ගීතාවලිය 119:1-176

א [ආලෙෆ්] 119  යෙහෝවා දෙවිගේ නීතිය පිළිපදින,+නිර්දෝෂ අය සන්තෝෂවත්ය.+   ඔහුගේ සිහිගැන්වීම්වලට කීකරු වන අය සන්තෝෂවත්ය.+ඔවුහු මුළු හදවතින්ම දෙවිගේ මඟ පෙන්වීම් පතන්නෝය.+   කිසි අධර්මිෂ්ඨ ක්‍රියාවකට ඔවුහු හවුල් නොවුණෝය.+දෙවිගේ මඟෙහි ඔවුහු ගමන් කළෝය.+   ඔබේ අණපනත්වලට කීකරු වන ලෙස+ඔබ අපට අණ කළෙහිය.+   ඔබේ නියෝග පිළිපැදීමට+ මම අදිටන් කරගතිමි.+මාගේ ඒ අදිටන කිසි දිනක නොවෙනස් වේ නම් මොන තරම් යහපත්ද!   ඔබේ සියලු ආඥා සැලකිල්ලට ගෙන මා ක්‍රියා කළොත්+කිසිවිටක මම ලැජ්ජාවට පත් නොවනු ඇත.+   ඔබේ ධර්මිෂ්ඨ තීන්දු ගැන මම ඉගෙනගන්නෙමි.+එවිට අවංක සිතින් ඔබට ප්‍රශංසා කිරීමට මට හැකි වන්නේය.+   දෙවියනි, මාගෙන් සම්පූර්ණයෙන්ම ඈත් නොවන්න.+ඔබේ නියෝග මම දිගටම පිළිපදින්නෙමි.+ ב [බ්ත්]   තරුණයෙකුට පිරිසිදු ජීවිතයක් ගත කළ හැක්කේ කෙසේද?+තමන්ගේ සෑම ක්‍රියාවක්ම ඔබේ ආඥාවන්ට එකඟද කියා සෝදිසි කර බැලීමෙනි.+  10  මාගේ මුළු හදවතින්ම මම ඔබේ මඟ පෙන්වීම් පැතුවෙමි.+ඔබේ ආඥාවලට පිටු පා ක්‍රියා කිරීමට මට ඉඩ නොදෙන්න.+  11  මා අතින් පාපයක් සිදු නොවන පිණිස+ඔබේ වදන් මාගේ සිතේ නිදන් කරගත්තෙමි.+  12  යෙහෝවා දෙවියනි, ඔබට ප්‍රශංසා වේවා!ඔබේ නියෝග මට උගන්වන්න.+  13  ඔබ දුන් සියලු තීන්දු+මම ප්‍රකාශ කළෙමි.+  14  සෑම වටිනා දෙයකින්ම ලබන සතුටට වඩා සතුටක්+ඔබේ සිහිගැන්වීම්වලට කීකරු වීමෙන් මම අද්දකින්නෙමි.+  15  ඔබේ අණපනත් නිරතුරුවම සිහි කරන්නෙමි.+ඔබේ මඟ පෙන්වීම්වලට අනුව ක්‍රියා කරන්නෙමි.+  16  ඔබේ පනත්වලට ඇලුම් වන්නෙමි.+ඔබේ වදන් කිසිදා අමතක නොකරන්නෙමි.+ ג [ගීමෙල්]  17  මාගේ ජීවිතය රැකෙන පිණිස මා වෙනුවෙන් යහපත කරන්න.+එවිට ඔබේ සේවකයා වන මට ඔබේ වදන්වලට කීකරු වීමට හැකි වන්නේය.+  18  ඔබේ නීතියේ ඇතුළත් වටිනා කාරණා දෙස බැලීමට හැකි වන පිණිස+මාගේ දෙනෙත් විවර කරන්න.+  19  මා දේශයේ තාවකාලිකව පදිංචි වී සිටින විදේශිකයෙකු මෙනි.+ඔබේ ආඥා මාගෙන් සඟවා නොගන්න.+ 20  ඔබේ තීන්දු දැනගැනීමට+මම නොඉවසිල්ලෙන් බලා සිටින්නෙමි.+  21  ඔබේ ආඥාවලට කීකරු නොවන+ශාප ලත්, උඩඟු තැනැත්තන්ට ඔබ තරවටු කළෙහිය.+  22  මා ඔබේ සිහිගැන්වීම්වලට අවනත වූ නිසා+මා අද්දකින නින්දා අපහාස මාගෙන් ඉවත් කරන්න.+  23  මට විරුද්ධව කුමන්ත්‍රණය කිරීමට අධිපතීහුද රැස් වූහ.+නමුත් ඔබේ සේවකයා වන මා කල්පනා කළේ ඔබේ නියෝග ගැන පමණය.+  24  ඔබේ සිහිගැන්වීම්වලට මම ඇලුම් කරන්නෙමි.+ඒවා මාගේ උපදේශකයන් මෙන් මට මඟ පෙන්වන්නේය.+ ד [දාලෙත්]  25  මාගේ හුස්ම නවතින තරමටම මම මහත් වේදනාවකින් පසු වූවෙමි.