Skip to content

යොවුන් සිතේ ගැටලු

දුක්මුසු සිද්ධියක් දරාගන්නේ කොහොමද?

දුක්මුසු සිද්ධියක් දරාගන්නේ කොහොමද?

ඕනම කෙනෙක්ට දුක්මුසු දේවලට මුහුණ දෙන්න වෙනවා. බයිබලයේ කියන්නේ ‘වේගවත්ම අය තරඟයෙන් ජය නොගනිති. බලවතුන්ද යුද්ධයෙන් ජය ගන්නේ නැත. නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල් සියලුදෙනාටම සිදු විය හැක’ කියලයි. (දේශනාකාරයා 9:11) ඒ වගේ දුක්මුසු දේවලට යෞවනයනුත් මුහුණ දීලා තියෙනවා. ඔවුන් ඒවාට සාර්ථකව මුහුණ දුන්නේ කොහොමද? දෙන්නෙක්ගේ අද්දැකීම් බලමු.

 රෙබෙකා

මට අවුරුදු 14දී අම්මායි තාත්තායි දික්කසාද වුණා.

මං හිතුවේ තාත්තාට ටිකක් තනි වෙලා ඉන්න ඕන ඇති කියලා. ඒ දෙන්නා දික්කසාද වෙයි කියලා නම් කවදාවත් හිතුවේ නැහැ. තාත්තා අම්මාට ආදරෙයිනේ. ඇයි අම්මාව දාලා ගියේ? ඇයි මාවත් දාලා ගියේ?

සිද්ධ වෙන දේවල් ගැන කාත් එක්කවත් කතා කරන්නවත් ඒ ගැන හිතන්නවත් මං කැමති වුණේ නැහැ. මට නොතේරුණත් ඒ දවස්වල මං හිටියේ ලොකු කේන්තියකින්. හිතේ තිබුණ කරදර නිසා මට එච්චර නින්ද ගියෙත් නැහැ.

මගේ අම්මාට පිළිකාවක් හැදිලා මැරෙද්දී මගේ වයස අවුරුදු 19යි. අම්මා තමයි මගේ හොඳම යාළුවා.

අම්මායි තාත්තායි දික්කසාද වුණ එක ගැන මට දුකයි. ඒත් අම්මා නැති වුණාම දැනුණ දුක නම් දරාගන්න බැරි වුණා. තාමත් ඒ දුක දැනෙනවා. ඒ ගැනම හිතහිත ඉන්න හින්දා නින්ද යන්නෙත් නැහැ.

මේ තත්වෙට මුහුණ දෙන්න මට උදව් වෙන දේවල් කීපයක්ම තියෙනවා. උදාහරණෙකට හිතෝපදේශ 18:1 කියනවා අනිත් අයගෙන් වෙන් වෙලා ඉන්න එපා කියලා. ඒ නිසා මං ඒ අවවාදය පිළිපදින්න උත්සාහ කරනවා.

ඒ වගේම මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් හින්දා බයිබලයේ තොරතුරු ඇතුළත් පොත් පත් කියවනවා. අම්මායි තාත්තායි දික්කසාද වුණ වෙලාවේ ‘යොවුන් සිතේ ගැටලු - ඊට විසඳුම්’ කියන පොත කියවපු එක මට ලොකු උදව්වක් වුණා. විශේෂයෙන්ම 2වෙනි පොතේ “එක් කෙනෙක් නැතුව සතුටින් ඉන්න පුළුවන්ද?” කියන පරිච්ඡේදය කියවපු එක සහනයක් වුණා.

හිතේ කරදර අඩු කරගන්න මම නිතරම කියවපු බයිබල් පදවලින් කොටසක් තමයි මතෙව් 6:25-34. ඒකේ 27වෙනි පදයේ යේසුස් මේ වගේ ප්‍රශ්නයක් අහනවා. “කනස්සලු වුණා කියා තම ආයු කාලය දවසකින්වත් දික් කරගන්න ඔබ අතරෙන් කාටවත් පුළුවන්ද?”

