Skip to content

යොවුන් සිතේ ගැටලු

අද්භූත දේවල්වලට සම්බන්ධ දෙයක් විනෝදෙට කරන එක වැරදිද?

අද්භූත දේවල්වලට සම්බන්ධ දෙයක් විනෝදෙට කරන එක වැරදිද?

 ඔයා මොනවාද හිතන්නේ?

  •   කේන්දර බලන එක, පේන කීම වගේ අද්භූත දේවල්වලින් උපකාර පතන එකේ හානියක් තියෙනවාද?

  •   අද්භූත දේවල් ගැන තියෙන කතා නිකම්ම හොඳ අයයි, නරක අයයි අතර ඇති වෙන සටනක් විස්තර කරන මනඃකල්පිත දෙයක්ද? නැත්නම් ඒවා ඇත්තටම අපිට හානියක් කරන්න පුළුවන් භයානක දෙයක්ද?

 අද්භූත දේවල්වලට හිත ඇදිලා යන්න පුළුවන් ඇයි කියලත් ඔයා පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි කියලත් මේ ලිපියේ කතා කරනවා.

 හිත ඇදිලා යන්නේ ඇයි?

 අද්භූත දේවල් ඇතුළත් චිත්‍රපටිවලින්, TV වැඩසටහන්වලින්, වීඩියෝ ගේම්වලින් සහ පොත් පත්වලින් ගොඩක් අය හොඳට සල්ලි හම්බ කරලා තියෙනවා. ඒ නිසා අද කාලේ ඒ වගේ දේවල්වල වැඩි හරියක්ම තියෙන්නේ අද්භූත දේවල්. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අද ඉන්න ගොඩක් යෞවනයන්ට ජ්‍යෝතිඃ ශාස්ත්‍රය ගැන, භූතයන් ගැන, ලේ උරා බොන වැම්පයර්ලා ගැන මායා බන්ධන ක්‍රියා වගේ දේවල් ගැන ලොකු උනන්දුවක් ඇති වෙලා තියෙනවා. ඇයි යෞවනය අය ඒ වගේ දේවල්වලට ඇදිලා යන්නේ? ඒකට හේතු වෙන සමහර දේවල් තමයි:

  •   කුතුහලය: අපිට නොපෙනෙන පිරිසක් ඇත්තටම ඉන්නවාද කියලා දැනගන්න තියෙන කුතුහලය

  •   ආසාව: අනාගතය ගැන දැනගන්න තියෙන ආසාව

  •   කතා කරන්න: තමන්ට සමීප කෙනෙක් මැරුණාට පස්සේ එයාට ආයෙත් කතා කරන්න

 ඒවා වැරදි කියලා කියන්න බැහැ. මොකද අනාගතයේ මොනවා වෙයිද කියලා හිතන එක, තමන් ගොඩක් ආදරේ කරපු කෙනෙක් මැරුණාම පාළුවක් දැනෙන එක වගේ දේවල් සාමාන්‍යයි. ඒ වුණත් පරෙස්සම් වෙන්න ඕන පැතිත් තියෙනවා.

 පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි?

 භූතවාදයට සම්බන්ධ ඕනෑම දෙයක් අනතුරුදායකයි කියලා බයිබලයේ පැහැදිලිව කියලා තියෙනවා. උදාහරණයකට බයිබලයේ එක තැනක මෙහෙම කියලා තියෙනවා:

 “පේන කියන්නවත් මන්තර ගුරුකම් කරන්නවත් නැකත් බලන්නවත් මායා බලයෙන් දේවල් කරන්නවත් ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් නොපෙලඹිය යුතුයි. කොඩිවින සහ හදිහූනියම් කරන්නවත් කට්ටඩියෙකුගේ හෝ ශාස්ත්‍ර බලන කෙනෙකුගේ උපකාර ලබන්නවත් මළවුන්ගෙන් තොරතුරු විචාරන්නවත් කිසිම කෙනෙක් නොපෙලඹිය යුතුයි. එවැනි දේවල් කරන කිසිවෙක් ඔබ අතරේ නොසිටිය යුතුයි. මන්ද එවැනි දේවලට හවුල් වන සෑම කෙනෙක්ම යෙහෝවා දෙවිට පිළිකුලක්.”—ද්විතීය කතාව 18:10-12.

 බයිබලයේ ඒ විදිහට භූතවාදය හෙළාදකින්නේ ඇයි?

  •   භූතයන් කියන්නේ දෙවියන්ට විරුද්ධව කැරලි ගහලා ඔහුගේ සතුරන් වෙච්ච දේවදූතයන් පිරිසක් කියලා බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 6:2; යූද් 6.) භූතයන් මිනිසුන්ව මුළා කරන්න මායා බන්ධන කරන අය, සාස්තර කියන අය, මන්තර ගුරුකම් කරන අය සහ ජ්‍යෝතිඃ ශාස්ත්‍රය කරන අයව පාවිච්චි කරනවා. අපි ඒ වගේ දේවලට හවුල් වෙනවා කියන්නේ අපි භූතයන් එක්ක බැඳීමක් ඇති කරගන්නවා කියන එකයි. එහෙම වුණොත් අපිත් දෙවියන්ගේ සතුරන් වෙනවා.

