එෆීස 6:1-24

6  දරුවෙනි, දෙවිගේ කැමැත්තට එකඟව+ ඔබේ දෙමාපියන්ට කීකරු වන්න.+ මන්ද දෙමාපියන්ට කීකරු වීම දෙවි සලකන්නේ ධර්මිෂ්ඨ දෙයක් ලෙසටයි.+  “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.”+ පොරොන්දුවක් සමඟ දී ඇති පළමුවෙනි ආඥාව එයයි.+ ඒ පොරොන්දුව නම්,  “එය ඔබේ යහපතට හේතු වෙයි. එවිට පොළොවෙහි බොහෝ කාලයක් ජීවත් වෙන්න ඔබට පුළුවන”+ යන්නයි.  පියවරුනි, ඔබේ දරුවන් තුළ කෝපයක් ඇති වන අයුරින් කටයුතු නොකරන්න.+ ඒ වෙනුවට යෙහෝවා දෙවිගෙන් ලැබෙන හික්මවීම් ලබා දීමෙන්ද+ දෙවි සිතන ආකාරයට සිතීමට ඉගැන්වීමෙන්ද+ ඔවුන්ව නිරතුරුව ඇතිදැඩි කරන්න.+  දාසයෙනි, ඔබ ක්‍රිස්තුස්ට කීකරුව සිටින්නා සේම ඔබේ ස්වාමිවරුන් ලෙස කටයුතු කරන අයට අවංක සිතින්ම ගැඹුරු ගෞරවයක් දක්වමින්+ කීකරු වන්න.+  මිනිසුන්ව සතුටු කරන අය මෙන් මූණිච්චාවට නොව+ ක්‍රිස්තුස්ගේ දාසයන් මෙන් මුළු හදවතින්ම දෙවිගේ කැමැත්ත කරමින් කීකරු වන්න.+  මිනිසුන්ට සේවය කරන ආකාරයට නොව යෙහෝවා දෙවිට සේවය කරන ආකාරයට+ අවංක චේතනාවෙන් හා උද්‍යෝගයෙන් සේවය කරන දාසයන් වන්න.  මන්ද යමෙක් දාසයෙක් වුවත් නැතත්+ තමා කරන යහපත් දේවලට අනුව ඔහුට ඒ සඳහා යෙහෝවා දෙවි ප්‍රතිඵල දෙන බව ඔබ දන්නහුය.+  එලෙසම ස්වාමිවරුනි, ඔබේ දාසයන් සමඟ කටයුතු කරන විට මේ දේවල් මතක තබාගන්න. එනම් ඔවුන්ට තවදුරටත් තර්ජනය නොකරන්න.+ මන්ද ඔබෙත් ඔවුන්ගෙත් ස්වාමියා+ ස්වර්ගයෙහි සිටින බවත් ඔහු සියල්ලන්ටම එක හා සමානව සලකන බවත්+ ඔබ දන්නහුය. 10  අවසන් වශයෙන් මා ඔබෙන් ඉල්ලා සිටින්නේ මෙයයි. ස්වාමීන්ගෙන් දිගටම බලය ලබාගෙන+ ශක්තිමත් වන්න.+ 11  යක්ෂයාගේ උපායන්වලට*+ විරුද්ධව නොසැලී ස්ථිරව සිටීම සඳහා දෙවි ලබා දෙන මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න.+ 12  මන්ද අපට තිබෙන පොරබැදීම+ ඇට මස් ලේ නහර සහිත මිනිසුන්ට විරුද්ධව තිබෙන පොරබැදීමක් නොවේ. ඒ වෙනුවට අපට පොරබැදීමට සිදු වී තිබෙන්නේ මේ අන්ධකාර ලෝකයට අයත් පාලන ක්‍රම,+ බලධාරීන්+ සහ ලෝක පාලකයන්ට+ විරුද්ධවය. එනම් ස්වර්ගීය ස්ථානවල සිටින භූත+ සේනාවන්ට විරුද්ධවය. 13  එහෙයින් දෙවි ලබා දෙන මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න.