අපි හැමෝටම අමිහිරි අද්දැකීම්වලට මුහුණ දෙන්න වෙනවා. ඒත් කරදර එද්දී ඒවාට සාර්ථකව මුහුණ දෙන විදිහ මං අම්මාගෙන් ඉගෙනගත්තා. දික්කසාද වෙන්න සිද්ධ වුණත් මාරාන්තික ලෙඩක් හැදුණත් අම්මා අධෛර්යය වෙන්නේ නැතුව අන්තිම මොහොත වෙනකම්ම දෙවියන්ට විශ්වාසවන්තව හිටියා. යෙහෝවා දෙවියන් ගැන අම්මා මට කියලා දුන්න දේවල් කවදාවත් අමතක වෙන්නේ නැහැ.

හිතන්න දෙයක්: දුක්මුසු තත්වයන්ට මුහුණ දෙද්දී බයිබලය සහ බයිබලයේ තොරතුරු ඇතුළත් පොත් පත් කියවන එක උදව්වක් වෙන්නේ කොහොමද?—ගීතාවලිය 94:19.

 කෝඩෙල්

මට වයස අවුරුදු 17දී තාත්තා මැරෙන විදිහ මගේ ඇස් දෙකෙන්ම දැක්කා. මගේ ජීවිතේ ලොකුම වේදනාව වින්දේ තාත්තා නැති වුණ වෙලාවේ.

තාත්තා මැරුණ වෙලාවේ එයාලා රෙද්දකින් වැහුවා. ඒ වෙලාවේ මට දැනුණේ ඒ මගේ තාත්තා නෙමෙයි කියලයි. මට හිතුණෙම තාත්තා මැරුණේ නැහැ ‘හෙට එයා ඇහැරෙයි’ කියලා. මට දැනුණේ ලොකු හිස්කමක්.

මායි මගේ පවුලේ අයයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. තාත්තා මැරුණ වෙලාවේ අපේ සභාවේ අය පුදුම විදිහට උදව් කෙරුවා. අපිට කෑම බීම ගෙනත් දුන්නා, අපිත් එක්ක නතර වෙලා අපේ හිත සැනසුවා. දවසක් දෙකක් නෙමෙයි කාලයක් යන කල්ම එහෙම කෙරුවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සැබෑ ක්‍රිස්තියානීන් කියලා ඒකෙන් මට තවත් තහවුරු වුණා.—යොහන් 13:35.

2 කොරින්ති 4:17, 18 කියන දේ මට ලොකු ශක්තියක් වුණා. ඒකේ කියන්නේ මෙහෙමයි. “අපට මුහුණ දීමට සිදු වන්නේ සුළු පීඩාවන්ටය. ඒවා පවතින්නෙත් කෙටි කලකටය. නමුත් එහි ප්‍රතිඵලයක් ලෙස අපට අතිමහත් මෙන්ම සදාකාලික තේජසක් හිමි වේ. එහෙයින් අප නිරතුරුව බලා සිටින්නේ පෙනෙන දේවල් දෙස නොව නොපෙනෙන දේවල් දෙසය. මන්ද පෙනෙන දේවල් පවතින්නේ කෙටි කාලයකටය. නමුත් නොපෙනෙන දේවල් සදාකාලිකය.”

ඒකේ අන්තිම වාක්‍යය දෙක මගේ හිතට හුඟක් කාවැදුණා. තාත්තා වෙන් වුණේ ටික කාලෙකට. ඒත් දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා සදාකාලික ජීවිතයක් අනාගතයේදී ලබා දෙනවා කියලා. තාත්තාගේ මරණය, මම ජීවිතේ ගත කරන විදිහ ගැනත් මං තියලා තියෙන ඉලක්ක ගැනත් හිතලා බලන්න මාව පෙලඹෙව්වා.

හිතන්න දෙයක්: දුක්මුසු දේකට මුහුණ දෙන එක ඔයා තියලා තියෙන ඉලක්ක ගැන ආපහු හිතන්න පෙලඹීමක් ඇති කරන්නේ කොහොමද?1 යොහන් 2:17.