Skip to content

පටුනට යන්න

දේවදූතයෝ සහ අපි

දේවදූතයෝ සහ අපි

දේවදූතයෝ සහ අපි

අනාගතවක්තෘවරයෙකු වූ දානියෙල් දර්ශනයකදී දුටු දෙයක් ගැන මෙසේ පැවසුවා. “[දේවදූතයෝ] දහසක් වර දහසක්දෙනා [දෙවිට] සේවය කළෝය; දසදහසක් වර දසදහසක් ඔහු ඉදිරියේ සිටියෝය.” (දානියෙල් 7:10) දෙවිට සේවය කිරීමටත් ඔහු පවසන ඕනෑම දෙයක් කිරීමටත් දේවදූතයන් සූදානමින් සිටින බව එම වදන්වලින් පැහැදිලි වෙනවා.

දෙවි ඇතැම් අවස්ථාවලදී මිනිසුන් හා සම්බන්ධ කාරණා හැසිරවීමට දේවදූතයන්ව යොදාගන්නවා. දෙවි ඔහුගේ සේවකයන්ව ශක්තිමත් කිරීමට හා ආරක්ෂා කිරීමටත් මිනිසුන් වෙත පණිවිඩ ගෙන යෑමටත් දුෂ්ටයන්ට එරෙහිව තම විනිශ්චය ක්‍රියාත්මක කරවීමටත් දේවදූතයන්ව යොදාගන්නවා. මේ දේවල් කිරීම සඳහා දෙවි ඔවුන්ව යොදාගන්නේ කෙසේද කියා අපි දැන් සලකා බලමු.

දේවදූතයන් අපිට ශක්තිය හා ආරක්ෂාව සපයයි

දෙවි පොළොව සහ මුල් මිනිස් යුවළව මැවූ ආකාරය දේවදූතයන් දැක්කා. එදා පටන් ඔවුන් මිනිසුන් ගැන මහත් උනන්දුවක් දක්වනවා. යේසුස් පොළොවට පැමිණෙන්න කලින් මෙසේ පැවසුවා. “මාගේ සතුට මනුෂ්‍ය පුත්‍රයන් සමඟ විය.” (හිතෝපදේශ 8:31) යේසුස් මිනිසුන්ව ගලවාගන්න ආකාරය ගැනත් මිනිසුන්ගේ අනාගතය ගැනත් දෙවි අනාගතවක්තෲන්ට හෙළි කළ කාරණා ‘සොයා බැලීමට දේවදූතයන් ආශාවෙන් සිටිනවා.’—1 පේතෘස් 1:11, 12.

කාලයක් යන විට මිනිසුන්ගෙන් වැඩිදෙනෙක් දෙවිට සේවය නොකරන බව දේවදූතයන් දුටුවා. මේ ගැන ඔවුන් හුඟාක් කනගාටු වුණාට සැකයක් නැහැ. කෙසේවෙතත් එක පව්කාරයෙක් වුණත් යෙහෝවා දෙවි වෙත ආපසු හැරී එන විට ඒ ගැන ‘දේවදූතයන් ප්‍රීති වෙනවා.’ (ලූක් 15:10) දේවදූතයන් දෙවිට සේවය කරන අයගේ යහපත ගැන හුඟාක් සැලකිලිමත් වන අතර යෙහෝවා දෙවි ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ව ශක්තිමත් කිරීමටත් ඔවුන්ව ආරක්ෂා කිරීමටත් දේවදූතයන්ව බොහෝ අවස්ථාවලදී යොදාගෙන තිබෙනවා. (හෙබ්‍රෙව් 1:14) අපි දැන් මේ ගැන ටිකක් සලකා බලමු.

