Skip to content

යොවුන් සිතේ ගැටලු

දෙමාපියන් මෙච්චර නීති දාන්න ඕනෙද?

දෙමාපියන් මෙච්චර නීති දාන්න ඕනෙද?

දෙමාපියන් දාන නීති තද වැඩියි කියලා ඔයාට හිතෙනවාද? එහෙමනම් ඒ ගැන ඔයාගේ අම්මා තාත්තා එක්ක කතා කරන්න මේ ලිපියෙත් මේකට සම්බන්ධ වැඩ පිටුවෙත් තියෙන තොරතුරු ඔයාට උදව් වෙයි.

 හොඳ පැත්ත දකින්න

වැරදි අදහස: කවදා හරි ගෙදරින් ගිය දවසක ආයෙත් කවදාවත් නීතිවලට කීකරු වෙන්න ඕනෙ වෙන්නේ නැහැ.

ඇත්ත මේකයි: ගෙදරින් ගියා කියලා ඔයා නීතිවලින් නිදහස් වෙන්නේ නැහැ. කාගෙ හරි නීතියකට යටත් වෙන්නම වෙනවා. සමහරවිට ඒ ඔයාගේ රස්සාවේ ප්‍රධානියා නැත්නම් ඔයා නැවතිලා ඉන්න ගෙදර අයිති කෙනා වෙන්න පුළුවන්. ආණ්ඩුවෙන් දාන නීතිවලට ඔයා කීකරු වෙන්නම ඕනේ. “ගෙදර නීතිවලට කීකරු වෙන්න බැරි යෞවනයන් කවදා හරි තනියම ජීවත් වෙන්න පටන්ගත්තාම මොන තරම් නීතිවලට කීකරු වෙන්න ඕනෙද කියලා දැනෙද්දී ඒ ගැන පුදුම වෙයි” කියලා වයස අවුරුදු 19ක් වන ඩැනියෙල් කියනවා.

බයිබලේ දෙන උපදෙස: ‘ආණ්ඩුවල බලධාරීන්ට කීකරුව ඉන්න.’ (තීතස් 3:1) අම්මලා තාත්තලා දාන නීතිවලට කීකරු වෙන්න ඉගෙනගන්නවා නම් වැඩිහිටියෙක් වුණාට පස්සේ ජීවිතේ අද්දකින දේවලට හොඳට මුහුණ දෙන්න ඒක හොඳ පුහුණුවක් වෙනවා.

මෙහෙම කරලා බලන්න: දෙමාපියන් දාන නීතිවල හොඳ පැත්ත දකින්න උත්සාහ කරන්න. යෞවනයෙක් වන ජෙරමි මෙහෙම කියනවා. “අම්මලා දාලා තිබුණු නීති නිසා හොඳ යාළුවෝ හොයාගන්නේ කොහොමද කියලත් තියෙන වෙලාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද කියලත් ඉගෙනගන්න මට පුළුවන් වුණා. ඒ වගේම ඕනෑවට වඩා TV බලන්න, වීඩියෝ ගේම්ස් ගහන්න කාලය නාස්ති කරන්නේ නැතුව ඒ කාලේ ප්‍රයෝජනවත් වැඩවලට යොදවන්න මට පුළුවන් වුණා. ඒ දේවලින් අදටත් මං ප්‍රයෝජන ලබනවා.”

 ඒ ගැන කතා කරන විදිහ

ඒත් දාලා තියෙන නීතිය කිසිම තේරුමක් නැහැ කියලා හිතුණොත් මොකද කරන්නේ? උදාහරණයකට යෞවනියක් වන ටමාරා කියන දේ බලන්න. “මට වෙන රටකට යන්න අවස්ථාව ලැබුණාම අම්මලා ඒකට මට ඉඩ දුන්නා. ඒත් මං ආපහු ආවාට පස්සේ විනාඩි 20ක් දුරින් තියෙන ටවුමටවත් මට තනියම වාහනෙන් යන්න දෙන්නේ නැහැ.”

ඔයා ඉන්නෙත් ඒ වගේ තත්වයක නම් ඒ ගැන දෙමාපියන් එක්ක කතා කරන එක වැරදිද? නැහැ. හැබැයි ඒ ගැන කතා කරන්න ඕන සුදුසුම වෙලාවයි කතා කරන්න ඕන සුදුසුම විදිහයි ඔයා තෝරගන්න ඕනේ.

