Skip to content

පටුනට යන්න

නොකඩවා අන් අයට යහපත කරන්න

නොකඩවා අන් අයට යහපත කරන්න

නොකඩවා අන් අයට යහපත කරන්න

‘නොකඩවා යහපත කරන්න.’—ලූක් 6:35.

1, 2. අන් අයට යහපත්කම් කිරීම හැමවිටම පහසු දෙයක් නොවන්නේ ඇයි?

අන් අයට යහපත කිරීම පහසු දෙයක් නොවෙයි. ඊට හේතුව නම් අප අන් අයට යහපත් දේ කළත් ඔවුන් අපට යහපත කරයි කියා සැමවිටම බලාපොරොත්තු වෙන්න බැරි නිසයි. උදාහරණයකට අප ජනයාගේ යහපත ගැන සිතන නිසා “සන්තෝෂවත් දෙවිගේ තේජාන්විත ශුභාරංචිය” ඔවුන් සමඟ බෙදාගන්නවා. නමුත් ඔවුන් ඊට ස්තුතිවන්ත නොවී උදාසීන ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන්. (1 තිමෝ. 1:11) තවත් අය “ක්‍රිස්තුස්ගේ වධකණුවේ සතුරන්” බව ඔප්පු කරමින් අපට වෛර කරන්න ඉඩ තිබෙනවා. (ෆිලි. 3:18) එවැනි අවස්ථාවලදී අප ක්‍රිස්තියානීන් හැටියට ඔවුන්ව සැලකිය යුත්තේ කෙසේද?

2 ඒ ගැන යේසුස් පැවසුවේ මෙසේයි. “ඔබ නොකඩවා ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, යහපත කරන්න.” (ලූක් 6:35) දැන් අපි එම උපදෙස ගැන හොඳින් සලකා බලමු. එමෙන්ම අන් අයට යහපත කිරීම ගැන ඔහු දුන් තවත් ප්‍රයෝජනවත් තොරතුරු ගැනද අපි සලකා බලමු.

“ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න”

3. (අ) මතෙව් 5:43-45හි සඳහන් යේසුස්ගේ වදන් ඔබේම වචනයෙන් විස්තර කරන්න. (ආ) යුදෙව් ආගමික නායකයන්, යුදෙව් නොවන අය කෙරෙහි දැරූ මතය කුමක්ද?

3 සතුරාට ප්‍රේම කරන්න කියාත් පීඩා කරන්නන් වෙනුවෙන් යාච්ඤා කරන්න කියාත් කන්ද උඩ දේශනාවේදී යේසුස් පැවසුවා. (මතෙව් 5:43-45 කියවන්න.) එය අසා සිටියේ යුදෙව්වන් නිසා “පළි නොගන්න. ඔබේ සහෝදරයා සමඟ අමනාප වී නොසිටින්න. ඔබට මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න” යන නීතිය ඔවුන් හොඳින් දැන සිටියා. (ලෙවී. 19:18, නව ලොව පරිවර්තනය, NW) එහි සඳහන් “ඔබේ සහෝදරයා” සහ “අසල්වැසියා” යන්නෙන් අදහස් කළේ යුදෙව්වන්ව පමණක් බව එදා සිටි යුදෙව් ආගමික නායකයන් තරයේම විශ්වාස කළා. මෝසෙස්ට දුන් නීතියේ අණ කර තිබුණේ ඊශ්‍රායෙල්වරුන් අන්‍යජාතීන්ගෙන් වෙන් වී සිටිය යුතු බවයි. නමුත් යුදෙව් ආගමික නායකයන් කළේ ඊට වෙනස් දෙයක්. එනම් යුදෙව් නොවන අන් සියලුම ජාතීන් තමන්ගේ සතුරන් බවත් ඒ හේතුවෙන් ඊශ්‍රායෙල්වරු ඔවුන්ට වෛර කළ යුතුයි කියාත් ඔවුන් අතර මතයක් ගොඩනැඟුවා.