දුෂ්ටකම්වලින් පිරී තිබුණු සොදොම් සහ ගොමෝරා නගර විනාශ වෙද්දී, ආරක්ෂාකාරී තැනකට යන්න ලොත්ට සහ ඔහුගේ දූවරුන්ට දේවදූතයන් දෙදෙනෙක් උපකාර කළා. * (උත්පත්ති 19:1, 15-26) මෙය සිදු වී අවුරුදු සිය ගණනකට පසුව අනාගතවක්තෘ දානියෙල්ව සිංහ ගුහාවකට දැමූ අවස්ථාවේදී ‘දෙවි තමන් දූතයා එවා සිංහයන්ගේ කටවල් පියෙව්වා’ කියා දානියෙල් පැවසුවා. (දානියෙල් 6:22) ඒ වගේම යේසුස් මේ පොළොවේ ඔහුගේ සේවය ආරම්භ කළ කාලයේදී දේවදූතයන් ඔහුව ශක්තිමත් කළා. (මාක් 1:13) යේසුස් මිය යන්න ටික වේලාවකට කලින්ද දේවදූතයෙක් පෙනී සිට “ඔහුව ශක්තිමත්” කළා. (ලූක් 22:43) යේසුස්ගේ ජීවිතයේ එවැනි අතිවැදගත් අවස්ථාවලදී දේවදූතයන්ගෙන් ලැබුණු ශක්තියෙන් ඔහු මොන තරම් දිරිගැන්වීමක් ලැබූවාද! තවත් අවස්ථාවකදී දේවදූතයෙක් පේතෘස්ව සිර ගෙදරින් නිදහස් කළා.—ක්‍රියා 12:6-11.

මේ කාලයේදී දේවදූතයන් අපිට ආරක්ෂාව සලසනවාද? බයිබලයේ සඳහන් වන ආකාරයට අපි යෙහෝවා දෙවිට නමස්කාර කරනවා නම් ඔහු දේවදූතයන් මාර්ගයෙන් අපිට ආරක්ෂාව සලසන බවට මෙසේ පොරොන්දු කර තිබෙනවා. ‘යෙහෝවාගේ දූතයා ඔහුට භය ඇත්තන් වට කර කඳවුරු බැඳ ඔවුන්ව ආරක්ෂා කරයි.’—ගීතාවලිය 34:7.

කෙසේවෙතත් දේවදූතයන්ගේ ප්‍රධාන කාර්යය වන්නේ මිනිසුන්ට නොව දෙවිට සේවය කිරීම බව අප මතක තබාගත යුතුයි. (ගීතාවලිය 103:20, 21) ඔවුන් ක්‍රියා කරන්නේ දෙවි දෙන මඟ පෙන්වීම්වලට අනුව මිස මිනිසුන් කරන ඉල්ලීම්වලට අනුව නොවෙයි. මේ නිසා අපි උපකාරය ඉල්ලිය යුත්තේ දේවදූතයන්ගෙන් නොව යෙහෝවා දෙවිගෙනුයි. (මතෙව් 26:53) අපිට දේවදූතයන්ව දැකිය නොහැකි නිසා විවිධාකාරවලින් මිනිසුන්ට උපකාර කිරීම සඳහා දෙවි ඔවුන්ව කොතෙක් දුරට යොදාගන්නවාද කියා අපි දන්නේ නැහැ. එහෙත් “යෙහෝවා කෙරෙහි සම්පූර්ණ සිත් ඇති සියල්ලන් උදෙසා ඔහු බලවත් බව [පෙන්වනවා]” කියා අපි දන්නවා. (2 ලේකම් 16:9; ගීතාවලිය 91:11) එමෙන්ම “ඔහුගේ කැමැත්තට අනුව අප ඉල්ලන ඕනෑම දෙයකට ඔහු සවන් දෙන” බවත් අපිට ස්ථිරයි.—1 යොහන් 5:14.

අපි යාච්ඤා කළ යුත්තේද නමස්කාර කළ යුත්තේද යෙහෝවා දෙවිට පමණක් බව බයිබලයේ අපට පෙන්වා දෙනවා. (නික්මයාම 20:3-5; ගීතාවලිය 5:1, 2; මතෙව් 6:9) දේවදූතයන්ද අපිව ඒ සඳහා උනන්දු කරනවා. උදාහරණයක් හැටියට යොහන් දේවදූතයෙකුට නමස්කාර කරන්න උත්සාහ කළ අවස්ථාවේදී, ඒ දේවදූතයා ඔහුව නිවැරදි කරමින් ඔහුට මෙසේ පැවසුවා. “පරෙස්සම් වන්න! එසේ නොකරන්න! . . . දෙවිට නමස්කාර කරන්න.”—එළිදරව් 19:10.

