Skip to content

යොවුන් සිතේ ගැටලු

සම්බන්ධය නතර කරනවද? (1වෙනි කොටස)

සම්බන්ධය නතර කරනවද? (1වෙනි කොටස)

 සමහර වෙලාවට වෙන් වෙන්න තීරණය කරන එක තමයි කරන්න පුළුවන් හොඳම දේ. ජිල්ගේ අද්දැකීමෙනුත් ඒක පැහැදිලි වෙනවා. “මගේ බෝයිෆ්‍රෙන්ඩ් මං යන එන තැන් ගැන, මං කරන දේවල් ගැන, මං ආශ්‍රය කරන අය ගැන හොයලා බලද්දී මුලින් මට දැනුණේ ලොකු සතුටක්. මට හිතුණේ එයා මං ගැන සැලකිලිමත් කියලයි. හැබැයි කාලයක් යන කොට මං වෙන කාවවත් ආශ්‍රය කරනවාට එයා කැමති වුණේ නැහැ. අඩුම තරමේ මගේ ගෙදර අයවවත් ආශ්‍රය කරනවාට එයා කැමති නැහැ. විශේෂයෙන් මං මගේ තාත්තත් එක්ක කාලය ගත කළොත් එයාට කේන්ති යනවා. අපේ සම්බන්ධය නතර කළාට පස්සේ මට දැනුණේ පුදුමාකාර නිදහසක්. මගේ ඔළුවේ තිබුණු ලොකු බරක් අයින් වුණා වගේ මට දැනුණා.”

 සාරාගේ අද්දැකීමත් ඒ වගෙයි. එයා යාළු වෙලා හිටපු කෙනා අනිත් අයව එච්චර ගණන් ගන්නේ නැති, කතාවෙන් හිත් රිද්දන, කිසිම දෙයකට හොඳයි කියලා කියන්නේ නැති කෙනෙක් කියලා කල් යද්දී සාරාට තේරුණා. එක සිද්ධියක් ගැන සාරා මෙහෙම කිව්වා. “අපි ගමනක් යන්න දාගෙන හිටපු දවසක එයා මාව එක්කගෙන යන්න ආවේ පැය තුනක් පරක්කු වෙලයි. ගෙදරට එන්න අම්මා දොර ඇරිය වෙලාවේ එයා අම්මව පොඩ්ඩක්වත් ගණන් ගත්තේ නැහැ. හදිස්සියෙන් වගේ ගේ ඇතුළට ඇවිල්ලා, ‘ඉක්මනට යමු. අපි පරක්කුයි’ කියලා එයා කිව්වා. ඇත්තටම පරක්කු වුණේ මං නෙමෙයි, එයායි. එයාට තිබුණා පරක්කු වුණ එක ගැන සොරි කියන්න, නැත්නම් එයා පරක්කු වුණේ ඇයි කියලවත් කියන්න. අඩුම තරමේ අම්මා දොර ඇරිය වෙලාවේ අම්මත් එක්ක ටිකක් හරි කතා කරන්න එයාට තිබුණා.”

 ඒ වගේ එක සිද්ධියක් නිසා විතරක් දෙන්නෙක් අතරේ තියෙන සම්බන්ධය කොහොමටත් සාර්ථක වෙන එකක් නැහැ කියලා කියන්න බැහැ. (ගීතාවලිය 130:3) හැබැයි සාරාට තේරුණා එයා යාළු වෙලා හිටපු කෙනා නිතරම හැසිරුණේ ඒ විදිහට කියලා. ඒ නිසයි සාරා ඒ සම්බන්ධය නතර කරලා දැම්මේ.

 ජිල් හා සාරා වගේ ඔයාටත් හිතුණොත් ඔයා යාළු වෙලා ඉන්න කෙනාව බඳින එක නුවණට හුරු දෙයක් නෙමෙයි කියලා ඒ හැඟීම ගණන් ගන්නේ නැතුව ඉන්න එපා. සම්බන්ධය නතර කරන එක අමාරු දෙයක් වුණත් එහෙම කරන එක බුද්ධිමත් තීරණයක් වෙන්න පුළුවන්. බයිබලයේ කියන්නේ, ‘බුද්ධිමත් කෙනා අවදානම දුර තියාම අඳුනගෙන එයින් ඉවත් වෙනවා’ කියලයි.—හිතෝපදේශ 22:3.

 ඇත්තයි, වෙන් වෙන එක වේදනාකාරී අද්දැකීමක්. ඒත් ටික කාලයකට වේදනාව අද්දකින එක බැඳලා ජීවිත කාලයම වේදනාවෙන් ඉන්නවට වඩා හොඳයි. මොකද විවාහය කියන්නේ ප්‍රශ්න ගැටලු එද්දී කඩලා දාන්න පුළුවන් බැඳීමක් නෙමෙයි.