මතෙව් 15:1-39

15  පරිසිවරුද නීතිය පිටපත් කරන්නෝද යෙරුසලමේ සිට+ යේසුස් වෙතට ඇවිත් මෙසේ කීවෝය.  “ඔබේ ගෝලයන් පුරාණයේ සිටි මිනිසුන් ඇති කළ සම්ප්‍රදායන් කඩ කරන්නේ ඇයි? උදාහරණයක් වශයෙන්, කෑම කන්න කලින් ඔවුන් අත් සෝදාගන්නේ නැහැ.”+  එවිට ඔහු ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “එසේනම් ඔබත් ඔබේ සම්ප්‍රදායන් නිසා දෙවිගේ ආඥා කඩ කරන්නේ ඇයි?+  උදාහරණයක් වශයෙන්, ‘ඔබේ පියාටද මවටද ගෞරව කරන්න’+ කියාත් ‘පියාට හෝ මවට හෝ නින්දා කරන්නා මරණයට සුදුසුයි’+ කියාත් දෙවි පවසා තිබෙනවා.  නමුත්, ‘යමෙක් තම පියාට හෝ මවට, “ඔබේ ප්‍රයෝජනය සඳහා මා ඔබට දෙන්න සිටි දේවල් දෙවිට කැප කළා” කියා පැවසුවොත්,  තම පියාට හෝ මවට සලකන්න ඔහුට අවශ්‍ය නැහැ’+ කියා ඔබ කියනවා. මෙසේ ඔබ, ඔබේ සම්ප්‍රදායන් නිසා දෙවිගේ වචනය අවලංගු කර තිබෙනවා.+  කුහකයෙනි,+ යෙසායා+ කී මේ අනාවැකිය ඔබට හොඳින් ගැළපෙයි.  ‘මේ ජනයා තම තොල්වලින් මට ගෞරව කරති. නමුත් ඔවුන්ගේ සිත මා වෙතින් බොහෝ ඈත්ව තිබේ.+  ඔවුන් මට කරන නමස්කාරයෙන් පලක් නැත. මන්ද ඔවුන් දෙවිගේ ඉගැන්වීම් ලෙස උගන්වන්නේ මිනිසුන්ගේ ආඥා පමණයි.’”+ 10  පසුව ඔහු සමූහයාව තමන් වෙතට කැඳවා මෙසේ පැවසුවේය. “සවන් දී මෙහි සැබෑ අර්ථය වටහාගන්න.+ 11  මිනිසෙකු දූෂ්‍ය වන්නේ ඔහුගේ කටට ඇතුල් වන දෙයින් නොවෙයි. ඔහු දූෂ්‍ය වන්නේ ඔහුගේ කටින් පිට වෙන දෙයින්.”+ 12  එවිට ගෝලයෝ ඇවිත්, “ඔබ කී දේ අසා මේ පරිසිවරුන් කෝප වූ බව ඔබ දන්නවාද” කියා ඔහුගෙන් ඇසූහ.+ 13  එවිට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. “ස්වර්ගයේ සිටින මගේ පියාණන් පැළ නොකළ සෑම පැළයක්ම උදුරා දමනු ලබයි.+ 14  ඔවුන් ඔහේ සිටියාවේ. ඔවුන් අන්ධ මඟ පෙන්වන්නෝ වගෙයි. අන්ධ මිනිසෙක් තවත් අන්ධ මිනිසෙකුට මඟ පෙන්නුවොත් ඒ දෙදෙනාම වළක වැටෙයි.”+ 15  එවිට පේතෘස්, “කලින් පැවසූ උපමාව අපට පැහැදිලි කර දෙන්න”+ කියා ඔහුට කීවේය. 16  ඔහු මෙසේ කීවේය. “ඔබට තවමත් ඒ දේ තේරුණේ නැද්ද?+ 17  කටින් ඇතුල් වන සෑම දෙයක්ම බඩට ගිය පසු වැසිකිළියේදී එය බැහැර වන බව ඔබ දන්නේ නැද්ද? 18  නමුත් කෙනෙකුගේ කටින් පිට වන දේ නික්මෙන්නේ ඔහුගේ සිතිනුයි. මිනිසෙකු දූෂ්‍ය වන්නේ ඒ දේවල්වලිනුයි.+ 19  උදාහරණයක් වශයෙන් දුෂ්ට අදහස්,+ මිනී මැරීම, අනාචාරය,* වේශ්‍යාකම,* සොරකම, බොරු සාක්ෂි කීම සහ අපහාස කිරීම වැනි දේවල් ඇරඹෙන්නේ සිතිනුයි.+ 20  මිනිසෙකු දූෂ්‍ය වන්නේ ඒ දේවල්වලිනුයි. නමුත් අත් නොසෝදා කෑවාට මිනිසෙකු දූෂ්‍ය වන්නේ නැහැ.”+ 21  යේසුස් එතැනින් පිටත්ව තීර් හා සීදොන්ට අයත් ප්‍රදේශවලට ගියේය.+ 22  ඒ පළාතේ විසූ ෆිනීෂියානු+ ස්ත්‍රියක් ඇවිත්, “දාවිත්ගේ පුත්‍ර වූ ස්වාමීනි, මට අනුකම්පා කරන්න.