දේවදූතයන් දෙවිගේ පණිවිඩ ගෙන යයි

“දූතයා” යන වචනයේ අර්ථය “පණිවිඩ ගෙන යන්නායි.” දේවදූතයා යන්නෙන් මූලිකව අදහස් කරන්නේ දෙවිගේ පණිවිඩ ගෙන යන්නායි. මරියා තරුණ කන්‍යාවක් වුවත් ඇය පිළිසිඳගෙන, යේසුස් නම් දරුවාව බිහි කරන බව ඇයට දැනුම් දීමට “ගාබ්‍රියෙල් නම් දේවදූතයාව දෙවි විසින් නාසරෙත් නමැති ගලීලයේ නුවරකට යවනු ලැබීය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (ලූක් 1:26-31) “ස්වාමීන් වන ක්‍රිස්තුස්” ඉපදී සිටින බව තණ පිට්ටනිවල සිටි එඬේරුන්ට දැනුම් දීමට තවත් දේවදූතයෙකුව යවනු ලැබුවා. (ලූක් 2:8-11) ඒ විතරක් නොවෙයි, ආබ්‍රහම්, මෝසෙස්, යේසුස් හා බයිබලයේ සඳහන් තවත් අයටද දේවදූතයන් දෙවිගේ පණිවිඩ දැනුම් දුන්නා.—උත්පත්ති 18:1-5, 10; නික්මයාම 3:1, 2; ලූක් 22:39-43.

මේ කාලයේදී දේවදූතයන් දෙවිගේ පණිවිඩකරුවන් ලෙස සේවය කරන්නේ කෙසේද? වත්මන් සමාජ ක්‍රමයේ අවසානයට කලින් තමන්ගේ අනුගාමිකයන් විසින් කරනු ලබන කාර්යයක් ගැන යේසුස් මෙසේ පැවසුවා. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය. එවිට අවසානය පැමිණෙන්නේය.” (මතෙව් 24:3, 14) දෙවිගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් සෑම අවුරුද්දකම පැය බිලියන ගණනක් වැය කරනවා. ඔවුන් කරන මෙම සේවයට දේවදූතයන්ද සම්බන්ධ වී සිටින බව ඔබ දැන සිටියාද? යොහන් දුටු දර්ශනයක් ගැන ඔහු මෙසේ විස්තර කරනවා. “මම තවත් දේවදූතයෙකු දුටිමි. . . . ඔහුට, පොළොවේ වාසය කරන අයටත්, සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත් ප්‍රීතිමත් පණිවුඩයක් ලෙස ප්‍රකාශ කිරීම සඳහා සදාකාල ශුභාරංචියක් තිබිණ.” (එළිදරව් 14:6, 7) මේ කාලයේ දේවදූතයන් මිනිසුන් වෙනුවෙන් කරන ප්‍රධානතම කාර්යය ගැන එම වදන්වලින් කියැවෙනවා.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගෙයින් ගෙට සේවයේ හවුල් වෙද්දී දේවදූතයන්ගේ මඟ පෙන්වීම ඔවුන්ට ලැබෙනවා. මේ බව දෙවි ගැන දැනගැනීමට උපකාර ඉල්ලා යාච්ඤා කළ අයව ඔවුන්ට බොහෝ අවස්ථාවලදී හමුවීමෙන් පැහැදිලි වෙනවා. දේවදූතයන්ගේ මඟ පෙන්වීම හා සාක්ෂිකරුවන්ගේ වෑයම නිසා සෑම අවුරුද්දකම සිය දහස් ගණනකට යෙහෝවා දෙවි ගැන දැනගැනීමට හැකි වී තිබෙනවා. දේවදූතයන්ගේ මඟ පෙන්වීම යටතේ සිදු කරනු ලබන ජීවිත ගලවන මෙම සේවයෙන් ඔබටත් ප්‍රයෝජන ලබාගන්න පුළුවන්.

දේවදූතයන් දෙවිගේ විනිශ්චය ක්‍රියාත්මක කරයි

මිනිසුන්ව විනිශ්චය කිරීමට දේවදූතයන්ට බලතල දී නොතිබුණත් දෙවි තම විනිශ්චයන් ක්‍රියාත්මක කිරීමට ඔවුන්ව යොදාගන්නවා. (යොහන් 5:22; හෙබ්‍රෙව් 12:22, 23) අතීතයේදී ඔවුන් දෙවිගේ විනිශ්චයන් ක්‍රියාත්මක කළ ආකාරය ගැන බයිබලයේ සඳහන් වෙනවා. උදාහරණයක් හැටියට ඊශ්‍රායෙල්වරුන්ව වහල්භාවයේ තබාගෙන සිටි පුරාණ ඊජිප්තුවරුන්ට එරෙහිව සටන් කිරීමට දේවදූතයන්ව යොදාගත්තා. ඒ ගැන ගීතාවලිය 78:49හි (නව ලොව පරිවර්තනය NW).සඳහන් වන්නේ “දේවදූත සේනාවන් ලවා ඔවුන් පිට විපත්ති ගෙනාවේය” කියායි. තවත් අවස්ථාවකදී ඊශ්‍රායෙල්වරුන්ගේ සතුරු කඳවුරක සිටි 1,85,000ක හමුදාවක් “යෙහෝවාගේ දූතයා” එක් රැයකදී විනාශ කර දැමුවා.—2 රාජාවලිය 19:35.

