන් ගලවාගැනීමට බලය තිබෙනවා පමණක් නොව ඒ සඳහා ඔහු ආශාවෙන්ද සිටිනවා. (ක්‍රියා 4:24, 31; එළි. 4:11) දෙවි එසේ කරයි කියා අපට ස්ථිර විය හැක්කේ ඔහු ගැන බයිබලයේ මෙසේ කියා තිබෙන නිසයි. “මම සිතූ දේ ඉටු වෙනවාමයි. මා අරමුණු කළ දේද කරනු ලබනවාමයි.” එමෙන්ම “මා පවසන දේ ඉටු නොවී මා වෙතට නැවත හැරී එන්නේ නැත” කියාද ඔහු පවසා තිබෙනවා.යෙසායා 14:24, 25; 55:10, 11, NW කියවන්න.

11, 12. දෙවි ඔහුගේ සේවකයන්ට දෙන සහතිකය කුමක්ද?

11 දුෂ්ට මිනිසුන්ව විනාශ කරද්දී තම සෙනඟව ගලවාගන්නා බවට යෙහෝවා දෙවි සහතික වී තිබෙනවා. නොඇදහිලිකාර ඊශ්‍රායෙල්වරුන්ට අනාවැකි පවසන්න කියා දෙවි යෙරෙමියාට කියූ විට දෙවි ඔහුට පොරොන්දු වුණේ “භය නොවන්න. ඔබව ගලවාගන්න මම ඔබ සමඟ සිටිමි” කියායි. (යෙරෙ. 1:8NW) එමෙන්ම යෙහෝවා දෙවි සොදොම් සහ ගොමෝරා විනාශ කිරීමට පෙර ලොත් සහ ඔහුගේ පවුලේ අයව බේරාගැනීමට දේවදූතයන් දෙදෙනෙකුව යැව්වා. ඉන්පසුව ‘යෙහෝවා දෙවි අහසින් ගෙන්දගම් සහ ගිනි එම නුවරවල් මත වැටෙන්න සැලැස්සුවා.’—උත්. 19:15, 24, 25NW.

12 මහා පරිමාණ විනාශවලදී පවා දෙවිට තම සෙනඟව ගලවාගන්න පුළුවන්. ඒ බව එවකට පැවති දුෂ්ට සමාජය ජලගැල්මක් මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම විනාශ කරද්දී “ධර්මිෂ්ඨකම ගැන දේශනා කරන්නෙකු වූ නෝවාව තව සත්දෙනෙකු සමඟ ආරක්ෂා” කිරීමෙන් පැහැදිලි වෙනවා. (2 පේතෘ. 2:5) අද පවතින දුෂ්ට සමාජයෙන්ද ධර්මිෂ්ඨ අයව ගලවාගැනීමට යෙහෝවා දෙවිට හැකියි. ඒ ගැන බයිබලයේ අපට මෙසේ පවසනවා. ‘දෙවිගේ නීති පිළිපදින, දේශයේ නිහතමානි සියල්ලෙනි ධර්මිෂ්ඨකම සොයා ඒ අනුව ජීවත් වෙන්න. දිගටම නිහතමානි ලෙස කටයුතු කරන්න. එවිට යෙහෝවා දෙවිගේ උදහස ප්‍රකාශ කරන දවසේදී ඔහු ඔබට රැකවරණය සලසා දෙයි.’ (ශෙප. 2:3NW) ඉදිරියේදී දෙවි ගෙන ඒමට නියමිත විනාශයේදී ‘නිර්දෝෂ අයව ඉතිරි කර, සියලු දුෂ්ටයන්ව පොළොවෙන් අයින් කරනු ලබනවා.’—හිතෝ. 2:21, 22NW.

13. මිය ගිය ඔහුගේ සේවකයන් සම්බන්ධයෙන් දෙවි දී ඇති පොරොන්දුව කුමක්ද?

13 අසනීප, පීඩා හා වෙනත් හේතූන් මත මිය ගිය දෙවිගේ සේවකයන්ට සිදු වන්නේ කුමක්ද? (මතෙ. 24:9) ඔවුන්ට ඇති බලාපොරොත්තුව ගැන කියා තිබුණේ ‘ධර්මිෂ්ඨ අයගේ නැවත නැඟිටීමක්’ තිබෙන්න යන බවයි. (ක්‍රියා 24:15) යෙහෝවා දෙවි තම සේවකයන්ව ගලවාගනිද්දී එය නතර කරන්න කාටවත් බැහැ. එය දැන සිටීම අපට කොතරම් සහනයක්ද!

ධර්මිෂ්ඨ පාලනයක්

14. දෙවිගේ පාලනය ධර්මිෂ්ඨ එකක් කියා අපට නිසැක විය හැක්කේ ඇයි?

