Skip to content

යොවුන් සිතේ ගැටලු

මට බරපතළ ලෙඩක් තියෙනවා නම්? (3වෙනි කොටස)

මට බරපතළ ලෙඩක් තියෙනවා නම්? (3වෙනි කොටස)

යොවුන් විය කියන්නේ ශක්ති සම්පන්න හොඳ සෞඛ්‍යයක් තියෙන අවධියක්. ඒත් සමහර යෞවනයන් බරපතළ රෝගවලට ගොදුරු වෙන නිසා ඒ වගේ ශක්තියක් නැහැ. ඔයාත් ඉන්නේ ඒ වගේ තත්වයකද? එහෙමනම් ව්ලෝරියා, ජස්ටින් සහ නීසා කියන යෞවනයන්ගේ අද්දැකීම්වලින් දිරිගැන්වීමක් ලබන්න ඔයාට පුළුවන්. ඒ 3දෙනාම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. සෞඛ්‍ය තත්වය දවසින් දවස දුර්වල වෙද්දී ඒ අය ඒකට මුහුණ දුන්න විදිහ බලන්න.

 ව්ලෝරියා

මට වයස අවුරුදු 14 ඉඳලා ෆයිබ්‍රෝමයැල්ජියා (හන්දිපත් රෝගයක්) කියන රෝගය තියෙනවා. 20 වෙද්දී ආතරයිටිස්, ලූපස්, (ඉන්ද්‍රියයන්වලට හානි කරන රෝගයක්) ලයිම් කියන රෝගත් (ආතරයිටිස් වර්ගයක්) හැදුණා. නිතරම ඇඟට දුර්වලකමක් දැනෙන නිසා මට ඕන දේවල් කරන්න හරිම අමාරුයි. සමහර වෙලාවට මගේ ඉණෙන් පහළ පණ නැති වෙන නිසා රෝද පුටුවක් පාවිච්චි කරන්න වෙනවා.

ලෙඩවලින් දැනෙන වේදනාවටත් වඩා වේදනාවක් දැනෙන්නේ මගේ හිතට. බෝතලේක මූඩිය අරින එක, ලියන එක වගේ පුංචි දෙයක්වත් කරගන්න බෑ. හොඳට ඇවිදින ළමයි දැක්කාම මට ඒ විදිහට ඇවිදින්න බැරි ඇයි කියලා හිතෙනවා. එතකොට මං මානසිකව වැටෙනවා.

ඒත් මගේ පවුලේ අයගෙන්, සභාවේ අයගෙන් ලොකු උපකාරයක් ලැබෙනවා. සභාවේ ඉන්න අය නිතරම මාව බලන්න එන හින්දා මට තනිකමක් දැනෙන්නේ නැහැ. මාව රෝද පුටුවෙන් අරන් වාහනේට දාගන්න එකයි ආපහු ගන්න එකයි අමාරු වුණත් සමහර අය විනෝද වෙන අවස්ථාවලට මාවත් එක්කගෙන යනවා.

සභාවේ ඉන්න වයසක අය මට විශේෂයෙන්ම උදව් කෙරුවා. මොකද ඒගොල්ලන්ට සෞඛ්‍ය ගැටලු ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා අනිත් අය කරන දේවල් මට කරන්න බැරි එක ගැන තේරුම්ගන්න ඒ අය මට උදව් කරලා තියෙනවා. සභාවේ රැස්වීම්වලට යන එක, දේවසේවයේ යන එක තරම් සතුටක් මට තවත් නැහැ. (හෙබ්‍රෙව් 10:25) ඒ වගේ වෙලාවලදී, අසනීප තත්වයක් තිබුණත් අනිත් අයයි මායි අතරේ වෙනසක් නැහැ කියලා මට දැනෙනවා.

අපිට ඕනම දෙයක් දරාගන්න අවශ්‍ය ශක්තිය යෙහෝවා දෙවියන් දෙනවා කියලා මං නිතරම මතක් කරගන්නවා. බයිබලයේ කියන්නේ කෙනෙක් පිටතින් දිරාපත් වුණත් ඔහුගේ ඇතුළාන්තය ‘දිනෙන් දින අලුත් වෙනවා’ කියලයි. (2 කොරින්ති 4:16) ඒක මට දැනෙනවා.

