Skip to content

යොවුන් සිතේ ගැටලු

අනිත් ළමයි මට අරියාදු කරනවා නම් මොකද කරන්නේ?

අනිත් ළමයි මට අරියාදු කරනවා නම් මොකද කරන්නේ?

ළමයි අනිත් ළමයින්ට අරියාදු කරන එක සැහැල්ලුවට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. සියදිවි හානි කරගන්න යෞවනයන්ගෙන් 40%කට වඩා වැඩිදෙනෙක් එහෙම කරගන්නේ අනිත් අය කරන අරියාදු නිසා කියලා බ්‍රිතාන්‍යයේ කරපු සමීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවා.

 අරියාදු කරන එකට අයිති වෙන්නේ මොන වගේ දේවල්ද?

අරියාදුවලට ශාරීරිකව හිරිහැර කරන එක විතරක් නෙමෙයි මේ දේවලුත් අයිතියි.

  • වචනවලින් පහර දෙන එක. “ගෑනු ළමයිනුත් එක එක දේවල් කියලා අනිත් අයට අරියාදු කරනවා. සමහර ළමයි මට දාපු නම් කවදාවත් අමතක වෙන්නෑ. එයාලා කියපු දේවල් නිසා මට හිතුණේ මගෙන් කිසි වැඩක් නෑ, එයාලා මට කැමති නෑ කියලයි. එක එක දේවල් කියලා මාව රිද්දනවට වඩා එයාලා මට ගැහුවා නම් හොඳයි කියලා මට හිතුණා.” එහෙම කිව්වේ අවුරුදු 20ක් වයස සෙලින්.

  • කොන් කරන එක. හේලි කියන යෞවනිය මෙහෙම කිව්වා. “ඉස්කෝලේ යාළුවෝ මාව මඟඅරින්න පටන්ගත්තා. මම එයාලා එක්ක ඉඳගෙන කෑම ගන්න හදද්දී මට එතන ඉඩ නෑ කියලා එයාලා ඇඟෙව්වා. මං අවුරුද්දක්ම කෑම කෑවේ තනියෙන්. ඒ මුළු කාලෙම මං ඇඬුවා.”

  • සයිබ අරියාදු (Cyberbullying). “කොම්පියුටර් එකෙන් වචන කීපයක් ටයිප් කරලා කාගේ හරි චරිතයක් එහෙම්පිටින්ම ඝාතනය කරන්න පුළුවන්. සමහරවිට ඒ නිසා ජීවිතයක් වුණත් නැති වෙන්න පුළුවන්. ඒක විශ්වාස කරන්න අමාරු වුණාට ඇත්තටම වෙන්න පුළුවන් දෙයක්” කියලා අවුරුදු 14ක් වයස ඩැනියෙල් කිව්වා. සයිබ අරියාදුවලට ෆෝන් එක හරහා කෙනෙක්ව ලැජ්ජාවට පත් කරන පින්තූරු නැත්නම් SMS යවන එකත් ඇතුළත් වෙනවා.

 ළමයි අනිත් ළමයින්ට අරියාදු කරන්නේ ඇයි?

ඒකට හේතු කීපයක් තියෙන්න පුළුවන්.

  • එයාලත් අරියාදුවලට මූණ දීලා තියෙන නිසා. “ඉස්කෝලේ ළමයි නිතරම මට අරියාදු කරපු නිසා මමත් අනිත් අයට අරියාදු කරන්න පටන්ගත්තා. එතකොටවත් එයාලගේ හිත දිනාගන්න පුළුවන් වෙයි කියලා මං හිතුවා. හැබැයි මං කරපු දේ කොච්චර වැරදිද කියලා පස්සේ කාලෙක මට තේරුණා.” එහෙම කිව්වේ ආන්ටෝනියෝ.

  • නරක ආදර්ශ නිසා. මේ වගේ දෙයක් පොතක සඳහන් වෙනවා. “හුඟක් වෙලාවට ළමයි අනිත් ළමයින්ට නපුරු විදිහට සලකන්නේ එයාලගේ දෙමාපියන්, අයියලා අක්කලා නැත්නම් වෙනත් නෑදෑයෝ එහෙම කරනවා දකින නිසයි.”—Life Strategies for Dealing With Bullies.

  • අනිත් අයට ලොකුකම් පෑවට ඇත්තටම එයාලගේ හිතේ කිසි හයියක් නැති නිසා. “ළමයින්ට අරියාදු කරන අය ඇත්තට එහෙම කරන්නේ එයාලගේ හිතේ තියෙන දුකක් මඟඇරගන්න. නැත්නම් එයාලට එයාලා ගැනම එච්චර හොඳ හැඟීමක් නැති නිසා ඒකෙන් ගොඩ එන්න” කියලා එක පොතක සඳහන් වෙනවා.—The Bully, the Bullied, and the Bystander.

 අරියාදුවලට වැඩියෙන්ම ලක් වෙන්න පුළුවන් මොන වගේ අයද?

  • අනිත් අයගෙන් වෙන් වෙලා ඉන්න අය. අනිත් අයත් එක්ක එච්චර කතාබහ කරන්නේ නැති, ආශ්‍රය කරන්නේ නැති අය හුඟක් වෙලාවට අරියාදුවලට ලක් වෙන්න පුළුවන්.

