රෝම 8:1-39

8  එහෙයින් ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින අය දෙවි ඉදිරියෙහි නිදොස්ය.+  මන්ද ඔවුන් අලුත් නීතියකට+ එනම්, දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයට යටත්ය.+ ඔබත් ඒ බලයේ ක්‍රියාකාරිත්වයට යටත් වන නිසා ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින අය ලෙස ඔබ ජීවමානය.+ ප්‍රතිඵලයක් ලෙස දැඩි නීතියක් සේ ක්‍රියා කරන පාපයේ හා මරණයේ ග්‍රහණයෙන්+ ඔබ නිදහස් වී ඇත.+  මිනිසුන්ගේ පව්කාර ස්වභාවය නිසා ඔවුන්ට නිදහස ලබා දෙන්න නීතියට+ හැකියාවක් තිබුණේ නැත.+ නමුත් දෙවි ඒ නිදහස ලබා දීමට තම පුත්‍රයාව එව්වේය.+ ඒ අනුව පුත්‍රයා මිනිසෙකු ලෙස පැමිණ+ අපගේ පව්කාර ස්වභාවය නැති කර දැමීමට+ පියවර ගත්තේය. එසේ කිරීමෙන් මිනිසුන් තවදුරටත් තම පව්කාර ස්වභාවයට වහල් නොවිය යුතු බව පෙන්නුම් කළේය.  එහි ප්‍රතිඵලයක් ලෙස අපගේම ආශාවන්ට යටත් නොවී දෙවිගේ බලයෙන් ලැබෙන උපකාරය තුළින්+ නීතියේ සඳහන් ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වීමට අපට හැකියාව ලැබේ.+  මන්ද තමාගේම ආශාවන්ට අනුව ක්‍රියා කරන අයගේ මනස් යොමු වී තිබෙන්නේ වැරදි දේවලටය.+ නමුත් දෙවිගේ බලයේ උපකාරයෙන් ක්‍රියා කරන අය තම මනස් යොමු කරන්නේ දෙවි ප්‍රිය කරන දේවලටය.+  කෙනෙක් තම මනස වැරදි ආශාවන්ට යොමු කළොත් එය ඔහුගේ මරණයට මඟ පාදයි.+ නමුත් කෙනෙක් තම මනස දෙවි ප්‍රිය කරන දේවලට යොමු කළොත්+ එයින් ඔහුට ජීවනය හා සමාදානය හිමි වෙයි.  එසේම කෙනෙක් වැරදි ආශාවන්ට තම මනස යොමු කළොත් ඔහු දෙවිගේ සතුරෙක් වෙයි.+ මන්ද එවැනි ආශාවන් දෙවිගේ නීතියට විරුද්ධය. ඒවා කිසි ලෙසකින්වත් දෙවිගේ නීතියට එකඟ නැත.+  එහෙයින් තම වැරදි ආශාවන්වල බලපෑමට හසු වන අයට+ දෙවිව සතුටු කළ නොහැක.  නමුත් සැබවින්ම ඔබ තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වෙනවා නම් ඔබ වැරදි ආශාවන්ට යටත් වන්නේ නැත.+ ඒ වෙනුවට ඔබ යොමු වන්නේ දෙවි ප්‍රිය කරන දේවලටය.+ එමෙන්ම කෙනෙක් ක්‍රිස්තුස් සිතන ආකාරයට සිතන්නේ නැත්නම්+ ඔහු ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක් වන්නේ නැත. 10  ඔබේ පව්කාර ස්වභාවය නිසා ඔබේ ශරීරය මැරී තිබුණත් ක්‍රිස්තුස් ඔබ සමඟ එකට බැඳී සිටිනවා නම්+ දෙවිගේ බලය මාර්ගයෙන් ඔබව ධර්මිෂ්ඨයෙකු ලෙස ප්‍රකාශ කරනු ලබයි. එහෙයින් ඔබ ජීවමානයි කියා පැවසිය හැක.+ 11  එමෙන්ම යේසුස්ව මරණයෙන් නැඟිටෙවූ තැනැත්තාගේ බලය ඔබ තුළ ක්‍රියාත්මක වෙනවා නම් ක්‍රිස්තුස් යේසුස්ව මරණයෙන් නැඟිටෙවූ ඒ තැනැත්තා+ ඔබේ මැරෙනසුලු ශරීරද ජීවත් කරවයි.+ ඔහු එසේ කරන්නේ ඔබ තුළ ක්‍රියාත්මක වන ඔහුගේ බලය මාර්ගයෙනි. 12  එසේනම් සහෝදරයෙනි, අපගේම ආශාවන්ට යටත් වී වැරදි ක්‍රියාවල යෙදෙන්න සිදු වෙනවාමයි කියා පැවසීමට කිසිදු පදනමක් නැත.