1 සාමුවෙල් 16:1-23

16  යෙහෝවා දෙවි සාමුවෙල්ට මෙසේ කීවේය. “ඔබ තව කොපමණ කාලයක් සාවුල් ගැන දුක් වෙවී සිටිනවාද?+ මම ඔහුව ඊශ්‍රායෙල්හි රජු හැටියට ප්‍රතික්ෂේප කළෙමි.+ ඒ නිසා දැන් ඔබේ තෙල් බඳුන+ රැගෙන බෙත්ලෙහෙම්හි ජීවත් වන යෙස්සේ+ ළඟට යන්න. මන්ද ඔහුගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකුව රජු හැටියට මම තෝරාගත්තෙමි.”+  නමුත් සාමුවෙල් දෙවිට මෙසේ කීවේය. “අනේ දෙවියනි, මම කොහොමද එතැනට යන්නේ? සාවුල්ට ඒ ගැන ආරංචි වුණොත් ඔහු මාව මරලා දායි.”+ එවිට යෙහෝවා දෙවි ඔහුට මෙසේ කීවේය. “ඔබ ගව රැළෙන් වැස්සියක තෝරාගෙන ඌව එතැනට රැගෙන යන්න. ‘මම ආවේ යෙහෝවා දෙවිට පූජාවක් ඔප්පු කරන්නයි’+ කියා එහෙ සිටින අයට කියන්න.  ඒ පූජාවට සහභාගි වීමට එන්න කියා යෙස්සේට දන්වන්න. ඉන්පසු කළ යුතු දේ කුමක්ද කියා මා ඔබට කියන්නම්.+ මා ඔබට කියන තැනැත්තාව ඔබ අභිෂේක කරන්න.”+  සාමුවෙල්, යෙහෝවා දෙවි කී ලෙස කළේය. ඔහු බෙත්ලෙහෙමට+ පැමිණි විට ඒ නුවරේ වැඩිමහල්ලෝ ඔහුව දැක භය වී,+ “ඔබ අප සමඟ අමනාපයෙන්ද”+ කියා ඔහුගෙන් ඇසුවෝය.  එවිට ඔහු, “නැහැ, ඔබ සමඟ මගේ අමනාපයක් නැහැ. මම ආවේ යෙහෝවා දෙවිට පූජාවක් ඔප්පු කරන්න. දැන් පවිත්‍ර වී+ මා සමඟ පූජාවට සහභාගි වෙන්න එන්න.” ඔහු යෙස්සේව හා ඔහුගේ පුත්‍රයන්ව පවිත්‍ර කළ පසු පූජාවට සහභාගි වන ලෙස ඔවුන්ට ආරාධනා කළේය.  එවිට යෙස්සේ සහ ඔහුගේ පුත්‍රයෝ පූජාව ඔප්පු කරන තැනට පැමිණියෝය. සාමුවෙල් එලියාබ්ව+ දුටු විගස, “යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් තැනැත්තා මොහු විය යුතුයි” කියා තමාටම කියාගත්තේය.  නමුත් යෙහෝවා දෙවි සාමුවෙල්ට මෙසේ කීවේය. “ඔහුගේ පෙනුම දෙසවත් ඔහුගේ උස මහත දෙසවත් නොබලන්න.+ මා තෝරාගත් තැනැත්තා ඔහු නොවෙයි. දෙවි දේවල් දෙස බලන්නේ මනුෂ්‍යයන් බලන ආකාරයට නොවෙයි.+ මනුෂ්‍යයන් දකින්නේ පිටතින් පෙනෙන දේ පමණය.+ නමුත් යෙහෝවා දෙවි වන මම සිතේ තිබෙන දේ දකිමි.”+  ඉන්පසු යෙස්සේ අබිනාදාබ්ව+ සාමුවෙල් ඉදිරියට කැඳෙව්වේය. නමුත් සාමුවෙල්, “යෙහෝවා දෙවි ඔහුවත් තෝරාගත්තේ නැහැ” කියා කීවේය.  ඉන්පසු යෙස්සේ ෂම්මාහ්ව+ කැඳෙවූ නමුත් සාමුවෙල්, “නැහැ, යෙහෝවා දෙවි ඔහුවත් තෝරාගත්තේ නැහැ” කියා පැවසුවේය. 10  යෙස්සේ මේ විදිහට තම පුතුන් හත්දෙනෙකුව සාමුවෙල් ඉදිරියට කැඳෙව්වේය. නමුත්, “යෙහෝවා දෙවි මේ එක් කෙනෙක්වත් තෝරාගෙන නැහැ” කියා සාමුවෙල් ඔහුට කීවේය. 11  පසුව සාමුවෙල් යෙස්සේගෙන් මෙසේ ඇසුවේය. “ඔබේ පුතුන් සියලුදෙනාම මෙතැන ඉන්නවාද?” එවිට යෙස්සේ, “බාලම පුතා මෙතැන නැහැ.