Skip to content

පටුනට යන්න

යෙහෝවාගේ “වචන” ඔබට ආරක්ෂාවක් වේවා!

යෙහෝවාගේ “වචන” ඔබට ආරක්ෂාවක් වේවා!

යෙහෝවාගේ “වචන” ඔබට ආරක්ෂාවක් වේවා!

ක්‍රිස්තු පූර්ව 490දී ඓතිහාසික මැරතන් සටනේදී ඇතන්ස් වැසියන් දහදාහක් හෝ විසිදාහක් පමණදෙනා ඔවුන්ට වඩා බලවත්ව සිටි පර්සියානු හමුදාවට විරුද්ධව සටනට ගියා. ඒ සටන සඳහා ඔවුන් යොදාගත් ප්‍රධාන ග්‍රීක උපක්‍රමයක් වුණේ පහත චිත්‍රයේ පෙනෙන ආකාරයට සෙබළුන් පේළි කිහිපයකින් යුත් කණ්ඩායම් වශයෙන් සටනට යෑමයි. ඔවුන් එක ළඟ එක ගමන් කළ නිසා එකට එක කිට්ටුවෙන් තිබූ ඔවුන්ගේ පලිහවල් පවුරක් වගේ ඔවුනට ආරක්ෂාවක් ලබා දුන්නා. ඒ හැම කෙනාගේම අතේ හෙල්ලයක්ද තිබුණා. ඇතන්ස්වරු ඒ උපක්‍රමය භාවිත කරමින් යුද්ධ කළ නිසා බලවත් පර්සියානු හමුදාවට විරුද්ධව ඓතිහාසික ජයග්‍රහණයක් ලැබුවා.

සැබෑ ක්‍රිස්තියානීනුත් දෙවි සමඟ තිබෙන තම සම්බන්ධය ආරක්ෂා කරගැනීම සඳහා සටනක යෙදෙනවා. ඔවුන්ට සටන් කිරීමට තිබෙන්නේ ඔවුන්ට වඩා බලවත් හමුදාවක් සමඟයි. ඒ තමයි මේ දුෂ්ට ක්‍රමය පාලනය කරන නොපෙනෙන බලවේගයන්. ඔවුන්ව බයිබලයේ විස්තර කර තිබෙන්නේ ‘මේ අන්ධකාරයේ ලෝක පාලකයන් හා ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ට ආත්ම සමූහයන්’ හැටියටයි. (එෆීස 6:12; 1 යොහන් 5:19) ඒ වුණත් දෙවිගේ සෙනඟ ඔවුන්ට විරුද්ධව ජයග්‍රහණය කරමින් සිටිනවා. නමුත් ඔවුන්ගේම බලයෙන් නෙවෙයි. යෙහෝවා දෙවි ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව හා උපදෙස් සපයන නිසා ඒ සඳහා ගෞරවය ලැබිය යුත්තේ ඔහුටයි. ගීතාවලිය 18:30හි (පැරණි අනුවාදය) පවසන ආකාරයට “[යෙහෝවාගේ] වචනය නිර්මලය; ඔහු තමන් සරණ කොට ගන්න සියල්ලන්ට පලිහක් වන්නේය.”

ශුද්ධ ලියවිලිවල සඳහන් ඔහුගේ නිර්මල “වචන” මගින් යෙහෝවා තම පක්ෂපාත සේවකයන්ගේ ඇදහිල්ල ආරක්ෂා කරනවා. (ගීතාවලිය 19:7-11; 119:93) දේවවචනයේ සඳහන් ප්‍රඥාව ගැන සාලමොන් ලිව්වේ මෙහෙමයි. “ඇය අත්නොහරින්න; ඇය ඔබ පරෙස්සම් කරන්නීය; ඇයට ප්‍රේම කරන්න; ඇයද ඔබ රක්ෂා කරන්නීය.” (හිතෝපදේශ 4:6; දේශනාකාරයා 7:12) දිව්‍ය ප්‍රඥාව අපිව ආරක්ෂා කරන්නේ කොහොමද? පුරාණ ඊශ්‍රායෙලිතයන්ගේ ආදර්ශය සලකා බලන්න.