+ඔබ පොරොන්දු වූ ලෙස මාගේ දිවි රැක දෙන්න.+  26  මාව නිවැරදි මාර්ගයේ ගෙන යෑමට හැකි වන පිණිස මම මාගේ සෑම ක්‍රියාවක් ගැනම ඔබ ඉදිරියේ ප්‍රකාශ කළෙමි.+දෙවියනි, ඔබේ නියෝග ගැන මට උගන්වන්න.+  27  ඔබේ අණපනත්වලින් දෙන මඟ පෙන්වීම් තේරුම්ගැනීමට මට උපකාර කරන්න.+එවිට ඔබ කළ පුදුමසහගත ක්‍රියා ගැන ගැඹුරින් කල්පනා කිරීමට මට හැකි වන්නේය.+  28  නින්ද නොයන තරමටම මම දැඩි වේදනාවකින් සිටිමි.+ඔබ පැවසූ ලෙස මාව ශක්තිමත් කරන්න.+  29  වැරදි මාර්ගයේ යෑමට මට ඉඩ නොදෙන්න.+කරුණාව පෙන්වා ඔබේ නීතිය මට උගන්වන්න.+  30  මම විශ්වාසවන්තව ක්‍රියා කිරීමට අදිටන් කරගත්තෙමි.+ඔබ දුන් තීන්දු සාධාරණ බව මම දුටුවෙමි.+  31  ඔබ දුන් සිහිගැන්වීම්වලට එකඟව මම ක්‍රියා කළෙමි.+යෙහෝවා දෙවියනි, මාව ලැජ්ජාවට පත් වීමට ඉඩ නොදෙන්න.+  32  මම ඔබේ ආඥා ඉතා උනන්දුවෙන් පිළිපදින්නෙමි.+මන්ද ඒවා තේරුම්ගැනීමට හැකි හදවතක් ඔබ මට ලබා දුන්නෙහිය.+ ה [හ්]  33  යෙහෝවා දෙවියනි, ඔබේ නියෝග මට උගන්වන්න.+එවිට දිවි ඇති තුරා ඒවා පිළිපැදීමට මට හැකි වන්නේය.+  34  ඔබේ නීතිය පිළිපදින පිණිස මට එය තේරුම්ගැනීමට උපකාර කරන්න.+එවිට මාගේ මුළු හදවතින්ම මම ඒවාට කීකරු වෙමි.+  35  ඔබේ ආඥාවලට අනුව ජීවිතය ගත කිරීමට මට උපකාර කරන්න.+මන්ද ඔබේ ආඥා පිළිපැදීමෙන් මම මහත් සතුටක් ලබන්නෙමි.+  36  මාගේ සිත ලාභ ලබාගැනීමේ අරමුණ වෙතට යොමු නොකර+ඔබේ සිහිගැන්වීම් වෙතට යොමු කරන්න මට උදව් කරන්න.+  37  කිසි වැදගැම්මකට නැති දේවල් වෙතින් මාගේ දෙනෙත් හරවාගැනීමට මට උදව් කරන්න.+මාගේ දිවි රැකෙන පිණිස ඔබේ මාවතේ මාව ගෙන යන්න.+  38  ඔබේ සේවකයා තුළ ඔබ කෙරෙහි ගරුබියක් ඇති වන පිණිස+ඔබ දුන් පොරොන්දුව ඉටු කරන්න.+  39  මා විඳින නින්දා අපහාසයන් මා වෙතින් පහ කර දමන්න. ඒවා නිසා මම මහත් වේදනාවෙන් සිටිමි.+ඔබේ තීන්දු සාධාරණය.+  40  ඔබේ අණපනත්වලට මම බොහෝ සෙයින් ආශා වෙමි.+ඔබ ධර්මිෂ්ඨ කෙනෙක් නිසා මාගේ ජීවිතය රැක දෙන්න.+ ו [වාව්]  41  යෙහෝවා දෙවියනි, ඔබේ අතිමහත් ප්‍රේමය* මට පෙන්වන්න.+ඔබ පොරොන්දු වූ පරිදි මාව ගලවාගන්න.+  42  එවිට මට නින්දා කරන්නාට පිළිතුරු දීමට මට හැකි වනු ඇත.+ඔබේ වදන් කෙරෙහි මම විශ්වාසය තබා සිටිමි.+  43  සත්‍ය වදන් පැවසීමෙන් වැළකී සිටීමට මට ඉඩ නොදෙන්න.+ඔබේ තීන්දුව ලැබෙන තෙක් මම බලා සිටින්නෙමි.+  44  ඔබේ නීතිය මම සැමදා පිළිපදින්නෙමි.+සදාකාලයෙන් සදාකාලයටම මම ඊට එකඟව ක්‍රියා කරන්නෙමි.+  45  ඔබේ අණපනත්වලට කීකරු වීමට මම උත්සාහ කරන නිසා+මම දැන් සුරක්ෂිතව, නිදහසේ දිවි ගෙවන්නෙමි.