+ ඔහු බැටළුවන්ව බලාගන්න ගිහින්”+ කියා පැවසුවේය. එය ඇසූ විට සාමුවෙල්, “ඉක්මනින් කවුරු හරි යවලා ඔහුව මෙතැනට කැඳවාගෙන එන්න. ඔහු එනකම් අපි කෑම කන්නේ නැහැ” කියා පැවසුවේය. 12  එබැවින් යෙස්සේ ඔහුව කැඳවාගෙන ඒමට කෙනෙකුව යැව්වේය. යෙස්සේගේ බාල පුතා ඉතා කඩවසම්ය. ඔහුගේ ඇස් ඉතා දීප්තිමත් වූ අතර රතට හුරු+ සමක්ද ඔහුට තිබිණ. ඔහු එතැනට පැමිණි විට, “දැන් නැඟිට ඔහුව අභිෂේක කරන්න. මා තෝරාගත් තැනැත්තා ඔහුයි”+ කියා යෙහෝවා දෙවි සාමුවෙල්ට පැවසුවේය. 13  එබැවින් සාමුවෙල් තෙල් භාජනය ගෙන,+ ඔහුගේ සහෝදරයන් ඉදිරියේ ඔහුව අභිෂේක කළේය. ඒ මොහොතේ සිට යෙහෝවා දෙවිගේ බලය දාවිත් තුළ ක්‍රියාත්මක වීමට පටන්ගත්තේය.+ පසුව සාමුවෙල් රාමා+ බලා පිටත් විය. 14  යෙහෝවා දෙවි තම බලය සාවුල් රජුගෙන් ඉවත් කළේය.+ සාවුල් රජු තුළ වියවුල්සහගත සිතුවිලි*+ ඇති වූ අතර යෙහෝවා දෙවිද එයට ඉඩහැරියේය. ඒ නිසා ඔහු බොහෝ සෙයින් පීඩා වින්දේය. 15  සාවුල් රජුගේ සේවකයෝ ඔහුට මෙසේ කීවෝය. “ස්වාමීනි, දෙවි ඔබේ සිත අවුල් කරලයි තියෙන්නේ. ඔබ මේ විදිහට පීඩා විඳින්නේ ඒ නිසයි. 16  දක්ෂ ලෙස වීණාව වාදනය කරන මිනිසෙකුව+ සොයා ඔහුව ඔබ ඉදිරියට ගෙනෙන්න කියා අණ කරන්න. දෙවි ඔබේ සිත අවුල් කරන අවස්ථාවලදී වීණාව වාදනය කරමින් ඔබේ සිත සන්සුන් කරන්න ඔහුට හැකි වෙයි.” 17  එබැවින් සාවුල් රජ ඔහුගේ සේවකයන්ට මෙසේ අණ කළේය. “හොඳට වීණාව වාදනය කරන්න පුළුවන් කෙනෙකුව සොයා ඔහුව මා ළඟට ගෙනෙන්න.”+ 18  එවිට එතැන සිටි සේවකයෙක් ඔහුට මෙසේ කීවේය. “යෙස්සේ නම් මිනිසෙක් බෙත්ලෙහෙම් නුවර ජීවත් වෙනවා. ඔහුගේ එක පුතෙක් ඉතා මිහිරි ලෙස වීණාව වයනවා මම අසා තිබෙනවා.+ ඔහු කඩවසම්,+ නිර්භීත තරුණයෙක්.+ ඔහු යුද්ධයට දක්ෂ ශක්තිමත් කෙනෙක්.+ ඒ වගේම ඔහු දක්ෂ කථිකයෙක්.+ යෙහෝවා දෙවිගේ ආශීර්වාදයත් ඔහුට තියෙනවා.”+ 19  සාවුල් රජ පණිවිඩකරුවන් අත යෙස්සේට මෙසේ දන්වා යැව්වේය. “බැටළුවන්ව බලාගන්න ඔබේ පුත් දාවිත්ව මා ළඟට එවන්න.”+ 20  එබැවින් යෙස්සේ බූරුවෙකු පිට රොටිද වයින් භාජනයක්ද*+ පටවා ඒවා සමඟ එළු පැටවෙකුද තම පුත් දාවිත් අතේ සාවුල් රජුට යැව්වේය.+ 21  පසුව දාවිත් සාවුල් රජුගේ මාලිගාවට පැමිණ ඔහුට සේවය කළේය.+ සාවුල් රජ ඔහුට බොහෝ සෙයින් ආදරේ විය. ඔහු සාවුල් රජුගේ ආයුධ දරන්නා ලෙසත් සේවය කළේය.+ 22  පසුව සාවුල් රජ යෙස්සේට මෙසේ දන්වා යැව්වේය. “දාවිත් මගේ හිත දිනාගත්තා. ඒ නිසා ඔහුට දිගටම මා සමඟ ඉන්න අවසර දෙන්න.” 23  සාවුල් රජු තුළ වියවුල්සහගත සිතුවිලි ඇති වීමට දෙවි ඉඩහැරිය අවස්ථාවලදී දාවිත් වීණාව ගෙන ඔහු ඉදිරියේ වාදනය කළේය. එවිට සාවුල් රජුගේ සිත සන්සුන් වී වියවුල්සහගත සිතුවිලි ඔහුගෙන් පහව ගියේය.+

පාදසටහන්

ඇතැම්විට භූතයන්ගේ බලපෑමක් විය හැකියි.
මුල් භාෂාවට අනුව වයින් පිරි සම් භාජනයක්.