දිව්‍ය ප්‍රඥාව මගින් ආරක්ෂාව ලැබූ සෙනඟක්

ඊශ්‍රායෙලිතයන්ගේ එදිනෙදා ජීවිතයේ හැම පැත්තකදීම යෙහෝවාගේ නීතිය ඔවුන්ට ආරක්ෂාවක් හා මඟ පෙන්වීමක් වුණා. උදාහරණයක් හැටියට ඔවුන්ගේ ආහාර පානාදිය, සෞඛ්‍යය සහ රෝගීන්ව වෙන් කර තැබීම වැනි දේවල් සම්බන්ධයෙන් දෙවි දී තිබූ නීති නිසා වෙනත් ජාතීන්ට වැලඳුණ රෝග බොහොමයකින් ඔවුන් ආරක්ෂා වුණා. නමුත් දෙවිගේ නීතිවල තිබූ උසස් මට්ටමට පැමිණීමට විද්‍යාවට හැකි වුණේ 19වන ශතවර්ෂයේදී බැක්ටීරියා ගැන සොයාගැනීමෙන් පසුව පමණයි. ඉඩම්වල අයිතිය, යමෙක් හෝ යමක් මුදවාගැනීම, ණය බරින් නිදහස් වීම සහ අයුතු පොලී ගැනීම සම්බන්ධයෙන් තිබූ නීති නිසා ඊශ්‍රායෙලයේ සිටි හැමෝටම හොඳ ස්ථාවර සමාජයක ජීවත් වෙන්නට හා සාධාරණ ආර්ථිකයක් ඇතිව ජීවත් වෙන්න හැකි වුණා. (ද්විතීය කතාව 7:12, 15; 15:4, 5) යෙහෝවාගේ නීතිය නිසා ඊශ්‍රායෙල් දේශයේ තිබුණු පසේ සාරවත් බවද රැකුණා. (නික්මයාම 23:10, 11) බොරු නමස්කාරය සම්බන්ධයෙන් තිබූ නීති නිසා භූත බලපෑම, දරුවන් පූජා කිරීම, තමන්ට වඩා පහත් අජීවි රූප ඉදිරියේ මිනිසුන් වැඳ වැටීම සහ වෙනත් කුරිරු දේවල් බොහොමයකින් ඊශ්‍රායෙලිතයන් ආරක්ෂා වූ අතර ඔවුන්ගේ නමස්කාරය පවිත්‍රව තබාගැනීමට මෙය උපකාරවත් වුණා.—නික්මයාම 20:3-5; ගීතාවලිය 115:4-8.

පැහැදිලිවම යෙහෝවාගේ “වචන” ඊශ්‍රායෙලිතයන්ට “නිෂ්ඵල දෙයක්” වුණේ නැහැ. ඒ වෙනුවට එය පිළිපැද්ද අයට ඔවුන්ගේ ජීවිතය රැකගැනීමටත් ඔවුන්ගේ දවස් වැඩි කරගැනීමටත් හැකි වුණා. (ද්විතීය කතාව 32:47) අද දින ක්‍රිස්තියානීන් ඒ නීති යටතේ නොසිටියත් යෙහෝවා දෙවිගේ ප්‍රඥාවන්ත වචන පිළිපදින අයට එවැනිම ප්‍රයෝජන ලබාගත හැකියි. (ගලාති 3:24, 25; හෙබ්‍රෙව් 8:8) නීති මාලාවක් වෙනුවට ක්‍රිස්තියානීන්ට සෑම කාරණයක් සම්බන්ධයෙන්ම අදාළ කරගත හැකි බයිබල් ප්‍රතිපත්ති රාශියක් තිබෙනවා. ඉන් ඔවුන්ට මඟ පෙන්වීම හා ආරක්ෂාව ලැබෙනවා.