+ 13  මන්ද දෙවිගේ බලයේ උපකාරයෙන් ඔබේ වැරදි ක්‍රියාවන් නසා දැමුවොත් ඔබ ජීවමාන වනු ඇත.+ නමුත් ඔබ ඔබේ වැරදි ආශාවන්ට යටත් වී ජීවත් වුණොත් ඔබට නිසැකවම හිමි වන්නේ මරණයයි.+ 14  දෙවි තම බලය මාර්ගයෙන් ලබා දෙන මඟ පෙන්වීම්වලට යටත් වන අය දෙවිගේ පුත්‍රයෝ වන්නෝය.+ 15  දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වන නිසා අපි තවදුරටත් බියෙන් වෙළී සිටින වහලුන්ගේ තත්වයට පත් වන්නේ නැත.+ ඇත්තෙන්ම ඒ බලය නිසා+ අපව දෙවිගේ පුත්‍රයන් ලෙස පිළිගනු ලැබේ.+ දෙවිට, “අබ්බා,+ පියාණෙනි” කියා පවසන්න අපට හැකි වී තිබෙන්නේ ඒ බලයේ ක්‍රියාකාරිත්වය නිසාය. 16  එසේ දෙවිගේ බලය+ අප තුළ*+ ක්‍රියාත්මක වන නිසා+ අප දෙවිගේ දරුවන් බව+ අපගේ සිත්වලට නිසැකවම දැනේ. 17  අප දරුවන් නම් අපි උරුමක්කාරයෝද වන්නෙමු. එනම් දෙවිගෙන් උරුමයක් ලබන අය වන්නෙමු. ඒ අනුව ක්‍රිස්තුස් සමඟ එකම උරුමයට හිමිකම් කියන්න+ අපට හැකි වේ. ඒ සඳහා අප ඔහු මෙන් දුක් විඳිය යුතුයි.+ එසේ කළොත් ඔහු සමඟ අපටද ස්වර්ගීය තේජස හිමි වනු ඇත.+ 18  මා සිතන ආකාරයට ඉදිරියේදී අප තුළින් එළිදරව් වීමට නියමිත ස්වර්ගීය තේජස හා සසඳන විට+ දැන් අප අද්දකින දුක් වේදනා+ කිසිත් නැති තරම්ය. 19  මන්ද දෙවි සෑදූ සියල්ල*+ මහත් ආශාවකින් බලා සිටින්නේ+ දෙවිගේ පුත්‍රයන් ස්වර්ගීය තේජසින් එළිදරව් වීමට නියමිත අවස්ථාව පැමිණෙන තුරුය.+ 20  මිනිස් වර්ගයාට නිෂ්ඵල ජීවිතයක් උරුම වුණේ+ ඔවුන්ගේම කැමැත්ත නිසා නොව එය දෙවිගේ කැමැත්ත වූ නිසාය. නමුත් ඒ සමඟම ඔවුන්ට බලාපොරොත්තුවක්ද දෙන ලදි.+ 21  ඒ අනුව පාපය හා මරණය නිසා දිරාපත් වී යන මිනිස් වර්ගයාට+ එම ග්‍රහණයෙන් නිදහස් වී,+ දෙවිගේ දරුවන් ලෙස කියා නිම කළ නොහැකි නිදහසක් භුක්ති විඳීමට අවස්ථාව උදා වනු ඇත. 22  ඇත්තෙන්ම මුළු මිනිස් වර්ගයාම මේ දක්වා එක්ව කෙඳිරිගාමින් හා වේදනා විඳිමින් සිටින බව අපි දනිමු. 23  ඔවුන් පමණක් නොව ඉදිරියේදී උරුම වන දේට සාක්ෂියක් ලෙස*+ දෙවිගේ බලය ලබා සිටින අපිත් කෙඳිරිගාමින් සිටිමු.+ මන්ද යේසුස්ගේ ජීවිත පූජාව මගින් අපගේ ශරීරවලින් නිදහස් වී අපව දෙවිගේ පුත්‍රයන් ලෙස භාරගන්නා තුරු අපත් බලා සිටින්නේ මහත් උනන්දුවකිනි.+ 24  අප ගැලවීම ලැබූ විට අපට ඒ බලාපොරොත්තුව කෙරෙහි විශ්වාසයක් ඇති විය.+ නමුත් බලාපොරොත්තු වන දේ ඉටු වන විට එය තවදුරටත් බලාපොරොත්තුවක් නොවේ. මන්ද කෙනෙක් බලාපොරොත්තුවෙන් සිටි දෙයක් ඉටු වුණොත් ඔහු ඒ ගැන තවදුරටත් බලාපොරොත්තුවෙන් සිටිනවා කියා පැවසිය හැකිද? 25  නමුත් අප බලාපොරොත්තුවෙන්+ සිටින දේ තවමත් ඉටු වී නැති නිසා+ අපි විඳදරාගෙන ඒ දෙස දිගටම බලා සිටිමු.+ 26  ඊට අමතරව අප දුර්වලව සිටින විට+ අපට උපකාර කිරීම සඳහා දෙවි තම බලය+ අපට ලබා දෙයි. මන්ද යාච්ඤා කළ යුත්තේ කුමක් ගැනද කියා අපට නොතේරෙන අවස්ථා මතු විය හැක.