+ ඔබ එසේ කළොත් නපුරු දවස පැමිණෙන විට ඔවුන්ට විරුද්ධව සිටීමට ඔබට හැකි වේ. එලෙසම කළ යුතු සෑම දෙයක්ම නොපිරිහෙළා ඉටු කළ පසු නොසැලී ස්ථිරව සිටීමටද ඔබට හැකි වේ.+ 14  එහෙයින් ඔබ ඔබේ ඉඟටිය සත්‍යය+ නමැති පටියෙන් බැඳගෙන+ ධර්මිෂ්ඨකම නමැති ළයවැස්ම+ ඇඳගෙන නොසැලී ස්ථිරව සිටින්න. 15  එමෙන්ම පාවහන්+ පැළඳගෙන ගමනට සූදානම්ව සිටින්නා සේ සමාදානයේ ශුභාරංචිය+ නිතරම දේශනා කිරීමට සූදානම්ව සිටින්න. 16  සියල්ලට පළමුවෙන් විශ්වාසය නමැති විශාල පලිහ+ ඔබේ අතට ගන්න. එයින් දුෂ්ටයා ඔබ දෙසට විදින සියලුම ගිනිමය ඊතල නිවා දැමීමට ඔබට හැකි වේ.+ 17  ගැලවීම නමැති හිස්වැස්මද+ දෙවිගේ බලය තුළින් ලබා දී ඇති+ කඩුවද+ එනම්, දේවවචනයද+ අතට ගන්න. 18  ඒ සමඟම දෙවි තම බලය තුළින් ලබා දෙන මඟ පෙන්වීම් ඉල්ලා+ සෑම අවස්ථාවකදීම ඔහුට යාච්ඤා කරන්න.+ හැකි සෑම ආකාරයකින්ම යාච්ඤා කිරීමටත් කන්නලව් කිරීමටත් වගබලා ගන්න. ඒ කාරණය මනසේ තබාගෙන නිරතුරුවම අවදිව සිටිමින් ශුද්ධ තැනැත්තන් වෙනුවෙන් කන්නලව් කරන්න. 19  මා වෙනුවෙන්ද කන්නලව් කරන්න. එවිට මට කතා කිරීමට සිදු වන විට ශුභාරංචියේ පරිශුද්ධ රහස ගැන+ කිසි බියක් සැකක් නැතුව නිර්භීතව කතා කිරීමට+ දෙවි මට උපකාර කරනු ඇත.+ 20  දම්වැල්වලින් බැඳ සිටින මම ඒ ශුභාරංචිය වෙනුවෙන් තානාපතියෙකු+ ලෙස කටයුතු කරමි. එහෙයින් නිර්භීතකමින් කතා කිරීමට හැකියාව ලබා දෙන මෙන් මා වෙනුවෙන් දෙවිට කන්නලව් කරන්න. මන්ද මා ඒ ගැන කතා කළ යුත්තේ එයාකාරයටය.+ 21  ප්‍රේමණීය සහෝදරයෙකු මෙන්ම ස්වාමීන්ගේ විශ්වාසවන්ත දේවසේවකයෙකුද වන තිකිකස්+ මගේ වැඩකටයුතු ගැන හා මගේ සුව දුක් ගැන ඔබට සියලුම තොරතුරු ලබා දෙයි.+ 22  මා ඔහුව ඔබ වෙතට එවන්නේ ඔබට අප ගැන තොරතුරු ලබා දී ඔබේ සිතට සහනයක් ලබා දීමේ අරමුණෙනි.+ 23  පියාණන් වන දෙවිගෙන් හා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගෙන් සමාදානයත් විශ්වාසය සමඟ ප්‍රේමයත් සහෝදරයන් සියලුදෙනාටම ලැබේවා! 24  අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ට කිසිදා වෙනස් නොවන ප්‍රේමයක් පෙන්වන සියලුදෙනාට දෙවිගේ මහත් කරුණාව නොඅඩුව ලැබේවා!+

පාදසටහන්

හෝ, “කපටි ක්‍රියාවලට.”