Skip to content

යොවුන් සිතේ ගැටලු

යාළු වෙන්න කාලේ හරිද?

යාළු වෙන්න කාලේ හරිද?

 මිතුරුකමට වඩා වැඩි දෙයක්ද?

  • ඔයා නිතරම එහේ මෙහේ යන්නේ ඔයාගේ හිත ගිය කෙනා එක්ක නම් ඔය දෙන්නා අතරේ තියෙන්නේ මිතුරුකමකට වඩා වැඩි දෙයක්ද?

  • හිත ඇදිලා ගිය කෙනෙක්ට ඔයා දවසට කීප වතාවක්ම SMS යවනවා නම් වරු ගණන් ෆෝන් එකෙන් කතා කරනවා නම් ඔය දෙන්නා අතරේ තියෙන්නේ මිතුරුකමකට වඩා වැඩි දෙයක්ද?

  • යාළුවන් එක්ක ඉන්න වෙලාවටත් ඔයායි එයායි නිතරම ඉන්නේ එකට නම් ඔය දෙන්නා අතරේ තියෙන්නේ මිතුරුකමකට වඩා වැඩි දෙයක්ද?

පළවෙනි ප්‍රශ්නය දිහා බැලුවාම නම් ඔය දෙන්නා අතරේ තියෙන්නේ මිතුරුකමකට වඩා වැඩි දෙයක් කියලා තේරුම්ගන්න එක එච්චර අමාරු වෙන්න නැතුව ඇති. හැබැයි දෙවෙනි ප්‍රශ්නෙයි තුන්වෙනි ප්‍රශ්නෙයි බැලුවාම නම් ඔය දෙන්නා අතරේ තියෙන්නේ මිතුරුකමට වඩා වැඩි දෙයක් කියලා සමහරවිට ඔයාට හිතෙන්න නැතුව ඇති.

ඒත් ඔයායි ඔයාගේ හිත ඇදිලා ගිය කෙනයි ෆෝන් එකෙන් හරි, හම්බ වෙලා හරි නිතර නිතර කතා කරනවා නම් ඔය දෙන්නා අතරේ තියෙන්නේ මිතුරුකමට වඩා වැඩි දෙයක්. ඒක හොර රහසින් කළත් ප්‍රසිද්ධියේ කළත් වෙනසක් නැහැ.

එහෙම බලන කොට උඩ තිබුණු ප්‍රශ්න තුනටම උත්තරේ ‘ඔව්.’

 යාළු වෙන්නේ ඇයි?

ගැහැනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි යාළු වෙන්න ඕනේ බඳින්න කලින් දෙන්නට දෙන්නා ගැළපෙනවද කියලා දැනගන්නයි.

ඔයාගේ යාළුවන්ගෙන් සමහරදෙනෙක්ට නම් ඒ වගේ අදහසක් නැතුව ඇති. සමහරවිට ඒගොල්ලෝ කෙනෙක් එක්ක යාළු වෙන්නේ එහේ මෙහේ යන්න කෙනෙක් ඉන්නවට ආස නිසා වෙන්න ඇති. නැත්නම් කතා කරකර ඉන්න තමන්ගේම කියලා කෙනෙක් ඉන්නවට ආස නිසා වෙන්න ඇති. මට කෙනෙක් ඉන්නවා කියලා අනිත් අයට පෙන්නන්න ඕනේ නිසාත් යාළු වෙන අය ඉන්නවා.

හැබැයි ඒ වගේ සම්බන්ධකම් වැඩි කල් තියෙන්නේ නැහැ. එක යෞවනියක් ඒ ගැන මෙහෙම කිව්වා. “ගොඩක් අය යාළු වුණාට ඒවා තියෙන්නේ සතියයි දෙකයි. ඒගොල්ලෝ ඒක සලකන්නේ ටික දවසකට තියෙන දෙයක් හැටියටයි. ඒක හරියට දික්කසාදයට පෙරහුරුවක් වගෙයි.”

ඔයා කෙනෙක් එක්ක නිකං සෙල්ලමට යාළු වුණොත් ඒකෙන් පේන්නේ ඒ කෙනාගේ හැඟීම් ගැන ඔයාට කිසි ගානක් නැහැ කියන එකයි.—ලූක් 6:31.

