Skip to content

යොවුන් සිතේ ගැටලු

ඔන්ලයින් ෆොටෝ ෂෙයාරින් ගැන මං දැනගන්න ඕනෙ මොනවාද?

ඔන්ලයින් ෆොටෝ ෂෙයාරින් ගැන මං දැනගන්න ඕනෙ මොනවාද?

ඔයා හොඳ නිවාඩුවක් ගත කරනවා. ඔයාට ඕනෙ ඒ ගැන අකුරක් නෑර ඔයාගේ යාළුවන්ට කියන්න. ඔයා ඒක කරන්නේ කොහොමද?

  1. හැමෝටම පෝස්ට්කාඩ් එක ගාණේ යවනවා

  2. ඊමේල් එකකින් දැනුම් දෙනවා

  3. ඔන්ලයින් ෆොටෝස් දානවා

ඔයාගේ ආච්චියි, සීයායි ඔයාගේ වයසේ ඉද්දී ඒ කාලෙදී එයාලට ඒ දේ කරන්න පුළුවන් වෙන්න ඇත්තේ පෝස්ට්කාඩ්වලින් විතරක් වෙන්න ඇති.

ඔයාගේ අම්මායි, තාත්තායි ඔයාගේ වයසේ ඉද්දී ඊමේල්වලිනුත් ඒක කරන්න පුළුවන් වෙන්න ඇති.

අද ඉන්න හුඟක් යෞවනයන් කැමති ඉන්ටනෙට් එකෙන් ෆොටෝ ෂෙයා කරන්න. ඔයාත් ආස ඒකටද? එහෙමනම් පරිස්සම් වෙන්න පුළුවන් පැති කිහිපයක් ඔයාට මේ ලිපියෙන් දැනගන්න පුළුවන්.

 ප්‍රයෝජන මොනවාද?

හරිම ඉක්මන්. “නියම ට්‍රිප් එකක් ගියාම නැත්නම් යාළුවන් එක්ක හොඳ ෆන් එකක් ගත්තාම ඒවාවල ෆොටෝස් යවලා ඒ වෙලාවෙම මගේ සතුට අනිත් අයත් එක්ක බෙදාගන්න මට පුළුවන්.”—මෙලනි.

හරිම ලේසියි. “ඊමේල් චෙක් කරකර යාළුවන්ගේ විස්තර දැනගන්නවාට වඩා එයාලා දාපු ෆොටෝස්වලින් විස්තර දැනගන්න හරිම ලේසියි.”—ජෝර්ඩන්.

යාළුකම දිගටම තියාගන්න උදව්වක්. “මගේ සමහර යාළුවෝ, නෑදෑයෝ ඉන්නේ හුඟක් දුර. එයාලා හැමදාම වගේ ෆොටෝස් දානවා නම් ඒවා බලද්දී මට දැනෙන්නේ මං එයාලා ළඟම ඉන්නවා වගේ.”—කැරන්.

 අනතුරු මොනවාද?

ඔයාගේ ආරක්ෂාව අනතුරේ දැමීමක්.  සමහර කැමරාවලින් ෆොටෝස් ගත්තාම ඒ ෆොටෝ එක ගත්ත තැන, වෙලාව වගේ තොරතුරු සටහන් වෙනවා. “තොරතුරු සටහන් වෙලා තියෙන ඒ වගේ ෆොටෝස් ඔන්ලයින් දැම්මාම ඔයා අඳුනන්නේ නැති නරක චේතනාවක් තියෙන අයට පුළුවන් ඔයා ඉන්නේ කොහේද, ඔයා කරන්නේ මොනවාද වගේ තොරතුරු ගැන දැනගෙන ඔයාට අනතුරක් කරන්න” කියලා එක වෙබ් අඩවියක තියෙනවා.—Digital Trends.

සමහර අපරාධකාරයන් ඇහැගහගෙන ඉන්නේ ඔයා ගෙදර හරි ඔෆිස් එකේ හරි නැති වෙලාවක් දැනගන්න. කලින් සඳහන් කරපු වෙබ් අඩවියේ සඳහන් වුණා කවුරුත් ගෙදර නැති වෙලාවක් බලලා හොරු තුන්දෙනෙක් ගෙවල් 18කට පැනලා හොරකම් කරලා කියලා. ගෙදර කවුරුත් නැති වෙලාව එයාලා දැනගෙන තියෙන්නේ ඒ ගෙවල්වල අය ඔන්ලයින් දාලා තියෙන ෆොටෝස්වලින්. ඒ කොහොමද? ඒ ෆොටෝස්වල තියෙන තොරතුරු හොඳට බලලා ඒ අය යන එන තැන් ගැනත් ගෙදර නැති වෙලාවල් ගැනත් එයාලා දැනගෙන. ඒ හොරු ගෙවල්වලින් ඩොලර් 1,00,000ක විතර බඩු හොරකම් කරලා තියෙනවා.

නුසුදුසු දේවලුත් ඔයා දකින්න ඉඩ තියෙනවා. සමහරු කිසිම ලැජ්ජාවක් නැතුව මුළු ලෝකෙටම පේන්න එයාලගේ හැම ෆොටෝ එකක්ම වගේ ඔන්ලයින් දානවා. සාරා කියන යෞවනිය ඒ ගැන මෙහෙම කියනවා. “ඔයා අඳුරන්නේ නැති අයගේ ෆොටෝස් බලන්න ගියොත් නුසුදුසු දේවල් දකින්න තියෙන ඉඩකඩ වැඩියි. ඒක හරියට මාර්ග සිතියමක් නැතුව නාඳුනන රටක ඇවිදින්න යනවා වගේ දෙයක්. ගිහින් නවතින්න වෙන්නේ වැරදි තැනක.”

