එසකියෙල් 38:1-23

38  යෙහෝවා දෙවි මට තවදුරටත් මෙසේ පැවසුවේය.  “මනුෂ්‍ය පුත්‍රය,+ මෙෂෙක්+ හා තූබල්+ යන දේශවල ප්‍රධාන අධිපතියා වන මාගොග් දේශයේ+ ගොග්ට විරුද්ධව දැන් අනාවැකි කියන්න.  ඔබ මෙසේ පැවසිය යුතුයි. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “මෙෂෙක් හා තූබල්හි මහ අධිපතියා වන ගොග්, මම ඔබට විරුද්ධව නැඟී සිටිමි.  මම ඔබව මෙල්ල කර, ඔබේ හකුවලට කොකු දමා+ ඔබවත් ඔබේ මුළු මහත් හමුදාවත් ඇදගෙන යන්නෙමි.+ මනා ලෙස සරසන ලද+ අශ්වයන්ගෙන්ද අසරුවන්ගෙන්ද සමන්විත, ලොකු කුඩා පලිස්වලින් හා කඩුවලින් සන්නද්ධ වූ ඒ අතිමහත් සේනාව ඔබත් සමඟම එනු ඇත.+  පර්සියාවේද+ ඉතියෝපියාවේද+ පූට් දේශයේද+ වැසියෝ ඔබේ හමුදාවට එකතු වී සිටිති. ඔවුහු සියලුදෙනා හිස්වැසුම් පැළඳගෙන කුඩා පලිස් අතැතිව සිටින්නෝය.  ගොමෙර් දේශයේ+ වැසියෝද ඔවුන්ගේ සියලු බළඇණිද උතුරු දිශාවේ ඉතා පිටිසර පළාතක් වන තොගර්මාහි වැසියෝ+ සහ ඔවුන්ගේ සියලු බළඇණිද ඇතුළුව විශාල ජන පිරිසක් ඔබ සමඟ සිටිති.+  “‘“දැන් සූදානම් වන්න. ඔබ සමඟ සිටින සමූහයවත් ඔබ අසල රැස්ව සිටින සියලුදෙනාවත් සූදානම් කරන්න.+ ඔබ ඔවුන්ගේ නායකයා විය යුතුයි.  “‘“බොහෝ කාලයක් ගත වූ පසු මම ඔබ වෙතට මාගේ අවධානය යොමු කරන්නෙමි. මන්දයත් අවසාන කාලයේදී, කඩු ප්‍රහාරයෙන් බේරාගනු ලැබූ ජනයාගේ දේශයට විරුද්ධව ඔබ පැමිණෙනු ඇත.+ බොහෝ ජාතීන් අතරින් එකතු කරනු ලැබූ ඒ ජනයාව+ බොහෝ කාලයක් පුරා පාළුවට ගොස් තිබුණු ඊශ්‍රායෙල්හි කඳු මතට ගෙනෙන ලදි. විවිධ දේශයන් අතරේ විසිර සිටි ඔවුන්ව එකතු කර එම දේශයට ගෙනෙන ලදි. ඔවුන් සියලුදෙනා දැන් සුරක්ෂිතව එම දේශයෙහි වාසය කරන බව ඔබ දකින්නෙහිය.+  එබැවින් ඔබ චණ්ඩ මාරුතයක් මෙන් ඔවුන්ට විරුද්ධව පැමිණෙනු ඇත.+ මුළු දේශයම වසාගන්නා ගන වලාවක් මෙන්+ ඔබද ඔබත් සමඟ එකතු වී සිටින සියලු බළඇණිද ජන සමූහයද ඔවුන්ට විරුද්ධව පැමිණෙන්නෝය.”’ 10  “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසා ඇත්තේ මෙයයි. ‘ඒ කාලයේදී විවිධාකාර අදහස් ඔබේ සිතට පහළ වී+ ඔබ කූට උපායක් යෙදීමට පෙලඹෙනු ඇත.+ 11  එහෙයින් ඔබ මෙසේ කියාගන්නෙහිය. “කිසි ආරක්ෂාවක් නැති ඒ ගම්බද පළාතට පහර දෙන්න මම පිටත්ව යන්නෙමි.+ එහි ජීවත් වන සියලුදෙනාම කිසිවෙකුගෙන් හිරිහැරයක් නැතුව සුරක්ෂිතව වාසය කරන්නෝය. එහි නිවෙස්වලට දොරවල්වත් දොරගුලුවත් දමා නැත. ඒ දේශය වටා පවුරක්වත් නැත.+ ඒ නිසා ඒ දේශය අල්ලාගන්න මට හැකි වෙයි.” 12  යළි ගොඩනඟා ජනාවාස කරනු ලැබූ ඒ දේශයටත්+ විවිධ ජාතීන් අතරින් එකතු කරනු ලැබූ ඒ ජනයාටත්+ පහර දෙන පිණිස ඔබ පිටත්ව එන්නෙහිය. පොළොව මැද වාසය කරන ඒ ජනයා+ බොහෝ ඉඩකඩම් හා ධන සම්පත් රැස් කරගෙන සිටිති.+ ඒ නිසා සිතේ හැටියට කොල්ල කෑමේ අධිෂ්ඨානයෙන් ඔබ ඔවුන්ට විරුද්ධව පිටත්ව එන්නෙහිය.