ඔයා නිකං සෙල්ලමට කෙනෙක් එක්ක යාළු වෙන්න හදන කෙනෙක් නම් ඔයා හරියට අලුත් සෙල්ලං බඩුවක් හම්බ වුණාම ඒකත් එක්ක සෙල්ලං කරලා එපා වුණාම ඒක අයින් කරලා දාන ළමයෙක් වගෙයි

ඔයා කැමතිද කවුරු හරි ඔයාගේ හැඟීම් එක්ක සෙල්ලං කරනවට? ඒ නිසා කෙනෙක් එක්ක යාළු වෙන එක සැහැල්ලුවට ගන්න එපා. බයිබලේ කියන්නේ ප්‍රේමයෙන් ක්‍රියා කරන කෙනෙක් “අවිනීතව හැසිරෙන්නේ නැත” කියලයි.—1 කොරින්ති 13:4, 5.

චෙල්සී කියන යෞවනිය මෙහෙම කියනවා. “සමහර වෙලාවට මට හිතෙනවා යාළු වෙන එක නිකං ජොලියට කරන්න ඕනේ දෙයක් කියලා. හැබැයි දෙන්නාගෙන් එක් කෙනෙක් ඒක සීරියස් ගත්තොත් නම් ඒක සෙල්ලමක් නෙමෙයි.”

යෝජනාවක්: දෙවෙනි පේතෘස් 1:5-7 කියවලා ඔයා අදාළ කරගන්න ඕනේ ගතිලක්ෂණයක් තෝරගෙන ඒ ගැන හොඳ අවබෝධයක් ලබාගන්න. ඒක කොච්චර දුරට අදාළ කරගෙන තියෙනවද කියලා මාසයකින් බලන්න. හොඳ සහකරුවෙක් වෙන්න ඒක උදව් වෙයි.

 යාළු වෙන්න වයස හරිද?

  •  කෙනෙක් මොන වයසෙදී යාළු වුණාට කමක් නැහැ කියලද ඔයා හිතන්නේ?

  •  දැන් ඒ ප්‍රශ්නේ ඔයාගේ අම්මගෙනුයි තාත්තගෙනුයි අහන්න.

ඔයා හිතපු වයස ඔයාගේ අම්මයි තාත්තයි කියපු වයසට වඩා අඩුද වැඩිද? වැඩි නම් ඒ කියන්නේ ඔයා ඔයාවම හොඳට තේරුම්ගන්න පුළුවන් වයසකට එනකම් යාළු වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න ඥානවන්ත යෞවනයෙක්.

ඩැනියෙලුත් ඒ වගේ යෞවනියක්. එයාට වයස අවුරුදු 17යි. එයා මෙහෙම කියනවා. “මීට අවුරුදු දෙකකට කලින් මං කවදාහරි බඳින කෙනා මෙන්න මේ වගේ වෙන්න ඕනේ කියලා හිතාගෙන හිටියට දැන් ඒවා වෙනස් වෙලා. ඉස්සරහට තවත් වෙනස් වෙයි. ඒ නිසා මගේ හිත වෙනස් වෙන්නේ නැහැ කියලා මට හිතෙන කාලෙක තමයි මං කෙනෙක් එක්ක යාළු වෙන්නේ.”

බයිබලයේ තියෙන විදිහට “යොවුන් විය” කියන්නේ ලිංගික හැඟීම් ප්‍රබල වෙන්න පටන්ගන්න කාලයක්. (1 කොරින්ති 7:36) ඒ වගේ කාලයකදී ඔයා කෙනෙක් එක්ක යාළු වෙලා එයාව කිට්ටුවෙන් ආශ්‍රය කළොත් ඒ හැඟීම් පාලනය කරගන්න එක ඔයාට එච්චර ලේසි දෙයක් වෙන්නේ නැහැ. සමහරවිට ඔයා අතින් වරදක් වෙන්නත් පුළුවන්.

ඒත් ඔයාගේ යාළුවන්ගෙන් හුඟදෙනෙක් ලිංගික සම්බන්ධකම් පවත්වන්න ආසාවෙන් ඉන්න නිසා ඒගොල්ලන්ට නම් ඒක එච්චර ගානක් නැතුව ඇති. හැබැයි ඔයා ඒ රැල්ලට අහු වෙන්න එපා. (රෝම 12:2) බයිබලයෙත් දිරිගන්වලා තියෙන්නේ, “වේශ්‍යාකම වෙතින් පලා දුවන්න” කියලයි. (1 කොරින්ති 6:18) ඒ නිසා ඔයා යොවුන් විය පහු වෙනකම් හිටියොත් ‘අනවශ්‍ය දුක් කරදර’ මඟහරින්න ඔයාට පුළුවන් වෙයි.—දේශනාකාරයා 11:10.

