Skip to content

යොවුන් සිතේ ගැටලු

සමබර ආහාර වේලක් ගන්න මට පුළුවන් කොහොමද?

සමබර ආහාර වේලක් ගන්න මට පුළුවන් කොහොමද?

සමබර ආහාර වේලක් ගන්නේ නැති එකෙන් ශරීර සෞඛ්‍යයට ලොකු හානියක් වෙනවා කියලා ඔයා දන්නවා ඇති. කෙනෙක් යෞවනයෙක්ව ඉද්දී පෝෂණයක් නැති කෑම කන්න පුරුදු වුණොත් වැඩිහිටියෙක් වුණාට පස්සෙත් ඒ පුරුද්ද අත්හරින්න එයාට ලේසි වෙන එකක් නැහැ. ඒ නිසා දැන් ඉඳලාම පෝෂ්‍යදායි කෑම කන එක පුරුද්දක් කරගන්න.

 සමබර ආහාර වේලක් කියන්නේ මොකක්ද?

බයිබලයේ කියනවා “සෑම දෙයකදීම තම සීමාව දැනගෙන” කටයුතු කරන්න කියලා. (1තිමෝති 3:11) කන බොන එකටත් ඒක අදාළ වෙනවා. බයිබලයේ සඳහන් ඒ ප්‍රතිපත්තිය මනසේ තියාගෙන වැදගත් කරුණු කිහිපයක් ගැන අපි බලමු.

  • සමබර ආහාර වේලකට හැම ආහාර කාණ්ඩයකටම අයිති කෑම වර්ග ඇතුළත් වෙනවා. කිරි ආහාර, ප්‍රෝටීන, පලතුරු, එළවළු සහ ධාන්‍ය කියන ආහාර කාණ්ඩ පහ සමබර ආහාර වේලකට ඇතුළත් වෙනවා. සමහරු ඒ කාණ්ඩ අතරින් එකක් හරි කිහිපයක් හරි කෑමට ගන්න එක සම්පූර්ණයෙන්ම නතර කරන්නේ බර අඩු කරගන්න ඒක උදව් වෙයි කියලා හිතාගෙනයි. හැබැයි ඇත්තටම ඒකෙන් වෙන්නේ අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ශරීරයට අහිමි වෙන එක විතරයි.

    මෙහෙම කරලා බලන්න. කෑමවල අඩංගු විවිධ පෝෂ්‍ය පදාර්ථවලින් ලැබෙන ප්‍රයෝජන ගැන අධ්‍යයනය කරන්න නැත්නම් ඒ ගැන ඔයාගේ වෛද්‍යවරයාගෙන් අහලා දැනගන්න. උදාහරණ කිහිපයක් බලමු.

    කාබෝහයිඩ්‍රේට්වලින් ශරීරයට ඕන කරන ශක්තිය ලැබෙනවා. ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරගන්නත් අලුතෙන් පටක නිපදවන්නත් පටක අලුත්වැඩියා කරන්නත් ප්‍රෝටීන උදව් වෙනවා. හිතකර මේද වර්ග නිසි ප්‍රමාණයෙන් ආහාරවලට එකතු කරගැනීමෙන් හෘද රෝග වැලඳීමේ අවදානම අඩු කරගන්න වගේම ශරීරයට අවශ්‍ය තරම් ශක්තිය ලබාගන්නත් පුළුවන්.

    “හැම ආහාර කාණ්ඩයක්ම ඇතුළත් සමබර ආහාර වේලක් කන්නයි මං හැම වෙලේම උත්සාහ කරන්නේ. ඉඳලා හිටලා පැණි රස දෙයක්, ක්ෂණික කෑම ටිකක් කන එක වැරදියි කියලා මං හිතන්නේ නැහැ. ඒත් එහෙමයි කියලා ඒ වගේ කෑම විතරක්ම කන එක හොඳ දෙයක් නෙමෙයි. හැම දේකදීම අපි සමබර වෙන්න ඕනේ.”—බ්‍රෙන්ඩා.

    වැදගත් පෝෂ්‍ය පදාර්ථ නැති ආහාර වේලක් හරියට කකුලක් නැති පුටුවක් වගෙයි

  • සමබර ආහාර වේලක් ගන්න එකට අන්තයට නොයා ඉන්න එක ඇතුළත් වෙනවා. අන්තයටම යනවා කියන එකට අවශ්‍ය තරම් කෑම කන්නේ නැති එක, කිසිම පාලනයක් නැතුව කෑම කාගෙන කාගෙන යන එක සහ කන්න ආස කෑමක් ඉඳලා හිටලාවත් නොකා ඉන්න එක ඇතුළත් වෙනවා.

