2 කොරින්ති 6:1-18

6  දෙවි සමඟ එකට වැඩ කරන හවුල් සේවකයන් ලෙස+ ඔබෙන් යම් ඉල්ලීමක් කරන්න කැමැත්තෙමු. එනම් දෙවි පෙන්වා ඇති මහත් කරුණාව පිළිගන්න. එම මහත් කරුණාව ඔබට පෙන්වූයේ ඇයි කියා කිසිදා අමතක නොකරන්න.+  මන්ද ඔහු මෙසේ කියයි. “මගේ අනුමැතිය ඇති කාලයකදී මම ඔබට සවන් දුන්නෙමි. ගැලවීම ලබා දෙන දිනයේදී මම ඔබට පිහිට වුණෙමි.”+ ඇත්තෙන්ම දෙවිගේ විශේෂ අනුමැතිය ඇති ඒ කාලය දැන් උදා වී ඇත.+ ගැලවීම ලබා දෙන දිනයද දැන් උදා වී ඇත.+  කිසිවෙකුටවත් අප නිසා අපහසුතාවකට ලක් වෙන්න අපි ඉඩ තබන්නේ නැත.+ අප එසේ කරන්නේ කිසිවෙකු අපගේ සේවයට දෝෂාරෝපණය නොකිරීම සඳහාය.+  එහෙයින් දෙවිගේ සේවකයන් වීමට අපට තිබෙන සුදුසුකම් අපි සෑම අයුරින්ම ඔප්පු කර පෙන්වන්නෙමු.+ එසේ කරන්නේ බොහෝ දේ විඳදරාගැනීමෙන්ද පීඩාවලට මුහුණ දීමෙන්ද අගහිඟකම් ඇතුව සිටීමෙන්ද දුෂ්කරතා අද්දකිමින්ද,+  පහර කෑම්වලින්ද සිරගතවීම්වලින්ද+ කෝලහලවලට හසු වීමෙන්ද වෙහෙසීමෙන්ද නිදි මැරීමෙන්ද කෑම හිඟකම්වලින්ද,+  පවිත්‍ර ජීවිතයක් ගත කිරීමෙන්ද දැනුම, බොහෝ ඉවසිලිවන්තකම+ හා කරුණාවන්තකම ඇතුව+ කටයුතු කිරීමෙන්ද දෙවිගේ බලය ඇතුව සිටීමෙන්ද කුහකකමින් තොර ප්‍රේමයක් ඇතුව සිටීමෙන්ද,+  සත්‍යය කතා කිරීමෙන්ද දෙවිගේ බලවත් ක්‍රියා තුළින්ද+ දකුණතේ මෙන්ම වමතේ තිබෙන ධර්මිෂ්ඨකමේ ආයුධ මාර්ගයෙන්ද,+  ගෞරවය ලැබීමෙන් සහ අගෞරවය විඳීමෙන්ද අපකීර්තිය සහ කීර්තිය ලැබීමද යනාදියෙනි. එලෙසම අපව රැවටිලිකරුවන් ලෙස සැලකුවත්+ අපි අවංකව කටයුතු කළෙමු.  මිනිසුන් අපව පිළි නොගත්තත් දෙවි අපව පිළිගත්තේය.+ අප මිය යෑමට ආසන්න බව පෙනුණත් ඇත්තෙන්ම අපි තවමත් ජීවත් වන්නෙමු.+ දඬුවම් ලැබිය යුතු අය ලෙස අපව සැලකුවත්+ අපට මරණ දණ්ඩනය නියම වූයේ නැත.+ 10  අපව ශෝකයෙන් සිටින අය ලෙස සැලකුවත් අපි නිතරම ප්‍රීතියෙන් සිටියෙමු. දිලිඳුන් ලෙස අපව සැලකුවත් අපි බොහෝදෙනෙකුව ධනවතුන් බවට පත් කළෙමු. අපව කිසිවක් නැති අය ලෙස සැලකුවත් අපි සියල්ල සතු අය වන්නෙමු.+ 11  කොරින්තිවරුනි, අපි කිසිවක් නොසඟවා සියල්ල විවෘතව ඔබට ප්‍රකාශ කළෙමු.* අපගේ හදවත්වල ඔබ වෙනුවෙන් ඇති ප්‍රේමය+ තව තවත් වැඩි වී ඇත.* 12  ඔබට සෙනෙහස පෙන්වන්න අප අදිමදි නොකළත්+ සෙනෙහස පෙන්වන්න ඔබ අදිමදි කරන බව අපට පෙනේ.+ 13  මා දැන් ඔබට කතා කරන්නේ මගේම දරුවන්ට කතා කරනවා හා සමානවය.+ එහෙයින් ඔබත් ඔබේ හදවත්වල ඇති ප්‍රේමය තව තවත් වැඩි කරගන්න.* 14  දෙවිට සේවය නොකරන අය සමඟ බැඳීම් ඇති කර නොගන්න.*+ මන්ද ධර්මිෂ්ඨකම සහ අධර්මිෂ්ඨකම* අතර සම්බන්ධයක් තිබිය හැකිද?+ නැත්නම් ආලෝකය සහ අන්ධකාරය අතර සමානකමක් තිබිය හැකිද?+ 15  එමෙන්ම ක්‍රිස්තුස් සහ බෙලියල්* අතර එකමුතුකමක් තිබිය හැකිද?+ නැත්නම් දෙවිට සේවය කරන්නෙකු හා දෙවිට සේවය නොකරන කෙනෙකු අතර බැඳීමක් තිබිය හැකිද?+ 16  දෙවිගේ මාලිගාව සහ දේවතා රූප අතර සමානකමක් තිබිය හැකිද?+ මන්ද අපි ජීවමාන දෙවිගේ මාලිගාවක්+ වන්නෙමු. එසේ වන්නේ දෙවි පැවසූ ලෙසමය. මන්ද, “මම ඔවුන් අතරේ වාසය කරන්නෙමි.+ ඔවුන් අතරේ ගැවසෙන්නෙමි. මම ඔවුන්ගේ දෙවි වන්නෙමි. ඔවුහු මාගේ සෙනඟ වන්නෝය”+ කියා දෙවි පවසා ඇත. 17  “‘එහෙයින් ඔවුන් අතරින් පිටතට ඇවිත් ඔවුන්ගෙන් වෙන් වන්න’ කියා යෙහෝවා දෙවි කියන්නේය. ‘තවදුරටත් අපවිත්‍ර දේවලට අත නොගසන්න.’”+ “‘එවිට මම ඔබව පිළිගන්නෙමි.’”+ 18  “‘මම ඔබට පියෙක් වන්නෙමි.+ ඔබ මට පුත්‍රයන්ද දූවරුන්ද වන්නහුය’+ කියා සියලු බලැති+ යෙහෝවා දෙවි පවසන්නේය.”

පාදසටහන්

මූ.අ., “ඔබ වෙනුවෙන් අපගේ මුඛය විවෘත වී ඇත.”
මූ.අ., “හදවත් විශාල වී ඇත.”
මූ.අ., “හදවත් තවත් විශාල කරගන්න.”
මූ.අ., “නොගැළපෙන වියගහක් යටතට නොපැමිණෙන්න.”
හෝ, “නීතියට විරුද්ධව ක්‍රියා කිරීම.”
මූ.අ., “කිසි කමකට නැති පුද්ගලයෙක්.” සාතන් සඳහා භාවිත කෙරේ.