මාක් 11:1-33

11  යේසුස් සහ ඔහුගේ ගෝලයෝ යෙරුසලමට ළං වී ඔලීව කන්ද මත පිහිටි බෙත්පාගය සහ බෙතානිය+ නම් නුවරවල් ළඟට ගියෝය. එහිදී යේසුස් තම ගෝලයන් දෙදෙනෙකුව පිටත් කර යවමින්,+  ඔවුන්ට මෙසේ පැවසුවේය. “ඔබට පෙනෙන අර ගමට යන්න. ඔබ එයට ඇතුල් වූ ගමන්ම කිසි මිනිසෙකු මේ වන තුරු ඉඳගෙන නැති බූරු නාම්බෙක් බැඳ තබා ඇති ආකාරය ඔබ දකියි. ඌව ලිහා මෙතනට ගෙනෙන්න.+  කවුරු හරි කෙනෙක්, ‘ඔබ මොනවාද ඔය කරන්නේ’ කියා ඇසුවොත්, ‘ස්වාමීන්ට ඌව දැන් අවශ්‍ය වී තිබෙනවා. ඔහු ඌව ඉක්මනින්ම ආපසු භාර දෙයි’+ කියා කියන්න.”  එහෙයින් ඔවුහු ගොස් අතුරු පාරේ ගෙයක දොරකඩ බූරු නාම්බෙකු බැඳ සිටිනවා දැක ඌව ලිහන්න පටන්ගත්තෝය.+  එවිට එහි සිටගෙන සිටි අයගෙන් සමහරෙක්, “ඔබ මොනවාද කරන්නේ? ඔය බූරු නාම්බාව ලිහන්නේ ඇයි”+ කියා ඔවුන්ගෙන් ඇසූහ.  ඔවුහු යේසුස් පැවසූ ආකාරයට ඔවුන්ට කාරණා පැහැදිලි කළෝය. එවිට ඔවුහු ඔවුන්ට යන්න ඉඩහැරියහ.+  ඔවුහු බූරු නාම්බාව යේසුස් ළඟට ගෙන+ ගොස් ඌ පිට තම පිට වස්ත්‍ර දැමුවෝය. ඉන්පසු යේසුස් ඌ පිට ඉඳගත්තේය.+  බොහෝදෙනෙක් තම පිට වස්ත්‍ර මඟ දිගේ එළූ අතර+ තවත් අය ඒ මඟ දෙපස+ තිබූ රටඉඳි ගස්වලින් අතු කපාගෙන+ ඔවුන්ට එක් වූහ.  යේසුස්ට ඉදිරියෙන්ද පිටුපසින්ද ගමන් කරමින් සිටි අය, “ඔහුට ආරක්ෂාව ලැබේවා!+ යෙහෝවා දෙවිගේ නාමයෙන්+ එන තැනැත්තාට ආශීර්වාද ලැබේවා! 10  අපේ පිය වූ දාවිත්ගේ මතු පැමිණෙන රාජ්‍යයට ආශීර්වාද වේවා!+ ඉතා උස් තැන්හි සිටින තැනැත්තාණෙනි, ඔහුව ආරක්ෂා කරන්න” කියා හඬ නඟා කීවෝය. 11  යේසුස් යෙරුසලමට පැමිණ දේවමාලිගාවට ඇතුල් වී අවට සිදු වන සියල්ල දෙස බැලුවේය. අඳුර වැටී තිබූ නිසා ඔහු ගෝලයන් දොළොස්දෙනා සමඟ එතැනින් පිටත් වී බෙතානියට ගියේය.+ 12  පසුවදා ඔවුන් බෙතානියෙන් පිටත් වී ගමන් කරන විට ඔහුට බඩගින්නක් දැනිණ.+ 13  ඔහු කොළ ඇති අත්තික්කා ගසක් දුරදීම දුටුවේය. ඒ කාලය අත්තික්කා වාරය නොවුණත් කෑමට එහි අත්තික්කා තිබේද කියා බැලීමට ඔහු ගස ළඟට ගිය විට එහි කොළ හැර ගෙඩි කිසිවක් තිබුණේ නැත.+ 14  එවිට ඔහු, “මෙතැන් පටන් සදහටම කිසිවෙකු මේ ගසෙන් පල කන්නේ නැහැ”+ කියා කීවේය. ඔහු ඒ අවස්ථාවේදී පැවසූ දේට සවන් දෙමින් සිටියේ ඔහුගේ ගෝලයන්ය. 15  ඔවුහු ඉන්පසු නැවතත් යෙරුසලමට ගියහ. එහිදී ඔහු දේවමාලිගාවට ඇතුල් වී, එහි විකුණමින්ද මිල දී ගනිමින්ද සිටි අයව පිටතට එළවා දැමුවේය. ඔහු මුදල් මාරු කරන්නන්ගේ මේසද පරෙවියන් විකුණමින් සිටි අයගේ බංකුද පෙරළා දැමුවේය.+ 16  ඊට අමතරව දේවමාලිගාව මැදින් කිසිම භාණ්ඩයක් ගෙන යෑමට ඔහු කිසිවෙකුට ඉඩ නොදුන්නේය. 17  ඔහු, “‘මාගේ ගෘහය හඳුන්වනු ලබන්නේ සියලු ජාතීන් සඳහා+ තිබෙන යාච්ඤා ගෘහයක්+ ලෙසයි’ කියා ලියා තිබෙනවා නොවෙයිද? නමුත් ඔබ එය කොල්ලකාරයන්ගේ ගුහාවක්+ බවට පත් කර තිබෙනවා” කියා පැවසුවේය. 18  ඔහු පැවසූ දේ නායක පූජකයන්ටත් නීතිය පිටපත් කරන්නන්ටත් ඇසුණු විට ඔවුහු යේසුස්ව මරා දැමීමට මං සෙවූහ.