හිතන්න දෙයක්: ඔයාට බරපතළ රෝගයක් තියෙනවා නම් අනිත් අයගේ උදව් ලබාගන්න එක වැදගත් ඇයි? ඔයාට හොඳ සෞඛ්‍යයක් තියෙනවා නම් අසනීප කෙනෙක්ට අතහිත දෙන්න පුළුවන් කොහොමද?—හිතෝපදේශ 17:17.

 ජස්ටින්

දවසක් වැටුණාම මට නැඟිටගන්න බැරි වුණා. පපුව හිර වෙනවා වගේ දැනුණා. හෙල්ලෙන්නවත් බැරුව ගියා. මාව ඉක්මනින්ම ඉස්පිරිතාලෙට ගෙනිච්චා. දොස්තරලාට මගේ ලෙඩේ මොකක්ද කියලා හොයාගන්න බැරි වුණා. ඒත් කීප පාරක්ම ඒ වගේ වුණාට පස්සේ මට හැදිලා තියෙන්නේ ලයිම් රෝගය කියලා හොයාගත්තා.

ලයිම් රෝගය මගේ ස්නායු පද්ධතියට බලපෑවා. ඒක හැදිලා අවුරුදු ගාණක් ගිහින් තිබුණත් සමහර වෙලාවට පාලනය කරගන්න බැරි තරමට මාව වෙවුලනවා. සමහර දවස්වලට කොච්චර වේදනාවක් දැනෙනවාද කියනවා නම් මගේ ඇඟිල්ලක්වත් හොල්ලන්න බැරුව යනවා. ඒ වෙලාවට දැනෙන්නේ මගේ හංදි මලකඩ කාලා වගේ.

‘මේ වයසෙදී ඇයි මට මේ වගේ ලෙඩක් හැදුණේ’ කියලා හිතුණ වෙලාවල් තියෙනවා. ඒ වගේ වෙලාවලදී මට කේන්තිත් ගියා. “මට මේ වගේ වේදනාවක් විඳින්න වෙලා තියෙන්නේ ඇයි” කියලා හැමදාම දෙවියන්ගෙන් අඬඅඬා ඇහුවා. දෙවියන් මාව අත්හැරලා කියලා හැඟුණ වෙලාවලුත් තිබුණා. ඒත් මං බයිබලයේ කියලා තියෙන යෝබ් ගැන හිතුවා. එයාට හුඟක් අභියෝගවලට මුහුණ දෙන්න වුණා. ඇයි ඒ වගේ වුණේ කියලා දැනගෙන හිටියේ නැතත් යෝබ් දෙවියන්ට විශ්වාසවන්තව හිටියා. එච්චර ප්‍රශ්නවලට මුහුණ දෙද්දිත් යෝබ් දෙවියන්ට විශ්වාසවන්තව හිටියා නම් ඇයි මට බැරි කියලා මම හිතුවා.

මගේ සභාවේ වැඩිමහල්ලන් මට ගොඩක් උදව් කරනවා. නිතරම මං ගැන හොයලා බලනවා. එක වැඩිමහල්ලෙක් මට කිව්වා කතා කරන්න ඕන කියලා හිතෙන ඕනම වෙලාවක එයාට කතා කරන්න කියලා. මේ වගේ යාළුවන් මට දුන්න එක ගැන මං හැමදාම යෙහෝවා දෙවියන්ට ස්තුති කරනවා.—යෙසායා 32:1, 2.

බරපතළ අසනීප හැදුණාම සමහර වෙලාවට අපිට අමතක වෙනවා අපි විඳින දුක යෙහෝවා දෙවියන්ට පේනවා කියන එක. බයිබලයේ කියනවා “ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න. එවිට ඔහු ඔබව ශක්තිමත් කරන්නේය” කියලා. (ගීතාවලිය 55:22) මාත් උත්සාහ කරන්නේ හැමදාම ඒ දේ කරන්නයි.