ප්‍රතිපත්ති මඟින් ආරක්ෂා වන සෙනඟක්

නීතියක් කියන්නේ යම් සීමිත අවස්ථාවකදී පමණක් අදාළ විය හැකි දෙයක්. නමුත් බයිබල් ප්‍රතිපත්තියක් යනු මූලික සත්‍යයක් නිසා එය පුළුල් මෙන්ම කොයි කාලයටත් අදාළයි. නිදසුනක් වශයෙන් යාකොබ් 3:17හි සඳහන් ප්‍රතිපත්තිය සලකා බලන්න. ඒ පදයේ මුල් වාක්‍යය පවසන්නේ මෙයයි. “ඉහළින් පැමිණෙන ප්‍රඥාව පළමුකොට නිර්මලය; ඊළඟට සාමකාමීය.” ඒ මූලික සත්‍යය අද දින සිටින දෙවිගේ සෙනඟට ආරක්ෂාවක් වන්නේ කොහොමද?

නිර්මලව සිටීම යන්නෙන් අදහස් කරන්නේ දුරාචාරමය ජීවිතයකට තුඩු දෙන සියලුම කාරණාවලින් වැළකී සිටීමයි. එමනිසා තම නිර්මලකම රැකගැනීමට අදිටන් කරගෙන සිටින අය ලිංගික දුරාචාරයෙන් පමණක් නෙවෙයි නමුත් එයට මඟ පෑදිය හැකි සියලුම දේවල්වලින් පවා වැළකී සිටිනවා. ඊට කාමුක ආශාව ඇවිස්සෙන ආකාරයේ සිහින මැවීම, දර්ශන නැරඹීම සහ එවන් පොත් පත් කියවීම ඇතුළත් වෙනවා. (මතෙව් 5:28) මේ නිසා යාකොබ් 3:17හි සඳහන් දෙය සිතට ගෙන කටයුතු කරන විවාහ වීමට බලාපොරොත්තුවෙන් ආශ්‍රය කරන අයත්, තමන්ගේ හැඟීම් පාලනය කිරීමට නොහැකි වන තරමට ළඟින් ආශ්‍රය කරන්නේ නැහැ. ඔවුන් ප්‍රතිපත්තිගරුක පුද්ගලයන් නිසා නිර්මලකම නැති කළ හැකි කිසිම දෙයකට ඔවුන්ගේ සිත් ඇදී යන්නේ නැහැ. තමන්ට දෙවිගේ අනුමැතිය නැති වෙන්නේ ඔහුගේ නීතියක් කැඩුවොත් විතරයි කියා ඔවුන් සිතන්නෙත් නැහැ. ඒ වෙනුවට ‘යෙහෝවා හෘදය බලන’ බවත් ඒ අනුව ක්‍රියා කරන බවත් ඔවුන් හොඳින් දන්නවා. (1 සාමුවෙල් 16:7; 2 ලේකම් 16:9) එවැනි ප්‍රඥාවන්ත අය අද කාලයේ ලිංගිකව බෝවන බොහෝ රෝගවලින් තමන්වම ආරක්ෂා කරගන්නා අතර පිරිසිදු සිතක්ද ඇතිව සිටිනවා.

