එසකියෙල් 36:1-38

36  “මනුෂ්‍ය පුත්‍රය, ඊශ්‍රායෙල් දේශයේ කඳු ගැන අනාවැකි කියන්න. ඔබ මෙසේ පැවසිය යුතුය. ‘ඊශ්‍රායෙල් දේශයේ කඳුකරය,+ යෙහෝවා දෙවි පවසන දේට සවන් දෙන්න.  විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “සතුරෝ ඔබ මුහුණ දුන් විපත ගැන ප්‍රීති වෙමින්,+ ‘පුරාණයේ සිටම තිබූ උස් තැන්+ දැන් අයිති අපටයි’ කියා උදම් අනති.”’+  “එබැවින් ඔබ මෙම අනාවැකිය දැනුම් දෙන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඔවුහු ඔබව පාළු කළෝය.+ සෑම පැත්තකින්ම ඔබව වට කර ඔබව ගිලගැනීමට උත්සාහ කළෝය.+ එමනිසා විනාශ නොවී ඉතුරු වූ අවට ජාතීහු ඔබව අයිති කරගත්තෝය.+ ඔබ ජනයාගේ කතාබහට ලක් විය.+ ඔවුහු ඔබ ගැන බොහෝ නරක ආරංචි පැතිරෙව්වෝය.+  එබැවින් ඊශ්‍රායෙල් දේශයේ කඳුකරය,+ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන දේට සවන් දෙන්න. විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි කඳු, හෙල්, ගංගා, තැනිතලා හා පාළුවට ගිය ස්ථානවලට පවසන දේට සවන් දෙන්න.+ ඉතුරුව සිටින අවට ජාතීන්ගේ සරදමටත් කොල්ල කෑමටත් ලක් වූ අත්හැර ගිය නුවරවලට ඔහු පවසන දේට සවන් දෙන්න.+  විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. ‘ඉතුරුව සිටින ජාතීන්ට හා මුළු ඒදොම් දේශයට විරුද්ධව+ මාගේ දැවෙන උදහසින් මම කතා කරන්නෙමි.+ ඔවුහු මාගේ දේශයේ තණබිම් අයිති කරගෙන එහි තිබෙන සියල්ල කොල්ල කන පිණිස+ මාගේ දේශය යටත් කරගත්තෝය.+ ඔවුහු මාගේ සෙනඟට ඔච්චම් කරමින්+ මහත් සතුටක් ලැබුවෝය.’”’  “දැන් ඊශ්‍රායෙල් දේශය ගැන අනාවැකි කියන්න. ඔබ එහි කඳු, හෙල්, ගංගා සහ තැනිතලාවලට මෙසේ කිව යුතුය. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “මම බොහෝ සේ උදහස්ව සිටිමි. මාගේ දැවෙන කෝපය නිසා මට නිහඬව සිටිය නොහැක. මන්ද ජාතීන් අතින් ඔබ අවමානයට ලක්ව ඇත.”’+  “එබැවින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘ඔබ අවට සිටින ජාතීන්ව මම අවමානයට ලක් කරන බවට+ අත ඔසවා දිවුරන්නෙමි.+  ඊශ්‍රායෙල් දේශයේ කඳුකරය, ඔබේ සෙනඟ ළඟදීම පැමිණෙනු ඇත!+ එහෙයින් දැන් සූදානම් වන්න. ඔබේ ගස්, අතු ඉති ලිය ලා සරුසාරව වැඩෙනු ඇත. මාගේ සෙනඟ වූ ඊශ්‍රායෙල් වෙනුවෙන් ඔබ පල දරනු ඇත.+  මන්ද මම ඔබ දෙස සතුටින් බලා ඔබට කරුණාව පෙන්වන්නෙමි.+ එවිට ඔබ තුළ බීජ වපුරා වගා කරනු ලබන්නේය.+ 10  මම ඔබව ජනාවාස කරන්නෙමි.+ මුළු ඊශ්‍රායෙල් ජනයාම පාළුවට ගිය ඔබේ නුවරවල පදිංචි වනු ඇත.+ නටබුන් වූ තැන් නැවත ගොඩනඟනු ලබනවා ඇත.+ 11  මම ඔබ තුළ වසන මිනිසුන්ගේද සතුන්ගේද සංඛ්‍යාව බොහෝ සේ වැඩි කරන්නෙමි.+ මිනිසුන්ද සතුන්ද දිනෙන් දින වැඩි වනු ඇත. අතීතයේදී මෙන් මම ඔබව ජනාකීර්ණ කර+ කලින් ආශීර්වාද කළාටත් වඩා ඔබට බොහෝ සේ ආශීර්වාද කරන්නෙමි.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වනු ඇත.