Skip to content

යොවුන් සිතේ ගැටලු

අවධානය දෙන්න මං පුරුදු වෙන්නේ කොහොමද?

අවධානය දෙන්න මං පුරුදු වෙන්නේ කොහොමද?

 මට අවධානය දෙන්න බැරි ඇයි?

“ඉස්සර මං පොත් කියවන්න හුඟක් ආසයි. ඒත් දැන් නම් මට ලොකු ඡේදයක් දැක්කත් එපා වෙනවා.”—ඉලේන්.

“වීඩියෝ එකක් යන්නේ හරි හීමීට කියලා මට තේරුණොත් මං ඒක ඉක්මනට ඉක්මනට යවලා අන්තිම ටික බලාගන්නවා.”—මිරැන්ඩා.

“වැදගත් දේකට අවධානය දෙන වෙලාවක මගේ ෆෝන් එක ඕෆ් වුණොත් ‘කවුරු හරි මැසේජ් එකක් දාලාද දන්නේ නෑ’ කියලා මට හැම තිස්සේම හිතෙනවා.”—ජේන්.

තාක්ෂණික උපකරණ නිසා එක දිගට අවධානය දෙන එක අමාරු වෙලාද? සමහර අය කියන්නේ ඔව් කියලයි. කර්තෘ කෙනෙක් සහ කළමනාකරණ උපදේශකයෙක් වන නිකොලස් කාර් මෙහෙම කියනවා. “අපි අන්තර්ජාලය පාවිච්චි කරන තරමට එක දෙයකට අවධානය දීමේ හැකියාව එන්න එන්නම අඩු වෙනවා. මොකද අන්තර්ජාලය හරහා යම් දෙයකට හරියට අවධානය දෙන්නේ නැතුව වුණත් හරිම ලේසියෙන් ඉක්මනට තොරතුරු හොයාගන්න පුළුවන්.” *

තාක්ෂණික උපකරණ නිසා එක දෙයකට අවධානය දෙන්න අමාරු වෙන්න පුළුවන් අවස්ථා තුනක් අපි දැන් බලමු.

  • කතාබහේදී. යෞවනියක් වන මරීයා මෙහෙම කියනවා. “හුඟක් අය තව කෙනෙක් එක්ක මූණට මූණ බලන් කතා කරද්දී වුණත් සමාජ ජාලා වෙබ් අඩවිවලට යන එක, ගේම් ගහන එක, මැසේජ් යවන එක වගේ දේවල් කරනවා. කතා කරන කෙනාට හරියට අවධානය දෙන්නේ නෑ.”

  • පන්ති කාමරයේදී. එක පොතක මෙහෙම සඳහන් වෙනවා. “හුඟක් ළමයින් කියනවා පන්තියේ උගන්වන වෙලාවලදී එයාලා ඉලෙක්ට්‍රෝනික උපකරණවලින් මැසේජ් යවන එකත් අන්තර්ජාලයෙන් දේවල් බලන එකත් වගේ දේවල් කරනවා කියලා.” එයාලා ඒ උපකරණ පාවිච්චි කරන්නේ “ඉගෙනීම් කටයුතුවලට නෙවෙයි.”—Digital Kids.

  • පාඩම් කරද්දී. “ෆෝන් එකට කෝල් එකක් හරි මැසේජ් එකක් හරි එද්දී ඒක දිහා නොබලා ඉන්න එක තමා අමාරුම දේ” කියලා අවුරුදු 22ක් වයස ක්‍රිස් කියනවා. ඔයාත් ඉස්කෝලේ යන කෙනෙක් නම් ඉලෙක්ට්‍රෝනික උපකරණ දිහා බලබල හෝම්වර්ක් කරන්න ගියොත් පැයෙන් කරන වැඩේට පැය තුන හතරක් පවා යන්න ඉඩ තියෙනවා.

මේක මතක තියාගන්න: ඉලෙක්ට්‍රෝනික උපකරණවලට ජීවිතේ හරි තැන දෙන්නේ නැතුව ඒවාට ඔයාව පාලනය කරන්න ඉඩ දුන්නොත් එක දේකට අවධානය දෙන්න ඔයාට අමාරු වෙන්න පුළුවන්.

එක දේකට අවධානය දෙන්න අමාරු මනසක් හරියට හීලෑ නැති අශ්වයෙක් වගෙයි. ඒක මෙල්ල කරගන්න හරි අමාරුයි

 එක දේකට අවධානය දෙන එක දියුණු කරගන්න පුළුවන් කොහොමද?