4. යේසුස්ගේ ගෝලයන් ඔවුන්ගේ සතුරන්ට සැලකිය යුතු ආකාරය ගැන යේසුස් පැවසුවේ කුමක්ද?

4 එම ආගමික නායකයන්ට වෙනස්ව යේසුස් පැවසුවේ “ඔබේ සතුරන්ට නොකඩවා ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න” කියායි. (මතෙ. 5:44) ඒ අනුව යේසුස්ගේ ගෝලයන් තමන්ට සතුරුකම් පෑ අය සමඟ ප්‍රේමයෙන් කටයුතු කළ යුතු වුණා. ලූක්ගේ සුවිශේෂයට අනුව එය වාර්තා කර තිබෙන්නේ මෙසේයි. “සවන් දෙමින් සිටින ඔබට මම කියමි, ඔබේ සතුරන්ට නොකඩවා ප්‍රේම කරන්න. ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න. ඔබට ශාප කරන්නන්ට ආශීර්වාද කරන්න. ඔබට නින්දා කරන්නන් වෙනුවෙන් යාච්ඤා කරන්න.” (ලූක් 6:27, 28) යේසුස්ට සවන් දී එය ක්‍රියාත්මක කළ අය මෙන් වන්න අපටත් හැකියි. ඒ කෙසේද? අපට “වෛර කරන්නන්ට” කාරුණිකව සැලකීම මගින් ඔවුන්ට “යහපත කරන්න” අපට හැකියි. අපට “ශාප කරන්නන්ට” කාරුණික ලෙස කතා කිරීම මගින් ඔවුන්ට “ආශීර්වාද කරන්න” අපට හැකියි. අපට විවිධාකාරවලින් ‘නින්දා කරන අයට’ මෙන්ම ‘පීඩා කරන අය වෙනුවෙන් යාච්ඤා කරන්නද’ අපට හැකියි. ඒ කුමක් සඳහාද? ඔවුන්ට තමන්ගේ ජීවිත වෙනස් කරගෙන දෙවිගේ අනුමැතිය ලැබෙන තත්වයකට පත්වීම සඳහායි.

5, 6. අපගේ සතුරන්ට අප ප්‍රේම කළ යුත්තේ ඇයි?

5 නමුත් අපි අපේ සතුරන්ට ප්‍රේම කළ යුත්තේ ඇයි? ඊට යේසුස්ගේ පිළිතුර මෙයයි. “ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයන් බව ඔප්පු කරන පිණිස මෙසේ කරන්න” (මතෙ. 5:45) දෙවිද ‘දුෂ්ටයන්ටත් යහපතුන්ටත් තම හිරු උදා කරවන, ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්සනවා.’ එමෙන්ම ඔහුට “ස්තුතිවන්ත නොවන්නන්ටද දුෂ්ටයන්ටද ඔහු කාරුණික” බව බයිබලයේ පවසනවා. (ලූක් 6:35) යේසුස් පැවසූ ලෙස අප කටයුතු කරනවා නම් අප යෙහෝවා දෙවිව ආදර්ශයට ගන්නා ඔහුගේ “පුත්‍රයන්” බවට පත් වෙනවා.

6 ‘නොකඩවා සතුරන්ට ප්‍රේම කිරීමේ’ ඇති වැදගත්කම කාවැද්දවීමට යේසුස් මෙවැනි දෙයක් පැවසුවා. “ඔබට ප්‍රේම කරන අයටම ඔබ ප්‍රේම කරනවා නම්, ඔබට ඇති විපාකය කුමක්ද? බදු එකතු කරන්නන් පවා එයම කරනවා නොවේද? තවද, ඔබ ආචාර කරන්නේ ඔබේ සහෝදරයන්ට පමණක් නම්, එහි ඇති විශේෂත්වය කුමක්ද? අන්‍යජාතිකයන්ද එයම කරනවා නොවේද?” (මතෙ. 5:46, 47) එදා ජනයා විසින් පහත් කොට සැලකූ බදු එකතු කරන්නන්ද ප්‍රේම කළේ ඔවුන්ට ප්‍රේම කළ අයට පමණයි. අපත් කරන්නේ ඒ දෙයම නම් එයින් අපට දෙවිගේ “විපාක” හෙවත් දෙවිගේ අනුමැතිය ලැබෙන්නේ නැති බව යේසුස් පැහැදිලි කළා.—ලූක් 5:30; 7:34.