+  46  ඔබ දුන් සිහිගැන්වීම් ගැන රජවරුන් ඉදිරියේ පවා මම කතා කරන්නෙමි.+එසේ කිරීමට මම කිසිවිටක ලැජ්ජා නොවෙමි.+  47  මම ඔබේ ආඥාවලට ඇලුම් කරමි.+ඒවාට බොහෝ සෙයින් ප්‍රිය වෙමි.+  48  ඔබේ ආඥා කෙරෙහි මට තිබෙන ගෞරවය කොතරම්ද කියා මාගේ දෑත් ඔසවා මම ඔබට පවසන්නෙමි. මම ඒවාට සැබවින්ම ඇලුම් කරමි.+ඔබේ නියෝග ගැන මම ගැඹුරින් කල්පනා කරන්නෙමි.+ ז [ෂායින්]  49  ඔබේ සේවකයාට ඔබ දුන් පොරොන්දුව අමතක නොකරන්න.+මන්ද එය ඉටු වන තෙක් මම බලා සිටින්නෙමි.+  50  දුකේදී මාගේ එකම සැනසීම එයයි.+මන්ද ඔබේ වදන් මාගේ ජීවිතය ආරක්ෂා කර දුන්නේය.+  51  අහංකාර අය මට සමච්චල් කරමින් මාව හෙළාදුටුවත්+මම ඔබේ නීතියෙන් කිසිවිටක ඈත් නොවුණෙමි.+  52  යෙහෝවා දෙවියනි, ඈත අතීතයේ සිට පැවතෙන ඔබේ තීන්දු මම සිහි කරන්නෙමි.+එයින් මට මහත් සහනයක් ලැබෙන්නේය.+ 53  දුෂ්ටයන් ඔබේ නීතිය කඩ කරන විට+මා තුළ අධික කෝපයක් ඇති වන්නේය.+  54  නුහුරු දේශයක මා ජීවත් වන විට,+ඔබේ නියෝග මට මිහිරි සංගීතයක් මෙන් විය.+  55  යෙහෝවා දෙවියනි, රාත්‍රි කාලයේදී පවා මම ඔබේ නාමය ගැන සිහි කළෙමි.+එවිට ඔබේ නීතිය පිළිපැදීමට මට හැකි වන්නේය.+  56  මා ඔබේ අණපනත්වලට කීකරු වූ නිසාඒ සියල්ල මම අද්දැක්කෙමි.+ ח [ච්ත්]  57  යෙහෝවා දෙවිට මා කරන සේවය මාගේ උරුමයයි.+දෙවියනි, ඔබේ වදන් පිළිපැදීමට මම පොරොන්දු වුණෙමි.+  58  ඔබේ අනුමැතිය දිනාගැනීමට මම උත්සාහ කළෙමි. මම මුළු හදවතින්ම එසේ කළෙමි.+ඔබ පොරොන්දු වූ ලෙස මට කරුණාව පෙන්වන්න.+  59  ඔබේ සිහිගැන්වීම්වලට කීකරු වීමට නැවතත් මට හැකි වන පිණිස+මාගේ ජීවිත රටාව ගැන මම බැරෑරුම්ව කල්පනා කළෙමි.+  60  ඔබේ ආඥා පිළිපැදීමට+ මමකල් දැමුවේ නැත.+  61  දුෂ්ටයන්ගේ රැහැන් මා වෙළාගත්තේය.+නමුත් මම ඔබේ නීතිය අමතක නොකළෙමි.+  62  ඔබ දුන් ධර්මිෂ්ඨ තීන්දුවලට+ ඔබට ස්තුති කිරීම සඳහාමැදියම් රැයේ පවා මම අවදි වුණෙමි.+  63  ඔබ කෙරෙහි ගරුබියක් ඇති අයද+ඔබේ අණපනත් පිළිපදින අයද+ මාගේ මිතුරෝය.  64  යෙහෝවා දෙවියනි, ඔබේ අතිමහත් ප්‍රේමයෙන්* පොළොව පිරී ඇත.+දෙවියනි, ඔබේ නියෝග මට උගන්වන්න.+ ט [ට්ත්]  65  යෙහෝවා දෙවියනි, ඔබ පැවසූ ලෙස+ඔබේ සේවකයාට ඔබ හොඳින් සැලකුවෙහිය.+  66  යහපත්කම් කිරීමට මට උගන්වන්න.+ සිහිබුද්ධිය+ හා දැනුම මට ලබා දෙන්න.+මන්ද ඔබේ ආඥා කෙරෙහි මම විශ්වාසය තබා ඇත.+  67  පීඩා අද්දැකීමට පෙර මම නොදැනුවත්කමින් පව් කළෙමි.+නමුත් මම දැන් ඔබේ වදන්වලට කීකරුව සිටිමි.+  68  ඔබ යහපත්ය. ඔබ සැමවිටම යහපත්කම් කරන්නෙහිය.+දෙවියනි, ඔබේ නියෝග මට උගන්වන්න.