+ එවැනි අවස්ථාවලදී අපගේ හැඟීම් වචනවලට පෙරළිය නොහැකි වුවත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය තුළින්+ ඒවා එළිදරව් වෙයි. 27  එහෙයින් තම බලයෙන් එළිදරව් වන දේ තේරුම්ගැනීමට+ සිත් සෝදිසි කර බලන දෙවිට+ හැක. එසේ වන්නේ ඒ බලය ශුද්ධ තැනැත්තන් වෙනුවෙන් මැදිහත් වී ඔවුන් වෙනුවෙන් දෙවිගේ කැමැත්ත ඉටු කරන නිසාය.+ 28  දෙවි තමන් කරන සෑම දෙයක්ම මනා පිළිවෙළකින් සිදු වීමට සලස්වන බව අපි දනිමු.+ ඔහු එසේ කරන්නේ තමන්ට ප්‍රේම කරන අයගේ එනම්, දෙවිගේ අරමුණට එකඟව කැඳවනු ලැබූ අයගේ යහපත උදෙසාය.+ 29  මන්ද තමන් මුලින්ම පිළිගන්නා අය+ තම පුත්‍රයාට සමාන වන බව එනම්, තම පුත්‍රයාගේ ස්වරූපයට+ සමාන+ වන බව දෙවි කල්තියාම අරමුණු කළේය.+ එහෙයින් සහෝදරයන් බොහෝදෙනෙකු අතරින්+ ඔහුගේ පුත්‍රයා කුලුඳුලා+ බවට පත් විය. 30  ඒ අනුව තමන් කල්තියාම අරමුණු කළ දේට එකඟව+ තෝරාගත් අයව දෙවි කැඳෙව්වේය.+ එලෙස කැඳවූ අයව ඔහු ධර්මිෂ්ඨයන් ලෙසද ප්‍රකාශ කළේය.+ ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරනු ලැබූ අයව ඔහු ගෞරවයටද පත් කළේය.+ 31  එසේනම් අපි ඒ දේවලින් වටහාගන්නේ කුමක්ද? දෙවි අපගේ පැත්තේ නම් අපට විරුද්ධව සිටිය හැක්කේ කාටද?+ 32  ඔහු අප සියල්ලන් උදෙසා+ ඔහුගේ පුත්‍රයාව පවා දීමට සතුටු විය.+ ඔහු එතරම් මහත් දෙයක් කර ඇත්නම් අන් සියල්ලත් අපට කාරුණිකව ලබා දෙන්නේ නැද්ද?+ 33  තමන් තෝරාගත් අයව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරන්නේ+ දෙවිම නම් ඔවුන්ට විරුද්ධව චෝදනා එල්ල කළ හැක්කේ කාටද?+ 34  ඔවුන් දඬුවම් ලැබීමට සුදුසුයි කියා පැවසිය හැක්කේ කාටද? කිසිවෙකුට එසේ කළ නොහැකියි. මන්ද ක්‍රිස්තුස් යේසුස් මිය ගොස් මරණයෙන් නැවත නැඟිටුවනු ලැබූ අතර ඔහු දෙවිගේ දකුණු පැත්තේ සිට+ අප වෙනුවෙන් දෙවිට කන්නලව් කරයි.+ 35  ක්‍රිස්තුස් පෙන්වන ප්‍රේමයෙන් අපව වෙන් කළ හැක්කේ කාටද?+ එයට පීඩා හෝ දුක් වේදනා හෝ හිංසා හෝ කුසගින්න හෝ ඇඳුම් නැතිකම හෝ උවදුරු හෝ කඩුව හෝ හරස් වේවිද?+ 36  ලියවිලිවල සඳහන් වී ඇති ආකාරයට, “ඔබට විශ්වාසවන්තව සිටින නිසා අපගේ ජීවිතයේ සෑම දවසක්ම අවදානම් සහිතය. අපව මරණයට නියම කළ බැටළුවන් මෙන් ගණන් ගනු ලැබේ.”+ 37  නමුත් ඒ සියල්ලේදීම අපට ප්‍රේම කළ තැනැත්තා මාර්ගයෙන් අපට සම්පූර්ණ ජයක් ලැබෙන බව නිසැකයි.+ 38  මන්ද මට එක දෙයක් ගැන සම්පූර්ණ විශ්වාසයක් ඇත. එනම් මරණයටවත් මේ ජීවිතයටවත්+ දේවදූතයන්ටවත්+ ආණ්ඩුවලටවත්+ දැන් සිදු වන දේවලටවත් ඉදිරියේදී සිදු වීමට තිබෙන දේවලටවත් කුමන බලවේගයකටවත්,+ 39  උසස් දෙයකටවත් පහත් දෙයකටවත් සාදා ඇති වෙනත් කිසි දෙයකටවත් අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් ප්‍රකාශ වන දෙවිගේ ප්‍රේමයෙන් අපව වෙන් කළ නොහැකි බවයි.+

පාදසටහන්

ග්‍රීක බසින්, නියුමා. උපග්‍ර. 3 බලන්න.
විශේෂයෙන්ම මිනිස් වර්ගයා.
මූ.අ., “උරුමයේ පළමු පල ලෙස.”