7. අපේ “සහෝදරයන්ට” පමණක් ආචාර කිරීමේ විශේෂත්වයක් නැත්තේ ඇයි?

7 එදා සිටි යුදෙව්වන් සාමාන්‍යයෙන් එකිනෙකාට ආචාර කළේ “ඔබට සමාදානය වේවා” කියායි. (විනි. 19:20; යොහ. 20:19) ඉන් ඔවුන් ඇඟෙව්වේ අනිත් කෙනාට සෞඛ්‍ය සම්පන්න, සමෘද්ධිමත් ජීවිතයක් ලැබෙන්න කියායි. අපත් අපගේ “සහෝදරයන්ට” පමණක් එසේ ආචාර කරනවා නම් එහි ඇති ‘විශේෂත්වයක්’ නැහැ. ඊට හේතුව නම් “අන්‍යජාතිකයන්ද” එනම් ලෝකයේ සෙසු ජනයාද එසේම කරන නිසායි.

8. ‘ඔබ පරිපූර්ණව සිටිය යුතුයි’ කීමෙන් යේසුස් උනන්දු කළේ කුමක් කිරීමටද?

8 යේසුස් තම අනුගාමිකයන්ට මෙවැනි දෙයක් පැවසුවා. “ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් පරිපූර්ණව සිටින්නා සේම ඔබද පරිපූර්ණව සිටිය යුතුය.” (මතෙ. 5:48) ඔහු ඉන් අදහස් කළේ කුමක්ද? පව්කාර නැඹුරුවාවක් තිබූ තම ගෝලයන් සෑම අතින්ම පරිපූර්ණව ක්‍රියා කළ යුතු බවද? නැහැ. එසේ කිරීමට ඔවුන්ට නොහැකි බව යේසුස් හොඳින් දැන සිටියා. (රෝම 5:12) යේසුස් ඔවුන්ට උනන්දු කළේ ‘ස්වර්ගයේ සිටින පියාණන්’ වන යෙහෝවා දෙවිගේ ප්‍රේමය පූර්ණ ආකාරයෙන් අනුකරණය කරන්න කියායි. එය කරන්නේ කෙසේද? ඒ ඔවුන්ගේ සතුරන්ට පවා ප්‍රේමය පෙන්වීමෙනුයි. අපත් කළ යුත්තේ ඒ දෙයමයි.

සමාව දිය යුත්තේ ඇයි?

9. අන් අයට යහපත කළ හැකි තවත් ක්‍රමයක් කුමක්ද?

9 අන් අයට යහපත කළ හැකි තවත් ක්‍රමයක් වන්නේ ඔවුන් අපට කළ ඇති වැරදිවලට සමාව දීමයි. යේසුස් ඉගැන්වූ ආදර්ශ යාච්ඤාවෙත් ඒ ගැන මෙසේ සඳහන් කළා. “අපට වැරදි කළ අයට අප සමාව දී තිබෙන්නාක් මෙන් අපේ වැරදිවලටද අපට සමාව දෙන්න.” (මතෙ. 6:12) එය ලූක්ද වාර්තා කරන්නේ මෙසේයි. “අපේ පව්වලට සමාව දෙන්න. මන්ද අපට වැරදි කළ සැමෝටම අපිත් සමාව දෙන්නෙමු.”—ලූක් 11:4.

10. සමාව දීම සම්බන්ධයෙන් දෙවිව අනුකරණය කිරීමට අපට හැක්කේ කෙසේද?