+  69  අහංකාර අය මා ගැන බොරු පතුරුවා ඇත.+නමුත් මම මුළු හදවතින්ම ඔබේ අණපනත්වලට කීකරු වන්නෙමි.+  70  මිදුණු තෙල් මෙන් ඔවුන්ගේ සිත්වලට කිසිවක් නොදැනෙයි.+නමුත් මම නම් ඔබේ නීතියට ප්‍රිය කරමි.+  71  පීඩා අද්දැකීමට සිදු වීම ගැන මම සතුටු වෙමි.+මන්ද එමගින් ඔබේ නියෝග හොඳින් තේරුම්ගැනීමට මට හැකි විය.+  72  ඔබේ මුඛයෙන් නික්මුණු නීතිය+ මාගේම ප්‍රයෝජනය සඳහාය.+රන් හා රිදී ෂෙකෙල් දහසකටත් වඩා මට එය වටින්නේය.+ י [යෝද්]  73  ඔබ ඔබේම දෑතින් මාව සාදා මාව ශක්තිමත් කළෙහිය.+ඔබේ ආඥා ඉගෙනගැනීමට හැකි වන පිණිස මට තේරුම්ගැනීමේ හැකියාව ලබා දෙන්න.+  74  මම ඔබේ වදන් ඉටු වන තෙක් බලාපොරොත්තුවෙන් සිටිමි.+ඔබ කෙරෙහි ගරුබියක් දක්වන අය එය දැක ප්‍රීති වෙති.+  75  යෙහෝවා දෙවියනි, ඔබ දෙන තීන්දු ධර්මිෂ්ඨ බව මම හොඳින් දනිමි.+ඔබ මට දුන් තරවටුවෙන් ඔබේ විශ්වාසවන්තකම මට තව තවත් තහවුරු විය.+  76  අනේ, ඔබේ ප්‍රේමයෙන්* මාව සනසන්න.+ඔබේ සේවකයාට ඔබ පොරොන්දු වූ ලෙස එසේ කරන්න.+  77  මාගේ ජීවිතය රැකෙන පිණිස ඔබේ දයාව මට පෙන්වන්න.+මන්ද ඔබේ නීතියට මම ඇලුම් කරමි.+  78  අහංකාර අයව ලැජ්ජාවට පත් කරන්න. මන්ද කිසි හේතුවක් නැතුව ඔවුහු මාව නොමඟ යැව්වෝය.+නමුත් මම ඔබේ අණපනත් ගැන නිරතුරුවම කල්පනා කළෙමි.+  79  ඔබේ සිහිගැන්වීම් ගැන දන්නා,+ඔබ කෙරෙහි ගරුබියක් ඇති අය මා වෙතට පැමිණෙත්වා!+  80  ඔබේ නියෝග කඩ නොකර මාගේ මුළු හදවතින්ම ඒවා පිළිපැදීමට මට හැකි වේවා!+එවිට මම කිසිවිටක ලැජ්ජාවට පත් නොවනු ඇත.+ כ [කෆ්]  81  ගැලවීම සලසා දෙන තෙක් ඔබ දෙස බලා සිටීමෙන් මම වෙහෙසට පත්ව සිටිමි.+ඔබේ වදන් ඉටු වන තෙක් මම බලාපොරොත්තුවෙන් සිටිමි.+  82  ඔබේ වදන් ඉටු වන තෙක් බලා සිටීමෙන් මාගේ දෙනෙත් විඩාබර වී ඇත.+මම ඔබෙන් මෙසේ අසන්නෙමි. “ඔබ මාව සනසන්නේ කවදාද?”+  83  මම, දුම් වැදී ඇකුළුණු සම් භාජනයක්+ මෙනි.නමුත් ඔබේ නියෝග මට අමතක වී නැත.+  84  ඔබේ සේවකයා තව කොපමණ කාලයක් බලා සිටින්නද?+මට පීඩා කරන අයට ඔබ දඬුවම් කරන්නේ කවදාද?+  85  ඔබේ නීතියට අනුව ක්‍රියා නොකරන උඩඟු අය,+මාව හසු කරගැනීමට උගුල් අටවා ඇත.+  86  ඔවුහු කිසි හේතුවක් නැතුව මට පීඩා කළෝය. අනේ දෙවියනි, මට උපකාර කරන්න.+ඔබේ සියලු ආඥා විශ්වාසවන්තය.+  87  තව කෙටි කලක් ගත වූවා නම් මේ වන විටත් ඔවුන් මාව මිහිපිටින් තුරන් කර හමාරය.+නමුත් මම ඔබේ අණපනත්වලින් ඈත් නොවුණෙමි.+  88  ඔබ ඉතා ප්‍රේමණීය* කෙනෙක් නිසා මාගේ දිවි රැක දෙන්න.+එවිට ඔබේ මුවින් නික්මුණු සිහිගැන්වීම්වලට+ අවනත වීමට මට හැකි වනු ඇත. ל [ලාමෙද්]  89  යෙහෝවා දෙවියනි, ඔබේ වචනය අහස මෙන් ස්ථිරය.