14 යෙහෝවා ප්‍රේමණීය දෙවි කෙනෙක් නිසා ඔහුගේ පාලනයත් ධර්මිෂ්ඨයි. ඊට හේතුව එම පාලනය මගින් දෙවිගේ පුදුමාකාර ගුණාංග වන යුක්තිය, ධර්මිෂ්ඨකම හා ප්‍රේමය ක්‍රියාත්මක වන නිසයි. (ද්වි. 32:4; 1 යොහ. 4:8) යෙහෝවා දෙවි දේවරාජ්‍යයේ රජ හැටියට ඊට සුදුසුම තැනැත්තා වන යේසුස්ව පත් කර තිබෙනවා. පොළොවෙන් තෝරාගන්නා ලද 1,44,000දෙනෙක්ද ඔහු සමඟ පාලනයට හවුල් වෙන්න යනවා. මෙම සත්‍යය ඔබට දේවසේවයේදී හමු වන අයට පැහැදිලි කළ හැකියි. —එළි. 14:1-5.

15. දෙවිගේ පාලනය සහ මනුෂ්‍ය පාලනය අතර ඇති වෙනස කුමක්ද?

15 යේසුස් 1,44,000දෙනා සමඟ කරන පාලනය මිනිසුන්ගේ පාලනයට වඩා කොතරම් වෙනස්ද! මනුෂ්‍ය පාලන කෲර නිසා යුද්ධවලින් මිනිසුන් මිලියන ගණන් මිය ගොස් තිබෙනවා. ‘පිහිට විය නොහැකි මිනිසුන් කෙරෙහි විශ්වාසය නොතබන්න’ කියා බයිබලයේ පවසන්නේ ඒ නිසයි. (ගීතා. 146:3NW) නමුත් යේසුස් අපට ආරාධනා කළේ මෙසේයි. “වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි, මා වෙතට එන්න. මම ඔබව ප්‍රාණවත් කරමි. මා මෘදු ගුණැති නිහතමානි සිතක් ඇති කෙනෙකු බැවින් මාගේ වියගහ ඔබ පිටට ගෙන මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබේ ජීවිතවලට ප්‍රාණවත්භාවයක් ලැබෙනවා ඇත. මන්ද මාගේ වියගහ පහසුය, බරද සැහැල්ලුය.”—මතෙ. 11:28-30.

අන්තිම දවස් නිමාවකට!

16. මතෙව් 24:21හි පවසන ආකාරයට ළඟදීම සිදු වන්නේ කුමක්ද?

16 වර්ෂ 1914 සිට මේ ලෝකය “සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයට” පැමිණ තිබෙනවා. (මතෙ. 24:3) ඉතා ඉක්මනින් යේසුස් පැවසූ “මහත් පීඩාව” පැමිණෙනවා. (මතෙව් 24:21 කියවන්න.) මහත් පීඩාව මගින් සාතන්ගේ සම්පූර්ණ ලෝකයම අවසන් වෙනවා. එසේනම් මහත් පීඩාව ආරම්භ වන්නෙත් අවසන් වන්නෙත් කෙසේද?

17. මහත් පීඩාව ආරම්භයත් සමඟම සිදු වන දේ ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද?

17 මහත් පීඩාව ආරම්භ වන්නේ ජාතීන් “සාමය සහ සුරක්ෂිතභාවය” යයි කියනු ලබන විටයි. (1 තෙසලෝනික 5: 2, 3 කියවන්න.) එනම් ජාතීන් තම මූලික ප්‍රශ්න විසඳීමට දැන් තමන්ට හැකියි කියා සිතන විටයි. මහත් පීඩාව ආරම්භයත් සමඟ සත්‍යය උගන්වන්නේ නැති සියලුම ආගම් නියෝජනය කරන “මහා බැබිලෝනිය” හදිසියෙන්ම විනාශ කරනු ලබන විට පාලකයන් හා රජවරු ඒ ගැන පුදුම වේවි.—එළි. 17:1-6, 18; 18:9, 10, 15, 16, 19.

18. සාතන් තම සේවකයන්ට පහර දෙද්දී යෙහෝවා දෙවිට ඒ ගැන හැඟෙන්නේ කොහොමද?

