Skip to content

යොවුන් සිතේ ගැටලු

සම්බන්ධය නතර කරනවද? - 2වෙනි කොටස

සම්බන්ධය නතර කරනවද? - 2වෙනි කොටස

ටිකක් හිතන්න, ඔයා යාළු වෙලා ඉන්න කෙනා සම්බන්ධය නතර කරන්න තීරණය කරලා තියෙනවා කියලා. එයා ඒක ඔයාට කොහොම කියනවටද ඔයා කැමති?

කට්ටියක් ඉස්සරහා ඒ ගැන ඔයාට කියනවට ඔයා කැමතිද? එහෙමනම් ඔයාගේ තීරණය ගැන එයාට කියද්දී ඔයාත් සැලකිලිමත් වෙන්න ඕනේ නැද්ද?—මතෙව් 7:12.

සම්බන්ධය නතර කරනවා කියලා ලියුමක්, SMS එකක්, ඊ-මේල් එකක් යවලා කියන එකත් එච්චර හරි නැහැ. හැබැයි කලාතුරකින් එහෙම කරන්න සිද්ධ වෙන අවස්ථාත් තියෙනවා. කොහොමවුණත් සම්බන්ධය නතර කරන්න ගත්ත තීරණය සැහැල්ලුවට ගන්න පුළුවන් එකක් නෙමෙයි නිසා ඒ ගැන කියන්නේ කොයි වෙලාවේද, කොතැනදීද කියලා හොඳට හිතලා බලන්න.

ඔයාගේ තීරණය ගැන එයාට කියද්දී බයිබලයේ තියෙන වටිනා උපදෙසක් අදාළ කරගන්න ඔයාට පුළුවන්. බයිබලයේ අපිට දිරිගන්වලා තියෙන්නේ අනිත් අයත් එක්ක ‘සත්‍යය කතා කරන්න’ කියලයි.—එෆීස 4:25.

සම්බන්ධය නතර කරන්න ඔයා තීරණය කළේ ඇයි කියලා එයාට පැහැදිලිව කියන්න.

හැබැයි එහෙම කරද්දී එයාගේ දුර්වලකම්, වැරදි ලැයිස්තුවක් කියන්න ඕනේ නැහැ. එයාගේ හිත රිදෙන්නේ නැති විදිහට දේවල් පැහැදිලි කරන්න.

ඔයාගේ තීරණය ගැන ඔයා යාළු වෙලා ඉන්න කෙනාට කිව්වට පස්සේ සමහරවිට එයා දුක හිතෙන විදිහට කතා කරලා ඔයා ගත්ත තීරණය වෙනස් කරන්න හදන්න පුළුවන්. හැබැයි සම්බන්ධය නතර කරන්න ඔයා තීරණය කළේ හොඳට හිතලා බලලා නිසා ඔයාගේ තීරණයට ඇලිලා ඉන්න. “සම්බන්ධය නතර කළාට පස්සේ මං යාළු වෙලා හිටපු කෙනා හැම තිස්සෙම ගොඩක් දුකෙන් ඉන්නවා වගේ පෙන්නුවා. මං හිතන්නේ එයා එහෙම කළේ මගේ අනුකම්පාව ගන්නයි. එයාව දැක්කම මටත් දුක හිතුණා තමයි. ඒත් මං මගේ තීරණය වෙනස් කළේ නැහැ.” එහෙම කියන්නේ ලෝරා කියන තරුණියයි. ඔයාත් ලෝරා වගේ තීරණයක් ගත්තා නම් ඒ තීරණයේම ඉන්න. වැනෙන්න එපා.—යාකොබ් 5:12.