+එය සදහටම පවතින්නේය.+  90  ඔබේ විශ්වාසවන්තකම පරම්පරාවෙන් පරම්පරාවට පවතින්නේය.+ඔබ පොළොව කිසිදා නොසෙල්වන ලෙස ස්ථිරව පිහිටෙව්වෙහිය.+  91  ඔබ පැනවූ නීතිවලට අනුව ඒවා අද දක්වාම පවතින්නේය.+මන්ද ඒ සියල්ල ඔබ යටතේ සිටින සේවකයෝය.+  92  මා ඔබේ නීතියට ඇලුම් නොකළේ නම්,+මා අද්දුටු විපත්ති නිසා මම විනාශ වී යනු ඇත.+  93  කිසිදා මම ඔබේ අණපනත් අමතක නොකරමි.+මන්ද මාගේ දිවි රැකුණේ ඒවා නිසාය.+  94  මා අයිති ඔබටය. අනේ, මාව බේරාගන්න.+මන්ද ඔබේ අණපනත් පිළිපැදීමට මම මහත් වෙහෙසක් දැරුවෙමි.+  95  මාව විනාශ කර දැමීමට දුෂ්ටයෝ මාන බලමින් සිටියෝය.+නමුත් මම ඔබේ සිහිගැන්වීම් වෙතට මාගේ මනස යොමු කළෙමි.+  96  අංග සම්පූර්ණ සෑම දෙයකටම සීමාවක් ඇත.+නමුත් ඔබේ ආඥාවලට නම් සීමාවක් නැත. מ [මෙම්]  97  ඔබේ නීතියට මම බොහෝ සෙයින් ඇලුම් කරමි.+දවස මුළුල්ලේ ඒ ගැන මම කල්පනා කරමි.+  98  ඔබේ ආඥා නිසා මාගේ සතුරන්ට වඩා මම ප්‍රඥාවන්ත ලෙස ක්‍රියා කරමි.+මන්ද ඒවා සැමදා මට මඟ පෙන්වන්නේය.+  99  මාගේ ගුරුවරුන් සියලුදෙනාට වඩා හොඳ වටහාගැනීමේ හැකියාවක් මා සතුය.+මන්ද ඔබ දුන් සිහිගැන්වීම් ගැන නිතරම මම ගැඹුරින් කල්පනා කරමි.+ 100  වයසින් මුහුකුරා ගිය අයට වඩා නිසි අවබෝධයකින් මම කටයුතු කරමි.+මන්ද මම ඔබේ අණපනත්වලට කීකරු වෙමි.+ 101  ඔබේ වදන්වලට කීකරු වන පිණිස+කිසි වැරදි මාර්ගයක ගමන් කිරීමට මාගේ පාදවලට මම ඉඩ නොදුන්නෙමි.+ 102  ඔබ දුන් තීන්දු මම නොසලකා නොහැරියෙමි.+මන්ද ඒවා මට ඉගැන්වූවේ ඔබය.+ 103  ඔබේ වදන් මාගේ දිවට කොතරම් මිහිරිද!එසේය, ඒවා මීපැණිවලටත් වඩා මිහිරිය.+ 104  ඔබේ අණපනත් නිසා මම හොඳ අවබෝධයකින් කටයුතු කරමි.+සියලු වැරදි මාර්ගවලට මම ද්වේෂ කරන්නේ ඒ නිසාය.+ נ [නුන්] 105  ඔබේ වදන් මාගේ පාදවලට පහනක්ය.+මා යන මාවතට එළියක්ය.+ 106  ඔබේ ධර්මිෂ්ඨ තීන්දුවලට එකඟව ක්‍රියා කිරීමටමම පොරොන්දු වුණෙමි.+ එය මම ඉටු කරන්නෙමි.+ 107  මම බොහෝ දුක් ගැහැටවලට මුහුණ දුන්නෙමි.+අනේ යෙහෝවා දෙවියනි, ඔබ පැවසූ ලෙස මාගේ දිවි රැක දෙන්න.+ 108  යෙහෝවා දෙවියනි, මාගේ මුවින් කරන ප්‍රශංසාව පූජාවක් ලෙස පිළිගන්න.+ මම ඒවා කැමැත්තෙන්ම ඔබට ඔප්පු කරන්නෙමි.දෙවියනි, ඔබේ තීන්දු ගැන මට උගන්වන්න.+ 109  මාගේ ජීවිතය තිබෙන්නේ අනතුරේය.+නමුත් ඔබේ නීතිය මම කිසිවිටක අමතක නොකළෙමි.+ 110  දුෂ්ටයෝ මට උගුලක් ඇටෙව්වෝය.+නමුත් ඔබේ අණපනත්වලින් මම ඉවත්ව නොගියෙමි.+ 111  ඔබේ සිහිගැන්වීම් මාගේ උරුමය ලෙස මම සදහටම තබාගන්නෙමි.+මන්ද ඒවා මාගේ සිතට සතුටක් ගෙන දෙන්නේය.