+ 12  ඔබ තුළ මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල් ජාතිය නැවතත් සැරිසරනු ඇත. ඔවුහු ඔබව හිමි කරගන්නෝය.+ ඔබද ඔවුන්ගේ උරුමය වන්නහුය.+ ඔබ නැවත කිසිදා ඔවුන්ගේ දරුදැරියන්ව සොරාගන්නේ නැත.’”+ 13  “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. ‘ඇතමෙක් ඔබ ගැන මෙසේ පවසා ඇත. “ඔබ මිනිසුන්ව ගිල දමන, ඔබ තුළ වසන ජාතීන්ගෙන් දරුදැරියන්ව සොරාගන්නා දේශයකි.”’+ 14  ‘එහෙත් ඔබ තවදුරටත් මිනිසුන්ව ගිල දමන්නේ නැත.+ මින් මතු ඔබ තුළ වෙසෙන ජාතීන්ගෙන් දරුදැරියන්ව සොරාගන්නේ නැත.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය. 15  ‘ඔබ ගැන අවමන්සහගත දේවල් පැවසීමට මම ජාතීන්ට තවදුරටත් ඉඩ නොදෙන්නෙමි.+ මින් මතු ජනයාගේ නින්දා අපහාසවලට ඔබ ලක් වන්නේ නැත.+ ඔබ තුළ වෙසෙන ජාතීන්ව නැවත කිසිදා යටත් කරගන්න කිසිවෙකුට හැකි වන්නේ නැත.’ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.” 16  ඊළඟට යෙහෝවා දෙවි මට මෙසේද කීවේය. 17  “මනුෂ්‍ය පුත්‍රය, ඊශ්‍රායෙල් සෙනඟ තම දේශයේ වාසය කරමින් සිටි කාලයේදී, ඔවුන් කළ දේවල් නිසාත් ඔවුන්ගේ හැසිරීම නිසාත් දේශය දිගින් දිගටම අපවිත්‍ර විය.+ ඔවුන් ගත කළ දූෂිත ජීවිතය මා සැලකුවේ ඔසප් කාලයේ ස්ත්‍රියකගේ අපවිත්‍රකමට සමානවය.+ 18  ඔවුහු තම පිළිකුල්සහගත රූපවලින් දේශය අපවිත්‍ර කළා පමණක් නොව+ ඒ මත අහිංසකයන්ගේ ලේද හැළුවෝය.+ එහෙයින් මාගේ උදහස ඔවුන් මත වැගිරුවෙමි. 19  මම ඔවුන්ව ජාතීන් අතරටත් විවිධ දේශයන් අතරටත් විසුරුවාහැරියෙමි.+ ඔවුන් ගත කළ ජීවිතයට අනුව මම ඔවුන්ව විනිශ්චය කර ඔවුන්ට දඬුවම් කළෙමි.+ 20  ඔවුහු ඒ විවිධ ජාතීන් අතරට ගියෝය. ‘මේ යෙහෝවා දෙවිගේ ජනතාව නේද? ඔවුන්ගේ දේශයෙන් ඔවුන්ව දැන් පිටමං කරලා’+ කියා පවසමින් ඒ ජාතීහු මාගේ ශුද්ධ නාමයට නින්දා කරන්න පටන්ගත්තෝය.+ 21  ඊශ්‍රායෙල් ජාතිය විවිධ ජාතීන් අතරට ගොස් මාගේ නාමය නින්දාවට පත් කළෝය. මාගේ ශුද්ධ නාමයට ගෙනා ඒ නින්දාව ඉවත් කිරීමට මම අනිවාර්යයෙන්ම පියවර ගන්නෙමි.”+ 22  “එබැවින් ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඊශ්‍රායෙල් ජනයෙනි, මා මේ දේ කරන්නේ ඔබ නිසා නොවේ. ඔබ ජාතීන් අතරේ නින්දාවට පත් කළ මාගේ ශුද්ධ නාමය වෙනුවෙන් මම මේ දේ කරමි.”’+ 23  ‘ජාතීන් අතරේ ඔබ නින්දාවට පත් කළ මාගේ ශ්‍රේෂ්ඨ නාමය මම අනිවාර්යයෙන්ම ගෞරවයට පත් කරන්නෙමි.+ මා ඔවුන් ඉදිරියෙහිත් ඔබ ඉදිරියෙහිත් මාගේ නාමය ගෞරවයට පත් කරන විට+ මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඒ ජාතීන්ට සිදු වනු ඇත.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය. 24  ‘ඔබ විසිරී සිටින දේශයන් අතරින්ද ජාතීන් අතරින්ද මම ඔබව එකතු කරගෙන ඔබේම දේශයට ගෙනෙන්නෙමි.+ 25  මම ඔබ මතට පිරිසිදු ජලය වත් කර ඔබව පවිත්‍ර කරන්නෙමි.+ ඔබ කළ සියලු අපවිත්‍ර ක්‍රියාවලින් ඔබ පවිත්‍ර වනු ඇත.