    මෙහෙම කරලා බලන්න. මාසයකට ඔයා කෑම ගන්න විදිහ ගැන කල්පනාවෙන් ඉන්න. කලින් සඳහන් කරපු නරක පුරුදුවලින් එකක් හරි ඔයාට තියෙනවාද? ඒ දේ ඒ මාසේ ඇතුළත කී වතාවක් කරන්න ඔයා පෙලඹුණාද? සමබර ආහාර වේලක් ගන්න ඔයා කරන්න ඕනෙ මොන වගේ වෙනස්කම්ද?

    “සමහර දවස්වල කැලරි හුඟක් වැඩි කෑම මං කාගෙන කාගෙන ගියා. හැබැයි ඊටපස්සේ දවස් ගාණක්ම එක දිගට කැලරි හුඟක් අඩු කෑම කෑවා. අන්තිමට මං තීරණය කළා කන කෑමවල තියෙන කැලරි ප්‍රමාණය බලන්නේ නැතුව ඉන්න. බඩජාරියෙක් වගේ කන එක මං නැවැත්තුවා. මං දැන් බඩ පිරුණාම එතැනින් එහාට ආයේ කන්න යන්නේ නෑ. ඒ වගේ හොඳ පුරුදු ඇති කරගෙන සමබර වෙන්න මට කාලයක් ගියා.”—හේලි.

 සමබර ආහාර වේලක් ගන්න එක පුරුද්දක් කරගන්න මට පුළුවන් කොහොමද?

  • කලින්ම සැලසුම් කරන්න. බයිබලයේ කියන්නේ “උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි” කියලයි. (හිතෝපදේශ 21:5) කෑම කන එක ගැන හොඳ පුරුදු ඇති කරගන්න නම් අපි පෝෂ්‍යදායි කෑම කන්න, කලින්ම සැලසුම් කරන්න ඕනේ.

    “නිරෝගීව ඉන්න නම් කලින්ම සැලසුම් කරන්න ඕනෙ කන්නේ මොනවාද කියලා. ගුණදායක කෑම කන්න නම් හුඟක් වෙලාවට ඒක ගෙදරදීම හදාගන්න වෙනවා. ඒක ටිකක් අමාරු වුණත් ඒකෙන් ප්‍රයෝජන ලැබෙන්නේ අපිටමයි. සල්ලිත් ඉතුරු වෙනවා.”—තෝමස්.

  • පෝෂණයක් නැති කෑම බීම වෙනුවට පෝෂ්‍යදායි කෑම බීම තෝරගන්න. බයිබලයේ කියනවා ‘ප්‍රඥාව රැකගන්න’ කියලා. (හිතෝපදේශ 3:21) ප්‍රඥාව ඔයාට උදව් වෙයි පෝෂ්‍යදායි කෑම කන්න ඔයා අරන් තියෙන තීරණයට ඇලිලා ඉන්න එකේ වටිනාකම තේරුම් අරන් ඒක කරන්න පුළුවන් විදි ගැන හිතලා බලන්න.

    “හැම දවසකම මං කන්න පුරුදු වෙලා හිටිය අගුණ කෑමක් වෙනුවට අලුත් හොඳ කෑමක් කන්න පටන්ගත්තා. උදාහරණෙකට ලොලි පොප් කනවා වෙනුවට ඇපල් ගෙඩියක් කන්න පටන්ගත්තා. ටික දවසක් ගියාම ගුණදායක දේවල් ගොඩක් කන්න බොන්න මං පුරුදු වුණා.”—කීයා.

  • සාධාරණ ඉලක්ක තියාගන්න. බයිබලයේ කියන්නේ “ප්‍රීතියෙන් කෑම කන්න” කියලයි. (දේශනාකාරයා 9:7) සමබර ආහාර වේලක් ගන්නවා කියන්නේ ඔයා ආස කිසි දෙයක් කන්න බැහැ කියන එකවත් කන හැම පුංචි දෙයක් ගැනම ඔයා හිතහිත ඉන්න ඕනෙ කියන එකවත් නෙවෙයි. ඔයාගේ බර අඩු කරගන්න ඕන වුණත් ඔයා ඉලක්ක තියාගද්දී ඔයාට ජය ගන්න පුළුවන් ඉලක්ක විතරක් තියාගන්න. ඔයාගේ ප්‍රධාන ඉලක්කය වෙන්න ඕනෙ නිරෝගීව ඉන්න එකයි කියන එක අමතක කරන්න එපා.

    “ළඟදි මගේ බර රාත්තල් 30කින් අඩු කරගන්න මට පුළුවන් වුණා. ඒත් මං එක දවසක්වත් බඩගින්නේ හිටියේ නෑ. හැම කාණ්ඩයකටම අයිති කෑම වර්ග මං කෑවා. අතුරුපස කාපු දවස්වල ‘අපරාදේ ඒක මං කෑවේ’ කියලා මං දුක් වුණෙත් නෑ. මං තේරුම්ගත්තා එක දවසකින් මගේ බර අඩු කරගන්න මට බෑ කියලා. මගේ කෑම කන පුරුදු වෙනස් කරගන්න ඕනෙ කියලත් මං තේරුම්ගත්තා.”—මෙලනි.