දිව්‍ය ප්‍රඥාව “සාමකාමී” වන බවත් යාකොබ් 3:17 පවසනවා. සාතන් අපව දරුණුකම් කිරීමට පෙලඹ වීම මගින් අපව යෙහෝවා දෙවිගෙන් ඈත් කිරීමට උත්සාහ කරන බව අපි හොඳින් දන්නා කාරණයක්. ඔහු මේ සඳහා භාවිත කරන සමහර දේවල් වන්නේ එවැනි දේවල් ඇතුළත් පොත් පත්, චිත්‍රපටි, සංගීතය සහ පරිගණක ක්‍රීඩායි. ඒ ක්‍රීඩා සමහරක යෙදෙන ක්‍රීඩකයන් සිතාගත නොහැකි තරම් කුරිරු දේවල් කිරීමටත් මිනී මැරීමටත් පෙලඹෙනවා. (ගීතාවලිය 11:5) දරුණු අපරාධ එන්න එන්නම වැඩිවීමෙන් ඔප්පු වෙන්නේ සාතන්ගේ වෑයම සාර්ථක වන බවයි. වසර කිහිපයකට පෙර ඕස්ට්‍රේලියාවේ ද සිඩ්නි මෝනිං හෙරල්ඩ් නම් පුවත්පත මෙවැනි අපරාධ සම්බන්ධයෙන් රොබට් රෙස්ල පැවසූ දෙයක් සඳහන් කළා. තමා 1970ගණන්වල සම්මුඛ සාකච්ඡාවට කැඳවූ මිනී මැරුම් කිහිපයක්ම සිදු කළ පුද්ගලයන් කිහිපදෙනෙක්ම එවැනි අපරාධ කිරීමට පෙලඹීමට හේතුව ලෙස ඔවුන් සඳහන් කළේ ඒ කාලයේදී ඔවුන් දැකපු ප්‍රචණ්ඩකාරී කාමුක දර්ශන බව ඔහු පැවසුවා. ඒ දර්ශන අද දින දක්නට තිබෙන ඒවා තරම් අශික්ෂිත වුණේ නැහැ. මේ අනුව රෙස්ල කියා සිටින්නේ “අද තිබෙන කාමුක දර්ශන හා ඒවා නරඹන අයගේ සංඛ්‍යාව දෙස බලද්දී අනාගතයේදී එවන් මිනී මරුවන්ගේ සංඛ්‍යාව අනිවාර්යයෙන්ම වැඩි වන බවට කිසිම සැකයක් නැහැ. මේ ගැන හිතද්දී අපට අනාගතය ගැන ඇති වන්නේ බියකරු හැඟීමක්” කියායි.

ඒ වාර්තාව නිකුත් වී මාස කිහිපයක් ගත වුණේ නැහැ, ස්කොට්ලන්තයේ ඩන්බ්ලේන් නගරයේ තුවක්කුකරුවෙක් බාලාංශයක සිටි දරුවන් 16දෙනෙක් සහ ඔවුන්ගේ ගුරුවරියව ඝාතනය කළා. ඊට පසුව ඔහු තමාටම වෙඩි තබාගත්තා. මෙය සිදු වී මාසයකින් තවත් වියරු වැටුණු තුවක්කුකරුවෙක් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක් වන ටැස්මේනියාව ප්‍රදේශයේ පෝට් ආතර් නගරයේ සිටි 32දෙනෙක්ව ඝාතනය කළා. මෑත කාලවලදී එක්සත් ජනපදයේ පාසැල් කිහිපයක සිදු වූ ඝාතන නිසා මුළු රටම කම්පනයට පත් වෙලා. මේ නිසා ඇමෙරිකානු ජාතිකයන් බොහෝදෙනෙක් ‘මෙවැනි දේවල් සිදු වන්නේ ඇයි’ කියන ප්‍රශ්නය අසනවා. දෙදහස් එක වසරේ ජූනි මාසයේදී ජපානයේ පාසැලකට ඇතුල් වූ සිහි විකල් පුද්ගලයෙක්, පළමු සහ දෙවන වසරේ දරුවන් 8දෙනෙක්ව පිහියකින් ඇන මැරීමෙන් පසුව තවත් 15දෙනෙක්ව කපා තුවාල කළ සිද්ධිය ගැන ලොව පුරා ප්‍රවෘත්තිවල සඳහන් වුණා. මෙවන් කුරිරු සිදුවීම්වලට විවිධාකාර හේතු තිබෙන්න පුළුවන් බව ඇත්තයි. නමුත් ජන මාධ්‍යයේ දක්නට ලැබෙන සැහැසියාව මෙයට බොහෝසෙයින් බලපාන බව බොහෝදෙනෙක්ගේ මතයයි. “විනාඩියක දැන්වීමක් මඟින් වෙළඳ භාණ්ඩයක අලෙවිය විශාල වශයෙන් වැඩි කරගන්න පුළුවන් නම්, මිලියන ගණනාවක් වියදම් කරමින් නිෂ්පාදනය කරන පැය දෙකක චිත්‍රපටියකින් මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්න පුළුවන් බව අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි” කියා ඕස්ට්‍රේලියාවේ ලේඛකයෙක් වන ෆිලිප් ඇඩම්ස් පැවසුවා. කලින් සඳහන් කළ පෝට් ආතර් නගරයේ තුවක්කුකරුවාගේ නිවසේ තිබී සැහැසික මෙන්ම කාමුක දර්ශන ඇතුළත් වීඩියෝ පටි 2,000ක් පොලීසිය සොයාගත්තා.

