Skip to content

යොවුන් සිතේ ගැටලු

මට බරපතළ ලෙඩක් තියෙනවා නම්? (2වෙනි කොටස)

මට බරපතළ ලෙඩක් තියෙනවා නම්? (2වෙනි කොටස)

අසනීප විවිධාකාරයි.

  • සමහර අය ඉන්නේ ලෙඩින් කියලා පේන්න තියෙනවා. හැබැයි තවත් අයගේ අසනීප නිසා එයාලා ඉන්නේ කොච්චර වේදනාවෙන්ද කියලා පිටින් පේන්නේ නැහැ.

  • සමහර අසනීප සුව වෙනවා. හැබැයි සමහර අසනීප සුව කරන්න බැහැ.

  • සමහර අසනීප බෙහෙත් කරලා සුව කරගන්න පුළුවන්. නැත්නම් යම් දුරකට පාලනය කරන්න පුළුවන්. හැබැයි තවත් සමහර අසනීප තියෙනවා ඒවා එන්න එන්නම නරක අතට හැරෙනවා. ඒක ජීවිතයටත් තර්ජනයක් වෙන්න පුළුවන්.

බරපතළ අසනීපත් එක්ක ජීවිතේට මුහුණ දෙන යෞවන යෞවනියන් හතරදෙනෙක්ගේ අදහස් මේ ලිපියේ තියෙනවා. ඔයාත් බරපතළ අසනීපයකින් පෙළෙන කෙනෙක් නම් එයාලා කියන දේවලින් දිරිගැන්වීමක් ලබන්න පුළුවන්.

 ගෙනායල්

මට කරන්න බැරි දේවලුත් තියෙනවා කියලා පිළිගන්න එක තමයි අමාරුම දේ. මං කරන්න ආස දේවල් ගොඩක් තියෙනවා. හැබැයි මගේ අසනීපේ නිසා ඒවා කරන්න මට බැහැ.

මගේ මොළෙන් ශරීරයේ අනිත් තැන්වලට පණිවිඩ හරියට යන්නේ නැති එක තමයි මට තියෙන අසනීපේ. (motor-neuromuscular disorder) සමහර වෙලාවට මගේ ශරීරයේ එක එක තැන් ගැහෙනවා. නැත්නම් පණ නැතුව යනවා. පොඩි පොඩි දේවල් වුණත් කරන්න අමාරුයි. එහෙට මෙහෙට හැරෙන්න, කතා කරන්න, කියවන්න, ලියන්න, අනිත් අය කියන දේවල් තේරුම්ගන්න ලොකු වෙහෙසක් දරන්න වෙනවා. මට ගොඩක් අසනීප වුණාම අපේ සභාවේ වැඩිමහල්ලන් ඇවිත් මාත් එක්ක යාච්ඤා කරනවා. ඒ වෙලාවට මට දැනෙන්නේ ලොකු සහනයක්.

මොන තරම් අමාරුකම් තිබුණත් යෙහෝවා දෙවි මාත් එක්ක ඉඳලා මාව ශක්තිමත් කරනවා කියලා මට දැනෙනවා. මගේ අසනීපේ නිසා දෙවිට කරන සේවය අඩු කරන්න මං කැමති නෑ. යෙහෝවා දෙවි හැම වේදනාවක්ම නැති කරලා මේ පොළොව පාරාදීසයක් කරනවා කියන ප්‍රීතිමත් පණිවිඩේ අනිත් අයට කියන එක තමයි මගේ ජීවිතේ වැදගත්ම දේ හැටියට මං සලකන්නේ.—එළිදරව් 21:1-4.

හිතන්න දෙයක්: ගෙනායල් වගේ ඔයාත් අනිත් අය ගැන සැලකිලිමත් කියලා පෙන්නන්න පුළුවන් විදි මොනවද?—1 කොරින්ති 10:24.

 සැකරී

මගේ මොළේ දරුණු පිළිකාවක් තියෙනවා කියලා දැනගත්තේ මට වයස අවුරුදු 16දියි. වැඩිම වුණොත් මං තව මාස අටක් ජීවත් වෙයි කියලයි වෛද්‍යවරු කිව්වේ. එදා ඉඳලා අද වෙනකම් මං මරණයයි ජීවිතයයි අතර ලොකු සටනක් කරනවා.

මොළේ පිළිකාව තියෙන පැත්ත නිසා මගේ දකුණු පැත්ත පණ නැහැ. මට ඇවිදින්න කරන්න බැරි නිසා මගේ උදව්වට අනිවාර්යයෙන්ම කවුරු හරි ගෙදර ඉන්න ඕන.