+ 112  මාගේ ජීවිතයේ අවසානය දක්වාම ඔබේ නියෝගවලට කීකරු වීමට මම අදිටන් කරගත්තෙමි.+එසේය, හැමදාටම මම ඔබේ නියෝගවලට කීකරු වෙමි.+ ס [සාමෙක්] 113  දෙගිඩියාවෙන් සිටින අයට මම ද්වේෂ කරමි.+නමුත් මම ඔබේ නීතියට ඇලුම් කරමි.+ 114  ආරක්ෂාව පතා මා සැඟවෙන්නේ ඔබ ළඟය. ඔබ මාගේ පලිහය.+ඔබේ වදන් ඉටු වන තෙක් මම බලාපොරොත්තුවෙන් සිටිමි.+ 115  දුෂ්ටයෙනි, මාගෙන් ඉවත්ව යන්න.+එවිට මාගේ දෙවිගේ ආඥාවලට කීකරු වීමට මට හැකි වන්නේය.+ 116  මාගේ දිවි රැකෙන පිණිස ඔබ පොරොන්දු වූ ලෙස මට උපකාර කරන්න.+මාගේ බලාපොරොත්තු කඩ වී මා ලැජ්ජාවට පත් වීමට ඉඩ නොදෙන්න.+ 117  මාව ශක්තිමත් කර මට ගැලවීම ලබා දෙන්න.+එවිට මට සැමදා ඔබේ නියෝගවලට කීකරු වීමට හැකි වන්නේය.+ 118  ඔබේ නියෝගවලට පිටු පා කටයුතු කරන සියල්ලන්ව ඔබ ප්‍රතික්ෂේප කරන්නෙහිය.+ඔවුහු කපටි බොරුකාරයෝය.+ 119  බොර ඉවත් කර දමන්නාක් මෙන් පොළොවේ සිටින සියලු දුෂ්ටයන්ව ඔබ තුරන් කර දමන්නෙහිය.+එබැවින් ඔබ දෙන සිහිගැන්වීම්වලට මම ඇලුම් කරමි.+ 120  ඔබ කෙරෙහි ඇති ගරුබිය නිසා මාගේ ඇඟ කිලිපොළා යන්නේය.+ඔබේ තීන්දු නිසා මම තැතිගත්තෙමි.+ ע [ආයින්] 121  මම සාධාරණ ලෙස විනිශ්චය කළෙමි. මම ධර්මිෂ්ඨ දේ කළෙමි.+අනේ, මට අසාධාරණකම් කරන අයගේ අතට මාගේ ජීවිතය භාර නොදෙන්න.+ 122  ඔබේ සේවකයා වෙනුවෙන් ඔබ යහපත කරන බවට සහතිකයක් දෙන්න.+මට අසාධාරණකම් කිරීමට අහංකාර අයට ඉඩ නොදෙන්න.+ 123  ඔබේ ධර්මිෂ්ඨ වදන් ඉටු වන තෙක් බලා සිටීමෙන්+එසේය, ඔබ ගැලවීම සලසා දෙන තෙක් බලා සිටීමෙන් මාගේ දෙනෙත් විඩාබර වී ඇත.+ 124  ඔබේ අතිමහත් ප්‍රේමය* පෙන්වා ඔබේ සේවකයාට යහපත කරන්න.+දෙවියනි, ඔබේ නියෝග මට උගන්වන්න.+ 125  මම ඔබේ සේවකයාය.+ ඔබේ සිහිගැන්වීම්+ තේරුම්ගැනීමටමට උපකාර කරන්න.+ 126  යෙහෝවා දෙවියනි, කාලය පැමිණ තිබෙන බැවින් නැඟී සිටින්න.+මන්ද ඔවුහු ඔබේ නීතිය කඩ කළෝය.+ 127  ඔබේ ආඥා රන්වලටත් වඩා එසේය, පවිත්‍ර රන්වලටත් වඩා වටින නිසා+මම ඒවාට බොහෝ සෙයින් ඇලුම් කරමි.+ 128  සෑම දෙයක් ගැනම ඔබ දී තිබෙන අණපනත් යහපත් බව මම පිළිගනිමි.+මම සියලු වැරදි මාර්ගවලට ද්වේෂ කරන්නෙමි.+ פ [ප්] 129  ඔබ දෙන සිහිගැන්වීම් කොතරම් ශ්‍රේෂ්ඨද!+එබැවින් මම ඒවා පිළිපදිමි.+ 130  ඔබේ වදන්වල අර්ථය එළිදරව් වන විට ආලෝකය ලැබෙයි.+අද්දැකීම් අඩු අයට එයින් අවබෝධය ලැබෙයි.+ 131  ඔබේ ආඥාවන් ලැබෙන තෙක්+මම මහත් ආශාවකින් බලා සිටිමි.+ 132  මා වෙත හැරී මට කරුණාව පෙන්වන්න.+ඔබේ නාමයට ඇලුම් කරන්නන්ට ඔබ යුක්තිය ඉටු කර දෙන අයුරින්ම මටද යුක්තිය ඉටු කර දෙන්න.