බයිබල් ප්‍රතිපත්තිවලට ඇලුම්කමක් දක්වන අය සියලු ආකාර දරුණු ක්‍රියාවලට ආශාවක් ඇති කරන විනෝදාස්වාදවලින් වැළකීමෙන් තමන්ගේ සිතුවිලි හා හැඟීම් ආරක්ෂා කරගන්නවා. එමනිසා ඔවුන්ගේ සිතුවිලි හෝ ආශාවන් ‘ලෝකයේ ස්වභාවයට’ අනුව හැඩගස්වා ගන්නවා වෙනුවට ඔවුන්ට “[දෙවි විසින්] උගන්වනු” ලබන අතර දිව්‍ය ගුණාංගවලට ඇලුම්කමක් දැක්වීමට ඔවුන් දැඩි උත්සාහයක් දරනවා. ඒ ගුණාංගවලින් එකක් නම් සමාදානයයි. (1 කොරින්ති 2:12, 13; ගලාති 5:22, 23) මේ ඇලුම්කම ඇති කරගැනීම සඳහා නිතිපතා කරන බයිබල් අධ්‍යයනය, යාච්ඤාව සහ ගොඩනංවනසුලු දේවල් ගැන මෙනෙහි කිරීම ඔවුන්ට උපකාරවත් වෙනවා. තවද ඔවුන් දරුණු ආකාරයෙන් ක්‍රියා කිරීමට නැඹුරුවාවක් දක්වන අය සමඟ ආශ්‍රය කිරීමෙන්ද වැළකී සිටිනවා. ඒ වෙනුවට ඔවුන් ආශ්‍රය කිරීමට තෝරගන්නේ යෙහෝවා දෙවි පොරොන්දු වී තිබෙන සාමකාමී තත්වය යටතේ මේ පොළොවේ ජීවත් වීමට ඔවුන් වගේම ආශාවෙන් සිටින අයවයි. (ගීතාවලිය 1:1-3; හිතෝපදේශ 16:29) ඇත්තෙන්ම දිව්‍ය ප්‍රඥාව මොන තරම් ආරක්ෂාවක්ද!

යෙහෝවාගේ “වචන” ඔබේ සිත ආරක්ෂා කරත්වා!