  •   සමහර මිනිසුන්ට අනාගතය ගැන දැනගන්න විශේෂ හැකියාවක් තියෙනවා කියලා භූතවාදයට අනුබල දෙන අය කියනවා. ඒත් දෙවියන්ට විතරයි මෙහෙම කියන්න පුළුවන්. “අවසානයේදී සිදු වීමට නියමිත දේ දැනුම් දෙන තැනැත්තා මමය. මම මුල පටන්ම ඒ ගැන දැනුම් දුනිමි. මේ වන තුරුත් සිදු නොවූ දේවල් ගැනද මම බොහෝ කලකට පෙර දැන්වූවෙමි.”—යෙසායා 46:10; යාකොබ් 4:13, 14.

  •   මළවුන් එක්ක අපිට කතා කරන්න පුළුවන් කියන බොරුව පතුරුවන්නෙත් භූතවාදයෙන්. ඒ වුණත් බයිබලයේ මෙහෙම කියලා තියෙනවා. “මිය ගිය අය කිසිවක් දන්නේ නැත. . . . ඔබ යන මිනී වළේදී කිසි වැඩක් කරන්නවත් කිසි දෙයක් ගැන කල්පනා කරන්නවත් ඔබට නොහැක. එහි දැනුමද ප්‍රඥාවද නැත.”—දේශනාකාරයා 9:5, 10.

 ඒ හේතු නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් භූතවාදයට සම්බන්ධ දේවල්වලට කිසිම විදිහකින් හවුල් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි ලේ උරා බොන වැම්පයර්ලා, ඇවිදින මළ මිනී සහ අද්භූත බලයන් තියෙන අයගේ චරිත ඇතුළත් චිත්‍රපටි හරි, වෙනත් වැඩසටහන් හරි විනෝදය සඳහා බලන්නෙත් නැහැ. මරියා කියන තරුණිය මෙහෙම කියනවා. “බලන වැඩසටහනේ භූතවාදයට සම්බන්ධ පුංචිම දෙයක් හරි තියෙනවා නම් බලන්න හොඳ නැහැ.” a

අපරාධකරුවෙක්ට වෙන කෙනෙක් වගේ රඟපාමින් ඔයාව මුළා කරන්න පුළුවන් වගේ මිය ගිය ඔයා ආදරය කරපු කෙනෙක් වගේ රඟපාන්න භූතයන්ට පුළුවන්

 ඔයාට කරන්න පුළුවන් දේ

  •   අද්භූත දේවලට සම්බන්ධ වත්පිළිවෙත්වලින් සහ විනෝදාංශවලින් සම්පූර්ණයෙන්ම වැළකිලා යෙහෝවා ‘දෙවිට විරුද්ධව කිසි වරදක් නොකර’ පිරිසිදු හෘදය සාක්ෂියක් තියාගන්න අදිටන් කරගන්න.—ක්‍රියා 24:16.

  •   භූතවාදයට සම්බන්ධ මොකක් හරි දෙයක් ඔයා ළඟ තියෙනවා නම් ඒක අයින් කරලා දාන්න. පළවෙනි ශතවර්ෂයේ හිටපු ක්‍රිස්තියානීන් ඒ සම්බන්ධයෙන් අපිට හොඳ ආදර්ශයක් තැබුවා. ඒ ගැන ක්‍රියා 19:19, 20 සඳහන් වෙන දේ කියවලා බලන්න.

 මේක මතක තියාගන්න: භූතවාදයට සම්බන්ධ හැම දේකින්ම වැළකිලා ඉන්නකොට ඔයා පෙන්නන්නේ යෙහෝවා දෙවියන් කැමති දේ කරන්න කැමතියි කියන එකයි. ඒ ගැන යෙහෝවා දෙවියන් ගොඩක් සතුටු වෙයි.—හිතෝපදේශ 27:11.

a මනඃකල්පිත කතාවක් වටා ගෙතිලා තියෙන හැම වැඩසටහනක්ම, හැම චිත්‍රපටියක්ම භූතවාදයට සම්බන්ධයි කියලා ඒකෙන් අදහස් කරන්නේ නැහැ. ඒ නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඒ වගේ දේවල් බලන්න කලින් බයිබලයේ ඉගැන්වීම් පදනම් කරගෙන පුහුණු කරපු තමන්ගේ හෘදය සාක්ෂිය පාවිච්චි කරලා තීරණ ගන්නවා.—2 කොරින්ති 6:17; හෙබ්‍රෙව් 5:14.