+ 133  මා ගන්නා සෑම පියවරක්ම ඔබේ වදන්වලට එකඟව ගැනීමට මට උපකාර කරන්න.+කිසිම දුෂ්ට දෙයකට මාව පාලනය කිරීමට ඉඩ නොදෙන්න.+ 134  වංචනිකයන්ගෙන් මාව බේරාගන්න.+මම ඔබේ අණපනත් පිළිපදින්නෙමි.+ 135  ඔබේ සේවකයාට කරුණාව පෙන්වන්න.+දෙවියනි, ඔබේ නියෝග මට උගන්වන්න.+ 136  ඔවුන් ඔබේ නීතිය කඩ කළ නිසා+මාගේ ඇස්වලින් කඳුළු ගංගාවක් ගලා ගියේය.+ צ [ට්සාධේ] 137  යෙහෝවා දෙවියනි, ඔබ ධර්මිෂ්ඨය.+ඔබ දෙන තීන්දුද යුක්තිසහගතය.+ 138  ඔබේ සිහිගැන්වීම්වලට+ කීකරු වන ලෙස ඔබ අපට අණ කළෙහිය.මන්ද ඔබ ධර්මිෂ්ඨය. විශ්වාසවන්තය.+ 139  මා තුළ තිබෙන උද්‍යෝගය ඇවිළෙන ගින්නක් මෙන් මාව දවා දැමුවේය.+මන්ද මාගේ සතුරන්ට ඔබේ වදන් අමතක වී ඇත.+ 140  ඔබේ වදන් ඉතා පවිත්‍රය.+ඔබේ සේවකයා ඊට අතිශයින් ප්‍රිය කරන්නේය.+ 141  කිසි වැදගැම්මකට නැති, පහත් තැනැත්තෙකු ලෙස ඔවුන් මාව සැලකුවත්+ඔබේ අණපනත් මම අමතක නොකරන්නෙමි.+ 142  ඔබේ ධර්මිෂ්ඨකම සදාකල් පවතින්නේය.+ඔබේ නීතිය සැමවිටම විශ්වාසවන්තය.+ 143  දුක් වේදනා හා දුෂ්කරතා බොහොමයක් මා අද්දැක්කත්+ඔබේ ආඥාවලට මම ඇලුම් කරමි.+ 144  ඔබේ සිහිගැන්වීම් කොතරම් ධර්මිෂ්ඨද! ඒවා සදහටම එලෙසම පවතින්නේය.+මාගේ දිවි රැකෙන පිණිස මට ඒවා තේරුම්ගැනීමට උපකාර කරන්න.+ ק [කෝෆ්] 145  මාගේ මුළු හදින්ම මම ඔබට කන්නලව් කළෙමි.+ යෙහෝවා දෙවියනි, මට පිළිතුරු දෙන්න.+ඔබේ නියෝග මම පිළිපදින්නෙමි.+ 146  මම ඔබට හඬගැසුවෙමි. අනේ, මාව බේරාගන්න.+ඔබේ සිහිගැන්වීම්වලට මම කීකරු වන්නෙමි.+ 147  ඔබේ උපකාර පැතීමට+ මම හිමිදිරි උදයේ+ අවදි වුණෙමි.ඔබ මට පිළිතුරු දෙන තෙක් මම බලා සිටියෙමි.+ 148  ඔබේ වදන් ගැන ගැඹුරින් කල්පනා කිරීමට+මම මැදියම් රැයේ අවදි වුණෙමි.+ 149  අනේ යෙහෝවා දෙවියනි, ඔබේ ඉමහත් ප්‍රේමය* පෙන්වමින් මාගේ කන්නලව්වට සවන් දෙන්න.+ඔබ තීන්දු කළ ලෙස මාගේ දිවි රැක දෙන්න.+ 150  නින්දිත ක්‍රියාවල නියැලෙන්නෝ+ මා අසලටම පැමිණ සිටිති.ඔවුහු ඔබේ නීතියෙන් ඈත්ව සිටිති.+ 151  යෙහෝවා දෙවියනි, ඔබ මාගේ සමීපයේ සිටින්නෙහිය.+ඔබේ සියලු ආඥා විශ්වාසවන්තය.+ 152  බොහෝ කාලයක සිට ඔබේ සිහිගැන්වීම්+ සමහරක් මම දැන සිටියෙමි.සදහටම පවතින ලෙස ඔබ ඒවා පිහිටුවා ඇත.+ ר [ර්ෂ්] 153  දෙවියනි, මා විඳින දුක් ගැහැට දෙස බලා මාව බේරාගන්න.+මන්ද ඔබේ නීතිය මම අමතක නොකළෙමි.+ 154  මා වෙනුවෙන් පෙනී සිට මාව බේරාගන්න.+ඔබ පොරොන්දු වූ ලෙස මාගේ දිවි රැක දෙන්න.+ 155  ගැලවීම දුෂ්ටයන්ගෙන් ඉතා ඈත්ව තිබේ.+මන්ද ඔවුහු ඔබේ නියෝග පිළිපැදීමට උත්සාහ නොකරති.+ 156  යෙහෝවා දෙවියනි, ඔබ පෙන්වන දයාව අතිමහත්ය.