10 අපත් උත්සාහ කරන්නේ පසුතැවිලි වන පව්කාරයන්ට මුළු හදවතින්ම සමාව දෙන දෙවිව අනුකරණය කරන්නයි. පාවුල්ද ඒ සඳහා අපව උනන්දු කළේ මෙසේයි. “එකිනෙකාට කරුණාවද ගැඹුරු දයානුකම්පාවද පෙන්වන්න. දෙවි ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔබට මුළු හදවතින්ම කමා කළාක් මෙන් ඔබත් එකිනෙකාට මුළු හදවතින්ම කමා කරන්න.” (එෆී. 4:32) දාවිත්ද දෙවිගේ මහත් කාරුණාව ගැන ගායනා කළේ මෙසේයි. ‘යෙහෝවා දෙවි දයාන්විතය. කරුණාවන්තය. ඔහුට ඉක්මනින් කේන්ති යන්නේ නැත. ඔහුගේ ප්‍රේමණීය කරුණාව අතිමහත්ය. අපේ පාපවලට අනුව ඔහු අපට දඬුවම් කළේ නැත. අප කළ වැරදිවලට ලැබිය යුතු විපාක ඔහු අපට දී නැත. බස්නාහිරෙන් නැඟෙනහිර බොහෝ දුරස්තව තිබෙන්නාක් සේ ඔහු අපේ වැරදිද අපෙන් එපමණටම ඈත් කරන්නේය. පියෙකු තම පුත්‍රයන්ට දයාව දක්වන්නාක් මෙන් යෙහෝවා දෙවි තමා කෙරෙහි ගරුබියක් ඇති අයට දයාව දක්වන්නේය. ඔහු අපේ ස්වභාවය හොඳින් දන්නේය. අප නිකම්ම දූවිලි බව ඔහු සිහි කරන්නේය.’—ගීතා. 103:8-14NW.

11. දෙවිගෙන් සමාව ලැබෙන්නේ කාටද?

11 කෙනෙකුට දෙවිගෙන් සමාව ලැබෙන්නේ අන් අය ඔහුට කර ඇති වැරදිවලට ඔහු සමාව දී ඇත්නම් පමණයි. (මාක් 11:25) ඒ බව කාවද්දමින් යේසුස් පැවසුවේ මෙවැනි දෙයක්. “ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වැරදිවලට සමාව දෙනවා නම්, ස්වර්ගයේ සිටින ඔබේ පියාණන්ද ඔබට සමාව දෙනවා ඇත. නමුත් ඔබ මිනිසුන්ගේ වැරදිවලට සමාව දෙන්නේ නැත්නම්, ඔබේ වැරදිවලටද ඔබේ පියාණන් සමාව දෙන්නේ නැත.” (මතෙ. 6:14, 15) ඒ අනුව දෙවි සමාව දෙන්නේ අන් අයගේ වැරදිවලට හදවතින්ම සමාව දෙන අයට පමණයි. පාවුල් පැවසුවේද “යෙහෝවා දෙවි මුළු හදවතින්ම ඔබට කමා කළාක් මෙන් ඔබත් එසේ කරන්න” කියායි. එය අන් අයට නොකඩවා යහපත කළ හැකි එක් ක්‍රමයක් බව අපට පැහැදිලියි.—කොලො. 3:13.

“විනිශ්චය කිරීම නතර කරන්න”

12. විනිශ්චය කිරීම ගැන යේසුස් දුන් උපදෙස කුමක්ද?

12 අන් අයට යහපත කළ හැකි තවත් ක්‍රමයක් ගැන කන්ද උඩ දේශනාවේදී යේසුස් පැවසුවා. එය නම් අන් අයව විනිශ්චය නොකර සිටීමයි. එය කාවැද්දීම සඳහා ඔහු ඉතා ප්‍රබල නිදර්ශනයක් යොදාගත්තා. (මතෙව් 7:1-5 කියවන්න.) “විනිශ්චය කිරීම නතර කරන්න” කියා පැවසීමෙන් යේසුස් අදහස් කළ දෙය ගැන දැන් අපි සලකා බලමු.

