දේශනාකාරයා 8:1-17

8  ප්‍රඥාවන්තයාට සම කළ හැකි කෙනෙකු සිටීද?+ යම් කාරණයක අර්ථය වටහාගත හැක්කේ කාටද?+ ප්‍රඥාව අත් කරගැනීමෙන් මිනිසෙකුගේ සිත සතුටින් පිනා යයි. ඔහුගේ මුහුණේ තිබුණු සැරපරුෂ ස්වභාවයද නැති වී යයි.+  මා ඔබට දෙන උපදේශය මෙයයි. “ඔබ දෙවිට දුන් පොරොන්දුවට විශ්වාසවන්ත වෙමින්+ රජුගේ නියෝගය පවත්වන්න.+  ඔහු වෙතින් ඉවත්ව යෑමට ඉක්මන් නොවන්න.+ වැරදි ක්‍රියාවකට සම්බන්ධ නොවන්න.+ මන්ද රජු යම් දෙයක් සිතුවොත් ඔහු අනිවාර්යයෙන්ම එය ඉටු කරගනී.+  මන්ද රජුගේ වචනයට ඉහළින් යන්න කාටවත් නොහැක.+ ‘ඔබ කුමක්ද මේ කරන්නේ’ කියා ඔහුගෙන් කිසිවෙකුට ඇසිය නොහැක.”  නීතිගරුක පුද්ගලයෙකුට කිසි අනතුරක් සිදු නොවෙයි.+ එමෙන්ම යම් කාරණයක් සම්බන්ධයෙන් පියවර ගැනීමට නිසි වේලාවක් හා නිසි ක්‍රමයක් තිබෙන බව ප්‍රඥාවන්තව සිතන කෙනෙක් දනී.+  මන්ද සෑම කාරණයක්ම හැසිරවීමට නිසි වේලාවක් හා නිසි ක්‍රමයක් තිබේ.+ තවද මිනිසාට දරාගන්න බැරි තරමටම බොහෝ දුක් කරදර තිබේ.+  අනාගතයේ කුමක් සිදු වෙයිද කියා කිසිවෙක් නොදනියි.+ එසේනම්, ඉදිරියේදී කුමක් වෙයිද කියා පැවසිය හැක්කේ කාටද?  මිය යන මොහොතේදී තම හුස්ම පිට වී යෑම වැළැක්වීමටවත්+ මැරෙන දවස කල් දැමීමටවත් මිනිසෙකුට බලය නැත.+ යුද්ධයට ගිය කෙනෙකුට සටනින් ඉවත්ව යා නොහැක.+ එසේම, දුෂ්ටයෙකුට තම දුෂ්ට උපායන් මගින් ගැලවීමක් ලබාගත නොහැක.+  මේ සෑම දෙයක්ම මම ඇස් දෙකෙන්ම දුටුවෙමි. ඉර යට සිදු කෙරෙන සෑම කාර්යයක් දෙසම මම සිත යොමු කළෙමි. ඒ මුළු කාලය පුරාම මිනිසා අන් අයට හානියක් වන ලෙසින් තම බලය ක්‍රියාත්මක කර ඇත.+ 10  ඒ කෙසේනමුත්, දුෂ්ටයන් ශුද්ධ නුවරට+ ඇතුල් වූ ආකාරයත් එතැනින් පිටත්ව යන ආකාරයත් ඔවුන්ව තැන්පත්+ කරනු ලැබූ ආකාරයත් මම දුටුවෙමි. ඔවුන් ඒ නුවරේ දුෂ්ට ලෙස හැසිරුණත් එහි වැසියන්ට ඔවුන්ව අමතක වී ගිය බවත් මම දුටුවෙමි.+ මෙයද ඉතා නිෂ්ඵල දෙයකි. 11  වරදකට නිසි දඬුවම වහාම නොදෙන විට+ ජනයා කිසි බියක් සැකක් නොමැතිව දුෂ්ටකම් කිරීමට පෙලඹෙති.+ 12  පව්කාරයෙකු සිය වරක් දුෂ්ටකම් කර+ බොහෝ කල් සතුටින් ජීවත් වුණත් අවසානයේදී සැබෑ දෙවි කෙරෙහි ගරුබියක් ඇති අයට යහපතක් සිදු වන බව මට විශ්වාසය.+ ඔවුන්ට හොඳ ප්‍රතිඵල අත් වන්නේ දෙවි කෙරෙහි ඔවුන්ට ගරුබියක් ඇති නිසාය.+ 13  එහෙත් දුෂ්ටයාට දෙවි කෙරෙහි ගරුබියක් නැති නිසා+ ඔහුට කිසි යහපතක් සිදු වන්නේ නැත.+ ඔහු සෙවණැල්ලක් මෙන් ඉක්මනින්ම නැති වී යන්නේය.+ 14  පොළොවේ සිදු වන තවත් නිෂ්ඵල දෙයක් මම දුටුවෙමි. දුෂ්ටයන් විඳිය යුතු දේ ධර්මිෂ්ඨයන්ට විඳීමට සිදු වෙයි.+ එමෙන්ම ධර්මිෂ්ඨයන් භුක්ති විඳිය යුතු දේ දුෂ්ටයෝ භුක්ති විඳින්නෝය.+ මෙයද ඉතා නිෂ්ඵල දෙයකි. 15  සන්තෝෂ වීම මම අනුමත කරමි.+ මන්ද මිනිසෙකු කා බී සතුටින් සිටීම තරම් හොඳ දෙයක් ඉර යට නැත. එමෙන්ම සැබෑ දෙවි ඔහුට ඉර යට+ ජීවත් වීමට දුන් කාලය පුරාම වෙහෙස මහන්සි වී කරන සියලු වැඩවලින්ද ඔහු තෘප්තියක් ලබාගත යුතුයි.+ 16  ප්‍රඥාව ගැන හොඳ අවබෝධයක් ලබාගැනීමටත් මනුෂ්‍යයන් කරන සෑම කාර්යයක් ගැනම සොයා බැලීමටත්+ මම උත්සාහ කළෙමි.+ එහෙත් ඒ සියලු කාර්යයන් නිසා ඔවුන්ට දිවා රාත්‍රි දෙකෙහිම නින්දක් නොලැබෙයි.+ 17  සැබෑ දෙවි ඉර යට සිදු කරන සියලු දේ+ තේරුම්ගැනීමට මිනිසාට නොහැකි බව මම දුටුවෙමි.+ මිනිසා ඒවා තේරුම්ගැනීමට කොතරම් වෙහෙසුණත් ඔවුන්ට එය කළ නොහැක.+ එවැනි දේ තේරුම්ගැනීමට තරම් තමුන් ප්‍රඥාවන්තයයි පැවසුවත්+ ඔවුන්ට එසේ කිරීමට හැකියාවක් නැත.+

පාදසටහන්