Skip to content

යොවුන් සිතේ ගැටලු

උපදෙසක් ලැබුණාම ඒක මං පිළිගන්න ඕනෙ කොහොමද?

උපදෙසක් ලැබුණාම ඒක මං පිළිගන්න ඕනෙ කොහොමද?

 ඔයා කරන්නේ මොනවාද කියලා හිතලා බලන්න

අපි කරන වැඩක් තවත් හොඳට කරන්න එහෙමත් නැත්නම් මොකක් හරි දෙයක් ගැන අපි හිතන විදිහ නිවැරදි කරගන්න උදව් වෙන උපදෙස් කාලෙන් කාලෙට අපි හැමෝටම ඕන වෙනවා. ඒක මතක තියාගෙන පහත සිද්ධීන් ගැන හිතලා බලමු.

  1. ඔයාට දුන්න පැවරුම කලබලෙන් කරලා තියෙනවා කියලා දැනෙන නිසා ගුරුවරයා ඔයාට මෙහෙම කියනවා. “ඔයා තොරතුරු හොඳට හොයලා නෑ. මීට වඩා කාලේ අරන් කරන්න තිබ්බා.”

    ඒ වගේ උපදෙසක් ලැබුණාම ඔයා මොකද කරන්නේ?

    1. ඒක පිළිගන්නේ නැහැ. (‘ටීචර් ඉතිං කොහොමත් මට කැමති නෑනේ.’)

    2. ඒක පිළිගන්නවා. (‘ඊළඟ පැවරුම කරද්දී ටීචර් කියපු දේ මං අදාළ කරගන්න ඕනේ.’)

  2. ඔයා කාමරේ අස් කරලා ඉවර වුණු ගමන්ම අම්මා ඇවිත් කියනවා ඔයාගේ කාමරේ හොඳටම හැඩි වෙලා කියලා.

    ඒ වගේ උපදෙසක් ලැබුණාම ඔයා මොකද කරන්නේ?

    1. ඒක පිළිගන්නේ නැහැ. (‘කොච්චර කළත් ඔච්චර තමයි.’)

    2. ඒක පිළිගන්නවා. (‘මීට වඩා හොඳට මට කාමරේ අස් කරන්න තිබුණා.’)

  3. ඔයාගේ නංගි ඔයාට කියනවා එයා කරන්න ඕන දේ කොයි වෙලෙත් එයාට ඇනඇන කියන්න ඕනෙ නැහැ කියලා.

    ඒ වගේ උපදෙසක් ලැබුණාම ඔයා මොකද කරන්නේ?

    1. ඒක පිළිගන්නේ නැහැ. (‘එයා මගේ නංගි. එයා කොහොමද මට එහෙම කියන්නේ?’)

    2. ඒක පිළිගන්නවා. (‘මං නංගිට මීට වඩා ආදරෙන් කතා කරන්න ඕනේ.’)

පුංචි උපදෙසක් ලැබුණාමත් සමහර යෞවනයන් ඉක්මනින්ම හිත රිද්දගන්නවා. හරියට පොඩි ළමයි වගේ. ඔයාත් ඒ වගේද? ඒ විදිහට වැඩ කරන එකෙන් වෙන්නේ ජීවිතේට ලැබෙන්න තියෙන වටිනා දෙයක් නැති කරගන්න එකයි. මොකද දන්නවාද? ලැබෙන උපදෙසක් සතුටින් භාරගන්න ඉගෙනගන්න එක මේ කාලෙදී විතරක් නෙවෙයි වැඩිහිටියෙක් වුණාට පස්සෙත් හුඟක් ප්‍රයෝජනවත් වෙනවා.

ඔයාගේ අඩුපාඩු පෙන්වලා දෙනවාට ඔයා අකමැති වුණත් ඔයාට ලැබෙන උපදෙස් ප්‍රතික්ෂේප කරන්න එපා. මොකද එහෙම කළොත් වෙන්නේ ඔයාට ඕනම කරන උපදෙසක් ලබාගන්න තියෙන වටිනා අවස්ථාව නැති වෙන එකයි

 මට උපදෙස් ඕන වෙන්නේ ඇයි?

  • ඔයා අතිනුත් වැරදි වෙන නිසා. බයිබලයේ මෙහෙම කියනවා. “අප සියලුදෙනා අතින් නොයෙක් අවස්ථාවලදී වැරදි සිදු වෙයි.” (යාකොබ් 3:2) ඒ නිසා අපි හැමෝටම අපේ වැරදි, අඩුපාඩු හදාගන්න උපදෙස් ඕනෙමයි.

    “අපි හැමෝම අතින් වැරදි වෙනවා කියන දේ මතක තියාගන්න මං වෑයම් කරනවා. මට උපදෙසක් ලැබුණාම ඒකෙන් පාඩමක් ඉගෙනගෙන මං අතින් වුණු වරද හදාගන්නයි මං උත්සාහ කරන්නේ.”—ඩේවිඩ්.