13. අන් අයට ‘සමාව දීමට’ යේසුස්ගේ සවන් දෙන්නන්ට හැකි වුණේ කෙසේද?

13 මතෙව්ගේ වාර්තාවට අනුව යේසුස් පැවසුවේ මෙසේයි. “විනිශ්චය කිරීම නතර කරන්න. එවිට ඔබවද විනිශ්චය කරනු නොලබන්නේය” (මතෙ. 7:1) ලූක්ද එය සවිස්තරව වාර්තා කරන්නේ මෙසේයි. “විනිශ්චය කිරීම නතර කරන්න. එවිට ඔබව කිසිසේත් විනිශ්චය කරනු නොලැබේ. අනුන්ව හෙළාදැකීම නතර කරන්න. එවිට ඔබව කිසිසේත් හෙළාදකිනු නොලැබේ. නොකඩවා සමාව දෙන්න. එවිට ඔබට සමාව දෙනු ලැබේ.” (ලූක් 6:37) පළමු සියවසේ සිටි පරිසිවරුන් ශුද්ධ ලියවිල්ලට පටහැනි සම්ප්‍රදායන් යොදාගෙන සෙසු ජනයාව දැඩි සේ විනිශ්චය කළා. එදා යේසුස්ට සවන් දී සිටි අයගෙන් කවුරුන් හෝ එසේ කරමින් සිටියා නම් ඔවුන්ද ‘විනිශ්චය කිරීම නතර කළ’ යුතු බව ඔහු පැවසුවා. ඒ වෙනුවට අන් අයගෙන් සිදු වන වැරදි හෝ අඩුපාඩුකම්වලට ‘නොකඩවා සමාව දීම’ යේසුස් ඔවුන්ගෙන් බලාපොරොත්තු වුණා. සමාව දීම ගැන ඉහත උපදෙසට සමාන උපදෙසක් පාවුල්ද දුන්නා.

14. යේසුස්ගේ ගෝලයන් අන් අයට සමාව දුන්නා නම් ඔවුන් පෙලඹෙන්නේ කුමක් කිරීමටද?

14 තම ගෝලයන් අන් අයට සමාව දුන්නොත් ඒ අයද ඔවුන්ට සමාව දීමට පෙලඹෙන බව යේසුස් පැවසුවා. “ඔබ යම් ආකාරයකින් විනිශ්චය කරන්නේද එයාකාරයෙන්ම ඔබවත් විනිශ්චය කරනු ලබනවා ඇත. ඔබ මනින මිම්මෙන්ම ඔබටත් මැන දෙනු ලැබේ” කියා ඔහු පැවසුවේ ඒ නිසයි. (මතෙ. 7:2) යේසුස් ඉන් පැහැදිලි කළේ අන් අය අපට සලකන ආකාරය තීරණය වන්නේ අප අන් අයට සලකන ආකාරය මත බවයි.—ගලා. 6:7.

15. අන් අයව විනිශ්චය කිරීම වැරදි බව යේසුස් පෙන්වූයේ කෙසේද?