පිළිකාව එන්න එන්නම දරුණු වෙන නිසා කෙනෙක් එක්ක කතාබහ කරන එකත් අමාරු වැඩක්. මේ ලෙඩේ හැදෙන්න කලින් මං හරිම ක්‍රියාශීලී යෞවනයෙක්. බාස්කට්බෝල්, වොලිබෝල් වගේ ක්‍රීඩා කළේ හරිම ආසාවෙන්. මං යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නිසා දේවසේවයෙත් හරිම උද්‍යෝගයෙන් හවුල් වුණා. කරන්න ආසම දේවල් කරගන්න බැරි වෙද්දී අපිට හැඟෙන්නේ කොහොමද කියලා හුඟදෙනෙක්ට තේරෙන්නේ නැහැ කියලයි මට හිතෙන්නේ.

යෙසායා 57:15 තියෙන වදන් මට ලොකු සහනයක් වෙලා තියෙනවා. මොකද එතන කියනවා පීඩාවට පත් වෙලා අසරණව ඉන්න අයට යෙහෝවා දෙවි ළංව ඉන්නවා කියලා. ඒ වගේම යෙසායා 35:6 යෙහෝවා දෙවි දීලා තියෙන පොරොන්දුව නිසා ආයේ ඇවිදින්න ලැබෙනවා කියලත් කිසි අසනීපයක් නැතුව දෙවිට සේවය කරන්න ලැබෙනවා කියලත් මට විශ්වාසයි.

මේ අසනීපේ නිසා කොච්චර අමාරුකම්වලට මුහුණ දෙන්න සිද්ධ වුණත් යෙහෝවා දෙවි මගේ පිහිටට ඉන්නවා කියලා මට ස්ථිරයි. මට දුකක් දැනෙද්දී, මගේ ජීවිතේ නැති වෙයි කියලා භයක් හිතෙද්දී යෙහෝවා දෙවිට යාච්ඤා කරන නිසා මං තනි වෙලා නැහැ කියලා මට දැනෙනවා. යෙහෝවා දෙවිගේ ප්‍රේමයෙන් මාව වෙන් කරන්න කිසිම දේකට බැහැ.—රෝම 8:39.

මේ ලිපියට තම අදහස් දක්වලා මාස දෙකකට පස්සේ සැකරී මිය ගියා. එතකොට එයාට වයස අවුරුදු 18යි. මිය ගිය අයට පාරාදීස පොළොවේදී ආපහු ජීවිතය ලැබෙනවා කියන දෙවිගේ පොරොන්දුව ගැන මිය යන තෙක්ම සැකරීට ලොකු විශ්වාසයක් තිබුණා.

හිතන්න දෙයක්: සැකරීට උදව් වුණා වගේ දෙවිගේ ප්‍රේමය හැමදාටම ලබන්න යාච්ඤාව ඔයාට උදව් වෙන්නේ කොහොමද?

 අනායිස්

මං ඉපදිලා දවස් කීපයකට පස්සේ මොළේ ඇති වුණු ලේ ගැලීමක් නිසා මං ආබාධිතයෙක් වුණා.

මට වෝකර් එකක් පාවිච්චි කරලා පොඩි දුරක් යන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට එහෙ මෙහෙ යන්න මට රෝද පුටුවක් ඕන. මගේ ඇඟ ගැහෙන නිසා අතින් කරන වැඩ විශේෂයෙන්ම ලියන එක අමාරුයි.

අසනීපෙන් දැනෙන පීඩනේට අමතරව කරන ප්‍රතිකාර නිසාත් මට දැනෙන්නේ ලොකු වෙහෙසක්. මතක ඇති කාලේ ඉඳලා සතියට කීප වතාවක්ම භෞතචිකිත්සක ප්‍රතිකාරවලට මම ගිහින් තියෙනවා. මුල්ම සැත්කම කරද්දී මට වයස පහයි. ඒක ලොකු සැත්කමක්. ඊටපස්සේ තව සැත්කම් තුනක් කළා. අන්තිමට කරපු සැත්කම් දෙකෙන් පස්සේ මට මාස තුනක් විතර යනකම් ගෙදර එන්න බැරි වුණු නිසා මම හිටියේ හරිම අමාරුවෙන්.