+ 13  “‘ෂෙබා,+ දෙදාන්+ සහ තර්ෂිෂ්හි වෙළෙන්දෝද+ කේශර සිංහයන් වැනි වූ එහි නායකයෝද+ ඔබෙන් මෙසේ අසනු ඇත. “ඔබ ඒ දේශයට යන්නේ කොල්ල කන්න නේද? ඔබ මේ මහත් සමූහය රැස් කරගත්තේ එහි තිබෙන ධන සම්පත් සියල්ල පැහැරගන්න නේද? එහි ඇති රන් රිදී, ඉඩකඩම් හා මහා ධන සම්භාරය ලබාගන්න නේද ඔබ මේ යන්නේ?”’ 14  “එහෙයින් මනුෂ්‍ය පුත්‍රය, ඔබ ගොග්ට මෙම අනාවැකිය පවසන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. “ඒ කාලයේදී මාගේ සෙනඟ සුරක්ෂිතව වාසය කරන බව ඔබ දකින්නෙහිය.+ 15  ඔබ උතුරුකරයේ ඉතා ඈතින් පිහිටි ඔබේ වාසස්ථානයෙන් පිටත්ව එනු ඇත.+ අශ්වයන් පිට නැඟී එන අතිවිශාල යුධ හමුදාවක් ඔබ සමඟ පැමිණෙනු ඇත.+ 16  ඔබ දේශය වසාගන්නා ගන වලාවක් මෙන් මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල් ජාතියට විරුද්ධව පැමිණෙන්නෙහිය.+ මේ දේ සිදු වන්නේ අවසාන කාලයේදීය. එහෙත් මාගේ දේශයට විරුද්ධව පියවර ගැනීමට ඔබේ සිත පොලඹවන්නේ මා බව හොඳින් මතක තබාගන්න.+ මා එසේ කරන්නේ ජාතීන් ඉදිරියේ මාගේ නාමය ගෞරවයට පත් වන පිණිසයි. එවිට සියලුදෙනා මා කවුද කියා හොඳින්ම දැනගනු ඇත.”’+ 17  “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. ‘මා අතීතයේදී ඊශ්‍රායෙල් දේශයේ සිටි මාගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් ඔබ ගැන+ කතා කළා නොවේද? ඔබ ඔවුන්ට විරුද්ධව පැමිණෙන බව මා වසරක් වසරක් පාසා අනාවැකි තුළින් පැවසුවා නොවේද?’+ 18  “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘ගොග් ඊශ්‍රායෙල් දේශයට විරුද්ධව පැමිණෙන දවසේදී මාගේ උදහස දැවෙනු ඇත.*+ 19  මා දැවෙන කෝපයකින් යුතුව+ කතා කරන ඒ දවසේදී ඊශ්‍රායෙල් දේශය තුළ මහත් කම්පනයක් ඇති වන්නේය.+ 20  මා නිසා මත්ස්‍යයෝද පක්ෂීහුද වනයේ සැරිසරන මෘගයෝද බඩ ගා යන සියලු සත්වයෝද මුළු මිනිස් වර්ගයාද බියෙන් වෙවුලන්නෝය.+ කඳු පවා බිමට හෙළනු ලැබේ.+ මහා පර්වත සුනුවිසුනු කරනු ලැබේ. සෑම පවුරක්ම පොළොවට සමතලා කරනු ඇත.’ 21  “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි.+ ‘මම ගොග්ට විරුද්ධව කඩුවක් එවන්නෙමි. ඒ කඩුව මාගේ දේශයේ සියලු කඳු වෙතට ගොස් ගොග්ගේ සෙනඟට පහර දෙන්නේය. එවිට එක් එක් කෙනා තම තමාගේ සහෝදරයාට කඩුවෙන් පහර දෙනු ඇත.+ 22  මම ඔහුට විරුද්ධව මාගේ විනිශ්චය ක්‍රියාත්මක කරන්නෙමි.+ මම ඔහුටත් ඔහුගේ හමුදාවටත් ඔහු කැටුව එන ජන සමූහයටත් පහර දී මහා ලේ වැගිරීමක් සිදු කරන්නෙමි.+ වසංගතයෙන්ද+ ධාරානිපාත වැසිවලින්ද හිම කැට වර්ෂාවෙන්ද+ ගින්නෙන්+ හා ගෙන්දගම්වලින්ද මම ඔවුන්ට පහර දෙන්නෙමි.+ 23  මෙසේ, මා ගෞරවයට පත් වන පිණිස මම පියවර ගන්නෙමි.+ මට සිදු වී ඇති නින්දාව සම්පූර්ණයෙන්ම ඉවත් කර සියලු ජාතීන්ට මා කවුදැයි දැනගන්න සලස්වන්නෙමි. එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔවුන්ට සිදු වනු ඇත.’+

පාදසටහන්

මූ.අ., “මාගේ උදහස නාස්පුඩුවලින් නික්මෙයි.”