15 අන් අයව විනිශ්චය කිරීම කොතරම් වැරදිද කියා පෙන්වීමට යේසුස් මෙවැනි නිදර්ශනයක් භාවිත කළා. “එසේනම්, ඔබේ ඇසේ ඇති පරාලය ගැන නොතකා ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති රොඩ්ඩ දෙස බලන්නේ මන්ද? බලන්න! ඔබේම ඇසෙහි පරාලයක් තිබියදී, ඔබේ සහෝදරයාට කතා කොට, ‘ඔබේ ඇසෙන් රොඩ්ඩ ඉවතට ගන්න මට ඉඩ දෙන්න’ කියා ඔබට කිව හැක්කේ කෙසේද?” (මතෙ. 7:3, 4) යේසුස් පැවසූ ලෙස අන් අයව විනිශ්චය කිරීමට නැඹුරු කෙනෙක් නිතරම උත්සාහ කරන්නේ තම සහෝදරයාගේ “ඇසේ” තිබෙන රොඩ්ඩ හෙවත් සුළු සුළු අඩුපාඩු දෙස බලන්නයි. ඉන් ඔහු නොකියා කියන්නේ තම සහෝදරයාට යම් කාරණා නිවැරදිව අවබෝධ කරගෙන නිවැරදි තීරණ ගැනීමට හැකියාවක් නැති බවයි. විනිශ්චය කරන ඒ තැනැත්තා තුළ පරාලයක් බඳු විශාල අඩුපාඩුකම් තිබෙනවා. නමුත් ඔහු උත්සාහ කරන්නේ තම සහෝදරයාගේ සුළු අඩුපාඩුව පෙන්වා නිවැරදි කරන්නයි. එය මොන තරම් කුහකකමක්ද!

16. පරිසිවරුන්ගේ ඇසේ ‘පරාලයක්’ තිබෙනවා කීමෙන් අදහස් කළේ කුමක්ද?

16 එදා සිටි යුදෙව් ආගමික නායකයන් අන් අයව දැඩි සේ විනිශ්චය කළා. උදාහරණයකට යේසුස් අන්ධ මිනිසෙකුව සුව කළ අවස්ථාවේදී ඒ මිනිසා පැවසුවේ යේසුස් දෙවි වෙතින් පැමිණි කෙනෙකු විය යුතු බවයි. එය ඇසුණු පරිසිවරුන් කෝපයෙන් ඔහුට පැවසුවේ “මුළුමනින්ම පාපයේ උපන් ඔබ අපට උගන්වන්න හදනවාද” කියායි. (යොහ. 9:30-34) දෙවිගේ කාරණා අවබෝධ කරගැනීමට මෙන්ම දෙවිගේ ප්‍රමිතිවලට අනුව විනිශ්චය කිරීමට නොහැකි තරමටම පරිසිවරුන් සම්පූර්ණයෙන්ම අන්ධ වී සිටියා. එය හරියට ඔවුන්ගේ ඇස්වල “පරාලයක්” තිබුණා හා සමානයි. යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවේ ඒ නිසයි. “කුහකය! පළමුවෙන් ඔබේම ඇසෙන් පරාලය ඉවතට ගන්න. එවිට ඔබේ සහෝදරයාගේ ඇසෙන් රොඩ්ඩ ඉවතට ගන්න පුළුවන් කෙසේදැයි ඔබට පැහැදිලිව පෙනෙනවා ඇත.” (මතෙ. 7:5; ලූක් 6:42) අපත් අන් අයට යහපත්කම් කරනවා නම් අන් අයව විනිශ්චය කරමින් ඔවුන්ගේ ඇසේ තිබෙන රොඩ්ඩ දෙස බලන්නේ නැහැ. ඒ වෙනුවට අප සියලුදෙනා අතින්ම අඩුපාඩුකම් හා වැරදි සිදු වන බව පිළිගෙන සෙසු ඇදහිලිවන්තයන්ව විනිශ්චය කිරීමෙන් හෝ විවේචනය කිරීමෙන් වැළකිය යුතුයි.

අප අන් අයට සැලකිය යුතු ආකාරය

17. මතෙව් 7:12ට අනුව අප අන් අයට සැලකිය යුත්තේ කෙසේද?

17 තම සේවකයන්ගේ යාච්ඤාවලට දෙවි පිළිතුරු දෙන්නේ ප්‍රේමණීය පියෙකු තම දරුවන්ට සලකන ආකාරයට බව කන්ද උඩ දේශනාවේදී යේසුස් පැවසුවා. (මතෙව් 7:7-12 කියවන්න.) දෙවි එසේ අපට සලකනවාට අපි කවුරුත් කැමතියි. ඒ හා සමානව ක්‍රිස්තියානීන් වශයෙන් අපත් අන් අයට සැලකීමේදී අදාළ කරගත යුතු ප්‍රතිපත්තියක් ගැන යේසුස් පැවසුවා. “අනුන් ඔබට කරනවාට ඔබ කැමති සියල්ලම, ඔබත් එලෙසම ඔවුන්ට කළ යුතුය.” (මතෙ. 7:12) අප යේසුස්ගේ සැබෑ ගෝලයන් බව ඔප්පු කළ හැක්කේ එම ප්‍රතිපත්තියට අනුව කටයුතු කළොත් පමණයි.