නොදැනීම කාලය නාස්ති වෙන්න පුළුවන්. “අලුත්ම ෆොටෝස් බලන්නයි ඒවාට දාලා තියෙන කමෙන්ට්ස් කියවන්නයි ඇබ්බැහි වුණොත් දන්නෙම නැතුව ලොකු කාලයක් යනවා. ඒකට කොච්චර ඇබ්බැහි වෙනවාද කියනවා නම් හැම විනාඩියක් ගාණේම ෆෝන් එක අරන් අලුත් ෆොටෝස් තියෙනවාද කියලා චෙක් කරන්න හිතෙනවා” කියලා යොලාන්ඩා කියන යෞවනිය කියනවා.

ඔයාට ෆොටෝස් ඔන්ලයින් දාන අකවුන්ට් එකක් තියෙනවා නම් ඔයාට ඔයාවම පාලනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ

සමන්තා කියන යෞවනිය කිව්වෙත් ඒ වගේම දෙයක්. “මේ සයිට්වල ගත කරන කාලය ගැන මං හුඟක් සැලකිලිමත් වෙනවා. ඔයා ඔන්ලයින් ෆොටෝ දාන්න පුළුවන් අකවුන්ට් එකක් අරින්න හිතාගෙන ඉන්නවා නම් ඔයාට ඔයාවම පාලනය කරගන්න හැකියාව තියෙන්නත් ඕනේ.”

 ඔයාට කරන්න පුළුවන් දේ

  • නුසුදුසු දේවල් බලන්නේ නැහැ කියලා අධිෂ්ඨාන කරගන්න. බයිබලයේ කියන්නේ මෙහෙමයි. “කිසි කමකට නැති දේවල් දෙස මම නොබලන්නෙමි.”—ගීතාවලිය 101:3.

    “මං යාළුවන්ගේ අකවුන්ට්වලට ගිහින් බලනවා එයාලා නුසුදුසු දේවල් දාලා තියෙනවාද කියලා. එහෙම කෙනෙක්ව හම්බ වුණොත් මං එයාව මගේ යාළුවන්ගේ ලිස්ට් එකෙන් අයින් කරනවා.”—ස්ටීවන්.

  • ඔයා වැදගත් කියලා සලකන සදාචාර ප්‍රමිති රකින්නේ නැති අය එක්ක සම්බන්ධ වෙන්න එපා. මොකද එයාලට පුළුවන් ඔයා ළඟ තියෙන හොඳ සදාචාර ප්‍රමිති නැති කරලා දාන්න. ඒ ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. “මුළා නොවන්න. නරක ආශ්‍රය නිසා ඔබේ හොඳ පුරුදු නැති වී යයි.”—1 කොරින්ති 15:33.

    “ජනප්‍රිය වුණ පළියට ෆොටෝස් දාන අලුත්ම ක්‍රම පස්සේ යන්න එපා. මොකද ඔයා හිතන්නේ නැති විදිහේ අසභ්‍ය දේවල් ඒවාවල තියෙනවා.”—ජෙසිකා.

  • කොච්චර වෙලාවක් ෆොටෝස් බලනවාද, ෆොටෝස් දාන්නේ කොච්චර කාලෙකට සැරයක්ද කියලා ඔයාටම සීමාවක් දාගන්න. බයිබලයේ ඒ ගැන කියන්නේ මෙහෙමයි. “ඔබ ඉතා සෝදිසියෙන් සිට අඥානයන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ඔබේ ජීවිතය ගත කිරීමට වගබලා ගන්න.”—එෆීස 5:15, 16.

    “මගේ යාළුවෙක් දවසක් මුහුදු වෙරළකට ගිහින් එකම සිප්පිකටුවක ෆොටෝස් 20ක් දාලා තිබුණා. ඒවා බලන්න කොච්චර කාලයක් නාස්ති වෙනවාද! ෆොටෝස් ගොඩක් එක සැරේ දාන ඒ වගේ අයව මං මගේ යාළුවන්ගේ ලිස්ට් එකෙන් අයින් කළා.”—රෙබේකා.

  • හැම තිස්සේම ඔයාවම කැපිලාපේන විදිහේ ෆොටෝස් විතරක් දාන්න එපා. බයිබලයේ කියනවා “තමන් ගැන වුවමනාවට වඩා නොසිතන්න” කියලා. (රෝම 12:3) ඔයාවම කැපිලාපේන ෆොටෝස් බලන්න ඔයාගේ යාළුවන් කැමති වෙයි කියලා හිතන්න එපා.

    “සමහරු සියගාණක් සෙල්ෆි අරන් ඒවා ඔන්ලයින් දානවා. කෙනෙක් මගේ යාළුවෙක් නම් එයාගේ පෙනුම මොන වගේද කියලා මං හොඳටම දන්නවා. විනාඩියෙන් විනාඩිය ඒක මතක් කරලා දෙන්න ඕනෙ නැහැ.”—ඇලිසන්.