  • තවත් හොඳට දේවල් කරන්න ඒක ඔයාට උදව්වක් වෙන නිසා. බයිබලයේ මෙහෙම කියනවා. “ප්‍රඥාවන්තයෙකුට උපදෙස් දෙන්න. එවිට ඔහු තවත් ප්‍රඥාවන්ත වන්නේය.” (හිතෝපදේශ 9:9) උපදෙසක් ලැබුණාම ඔයා ඒක පිළිගන්නවා නම් ඒකෙන් හුඟක් ප්‍රයෝජන ලැබෙනවා.

    “ඉස්සර නම් කවුරු හරි මට උපදෙසක් දෙනවාට මං පොඩ්ඩක්වත් කැමති නෑ. මොකද මට හිතුණේ ඒක මට කරන මදිපුංචිකමක් කියලයි. හැබැයි දැන් නම් මට ලැබෙන උපදෙස් මං කැමැත්තෙන්ම පිළිගන්නවා. සමහර වෙලාවට මංම අනිත් අයගෙන් ගිහින් අහනවා මට හදාගන්න තියෙන පැති මොනවාද කියලා. මොකද මට ඕනෙ මගේ අඩුපාඩු හදාගන්නයි.”—සෙලීනා.

හදාගන්න ඕන පැති ගැන කෙනෙක්ගෙන් අහන එකයි, නොහිතන වෙලාවක කෙනෙක්ගෙන් උපදෙසක් ලැබෙන එකයි අතරේ ලොකු වෙනසක් තියෙනවා. නැටලිගේ අද්දැකීම බලන්න. බලාපොරොත්තු නොවුණු වෙලාවක එයාගේ අඩුපාඩු ගැන සඳහන් කරපු කාඩ් එකක් එයාට ලැබුණා. ඒ ගැන එයා කිව්වේ මෙහෙමයි. “ඒක මට අදහාගන්නවත් බැරි වුණා. මං කොච්චර නම් මහන්සි වුණාද! ඒත් අන්තිමේදී මට ලැබුණේ උපදෙස් විතරයි.”

ඒ වගේ දෙයක් ඔයාටත් වෙලා තියෙනවාද? ඒ වගේ දේකට හොඳින් මුහුණ දෙන්න ඔයාට පුළුවන් කොහොමද?

 මට උපදෙසක් ලැබුණාම කරන්න ඕනෙ මොනවාද?

  • ඇහුම්කන් දෙන්න.

    බයිබලයේ මෙහෙම කියනවා. “දිව පාලනය කරගන්න තැනැත්තා දැනුම් තේරුම් ඇතුව කටයුතු කරන්නේය. වටහාගැනීමේ ශක්තිය ඇති මිනිසා කලබල නොවන්නේය.” (හිතෝපදේශ 17:27) කෙනෙක් ඔයාට උපදෙසක් දෙද්දී එයාට බාධා කරන්න එපා. කේන්ති අරන් කටට එන දේ ඔහේ කියන්න යන්නත් එපා. මොකද පස්සේ ඔයාට ඒ ගැන පසුතැවෙන්න වෙයි.

    “කෙනෙක් මට උපදෙස් දෙද්දී මං බලන්නේ කොහොම හරි මං වැරදි නෑ කියලා ඔප්පු කරන්න. ඒත් හරි නම් මං කරන්න ඕනෙ ලැබුණු උපදෙසින් පාඩමක් ඉගෙනගෙන ඊළඟ වතාවේ දේවල් හරියට කරන්න උත්සාහ කරන එකයි.”—සාරා.

  • දීපු උපදෙස ගැන මිසක් දීපු කෙනා ගැන හිතන්න එපා.

    කෙනෙක් ඔයාට උපදෙස් දෙද්දී ඉක්මන් වෙලා එයාගේ වැරදි, අඩුපාඩු ගැන කියන්න ඔයා පෙලඹෙන්න ඉඩ තියෙනවා. ඒත් බයිබලයේ කියන මේ උපදෙස අදාළ කරගන්න එක තමයි ඒ වගේ වෙලාවක කරන්න ඕන හොඳම දේ. “සෑම මිනිසෙක්ම ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්‍රමාද විය යුතුයි.” (යාකොබ් 1:19) සාමාන්‍යයෙන් අපිට ලැබෙන ඕනම උපදෙසක අදාළ කරගන්න පුළුවන් මොනා හරි පැත්තක් තියෙනවා. ඒ නිසා ඔයාගේ අඩුපාඩු පෙන්වලා දෙනවාට ඔයා අකමැති වුණත් ඔයාට ලැබෙන උපදෙස් ප්‍රතික්ෂේප කරන්න එපා. මොකද එහෙම කළොත් වෙන්නේ ඔයාට ඕනම කරන උපදෙසක් ලබාගන්න තියෙන වටිනා අවස්ථාව නැති වෙන එකයි.