  • කතාබහේදී. බයිබලයේ කියන්නේ මෙහෙමයි. “ඔබේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට එකිනෙකා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ල දක්වන්න.” (ෆිලිප්පි 2:4) අනිත් අයට හොඳින් ඇහුම්කන් දීලා ඔයා එයාලා ගැන සැලකිලිමත් කියලා පෙන්වන්න. කතාබහකදී ඉලෙක්ට්‍රෝනික උපකරණ දිහා බලබල ඉන්නේ නැතුව ඔයාත් එක්ක කතා කරන කෙනා දිහා බලන්න.

    “කාත් එක්ක හරි කතා කරකර ඉද්දී ෆෝන් එක බලන්න හිතුණාට ඒක කරන්න එපා. එයා කියන දේවලට සම්පූර්ණයෙන්ම අවධානය දීලා ඔයා එයාට ගරු කරනවා කියලා පෙන්වන්න.”—තෝමස්.

    යෝජනාවක්: කෙනෙක් එක්ක කතා කරද්දී ඔයාගේ ෆෝන් එක ඔයාට පේන්නේ නැති තැනක තියන්න. ෆෝන් එක ළඟ තිබුණොත් දැන් කෝල් එකක් එයි, දැන් මැසේජ් එකක් එයි කියලා හිතන එකම අවධානය දෙන්න ඔයාට බාධාවක් වෙන්න පුළුවන් කියලා පර්යේෂකයන් කියනවා.

  • පන්ති කාමරයේදී. “ඔබ හොඳින් සවන් දෙනවාද කියා සිතා බලන්න” කියලා බයිබලයේ කියනවා. (ලූක් 8:18) ඔයාගේ පන්තියෙත් ඉන්ටර්නෙට් යන්න අවසර තියෙනවා නම් ඒ ප්‍රතිපත්තිය මතක තියාගෙන ඔයා ඉගෙනගන්න ඕන වෙලාවලදි මැසේජ් බලන්නවත් ගේම් ගහන්නවත් ඔන්ලයින් චැට් කරන්නවත් යන්න එපා.

    “පන්තියේදී පුළුවන් තරම් අවධානය දෙන්න උත්සාහ කරන්න. සටහන් ගන්න. පුළුවන් නම් පන්තිය ඉස්සරහාම ඉඳගන්න. එතකොට අවධානය බිඳෙන දේවල් මඟහරින්න පුළුවන්.”—කැරන්.

    යෝජනාවක්: සටහන් ටයිප් කරන්නේ නැතුව අතින්ම ලියාගන්න. පර්යේෂකයන් කියනවා එහෙම කරනවා නම් අවධානය දෙන්න බාධා වෙන එක අඩු වෙනවා වගේම ඉගෙනගන්න දේවල් ලේසියෙන්ම මතක තියාගන්නත් පුළුවන් වෙනවා කියලා.

  • පාඩම් කරද්දී. බයිබලයේ කියන්නේ “ප්‍රඥාව ලබාගෙන තේරුම්ගැනීමේ හැකියාවද දියුණු කරගන්න” කියලයි. (හිතෝපදේශ 4:5) ඒකෙන් අදහස් වෙන්නේ ඉගෙනගන්න දේවල් ගැන හොඳින් හිතලා බලන එකයි. එහෙම නැතුව නිකන්ම විභාගයක් පාස් වෙන්න උඩින් පල්ලෙන් තොරතුරු බලන එක නෙවෙයි.

    “පාඩම් කරද්දී මම ටැබ් එක එයාර්ප්ලේන් මෝඩ් දාලා කරන වැඩේට විතරක් අවධානය දෙනවා. මැසේජ් ආවාට ඒවා දිහා මං බලන්න යන්නේ නෑ. මතක තියාගන්න ඕනෙ කියලා හිතෙන වැදගත් දෙයක් හම්බ වුණාම මම ඒක ලියාගන්නවා.”—ක්‍රිස්.

    යෝජනාවක්: ඔයාගේ අවධානයට බාධා වෙන්නේ නැති තැනක් පාඩම් කරන්න තෝරගන්න. ඒ වගේම එතැන පිරිසිදුව සහ පිළිවෙළට තියාගන්න.

^ 4 ඡේ. The Shallows—What the Internet Is Doing to Our Brains කියන පොතෙන්.