18. අන් අය අපට සලකනවාට කැමති ආකාරයෙන්ම අපත් අන් අයට සැලකිය යුතු බව ‘නීතියේ’ පෙන්වා දී තිබෙන්නේ කෙසේද?

18 අප අන් අයට සැලකිය යුතු ආකාරය ගැන සඳහන් කිරීමෙන් පසු යේසුස් මෙසේද පැවසුවා. “නීතියෙත් අනාගතවාක්‍යයෙත් හරය මෙයයි.” යේසුස් කී ලෙසම අපි අන් අයට සලකන විට අප ක්‍රියාත්මක කරන්නේ මෝසෙස්ට දුන් ‘නීතිය’ මගින් බලාපොරොත්තු වූ දෙයයි. නීතිය කියා පැවසීමෙන් යේසුස් අදහස් කළේ කුමක්ද? උත්පත්ති සිට ද්වීතිය කතාව දක්වා පොත්වල සඳහන් වී තිබෙන නීතියි. දුෂ්ටකම නිම කිරීම සඳහා දෙවිගේ අරමුණ හෙළි කිරීමට අමතරව ක්‍රිස්තු පූර්ව 1513දී මෝසෙස් තුළින් දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීති ඊට ඇතුළත්. (උත්. 3:15) එමෙන්ම ඔවුන්ට දුන් නීති අතර යුක්තිගරුක වීම, තරාතිරම් නොබැලීම, විදේශිකයන්ට හා ආබාධිත අයට හොඳින් සැලකීම වැනි දේවල්ද තිබුණා. මින් පැහැදිලි වන්නේ යේසුස් කී ලෙස ක්‍රියා කිරීමෙන් අප “නීතිය” මගින් බලාපොරොත්තු වූ දේවල් කරන බවයි.—ලෙවී. 19:9, 10, 15, 34.

19. අප යහපත කළ යුතු බව ‘අනාගතවාක්‍යයේ’ පෙන්වා දෙන්නේ කෙසේද?

19 ‘අනාගතවාක්‍යය’ කියා පැවසීමෙන් යේසුස් අදහස් කළේ කුමක්ද? එනම් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ ඇති අනාවැකි සඳහන් පොත්. ඒවායේ යේසුස් පිළිබඳ ඉටු වූ අනාවැකි ඇතුළත් වී තිබෙනවා. එමෙන්ම සෙනඟ දෙවි ඉදිරියෙහි හරි දේ කරමින් අන් අයට යහපත කළ විට දෙවි ආශීර්වාද කරන බවත් එහි සඳහන්. උදාහරණයකට දෙවි ඔවුන්ට යෙසායා තුළින් ප්‍රකාශ කළ මේ දේ බලන්න. ‘යෙහෝවා දෙවි මෙසේ කියන්නේය. ඔබ යුක්ති ගරුක වෙමින් ධර්මිෂ්ඨකම් කරන්න. ඒ දේවල් කරමින් ඒ දේවල නිරත වී සිටින්න. නපුරු ක්‍රියාවලින් වැළකීමට වගබලා ගන්න මිනිසා සන්තෝෂය භුක්ති විඳියි.’ (යෙසා. 56:1, 2NW) දෙවි තම සෙනඟගෙන් බලාපොරොත්තු වන්නේ නොකඩවා යහපත කිරීම බව ඉන් මනාව පැහැදිලියි.