+ඔබ තීන්දු කළ ලෙස මාගේ දිවි රැක දෙන්න.+ 157  මට පීඩා කරන්නෝ බොහෝය. මාගේ සතුරෝ ගණනින් අධිකය.+නමුත් මම ඔබේ සිහිගැන්වීම් අමතක නොකළෙමි.+ 158  ද්‍රෝහිකම් කරන්නන්ව මම දුටුවෙමි.+ඔවුන් ඔබේ වදන්වලට කීකරු නොවන නිසා ඔවුන් මට පිළිකුලකි.+ 159  ඔබේ අණපනත්වලට මා අතිශයින් ප්‍රිය කරන බව අමතක නොකරන්න.+යෙහෝවා දෙවියනි, ඔබ ප්‍රේමණීය* දෙවි කෙනෙක් නිසා මාගේ දිවි රැක දෙන්න.+ 160  ඔබේ වදන් සත්‍යය.+ඔබ දෙන සෑම ධර්මිෂ්ඨ තීන්දුවක්ම සදාකල් පවතින්නේය.+ ש [සින්] හෝ [ෂින්] 161  කිසිම හේතුවක් නොමැතිව අධිපතීහු මට පීඩා කළෝය.+නමුත් මම ඔබේ වදන් කෙරෙහි පමණක් ගරුබියක් පෙන්වූවෙමි.+ 162  වටිනා වස්තුවක් ලබාගත් තැනැත්තෙකු මෙන්+ඔබේ වදන් ගැන මම සතුටු වෙමි.+ 163  මම වංචාවට ද්වේෂ කරමි.+ සැමදා එයට පිළිකුල් කරමි.+නමුත් ඔබේ නීතියට මම අතිශයින් ප්‍රිය කරමි.+ 164  ඔබේ තීන්දු ධර්මිෂ්ඨ නිසා+දවසට සත් වතාවක්ම මම ඔබට ප්‍රශංසා කළෙමි.+ 165  ඔබේ නීතියට ප්‍රිය කරන අය මහත් සමාදානයක්* අද්දකිනු ඇත.+පය පැටලී ඔවුහු කිසිවිටක වැටෙන්නේ නැත.+ 166  යෙහෝවා දෙවියනි, ඔබ ගැලවීම දෙන තෙක් මම බලා සිටින්නෙමි.+ඔබේ ආඥා මම පිළිපදිමි.+ 167  ඔබේ සිහිගැන්වීම්වලට මම කීකරු වෙමි.+ඒවාට අතිශයින් ප්‍රිය කරමි.+ 168  ඔබේ අණපනත් හා සිහිගැන්වීම්වලට මම කීකරු වෙමි.+ඔබ මාගේ සියලු ක්‍රියා දකින්නෙහිය.+ ת [ටාව්] 169  යෙහෝවා දෙවියනි, මාගේ කන්නලව්වට සවන් දෙන්න.+ඔබ පොරොන්දු වූ ලෙස තේරුම්ගැනීමේ හැකියාව මට ලබා දෙන්න.+ 170  කරුණාව පතා මා ඔබට කරන ඉල්ලීමට ඇහුම්කන් දෙන්න.+ඔබ පොරොන්දු වූ ලෙස මාව බේරාගන්න.+ 171  මාගේ දෙතොල් නිරතුරුවම ඔබට ප්‍රශංසා කරනු ලැබේවා!+මන්ද ඔබේ නියෝග ඔබ මට උගන්වන්නෙහිය.+ 172  මම ඔබේ වදන් ගැන ගී ගයන්නෙමි.+මන්ද ඔබේ සියලු ආඥා ධර්මිෂ්ඨය.+ 173  ඔබේ හස්තයෙන් මට උපකාර කරන්න.+මන්ද ඔබේ අණපනත්වලට කීකරු වීමට මම තීරණය කළෙමි.+ 174  යෙහෝවා දෙවියනි, ඔබ ගැලවීම ලබා දෙන තෙක් මම මහත් ආශාවෙන් බලා සිටිමි.+ඔබේ නීතියට මම ඇලුම් කරමි.+ 175  ඔබට හැමදාටම ප්‍රශංසා කිරීමට මට හැකි වන පිණිස මාගේ දිවි රැක දෙන්න.+ඔබේ තීන්දුවලින් මට උපකාර ලැබේවා!+ 176  අතරමං වූ බැටළුවෙකු මෙන් මම මංමුළා වුණෙමි.+ ඔබේ සේවකයාව+ සොයා, නැවත රැගෙන යන්න.මන්ද ඔබේ සේවකයා වන මට ඔබේ ආඥා අමතක වී නැත.+

පාදසටහන්

හෝ, “ළැදි ප්‍රේමය.”
හෝ, “ළැදි ප්‍රේමයෙන්.”
හෝ, “ළැදි ප්‍රේමයෙන්.”
හෝ, “ළැදි ප්‍රේමයකින් යුත්.”
හෝ, “ළැදි ප්‍රේමය.”
හෝ, “ළැදි ප්‍රේමය.”
හෝ, “ළැදි ප්‍රේමයකින් යුත්.”
හෝ, “සැනසීමක්.”