පාළුකරයෙහි සාතන් විසින් යේසුස්ව පරීක්ෂා කරනු ලැබූ අවස්ථාවේදී දේවවචනයෙන් නිවැරදිව අදහස් උපුටා දක්වමින් සාතන් බොරුකාරයෙක් බව ඔහු ඔප්පු කළා. (ලූක් 4:1-13) යේසුස් මේ අවස්ථාවේදී උත්සාහ කළේ තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට නෙවෙයි. සාතන්ට පිළිතුරු දීමේදී ශුද්ධ ලියවිලි පාවිච්චි කරමින් ඔහු මුළු සිතින්ම කතා කළා. මේ නිසා යක්ෂයා ඒදන් උයනේදී සාර්ථක වුණත් යේසුස්ව රැවටීමට ඔහුට හැකි වුණේ නැහැ. යෙහෝවාගේ වචනවලින් අපේ හිත පුරවාගන්නවා නම් සාතන්ගේ උපායන්වලට නොරැවටී සිටීමට අපටත් පුළුවන්. “ජීවනය නික්මෙන්නේ හෘදයෙන්” නිසා එය යෙහෝවාගේ වචනවලින් පුරවාගැනීම තරම් වැදගත් දෙයක් තවත් නැහැ.—හිතෝපදේශ 4:23.

ඒ විතරක් නෙවෙයි අපි දිගටම අපේ සිත ආරක්ෂා කරගන්න වෑයම් කළ යුතුයි. සාතන් පාළුකරයේදී අසාර්ථක වුණත් යේසුව පරීක්ෂා කරන එක නතර කළේ නැහැ. (ලූක් 4:13) අප සම්බන්ධයෙන්ද සාතන් තමන්ගේ වෑයම අත්හරින්නේ නැහැ. අපි දෙවිට විශ්වාසවන්තව සේවය කරන එක නතර කිරීමට ඔහු විවිධ උපක්‍රම යොදනවා. (එළිදරව් 12:17) ඒ නිසා යේසුස් මෙන් අපිත් දේවවචනයයට දැඩි ඇලුම්කමක් දක්වමින් දෙවිගේ උපකාරය හා දිව්‍ය ප්‍රඥාව ඉල්ලමින් නොකඩවා යාච්ඤා කරමු. (1 තෙසලෝනික 5:17; හෙබ්‍රෙව් 5:7) එසේ කරමින් තමාව රක්ෂස්ථානය කරගන්නාවූ සියල්ලන්ට යෙහෝවා පොරොන්දු වෙන්නේ ඔහු සමඟ තිබෙන මිත්‍රත්වයට බාධාවක් ඇතිවීමට ඔහු ඉඩ නොදෙන බවයි.—ගීතාවලිය 91:1-10; හිතෝපදේශ 1:33.

දේවවචනය මගින් ආරක්ෂා වන සභාව

“මහත් සමූහයක්” මහත් පීඩාවෙන් බේරී ජීවත් වීම වළක්වන්න සාතන්ට බැහැ. (එළිදරව් 7:9, 14) ඒත් ඔහු ක්‍රිස්තියානීන්ගේ සිත් දූෂ්‍ය කිරීමට දැඩි උත්සාහයක් දරමින් සිටිනවා. ඔහුගේ අරමුණ වෙන්නේ ටිකදෙනෙකුට හරි යෙහෝවාගේ අනුමැතිය නොලැබීමට සැලැස්වීමටයි. ඔහුගේ එම උපක්‍රමය පුරාණයේ සිටි ඊශ්‍රායෙලිතයන් සම්බන්ධයෙන් සාර්ථක වුණා. ඔවුන් පොරොන්දු දේශය අද්දර සිටිද්දී ඉන් 24,000ක් මරණයට පත් වුණේ ඒ නිසයි. (ගණන් කතාව 25:1-9) ඇත්තයි වැරදි කරන ක්‍රිස්තියානීන් සැබැ පසුතැවිල්ලක් දැක්වුවොත් ඔවුන්ට නැවත දෙවි සමග තිබෙන මිත්‍රත්වය ඇති කරගැනීමට ප්‍රේමණීය උපකාරය ලබාගත හැකියි. නමුත් පුරාණයේ සිටි සිම්රී වැනි පසුතැවිලි නොවන පව්කාරයන් අන් අයගේ සදාචාර ජීවිතයට හානියක් පමුණුවන අතර දෙවි සමග ඔවුන්ට තිබෙන මිත්‍රත්වයටත් බාධාවක් ඇති කරනවා. (ගණන් කතාව 25:14) මෙය හරියට අපි මේ ලිපිය ආරම්භයේදී සඳහන් කළ සෙබළුන්ගෙන් කෙනෙක් ඔහුගේ පලිහ ඉවතට දැම්මා හා සමාන වෙනවා. එසේ කළහොත් ඔහුගෙත් අනිත් අයගෙත් ජීවිතවලට හානියක් සිදු වෙන්න ඉඩ තිබුණා. එවැනි දෙයක් ක්‍රිස්තියානීන්ටත් සිදු විය හැකියි.

බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “සහෝදරයෙකුයයි කියන ලද කෙනෙකු වේශ්‍යාකම් කරන්නෙකු හෝ ගිජුකමක් ඇත්තෙකු හෝ රූප වඳින්නෙකු හෝ නිග්‍රහ කරන්නෙකු හෝ බේබද්දෙකු හෝ අනුන්ගේ දේ අයුතු ලෙස ගන්නෙකු හෝ වේ නම්, ඔහු සමඟ ඇසුරු කිරීම නතර කරන්න කියාය. එමෙන්ම එවැනි මිනිසෙකු සමඟ කෑමවත් නොකන්න කියාය. . . . ඔබ අතරෙන් දුෂ්ට මිනිසාව ඉවත් කරන්න.” (1 කොරින්ති 5:11, 13) ක්‍රිස්තියානි සභාව මුළුමනින්ම පිරිසිදුව තබාගැනීමට ඒ ප්‍රඥාවන්ත “වචන” උපකාරවත් වන බවට ඔබ එකඟ වන්නේ නැද්ද?

ඊට හාත්පසින්ම වෙනස්ව පල්ලි බොහොමයක් මෙන්ම ඇදහිල්ල අත්හැරිය බොහෝදෙනෙක් සදාචාරමය ප්‍රතිපත්ති ගැන සැහැල්ලුවට හිතන සමාජය සමඟ එකඟ වෙනවා. ඒ ආකල්පවලට පටහැනි බයිබල් ප්‍රතිපත්ති යල් පැන ගිය අදහස් හැටියට ඔවුන් සලකනවා. ඒ නිසා පූජකයන් කරන බරපතළ පාප වුණත් ඔවුන් නොසලකාහරිනවා. (2 තිමෝති 4:3, 4) කෙසේවෙතත් හිතෝපදේශ 30:5හි සඳහන් පලිහක් බඳු යෙහෝවාගේ “වචන” ගැන සඳහන් කළාට පසුව හිතෝ. 30:6වන පදයේ මෙම ආඥාවද සඳහන් වන බව සැලකිල්ලට ගන්න. “ඔහු ඔබට තරවටු නොකරන පිණිසත් ඔබ බොරුකාරයෙකු නොවන පිණිසත් [දෙවිගේ] වචනවලට යමක් එකතු නොකරන්න.” බයිබලයේ තිබෙන වචන වෙනස් කිරීමට උත්සාහ කරන අය ඇත්තෙන්ම කරන්නේ ලොකු බොරුවක්! (මතෙව් 15:6-9) එසේනම් දේවවචනයට ගැඹුරු ගෞරවයක් දක්වන යෙහෝවාගේ සංවිධානයේ සිටීමට ලැබීම ගැන අපි කොතරම් අගයපූර්වක විය යුතුද!