    “ඉස්සර නම් අම්මායි, තාත්තායි මට උපදෙස් දෙද්දී මං කේන්තියෙන් එයාලට කියනවා ‘හරි හරි, මං දන්නවා’ කියලා. හැබැයි එයාලා දෙන උපදෙස්වලට ඇහුම්කන් දීලා ඒවා අදාළ කරගද්දී ඒකෙන් මට හුඟක් ප්‍රයෝජන ලැබෙනවා.”—එඩ්වඩ්.

  • ඔයා ගැන ඕනෑවට වඩා හිතන්නවත් ඔයා ගැන අවතක්සේරු කරගන්නවත් එපා.

    ඔයාට උපදෙසක් ලැබුණාම ඔයා කිසි කමකට නැති කෙනෙක් කියලා හිතන්න එපා. අනිත් හැමෝම අතින් වෙනවා වගේ ඔයා අතිනුත් අඩුපාඩු වෙන නිසයි ඔයාටත් උපදෙස් ලැබෙන්නේ. ඔයාට උපදෙස් දෙන කෙනාට වුණත් සමහර අවස්ථාවලදී එයාගේ අඩුපාඩු හදාගන්න උපදෙස් ඕන වෙනවා. මොකද බයිබලයෙත් කියන්නේ “කිසි පාපයක් නොකර සැමවිටම යහපත්කම් කරන ධර්මිෂ්ඨයෙකු මෙලොවෙහි සොයාගත නොහැක” කියලයි.—දේශනාකාරයා 7:20.

    “දවසක් යාළුවෙක් මට උපදෙසක් දුන්නා. කොහොමටවත් මට ඒක අදාළ නෑ කියලයි මට හිතුණේ. එයා අවංකවම දීපු ඒ උපදෙසට මං ස්තුති කළත් ඒකෙන් මගේ හිත ටිකක් රිදුණා. හැබැයි කාලයක් යද්දී මට තේරුණා එයා දීපු උපදෙසේ මට අදාළ කරගන්න පුළුවන් පැත්තක් තියෙනවා කියලා. එයා එදා ඒ දේ මට කිව්වේ නැත්නම් කවදාවත් මගේ අඩුව හදාගන්න පුළුවන් වෙයි කියලා නම් මං හිතන්නේ නෑ.”—සොෆියා.

  • අඩුපාඩු හදාගන්න ඉලක්කයක් තියාගන්න.

    බයිබලයේ කියන්නේ “අවවාදය පිළිගන්නා සිහිබුද්ධිය ඇති තැනැත්තෙකි” කියලයි. (හිතෝපදේශ 15:5) උපදෙසක් ලැබෙද්දී ඒක පිළිගන්න පුරුදු වුණාම හිතට එන දුක අමතක කරලා දාන්නත් අඩුපාඩු හදාගන්න ඔයාගේ පැත්තෙන් කරන්න පුළුවන් දේවල් කරන්න පියවර ගන්නත් ඔයාට පුළුවන් වෙයි. ඔයා හදාගන්න ඕන දේ තේරුම්ගත්තාට පස්සේ ඒවා හදාගන්න ඉලක්කයක් තියාගන්න. ඒ ඉලක්කයට ළඟා වෙන්න ඔයා කරන්න ඕනෙ මොනවාද කියලා හිතලා බලන්න. ඊළඟ මාස කීපයේදී අඩුපාඩු හදාගන්න ඔයා තියාගත්ත ඉලක්කවලට ඔයා ළඟා වෙමින් ඉන්නවාද කියලා සැරින් සැරේ හොයලා බලන්න.

    “කෙනෙක් අපිට උපදෙසක් දෙද්දී ඒක පිළිගන්න නම් අපි අපිටම අවංක වෙන්න ඕනේ. මොකද අවංක වුණොත් තමයි කරපු වරදක් පිළිගන්නත් ඒකට සමාව ඉල්ලන්නත් ඒක හදාගන්නත් අපිට පුළුවන් වෙන්නේ.”—එමා.

මේක මතක තියාගන්න: බයිබලයේ මෙහෙම කියනවා. “යකඩින් යකඩ මුවහත් වෙයි. එසේම, මිනිසෙකුට දියුණු වීමට තවත් මිනිසෙකුට උපකාර කළ හැක.” (හිතෝපදේශ 27:17) ඒක ඇත්ත. අනිත් අයගෙන් ලැබෙන හොඳ උපදෙස් පිළිගත්තොත් වැරදි, අඩුපාඩු හදාගෙන දියුණු වෙන්න ඔයාටත් පුළුවන්. ඒක ඔයාට මේ කාලෙදී විතරක් නෙවෙයි වැඩිහිටියෙක් වුණාට පස්සෙත් හුඟක් ප්‍රයෝජනවත් වෙයි.