ගලාති 3:1-29

3  ගලාතිවරුනි, ඔබ කටයුතු කරන්නේ ඉතා අඥාන ලෙසයි. ඔබව නොමඟ යැව්වේ කවුද?+ මන්ද මීට කලින් යේසුස් ක්‍රිස්තුස්ව වධකණුවක එල්ලා මරනු ලැබූ ආකාරය ඔබට ඉතා පැහැදිලිව තේරුම් කර දී තිබිණ.+  මා ඔබෙන් යමක් දැනගැනීමට කැමතිය. එනම් ඔබට දෙවිගේ බලය ලැබුණේ+ ඔබ නීතිය පිළිපැද්ද නිසාද+ නැත්නම් ඔබ ශුභාරංචියට සවන් දී+ විශ්වාසය ඇති කරගත් නිසාද?  ඔබ මෙතරම් අඥාන ලෙස කටයුතු කරන්නේ ඇයි? දෙවිගේ බලයට එකඟව ගමන් කරන්න ඔබ පටන්ගත්තත්+ ඔබේ ගමන ඔබ නිම කිරීමට උත්සාහ දරන්නේ වරදට නැඹුරු මිනිසුන් මත රඳා සිටීමෙන්ද?+  ඔබ බොහෝ දුක් වින්දේ කිසිම හේතුවක් නැතුවද?+ එසේ නොවන බව මට නිසැකයි.  දෙවි තම බලය ඔබට ලබා දෙන්නෙත්+ ඔබ අතරේ බලවත් ක්‍රියා සිදු කරන්නෙත්+ ඔබ නීතිය පිළිපදින නිසාද? එසේ නැත්නම් ඔබ ශුභාරංචියට සවන් දී විශ්වාසයක් ඇතුව සිටින නිසාද?  ආබ්‍රහම්ව සලකා බලන්න. ඔහු “යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබුවේය. ඒ නිසා ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ගණන් ගන්නා ලදි.”+  එසේනම් ආබ්‍රහම්ගේ පුත්‍රයන් වන්නේ+ විශ්වාසයක් ඇති අයයි.+ ඔබ ඒ කාරණය දැන සිටිනවාට කිසි සැකයක් නැත.  දෙවි වෙනත් ජාතීන්ට අයත් මිනිසුන්ව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරන්නේ ඔවුන් ඇති කරගත් විශ්වාසය නිසා බව ශුද්ධ ලියවිල්ලෙත් කල්තියාම සඳහන් කර තිබිණ. එහෙයින්, “සියලු ජාතීහු ඔබ මාර්ගයෙන් ආශීර්වාද ලබාගන්නෝය”+ යන ශුභාරංචිය ආබ්‍රහම්ට කලින්ම ප්‍රකාශ කරන ලදි.  ඒ අනුව විශ්වාසයක් ඇතුව ක්‍රියා කළ ආබ්‍රහම් ආශීර්වාද ලැබුවා හා සමානව+ දැනුත් විශ්වාසයක් ඇති සියලුදෙනාටද ආශීර්වාද ලැබේ.+ 10  “නීතියේ සඳහන් දේවල් පිළිපැදීමට උත්සාහ නොකරන තැනැත්තාට ශාප වේවා”+ කියා නීතියේ සඳහන් වේ. එසේනම් නීතිය පිළිපැදීම මතම රඳා සිටින අය ශාපයකට ලක් වී සිටිති. 11  මීට අමතරව නීතිය පිළිපැදීමෙන් පමණක් කිසිම කෙනෙකු දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ප්‍රකාශ නොකරන බවත් පැහැදිලිය.+ මන්ද, “ධර්මිෂ්ඨ තැනැත්තා ඔහුගේ ජීවිතය රැකගන්නේ ඔහුගේ විශ්වාසය නිසයි”+ කියා සඳහන් වේ. 12  නමුත් නීතිය පිළිපැදීමට පුද්ගලයෙකුට විශ්වාසය අවශ්‍ය වන්නේ නැත. මන්ද, “යමෙක් ඒවා පිළිපදින්නේ නම් ඔහුගේ ජීවිතය රැකෙනු ඇත.”+ 13  නීතියෙන් ඇති වූ ශාපයෙන් අපව නිදහස් කළේ+ ක්‍රිස්තුස්ය. ඔහු එසේ කළේ අප වෙනුවෙන් ශාපයට ලක් වී+ අපව මිල දී ගැනීමෙනි.+ “කණුවක එල්ලා තබන සෑම කෙනෙක්ම ශාප ලැබූ කෙනෙකි”+ කියා සඳහන් වී තිබෙන්නේ ඒ නිසාය. 14  එවැනි දෙයක් සිදු වූයේ ආබ්‍රහම්ට පොරොන්දු වූ ආශීර්වාදය යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් සියලු ජාතීන්ට+ ලබා දීමටය. එමනිසා අපගේ විශ්වාසය මගින්+ අපට පොරොන්දු වී තිබුණු දෙවිගේ බලය+ ලබාගැනීමට අපට අවස්ථාව ලැබිණ. 15  සහෝදරයෙනි, සාමාන්‍ය ජීවිතයේ හොඳින් දන්නා උපමාවක් භාවිත කිරීමට කැමැත්තෙමි. මිනිසුන් දෙදෙනෙකු යම් ගිවිසුමකට එළඹෙන විට එම ගිවිසුම වලංගු දෙයක් බවට පත් වන නිසා කිසි කෙනෙක් එය නොසලකාහරින්නේවත් එයට අමතර කොන්දේසි එකතු කරන්නේවත් නැත.