+ ඔබේ පිළිකුල්සහගත රූප සියල්ල ඉවත් කර මම ඔබව පවිත්‍ර කරමි.+ 26  මම ඔබට අලුත් හදවතක් දී+ ඔබ සිතන ආකාරයද වෙනස් කරන්නෙමි.+ ගලක් මෙන් දැඩිව තිබෙන ඔබේ සිත ඉවත් කර ප්‍රේමයෙන් පිරි හදවතක් ඔබට දෙන්නෙමි.+ 27  මාගේ බලය ඔබ තුළ ක්‍රියාත්මක වීමට සලස්වන්නෙමි.+ මම ඔබ වෙනුවෙන් පියවර ගන්නෙමි. එවිට ඔබ මාගේ අණපනත්වලට එකඟවද+ මාගේ තීරණවලට එකඟවද ජීවත් වනු ඇත.+ 28  මා ඔබේ මුතුන්මිත්තන්ට දුන් දේශයෙහි ඔබ වාසය කරනවා ඇත.+ ඔබ මාගේ සෙනඟ වන්නහුය. මමද ඔබේ දෙවි වන්නෙමි.’+ 29  “‘ඔබ කළ සියලු අපවිත්‍ර දේවලට මම ඔබට සමාව දෙන්නෙමි.+ මාගේ අණට කීකරු වන ධාන්‍ය ගස් ඔබට සරුසාර අස්වැන්නක් දෙනු ඇත. ඔබට සාගතයකින් පීඩා විඳින්න මම ඉඩ නොදෙන්නෙමි.+ 30  මම ගස්වල පලදාවද කෙත්වල අස්වැන්නද වැඩි කරන්නෙමි. එවිට ඔබ නැවත කිසිදා සාගතයකට හසු වී ජාතීන්ගේ නින්දාවට ලක් නොවනු ඇත.+ 31  ඒ කාලයේදී, ඔබ අතීතයේ කළ සියලු වැරදිද ඔබ දුෂ්ටව හැසිරුණු ආකාරයද ඔබට සිහි වනු ඇත.+ එවිට ඔබ ගැනත් ඔබ කළ වැරදි ගැනත් ඔබ කළ නින්දිත දේවල් ගැනත් ඔබටම මහත් පිළිකුලක් දැනෙනු ඇත.’+ 32  විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. ‘මා මෙලෙස ක්‍රියා කරන්නේ ඔබ වෙනුවෙන් නොවන බව හොඳින් මතක තබාගන්න.+ එහෙයින් ඊශ්‍රායෙල් ජනයෙනි, ඔබ කළ දේවල් ගැන ලැජ්ජා වී දුක් වන්න.’+ 33  “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘ඔබේ සියලු අපවිත්‍රකම්වලින් මා ඔබව පවිත්‍ර කරන දවසේදී මම ඔබේ සෑම නුවරක්ම ජනාකීර්ණ කරන්නෙමි.+ නටබුන් වූ තැන් නැවත ගොඩනැඟීමටද පියවර ගන්නෙමි.+ 34  ඒ දේශය කොතරම් පාළුවට ගොස් ඇද්ද කියා එය පසු කරගෙන යන සියල්ලෝම දුටුවෝය.+ නමුත් එය යළි අස්වැන්නෙන් පිරුණු සරුසාර දේශයක් බවට පත් වනු ඇත. 35  ඒ දේශය ගැන ජනතාව මෙසේ පවසනු ඇත. “පාළුවට ගිය ඒ දේශය දැන් ඒදන් උයන මෙනි.+ සතුරන් අතින් විනාශ වී පාළුවට ගිය නුවරවල් දැන් හොඳින් ගොඩනඟා ආරක්ෂාව තර කර තිබේ. ඒ නුවරවල් දැන් මිනිසුන්ගෙන් පිරී ඇත.”+ 36  කඩා බිඳ දැමූ දේ නැවත ගොඩනැඟුවෙත් පාළුවට ගිය තැන් පුරා ගස් සිටෙව්වෙත් යෙහෝවා දෙවි වන මා බව ඔබ අවට ඉතුරුව සිටින ජාතීන්ට පිළිගන්න සිදු වෙයි.+ මේ දේ පවසන්නේ යෙහෝවා දෙවි වන මමය. එබැවින් මම එය අනිවාර්යයෙන්ම ඉටු කරන්නෙමි.’+ 37  “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. ‘මා ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් කුමක් කරනු ඇද්ද කියා මගෙන් විමසීමට මම ඔවුන්ට ඉඩ දෙන්නෙමි.+ බැටළු රැළක් බෝ වී වැඩි වෙන්නාක් මෙන් මම ඔවුන්ගේ ගණනද වැඩි කරන්නෙමි.+ 38  ඔවුහු ශුද්ධ සෙනඟකි. ඔවුහු උත්සව කාලයේදී යෙරුසලමට එක් රොක් වන සෙනඟක් මෙන් වන්නෝය.+ මෙලෙස පාළුවට ගිය නුවරවල් මිනිසුන්ගෙන් පිරී ඉතිරී යනු ඇත.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ජනතාවට සිදු වනු ඇත.’”

පාදසටහන්