පවුලේ අයගෙන් මට ලැබෙන සහය විස්තර කරන්න වචන නෑ. ලෙඩේ නිසා මං දුකෙන් ඉන්න වෙලාවල පවුලේ අය එක්ක හිනා වෙලා කතාබහ කරද්දී මගේ දුක තුනී වෙනවා. මට තනියම හැඩ වැඩ වෙන්න බැරි නිසා අම්මයි, අක්කයි මගේ නිවුන් සහෝදරියයි මට උදව් කරනවා. අඩි උස සපත්තු දාන්න බැරි නිසා සමහර වෙලාවට මට දුකක් දැනෙනවා. හැබැයි චුටි කාලෙදී නම් මං අඩි උස සපත්තු දෙකක් අතේ දාගෙන බඩගාලා තියෙනවා. අපි ඒක මතක් කරලා තාමත් හිනා වෙනවා.

මං නිතරම උත්සාහ කරන්නේ මට කරන්න බැරි දේවල් ගැන හිතලා දුක් වෙන්නේ නැතුව කරන්න පුළුවන් දේවල් ගැන හිතන්නයි. මම එක එක භාෂා ඉගෙනගන්නවා. මට සර්ෆ් කරන්න, හිමේ ලිස්සිලා යන ක්‍රීඩාව කරන්න බැරි වුණාට පීනන්න පුළුවන්. ඒකෙන් මං ලොකු සතුටක් ලබනවා. මං යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නිසා දේවසේවයේ ගිහින් යෙහෝවා දෙවි ගැන අනිත් අයට කියන්න හරි ආසයි. දෙවි ගැන කතා කරද්දී හැමෝම වගේ මං කියන දේවලට ඇහුම්කන් දෙන්නේ හරිම ආසාවෙන්.

පොඩි කාලේ ඉඳලා මගේ දෙමාපියන් මට කිව්වා මගේ අසනීපේ තවකාලිකයි කියලා. මගේ අසනීපේ ඇතුළුව හැම දුක් වේදනාවක්ම යෙහෝවා දෙවි ළඟදීම නැති කරලා දානවා කියන පොරොන්දුව ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. අසනීපෙත් එක්ක ජීවිතේට මුහුණ දෙන්න ඒ විශ්වාසය මට ලොකු ශක්තියක්.—එළිදරව් 21:3, 4.

හිතන්න දෙයක්: කරන්න බැරි දේවල් ගැන හිතන්නේ නැතුව අනායිස් වගේ ඔයාට කරන්න පුළුවන් දේවල් මොනවද?

 ජූලියානා

මගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ආබාධයක් තියෙනවා. (autoimmune disorder) හදවතට, පෙණහලුවලට, ලේවලට ඒකෙන් හානි වෙන්න පුළුවන්. ඒක දැනටමත් මගේ වකුගඩුවලට බලපාලයි තියෙන්නේ.

මට ලූපස් කියන ලෙඩේ තියෙනවා කියලා දැනගත්තේ අවුරුදු දහයෙදියි. ඒ ලෙඩේ නිසා මං නිතරම ඉන්නේ වේදනාවෙන්. මට හරිම වෙහෙසක් දැනෙනවා. මගේ මූඩ් එක හරි ඉක්මනට වෙනස් වෙනවා. මගෙන් කිසි වැඩක් නැහැ කියලයි මට හිතෙන්නේ.

දවසක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් අපේ ගෙදරට ආවා. එතකොට මට අවුරුදු 13යි. එයා මට යෙසායා 41:10 තියෙන දේ පෙන්නුවා. යෙහෝවා දෙවි එතන මෙහෙම කියලා තියෙනවා. “භය නොවන්න. මන්ද මම ඔබ සමඟ සිටින්නෙමි. . . . ධර්මිෂ්ඨකම නමැති මාගේ දකුණතින් ඔබව තදින් අල්ලාගන්නෙමි.” ඒකෙන් පස්සේ මං සාක්ෂිකරුවන් එක්ක බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තා. එදා ඉඳලා දැන් අවුරුදු අටක් තිස්සේ මං යෙහෝවා දෙවිට හරිම ආසාවෙන් නමස්කාර කරනවා. දෙවිට සේවය කරන එකෙන් මාව වළක්වන්න මගේ අසනීපෙට මං ඉඩ දෙන්නේ නැහැ. යෙහෝවා දෙවි “සාමාන්‍යය ඉක්මවූ බලය” මට දීලා තියෙන නිසා අධෛර්යයට පත් වෙන්නේ නැතුව ජීවිතේ ගෙවන්න මට ශක්තිය තියෙනවා.—2 කොරින්ති 4:7.

හිතන්න දෙයක්: යෙසායා 41:10 තියෙන පොරොන්දුව ජූලියානාට ශක්තියක් වුණා වගේ ඔයාටත් ඒක ශක්තියක් කරගන්න පුළුවන් කොහොමද?