+ මගේ දුවට භූතයෙක් ආවේශ වෙලා. ඇය එයින් මහත් සේ පීඩා විඳිනවා” කියා හඬ නඟා කීවාය. 23  නමුත් ඔහු ඇයට වචනයක්වත් පැවසුවේ නැත. එහෙයින් ඔහුගේ ගෝලයෝ ඇවිත්, “ඇය කෑගසමින් අප පසුපස එනවා. ඇයට යන්න කියන්න” කියා ඔහුගෙන් ඉල්ලුවෝය. 24  ඔහු ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “මාව එවන ලද්දේ ඊශ්‍රායෙල් වංශයේ නැති වුණු බැටළුවන් වෙතට+ මිස වෙන කිසිවෙකු වෙතට නොවෙයි.” 25  ස්ත්‍රිය ඇවිත් ඔහු ඉදිරියේ දණින් වැටී, “ස්වාමීනි, මට උදව් කරන්න”+ කියා පැවසුවාය. 26  එවිට ඔහු පිළිතුරු දෙමින්, “දරුවන්ගේ රොටි රැගෙන බලු පැටවුන්ට දැමීම සුදුසු නැත” යයි කීවේය. 27  එවිට ඇය, “ස්වාමීනි, ඔබ කියන දේ හරි. නමුත් බලු පැටවුන් පවා තම ස්වාමිවරුන්ගේ මේසයෙන් වැටෙන කෑම කනවා නේද” කියා පැවසුවාය.+ 28  එවිට යේසුස්, “ස්ත්‍රිය, ඔබ තුළ තිබෙන විශ්වාසය මහත්ය. ඔබේ කැමැත්ත ලෙස ඔබට වේවා” කියා කීවේය. ඒ පැයේදීම ඇගේ දුව සුව වූවාය.+ 29  යේසුස් එම ප්‍රදේශයෙන් පිටත් වී ගලීල මුහුද+ ළඟට ආවේය. ඉන්පසු ඔහු කන්දකට නැඟ+ එහි එක්තරා තැනක ඉඳගත්තේය. 30  එවිට මහත් සමූහයක් කොර වූ මිනිසුන්වද අබ්බගාත අයවද අන්ධ මිනිසුන්වද ගොළු මිනිසුන්ව හා වෙනත් රෝගවලින් පෙළුණු බොහෝ අයවද රැගෙන කඩිමුඩියේ යේසුස් වෙතට පැමිණ ඔවුන්ව ඔහුගේ පාමුල තැබූහ. ඔහු ඔවුන් සියල්ලන්ව සුව කළේය.+ 31  එවිට ගොළු මිනිසුන් කතා කරන බවද කොර වූ මිනිසුන් ඇවිදින බවද අන්ධ අයට පෙනීම ලැබී ඇති බවද දුටු සමූහයා විස්මයට පත් වී ඊශ්‍රායෙලයේ දෙවිට ප්‍රශංසා කළෝය.+ 32  නමුත් යේසුස් තම ගෝලයන්ව තමන් වෙතට කැඳවා මෙසේ කීවේය.+ “මේ සමූහයා ගැන මට මහත් අනුකම්පාවක් දැනෙනවා.+ මන්ද ඔවුන් දැනටමත් දවස් තුනක් මා සමඟ සිටිනවා. ඔවුන්ට කන්න කිසිවක් නැහැ. ඔවුන්ව කුසගින්නෙන් යවන්නත් මම කැමති නැහැ. එසේ කළොත් සමහරවිට ඔවුන් මඟදී ක්ලාන්ත වී වැටෙන්න පුළුවන්.” 33  නමුත් ගෝලයෝ, “මේ පාළු ස්ථානයේ සිටින අපි මෙතරම් විශාල සමූහයකට අවශ්‍ය රොටි ලබාගන්නේ කොතැනින්ද”+ කියා ඔහුගෙන් ඇසූහ. 34  එවිට යේසුස්, “ඔබ ළඟ රොටි කීයක් තිබෙනවාද” කියා ඔවුන්ගෙන් ඇසුවේය. “රොටි හතකුත් කුඩා මසුන් කිහිපදෙනෙකුත් අපි ළඟ තිබෙනවා” කියා ඔවුහු කීවෝය. 35  ඉන්පසු ඔහු සමූහයාට බිම ඉඳගන්න කියා, 36  රොටි හත සහ මසුන් ගෙන දෙවිට ස්තුති දීමෙන් පසු ඒවා කඩා ගෝලයන්ට දුන්නේය. ගෝලයෝ ඒවා සමූහයන් අතරේ බෙදා දුන්හ.+ 37  සෑමදෙනාම කා තෘප්තියට පැමිණියහ. ගෝලයෝ ඉතුරු කෑමවලින් විශාල කූඩ හතක් පුරවාගත්තෝය.+ 38  ස්ත්‍රීන් හා කුඩා දරුවන් හැර කෑම කෑ පුරුෂයන්ගේ ගණන හාරදහසක් විය. 39  අන්තිමේදී ඔහු සමූහයන්ව යවා ඔරුවට නැඟ, මගදානයට අයත් පළාත්වලට ගියේය.+

පාදසටහන්

මූ.අ., “පරදාර සේවනය.” මෙය භාවිත කරන්නේ විවාහක පුරුෂයෙකු හෝ ස්ත්‍රියක අනාචාරයේ යෙදීම විස්තර කිරීමටය.
එනම්, අවිවාහකයෙකු හෝ විවාහකයෙකු ලිංගික දුරාචාරයේ යෙදීම. උපග්‍ර. 8 බලන්න.