+ නමුත් ඔහු ඉගැන්වූ දේවල් අසා මුළු සමූහයා නිතරම මවිතයට පත් වන ආකාරය+ දුටු ඔවුහු ඔහුට භය වූහ. 19  අඳුර වැටුණු විට ඔවුහු නුවරින් පිටත්ව ගියෝය. 20  ඊළඟ දවසේ හිමිදිරි උදෑසනින්ම ඔවුහු නැවතත් ගමන් කරන විට කලින් දවසේ දුටු අත්තික්කා ගස සම්පූර්ණයෙන්ම මැලවී තිබෙන ආකාරය ඔවුහු දුටුවෝය. එහි මුලත් වියළී තිබිණ.+ 21  පේතෘස් කලින් දින සිදු වූ දේ මතකයට නංවමින්, “ගුරුතුමනි, අර බලන්න! ඔබ ශාප කළ අර අත්තික්කා ගස මැලවී ගිහිල්ලා” කියා කීවේය.+ 22  එවිට යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය. “දෙවි කෙරෙහි විශ්වාසය ඇතුව සිටින්න. 23  මා ඔබට කියන මේ දේට සවන් දෙන්න. යමෙක් මේ කන්දට, ‘මෙතැනින් ඉවත් වී මුහුදේ ගිලෙන්න’ කියා පවසා ඒ ගැන කිසිම සැකයක් නොතබා තමන් කී දේ සිදු වෙනවාමයි යන විශ්වාසයෙන් සිටියොත් ඒ දේ අනිවාර්යයෙන්ම සිදු වෙයි.+ 24  එමෙන්ම මා ඔබට කියන මේ දේ හොඳින් මතක තබාගන්න. ඔබ යාච්ඤාවෙන් ඉල්ලන සෑම දෙයක්ම ඔබට මේ වන විටත් ලැබී තිබෙනවා කියා විශ්වාස කරන්න. එවිට ඒ දේවල් ඔබට අනිවාර්යයෙන්ම ලැබෙයි.+ 25  ඔබ යාච්ඤා කරන අවස්ථාවේදී තව කෙනෙකු සමඟ යම් ගැටලුවක් ඔබට තිබිය හැකියි. එසේනම් ඔහුට සමාව දෙන්න.+ ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් ඔබේ වැරදිවලට සමාව දෙන්නේ ඔබ එසේ කළොත් පමණයි.”+ 26  —— 27  ඔවුහු නැවතත් යෙරුසලමට ගියහ. ඔහු දේවමාලිගාවෙහි ඇවිදිමින් සිටියදී නායක පූජකයෝද නීතිය පිටපත් කරන්නෝද වැඩිමහල්ලෝද ඔහු ළඟට ඇවිත්,+ 28  “අවසරයක් ඇතුවද ඔබ මේ දේවල් කරන්නේ? කවුද ඔබට ඒ අවසරය දුන්නේ” කියා ඔහුගෙන් ඇසූහ.+ 29  එවිට යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “මමත් කැමතියි ඔබෙන් ප්‍රශ්නයක් අසන්න. ඔබ ඒ ප්‍රශ්නයට පිළිතුරු දුන්නොත් මා කරන දේවල් කරන්න මට අවසර ලැබුණේ කාගෙන්ද කියා මමත් ඔබට කියන්නම්.+ 30  යොහන් මිනිසුන්ව බව්තීස්ම කළේ+ දෙවිගේ අවසරයෙන්ද නැත්නම් මිනිසුන්ගේ අවසරයෙන්ද කියා මට කියන්න පුළුවන්ද?”+ 31  ඔවුහු තම තමන් අතරේ මෙසේ කතා කරගත්තෝය. “අප ‘දෙවිගේ අවසරයෙන්’ කියා කිව්වොත්, ‘ඔබ ඔහුව විශ්වාස නොකළේ ඇයි’ කියා ඔහු අපෙන් අසයි.+ 32  නමුත් ‘මිනිසුන්ගේ අවසරයෙන්’ කියා පවසන්නත් අපට බැහැ.” . . . සියලුදෙනා යොහන්ව අනාගතවක්තෘවරයෙකු ලෙස පිළිගත් නිසා ඔවුහු සමූහයාට භයෙන් සිටියහ.+ 33  එහෙයින් ඔවුහු පිළිතුරු වශයෙන් යේසුස්ට මෙසේ පැවසුවෝය. “අපි දන්නේ නැහැ.” යේසුස්ද, “එසේනම් මම මේ දේවල් කරන්නේ කාගේ අවසරයෙන්ද කියා මමත් ඔබට කියන්නේ නැහැ” කියා කීවේය.+

පාදසටහන්