සුදුසුම වෙලාව. “ඔයා වගකීමක් කරට අරං වැඩ කරන්න පුළුවන් කෙනෙක් කියලා ඔප්පු කළාට පස්සේ ඔයාට පුළුවන් දාලා තියෙන නීති වෙනස් කරගන්න එක ගැන දෙමාපියන් එක්ක කතා කරන්න” කියලා යෞවනියක් වන ඇමැන්ඩා කියනවා.

ඒක මොන තරම් ඇත්තක්ද කියලා අද්දැකපු ඩාරියා මෙහෙම කියනවා. “මං දිගටම කීකරු වෙනවා කියලා අම්මාට තේරුණාට පස්සේ තමයි මට දාලා තිබුණ නීති වෙනස් කරන්න එයා කැමති වුණේ.” විශ්වාසය කියන්නේ ඔයා දිනාගන්න ඕන දෙයක් මිසක් බලෙන් ලබාගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා අමතක කරන්න එපා.

දෙමාපියන්ගේ නීතිවලට කීකරු වෙන්නේ නැතුව ගෙදර ඉන්න එක හරියට ගුවන් නීතිවලට කීකරු වෙන්නේ නැතුව ප්ලේන් එකක් ගොඩ බස්සනවා වගෙයි

බයිබලේ දෙන උපදෙස: “ඔබේ පියාගේ ආඥාව පවත්වන්න. ඔබේ මවගේ උපදෙස්වලට පිටු නොපාන්න.” (හිතෝපදේශ 6:20) ඒ උපදෙසට කීකරු වෙනවා නම් ඔයාටත් පුළුවන් වෙයි දෙමාපියන්ගේ විශ්වාසය දිනාගන්න. එතකොට එයාලා එක්ක ඔයාගේ ප්‍රශ්නෙ ගැන කතා කරන්න ලේසි වෙයි.

සුදුසුම විදිහ. “කෙඳිරිගාලා, කෑගහලා ප්‍රශ්නෙ ගැන කතා කරනවාට වඩා ගෞරවයෙන්, සන්සුන්ව දෙමාපියන් එක්ක කතා කරන එක තමයි හොඳම විදිහ” කියලා ස්ටීවන් කියන යෞවනයා කියනවා.

කලින් සඳහන් කරපු ඩාරියාත් ඒකට එකඟයි. එයා මෙහෙම කියනවා. “මං අම්මා එක්ක වාද කළා කියලා කිසිම දෙයක් වෙනස් වුණේ නැහැ. සමහර වෙලාවට ඒකෙන් වුණේ දාලා තිබුණ නීති අම්මා තවත් තද කරපු එකයි.”

බයිබලේ දෙන උපදෙස: “මෝඩයා තම කෝපය මුළුමනින්ම පිට කරයි. නමුත් ඥානවන්තයා අවසානය දක්වාම සන්සුන්ව සිටියි.” (හිතෝපදේශ 29:11) තමන්ව පාලනය කරගන්න ඉගෙනගන්න එකෙන් හුඟක් ප්‍රයෝජන තියෙනවා. ගෙදරදී විතරක් නෙමෙයි ඉස්කෝලෙදී, රස්සාව කරද්දී වගේම ඕනෙම තැනකදී ඒක ප්‍රයෝජනවත් වෙනවා.

මෙහෙම කරලා බලන්න: දෙයක් කියන්න කලින් හොඳට හිතන්න. කේන්ති ගිහින් කෑගහන්න ගියොත් අවුරුදු ගාණක් තිස්සේ අමාරුවෙන් ගොඩනඟාගත්ත විශ්වාසය එක මොහොතකින් නැති වෙන්න පුළුවන්. ‘ඉක්මනින් කෝප නොවන්නා හොඳ වටහාගැනීමේ හැකියාවක් ඇති කෙනෙකි’ කියලා බයිබලයේ කියලා හිතෙන්නේ හොඳ හේතුවක් ඇතුවයි.—හිතෝපදේශ 14:29.

යෝජනාවක්: දෙමාපියන් ඔයාට දාලා තියෙන නීති ගැන මේ ලිපියට සම්බන්ධ වැඩ පිටුව යොදාගෙන හොඳට හිතලා බලන්න. ඕන වුණොත් ඒ ගැන දෙමාපියන් එක්ක කතා කරන්න.