18 මෙම සිදුවීම් සිදු වන අතරතුර “ඉර, සඳ හා තාරකාවල ලකුණු පහළ වන්නේය.” “මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පෙනෙන්නේය.” එවිට අපගේ ගැලවීම ළඟ බව අපට තේරුම්ගත හැකි නිසා අපගේ හිස් සතුටින් ඔසවා තබාගත හැකියි. (ලූක් 21:25-28; මතෙ. 24:29, 30) ඒ සමඟම සාතන් ඔහුගේ හමුදාව යොදාගෙන දෙවිගේ සේවකයන්ට එරෙහිව තම අවසන් ප්‍රහාරය දියත් කරනවා. යෙහෝවා දෙවිට එය දැනෙන්නේ තමාගේ “ඇසේ කළු ඉංගිරියාවට අතගසන්නාක් මෙනි.” (සෙක. 2:8, NW) එවිට යෙහෝවා දෙවි තම සේවකයන්ව ගලවාගැනීමට ඉක්මනින්ම ක්‍රියාත්මක වෙන නිසා සාතන්ගේ ප්‍රහාරය අසාර්ථක වෙයි.—එස. 38:9, 18.

19. සාතන්ගේ ලෝකයට දෙවි සම්පූර්ණ විනාශයක් ගෙනෙන බව විශ්වාස කළ හැක්කේ කෙසේද?

19 මේ ලෝකයේ ජාතීන්ට එරෙහිව තම විනිශ්චය ක්‍රියාත්මක කරද්දී ‘යෙහෝවා දෙවි සැබෑ දෙවි’ බව ඔවුන් සියලුදෙනාටම පිළිගන්න සිදු වෙයි. (එස. 36:23NW) යෙහෝවා දෙවි යේසුස්ව සහ ඔහුගේ දේවදූත සේනාව සාතන්ට සහ ඔහුගේ භූතයන්ට විරුද්ධව එවයි. (එළි. 19:11-19) මෙහිදී අපට මතක් වන්නේ යෙහෝවා දෙවි එක දේවදූතයෙක්ව යොදාගෙන ඇසිරියානු හමුදාවේ සෙබළුන් “එක්ලක්ෂ අසූපන්දහසක් මරා දැමූ” සිද්ධියයි. ඒ නිසා සාතන් සහ ඔහුගේ පාලන ක්‍රම සියල්ලම දෙවි ගෙන එන අවසන් යුද්ධය මගින් ලෙහෙසියෙන්ම ඉවත් කරයි කියා අපට සහතික විය හැකියි. (2 රාජා. 19:35, NW; එළි. 16:14, 16) අනතුරුව සාතන් සහ ඔහුගේ භූතයන්ව අවුරුදු දහසකට ක්‍රියා විරහිත තත්වයකට පත් කර පසුව සම්පූර්ණයෙන් විනාශ කරනවා.—එළි. 20:1-3.

20. දේවරාජ්‍යය මගින් යෙහෝවා දෙවි ඉටු කරන්නේ කුමක්ද?

20 පොළොවේ තවදුරටත් දුෂ්ට මිනිසුන් කිසි කෙනෙක් නැති නිසා ධර්මිෂ්ඨයන්ට සතුටින් සදාකාලයටම ජීවත් විය හැකියි. යෙහෝවා දෙවි තම සෙනඟගේ ශ්‍රේෂ්ඨතම ගැලවුම්කරු බව එවිට ඔප්පු වෙයි. (ගීතා. 145:20) දේවරාජ්‍යය මගින් යෙහෝවා දෙවි මේ විශ්වයේ නියම පාලකයා වන බව තහවුරු වන අතර ඔහුගේ නාමය ගෞරවයට පත් කිරීමත් පොළොව සඳහා වූ ඔහුගේ අරමුණත් ඉටු වෙයි. මෙම ශුභාරංචිය අන් අයට පැවසීමෙන් හා “සදාකාල ජීවනය සඳහා නිසි නැඹුරුවාවක්” ඇති අයට දෙවිගේ රාජ්‍යය මගින් ලැබෙන ගැලවීම අත ළඟ බව තේරුම්ගැනීමට උපකාර කිරීමෙන් ඔබට මහත් ප්‍රීතියක් ලැබිය හැකියි.—ක්‍රියා 13:48.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• යේසුස් දේවරාජ්‍යයේ ඇති වැදගත්කම කාවැද්දුවේ කෙසේද?

• වෙන කවරදාකටත් වඩා අද දින දෙවිගේ රාජ්‍යය අවශ්‍ය වන්නේ ඇයි?

• මහත් පීඩාව අතරතුර සිදු වන්නේ කුමක්ද?

• යෙහෝවා දෙවි ශ්‍රේෂ්ඨ ගැලවුම්කරු වන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[12, 13වන පිටුවේ පින්තූර]

අපගේ කාලයේ ලොව පුරා සිදු වන දේශනා සේවය ගැන දේවවචනයේ කලින්ම පවසා තිබුණා

[15වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවි නෝවා සහ ඔහුගේ පවුලේ අයව ගලවාගත්තා වගේ අපවත් ගලවාගනියි

[16වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවි ඔවුන්ගේ “ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය; මරණයද තවත් නොවන්නේය.”—එළි. 21:4.