‘මිහිරි සුවඳෙන්’ ලැබෙන ආරක්ෂාව

දෙවිගේ සෙනඟ බයිබලයේ තිබෙන දේවල් කිට්ටුවෙන් පිළිපදින නිසාත් එහි සැනසිලිදායක පණිවුඩය අන් අය සමඟ බෙදාගන්න නිසාත් ඔවුන් සුවඳ දුමක් වැනි වූ ජීවනයේ “මිහිරි සුවඳක්” පතුරුවාහරිනවා. මෙය යෙහෝවාට ප්‍රසන්න දෙයක්. නමුත් අධර්මිෂ්ඨ පුද්ගලයන්ට ඒ පණිවුඩය දරන අයගෙන් නික්මෙන්නේ “මරණය ගෙන දෙන මරණීය සුවඳකි.” සාතන් දුෂ්ටයන්ව කෙතරම් වියවුල් කර ඇද්ද කිවහොත් “ක්‍රිස්තුස්ගේ මිහිරි සුවඳ” පතුරුවන අය අතර සිටිද්දී ඔවුන්ට දැනෙන්නේ අපහසු බවක් නැතිනම් වෛරයක්. අනෙක් අතට “ගලවනු ලබන අය අතරේ . . . ක්‍රිස්තුස්ගේ මිහිරි සුවඳක්” වෙන්නේ ශුභාරංචිය උද්‍යෝගයෙන් පතුරුවාහරින අයයි. (2 කොරින්ති 2:14-16) බොරු ආගම්වල දක්නට ලැබෙන කුහකකම සහ අසත්‍ය ඉගැන්වීම් ගලවනු ලබන අවංක සිත් ඇති අයට පිළිකුලක් වෙනවා. එමනිසා අපි දේවරාජ්‍යය ගැන දේවවචනයෙන් ඔවුන්ට පහදා දෙද්දී ඔවුන් ක්‍රිස්තුස් වෙතට අදිනු ලබන බවක් හෙවත් සමීප වන බවක් දැනෙන අතර තවත් දැනගැනීමට ආශාවක් දක්වනවා.—යොහන් 6:44.

එමනිසා දේවරාජ්‍ය පිළිබඳ පණිවිඩයට සමහරුන් හොඳ ප්‍රතිචාරයක් නොදක්වන විට අධෛර්යයට පත් වෙන්න එපා. ඒ වෙනුවට “ක්‍රිස්තුස්ගේ මිහිරි සුවඳ” වූ එම පණිවුඩය දෙවි සමඟ තිබෙන ඔබගේ මිත්‍රත්වය රැක දෙන යමක් හැටියට සලකන්න. දෙවිගේ සෙනඟ භුක්ති විඳින සුරක්ෂිත තත්වය තුළ දිගටම සිටීමට ඔබට එය උපකාර කරන අතරතුර ඔබව දෙවිගෙන් ඈත් කළ හැකි අයගෙන් එය ඔබව ආරක්ෂා කරයි. ඒ වගේම යහපත් අය ඊට ඇදී එනවා නොඅනුමානයි.—යෙසායා 35:8, 9.

ඓතිහාසික ඒ මැරතන් යුද්ධයේදී ග්‍රීක සොල්දාදුවන් එකිනෙකාට ළඟින් ගමන් කරමින් ඔවුන්ගේ පලිහවල් තදින් අල්ලාගෙන සිටි නිසා විශාල හමුදාවක් පරාජය කරන්න වුණත් ඔවුන්ට හැකි වුණා. ඒ හා සමානව යෙහෝවාගේ පක්ෂපාත සාක්ෂිකරුවන්ටත් ඔහු සමඟ තිබෙන ඔවුන්ගේ මිත්‍රත්වය ආරක්ෂා කරගැනීම සඳහා ඔවුන් කරන සටනේදී ඔවුන්ට පූර්ණ ජයක් අත්වන බවට සහතික කර තිබෙනවා. මන්ද එය ඔවුන්ගේ “උරුමය” වෙයි. (යෙසායා 54:17) එමනිසා “ජීවනයේ වචනය තදින් අල්ලාගෙන” සිටීමෙන් දිගටම අපි එක් එක්කෙනා යෙහෝවාව අපේ රක්ෂස්ථානය කරගනිමු.—ෆිලිප්පි 2:16.

[31වන පිටුවේ පින්තූර]

‘ඉහළින් පැමිණෙන ප්‍රඥාව, නිර්මලය, සාමකාමීය’