  • අනිත් අයට වඩා වෙනස් කියලා පේන යෞවනයන්. යෞවනයෙක්ගේ පෙනුම, ජාතිය, ආගම නිසා හරි නැත්නම් එයාට තියෙන ආබාධයක් නිසා හරි එයා අනිත් ළමයින්ට වඩා වෙනස් නම් එයාට අරියාදු කරන්න ඉඩ තියෙනවා.

  • ආත්ම විශ්වාසය අඩු අය. අනිත් අය තමන්ට කොච්චර හිරිහැර කළත් ආත්ම විශ්වාසය අඩු කෙනෙක් ඔළුව නමාගෙන ඔහේ ඒවා විඳගෙන ඉන්නවා කියලා අරියාදු කරන ළමයි දන්නවා. ඒ නිසා එයාලට අරියාදු කරන්න තියෙන ඉඩකඩ වැඩියි.

 ළමයි ඔයාට අරියාදු කරනවා නම් කරන්න පුළුවන් මොනවද?

  • කේන්ති ගන්න එපා. කයිලි මෙහෙම කියනවා. “කේන්ති ගත්තොත් අරියාදු කරන ළමයි දන්නවා ඔයාට රිද්දන්න එයාලා ගත්ත උත්සාහය සාර්ථකයි කියලා. එතකොට එයාලා තව තවත් ඒකම කරනවා. ඒත් ඔයා කේන්ති ගන්නේ නැතුව හිටියොත් එහෙම වෙන්නෑ.” බයිබලේ කියන්නේ “ඥානවන්තයා අවසානය දක්වාම සන්සුන්ව සිටියි” කියලයි.—හිතෝපදේශ 29:11.

  • එකට එක කරන්න එපා. එකට එක කරන්න ගියොත් වෙන්නේ ප්‍රශ්නේ තවත් දුරදිග යන එකයි. “කාටවත් නපුරට නපුර නොකරන්න” කියලා බයිබලෙත් දිරිගන්වලා තියෙනවා.—රෝම 12:17; හිතෝපදේශ 24:19.

  • අරියාදුවලට විහින් ලක් වෙන්න එපා. අරියාදු කරන ළමයින්ව හා අරියාදුවලට ලක් වෙන්න පුළුවන් අවස්ථා පුළුවන් තරම් මඟහරින්න.—හිතෝපදේශ 22:3.

  • එයාලා නොහිතන ප්‍රතිචාරයක් දක්වන්න. අරියාදු කරන අය බලාපොරොත්තු වෙන්නේ ඔයා කේන්තියෙන් ප්‍රතිචාරය දක්වයි කියලා. හැබැයි බයිබලේ මෙහෙම කියනවා. “මෘදු පිළිතුරකින් කෝපය නිවී යයි.”—හිතෝපදේශ 15:1.

  • හිතට ගන්න එපා. උදාහරණයකට ඔයා මහතයි කියලා ඔයාට විහිළු කරනවා නම් ඒක හිතට ගන්නේ නැතුව ඔයාත් ඒ ගැන පොඩි විහිළුවක් කරලා ගාණක් නැති විදිහට ඉන්න.

  • එතනින් අයින් වෙන්න. “කේන්තියෙන් ප්‍රතික්‍රියා කරන්නේ නැතුව ඉන්න එකෙන් තේරෙන්නේ ඔයා කලබල වෙන්නේ නැති, ඉක්මනින් සැලෙන්නේ නැති කෙනෙක් කියලයි. ඒ වගේම ඔයාට ඔයාවම පාලනය කරගන්න පුළුවන් කියලත් ඒකෙන් ඔප්පු වෙනවා. හැබැයි ඒ එක ගුණාංගයක්වත් අරියාදු කරන කෙනා ළඟ නැහැ.” එහෙම කිව්වේ අවුරුදු 19ක් වයස නෝරා.

  • ආත්ම විශ්වාසය වැඩි කරගන්න. “ඔයා කලබල වුණොත් අරියාදු කරන කෙනාට ඒක තේරෙනවා. එතකොට එයා කරන්නේ තව තවත් ඔයාට කරදර කරලා මානසිකව වට්ටන එකයි” කියලා රීටා කියනවා.

  • කාට හරි කියන්න. ඉන්ටර්නෙට් එක හරහා එක එක අරියාදුවලට මුහුණ දෙන අයගෙන් වැඩි දෙනෙක්ම ලැජ්ජාව නිසා හරි, ප්‍රශ්නේ තවත් වැඩි වෙයි කියලා හිතලා හරි ඒ ගැන කාටවත් කියන්නේ නැහැ කියලා එක සමීක්ෂණයකින් ඔප්පු වෙලා තියෙනවා. හැබැයි ඒ ගැන නොකියා ඉන්න තරමට අරියාදු කරන අය කැමතියි. ඒ නිසා අරියාදුවලින් ගැලවෙන්න ගන්න පුළුවන් මුල්ම පියවර ඒ ගැන කාට හරි කියන එක.