+ 16  මෙය මතකයේ තබාගෙන ආබ්‍රහම්+ සහ ඔහුගෙන් පැවතෙන තැනැත්තාට+ දෙවි දුන් පොරොන්දු ගැන සලකා බලන්න. මෙහිදී දෙවි, “ඔබෙන් පැවතෙන තැනැත්තන්ට” කියා පවසමින් බොහෝදෙනෙකු ගැන සඳහන් කරනවා වෙනුවට+ “ඔබෙන් පැවතෙන තැනැත්තා”+ කියා පවසයි. ඒ තැනැත්තා නම් ක්‍රිස්තුස්ය.+ 17  මා තවත් දෙයක්ද සඳහන් කරන්න කැමතිය. එනම් දෙවි විසින් කලින් වලංගු කරන ලද ඒ ගිවිසුම+ ඊට අවුරුදු හාරසිය තිහකට පසුව හඳුන්වා දුන් නීතිය+ මගින් අවලංගු නොවන බවය. මන්ද දෙවි තමා දුන් පොරොන්දුව කඩ කරන්නේ නැත.+ 18  දෙවි උරුමයක් ලෙස දෙන දේ ලබාගැනීමට නීතිය පිළිපැදීම අත්‍යවශ්‍ය දෙයක් නම් එය තවදුරටත් පොරොන්දුවක් නිසා ලැබෙන දෙයක් ලෙස සැලකිය නොහැක.+ ඇත්තෙන්ම දෙවි සිය කරුණාවෙන් එය ආබ්‍රහම්ට දුන්නේ පොරොන්දුවක් ලෙසයි.+ 19  එසේනම් නීතිය ලබා දුන්නේ කුමන අරමුණකින්ද? පොරොන්දුවට අමතරව එය දෙන ලද්දේ පොරොන්දු වී තිබූ තැනැත්තා පැමිණෙන තුරු+ වැරදි දේවල් මොනවාද කියා පැහැදිලිව පෙන්වා දීමටය.+ දෙවි එම නීතිය දේවදූතයන්ට දුන් අතර+ ඔවුහු එය මැදිහත්කරුවෙකු මාර්ගයෙන්+ මිනිසුන්ට ප්‍රකාශ කළෝය. 20  නමුත් පොරොන්දුව දුන් විට ඊට මැදිහත්කරුවෙක් අවශ්‍ය වූයේ නැත. මන්ද ඒ පොරොන්දුව දුන්නේ එක් කෙනෙක්ය. ඒ දෙවිය.+ 21  එසේනම් නීතිය දෙවි දුන් පොරොන්දුවලට විරුද්ධව ක්‍රියා කරනවාද?+ නැත. කිසි ලෙසකින්වත් එසේ නොසිතන්න. මන්ද ජීවනය දිය හැකි නීතියක් මිනිසුන්ට ලබා දී තිබුණා නම්+ ඒ නීතිය පිළිපැදීමෙන් පමණක් ඔවුන්ට ධර්මිෂ්ඨ වීමට හැකියාව තිබෙනු ඇත.+ 22  නමුත් ශුද්ධ ලියවිල්ල+ මගින් පැහැදිලි වූයේ සියලුදෙනා පාපයට යටත්ව සිටින බවය.+ ඒ අනුව දෙවිගේ පොරොන්දු ලැබීමට එකම මඟ යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි විශ්වාසය තැබීම බව පැහැදිලි විය.+ 23  නමුත් විශ්වාසය තැබීමට පදනම පැමිණෙන තුරු+ නීතිය අපව මුරකරුවෙකු සේ ආරක්ෂා කළා+ කියා පැවසිය හැක. එහෙයින් එළිදරව් වීමට නියමිත වූ ඒ පදනම පැමිණෙන තෙක් අපි බලා සිටියෙමු.+ 24  ඒ අනුව නීතිය අපව ක්‍රිස්තුස් ළඟට ගෙන යන අපගේ උපදේශකයා බවට පත් වී තිබේ.+ ක්‍රිස්තුස් කෙරෙහි විශ්වාසය තැබීම හේතුවෙන් අපව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කිරීමට+ මඟ උදා විය. 25  නමුත් විශ්වාසය තැබීමට අවශ්‍ය පදනම දැන් තිබෙන නිසා+ තවදුරටත් අපට උපදේශකයෙක් අවශ්‍ය වන්නේ නැත.+ 26  ඇත්තෙන්ම ඔබ සියලුදෙනා ක්‍රිස්තුස් යේසුස් කෙරෙහි විශ්වාසය තබන නිසා දෙවිගේ පුත්‍රයෝ වන්නහුය.+ 27  මන්ද ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින අය ලෙස බව්තීස්ම වූ ඔබ සියලුදෙනා+ ක්‍රිස්තුස්ව පැළඳගෙන සිටින්නහුය.*+ 28  එමනිසා කෙනෙක් යුදෙව්වෙක්ද ග්‍රීකයෙක්ද+ දාසයෙක්ද නිදහස් පුද්ගලයෙක්ද+ පුරුෂයෙක්ද ස්ත්‍රියක්ද+ යන්න වැදගත් වන්නේ නැත. මන්ද ඔබ සියලුදෙනාම ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින එක පුද්ගලයෙකු හා සමානය.+ 29  මීට අමතරව ඔබ ක්‍රිස්තුස්ට අයිති අය නම් ඔබ ඇත්තටම ආබ්‍රහම්ගෙන් පැවතෙන අයයි.+ ඔහුට දුන් පොරොන්දුවට ඔබත් උරුමක්කරුවෝය.+

පාදසටහන්

එනම්, ක්‍රිස්තුස්ට සමාන වී ඇත.