 හදිස්සි වෙන්න හොඳ නැත්තේ ඇයි?

පොඩි වයසේදීම යාළු වෙන එක හරියට පොඩි පන්තියක ඉන්න ළමයෙක් A/L කරන්න හදනවා වගේ. ඒක එච්චර ඥානවන්ත දෙයක් නෙමෙයි. මොකද A/L විෂයන් ගැන දන්නේ නැතුව විභාගෙට ඉඳගත්තොත් එන ප්‍රශ්නවලට හොඳට උත්තර ලියන්න බැරි වෙනවා.

ඒ නිසා හදිස්සි වෙන එක ඥානවන්ත දෙයක් නෙමෙයි.

කෙනෙක් එක්ක යාළු වෙන්න කලින් ඔයා දැනගන්න ඕන වැදගත් දේවල් තියෙනවා. එක දෙයක් තමයි හොඳ මිතුරන් ඇති කරගෙන ඒ මිතුදම් දිගටම රැකගන්නේ කොහොමද කියන එක.

පස්සේ කාලෙක ඔයාට ගැළපෙන කෙනාව හම්බ වුණාම එයාත් එක්ක ශක්තිමත් බැඳීමක් ගොඩනඟා ගන්න එතකොට ඔයාට පුළුවන් වෙයි. ඇත්තටම විවාහයක් කියන්නේ හොඳ මිතුරන් දෙන්නෙක්ගේ එක් වීමක්.

යාළු වෙන්න හදිස්සි වෙන්නේ නැතුව ඉන්න එකෙන් ප්‍රයෝජන ගොඩක් තියෙනවා. එහෙම ඉන්න එකෙන් ඔයාගේ යෞවන කාලය නිදහසේ වගේම සතුටින් ගෙවන්න වැඩි අවස්ථාවක් ලැබෙනවා. (දේශනාකාරයා 11:9) අනාගතයේදී හොඳ සහකරුවෙක්, සහකාරියක් වෙන්න අවශ්‍ය ගතිගුණ ඇති කරගන්නත් ඔයාට ඒ කාලය පාවිච්චි කරන්න පුළුවන්. වැදගත්ම දේ තමයි දෙවිත් එක්ක ඔයාට තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න ඒ කාලය පාවිච්චි කරන්න ලැබෙන එක.—විලාප ගී 3:27.

ගැහැනු ළමයි පිරිමි ළමයි කියලා බලන්නේ නැතුව යෞවන කාලයේදී හැම කෙනෙක්වම මිතුරන් වගේ ආශ්‍රය කරන්න. විනෝද වෙන්න කට්ටිය එකතු වෙන වෙලාවලදී වැඩිහිටියන්වත් හවුල් කරගන්න එක ඥානවන්ත දෙයක්. ටැමී කියන යෞවනියත් මෙහෙම කිව්වා. “ඒ විදිහට කට්ටියක් එක්ක එකතු වෙන කොට සතුට වැඩියි. යාළුවෝ හුඟදෙනෙක් ඉන්න එක හොඳ දෙයක් කියලයි මට හිතෙන්නේ.” මොනිකා කියන යෞවනිය කිව්වෙත් “කට්ටියක් හැටියට ආශ්‍රය කරන එකෙන් ගොඩක් අයව අඳුනගන්න පුළුවන් වෙනවා” කියලයි.

හැබැයි ඔයා පොඩි වයසේදීම කා එක්ක හරි යාළු වුණොත් ඔයාගේ හිත පෑරෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි මිතුරන් ඇති කරගෙන ඒ මිතුදම් රැකගන්න විදිහ ගැන දැන් ඉගෙනගන්න එක. කාලයත් එක්කම ඔයාට ඔයා ගැන හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන් වෙයි. ඒ වගේම ඔයා බඳින්න කැමති මොන වගේ කෙනෙක්වද කියලා ඔයාට තවත් හොඳින් තේරෙයි. ඒ නිසා හදිස්සි වෙන්න එපා.