නොකඩවා අන් අයට යහපත්කම් කරන්න

20, 21. කන්ද උඩ දේශනාව අසා සිටි අය ඊට දැක්වූ ප්‍රතිචාරය කුමක්ද? එමෙන්ම එම උපදෙස් ගැන අපි ගැඹුරින් සිතා බැලිය යුත්තේ ඇයි?

20 මෙතෙක් අප සාකච්ඡා කළේ යේසුස් කන්ද උඩ දේශනාවේදී ප්‍රකාශ කළ ඉතා විශිෂ්ට ප්‍රකාශයන්ගෙන් කිහිපයක් පමණයි. ඒවා හොඳින් අසා සිටි අය දැක්වූ ප්‍රතිචාරය ගැන අපට සිතාගත හැකියි. බයිබලයේ ඒ ගැන වාර්තා වී තිබෙන්නේ මෙසේයි. “යේසුස් මේ වචන කියා නිම කළ පසු, සමූහයෝ ඔහු උගන්වන ආකාරය ගැන මවිත වූහ. මන්ද ඔහු ඔවුන්ගේ ලියන්නන් මෙන් නොව, බලය ලත් කෙනෙකු මෙන් ඔවුන්ට උගන්වා තිබුණේය.”—මතෙ. 7:28, 29.

21 ඒ අනුව බලද්දී යේසුස් “උතුම් උපදේශකයා” බවට කිසිම සැකයක් නැහැ. (යෙසා. 9:6NW) තම පියා කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් යේසුස්ට තිබුණේ මොන තරම් අවබෝධයක්ද! කන්ද උඩ දේශනාවේදී යේසුස් පැවසූ දේවල් මගින් එය අපට හොඳින් අවබෝධ වෙනවා. අප මෙතෙක් සලකා බැලූ කරුණුවලට අමතරව එහිදී යේසුස් තව බොහෝ දේ පැවසුවා. සැබෑ සන්තෝෂය ලබන්නේ කෙසේද, අනාචාරයෙන් වළකින්නේ කෙසේද, ධර්මිෂ්ඨකම් කරන්නේ කෙසේද, අපගේ අනාගතය සුරක්ෂිත කරගැනීමට හා එය ප්‍රීතියෙන් ගත කිරීමට අප කළ යුත්තේ කුමක්ද වැනි තවත් බොහෝ දේවල් යේසුස් සඳහන් කළා. එමනිසා මතෙව් 5 සිට 7 දක්වා පරිච්ඡේද නැවතත් හොඳින් කියවා ඒ ගැන ගැඹුරින් සිතා බැලීම හොඳ දෙයක් නොවෙයිද? කන්ද උඩ දේශනාවේදී යේසුස් දුන් උපදෙස් එදිනෙදා ජීවිතයේදී ක්‍රියාත්මක කරන්න අපි උත්සාහ කරමු. ඒ මගින් අන් අයට හොඳින් සලකන්නත් නොකඩවා යහපත් දේවල් කරන්නත් විශේෂයෙන්ම දෙවි යෙහෝවාගේ හෘදය ප්‍රීති කරන්නත් අපට හැකියි.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• අපට සතුරුකම් කරන අයට අප සැලකිය යුත්තේ කෙසේද?

• අප සමාව දිය යුත්තේ ඇයි?

• අන් අය විනිශ්චය කිරීම ගැන යේසුස් පැවසුවේ කුමක්ද?

මතෙව් 7:12ට අනුව අප අන් අයට සැලකිය යුත්තේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“විනිශ්චය කිරීම නතර කරන්න” කියා යේසුස් පැවසුවේ ඇයි කියා ඔබ දන්නවාද?

[8වන පිටුවේ පින්තූරය]

අපට පීඩා කරන්නන් වෙනුවෙන් අප යාච්ඤා කළ යුත්තේ ඇයි?

[10වන පිටුවේ පින්තූරය]

ඔබ සැමවිටම අන් අයට සලකන්නේ ඔවුන් ඔබට සලකනවාට කැමති ආකාරයටද?