හිතන්න දෙයක්: ඔයාගේ අසනීප තත්වය දරාගන්න ඔයාට උදව් කරන්න ඔයා ගැන සැලකිලිමත් අයට පුළුවන් කොහොමද?—හිතෝපදේශ 24:10; 1 තෙසලෝනික 5:11.

 නීසා

මට වයස අවුරුදු 15ක් 16ක් වගේ වෙද්දී මාෆන් සහලක්ෂණය කියන රෝගය හැදුණා. ඒක හන්දිවලට බලපාන රෝගයක් නිසා එන්න එන්නම හන්දි දුර්වල වෙනවා. මාෆන් රෝගය හෘදයටත් ඇස්වලටත් ප්‍රධාන ඉන්ද්‍රියයන්වලටත් බලපාන්න ඉඩ තියෙනවා. මට හැම දවසකම වේදනාවක් දැනෙන්නේ නැහැ. හැබැයි වේදනාව දැනෙන දවසට ඒක දරාගන්න හරිම අමාරුයි.

මේ ලෙඩේ මට තියෙනවා කියලා දැනගත්ත දවසේ මං හුඟක් ඇඬුවා. මං ආසාවෙන් කරපු දේවල් කරන්න බැරි වෙයි කියලා මට හිතුණා. නැටුම්වලට මං හරි ආසයි. ඒත් කවදා හරි දවසක නටන්න බැරි වෙයි කියලා හිතුණා. ඇවිදගන්නත් බැරි වෙයි කියලා මම බය වුණා.

මගේ අක්කා මට හුඟක් උදව් කෙරුවා. මං ගැන හිතහිත දුක් වෙන එකෙන් ගොඩ එන්න මට එයා උදව් කෙරුවා. ඉස්සරහට වෙන දේවල් ගැන හිතහිත බයෙන් ඉන්න එක ජීවිතේට හානියක් කියලා එයා මට පෙන්නලා දුන්නා. ඔයාගේ තත්වය හරියටම දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ දෙවියන් විතරයි කියලත් අක්කා මට කිව්වා. එයා මට උනන්දු කෙරුවේ නිතරම යාච්ඤා කරන්න කියලයි.—1 පේතෘස් 5:7.

මට ලොකු දිරිගැන්වීමක් වුණ බයිබල් පදයක් තමයි ගීතාවලිය 18:6. ඒකේ කියනවා “මාගේ විපතේදී මම දිගටම යෙහෝවා දෙවිට හඬගැසුවෙමි. උපකාරය පතා මාගේ දෙවිට මම හඬමින් දිගටම කන්නලව් කළෙමි. තම මාලිගාවේ සිටි ඔහුට මාගේ හඬ ඇසිණ. මා කළ මොරගැසීම ඔහුගේ දෙසවනට වැටිණ” කියලා. ඒ පදය කියෙව්වාම, යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරලා උදව් ඉල්ලුවොත් ඔහු මට ඇහුම්කන් දීලා තත්වයට හොඳින් මුහුණ දෙන්න උදව් කරනවා කියලා මට තේරුණා.

දුකක් දැනෙන එක, හදිස්සියේ ඇති වුණ දෙයක් ගැන කලකිරෙන එක සාමාන්‍ය දෙයක් කියලා මං තේරුම්ගත්තා. හැබැයි දිගටම එහෙම හිටියොත් ඒක ජීවිතේට හානියක් වගේම දෙවියන් එක්ක තියෙන මිත්‍රත්වයටත් බලපානවා. අපිට ප්‍රශ්න ගැටලු ගේන්නේ දෙවියන් නෙමෙයි. අපේ ජීවිතේ මුල් තැන දෙවියන්ට දෙන තාක් කල් ඔහු අපිව අත්හරින්නේ නැහැ.—යාකොබ් 4:8.

හිතන්න දෙයක්: අපේ දුක් වේදනාවලට වග කියන්න ඕන දෙවියන්ද?—යාකොබ් 1:13.