අනාගතයේදී දුෂ්ටයන්ට එරෙහිව කරන දෙවිගේ විනිශ්චය ක්‍රියාත්මක කිරීමටද දේවදූතයන් හවුල් වෙනවා. යේසුස් ‘ඔහුගේ බලවත් දූතයන් සමඟ ස්වර්ගයෙන් ගිනි ජාලාවක් ඇතිව එළිදරව් වී, දෙවිව නොදන්නා අයගෙන්ද අපේ ස්වාමීන් වන යේසුස් පිළිබඳ ශුභාරංචියට කීකරු නොවන අයගෙන්ද පළිගනියි.’ (2 තෙසලෝනික 1:7, 8) මෙහිදී විනාශ වන්නේ දේවදූතයන්ගේ මඟ පෙන්වීම යටතේ දෙවිගේ සේවකයන් දේශනා කරන පණිවිඩය පිළි නොගන්න අය පමණයි. අවංකව දෙවි ගැන ඉගෙනගනිමින් දෙවිගේ වචනයේ පවසා තිබෙන ආකාරයට ජීවත් වන අයට නම් ඒ විනාශයේදී කිසිම හානියක් වෙන්නේ නැහැ.—ශෙපනියා 2:3.

නිතරම දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව ක්‍රියා කරන දේවදූතයන්ගේ සේවය සඳහා අපි ඔවුන්ට කොතරම් ස්තුතිවන්ත විය යුතුද! යෙහෝවා දෙවි පොළොවේ සිටින ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ට උපකාර කිරීමට හා ඔවුන්ව ආරක්ෂා කිරීමට දේවදූතයන්ව යොදාගන්නවා. අපිට හානි කිරීමට මාන බලන භයානක භූතයන් පිරිසක් සිටින නිසා අපිට උපකාර කිරීමට දේවදූතයන් සිටීම ලොකු සහනයක්.

භූතයෝ කියන්නේ කවුද?

සාතන් ඒදන් උයනේදී ඒවව රවටා ගත වූ අවුරුදු 1,500ක පමණ කාලය පුරා ආබෙල්, ඒනොක් හා නෝවා වැනි ඇදහිලිවන්ත ස්වල්පදෙනෙක් හැර අන් සියලුදෙනාවම දෙවිගෙන් ඈත් කිරීමට ඔහු සමත් වූ ආකාරය දේවදූතයන් දුටුවා. (උත්පත්ති 3:1-7; හෙබ්‍රෙව් 11:4, 5, 7) පසුව දේවදූතයන්ගෙන් සමහරදෙනෙක්ද සාතන්ගේ බලපෑමට හසු වී දෙවිට අකීකරු වුණා. මෙය සිදු වුණේ ‘නෝවාගේ දවස්වලදීයි.’ (1 පේතෘස් 3:19, 20) ඔවුන් දෙවිට අකීකරු වුණේ කෙසේද?

නෝවාගේ කාලයේදී දේවදූතයන් පිරිසක් දෙවිට අකීකරු වී මිනිස් ශරීර මූර්තිමත් කරගෙන පොළොවට පැමිණියා. ඔවුන් මෙසේ පොළොවට පැමිණියේ ස්ත්‍රීන් සමඟ ලිංගික සබඳතා පැවැත්වීමට තිබූ ඔවුන්ගේ ආශාව ඉටු කරගැනීම සඳහායි. මෙහි ප්‍රතිඵලයක් හැටියට ඔවුන්ට දාව නෙෆිලිම්වරුන් කියා හැඳින්වූ දරුවන් බිහි වුණා. ඔවුන් යෝධයන් ලෙස වැඩී මහත් දරුණු ක්‍රියාවල් කළා. ඒ විතරක් නොවෙයි, ‘මනුෂ්‍යයාගේ දුෂ්ටකම පොළොවෙහි මහත් වූ අතර ඔහුගේ හෘදයෙහි සියලු කල්පනා නිරන්තරයෙන් නපුරුව තිබුණා.’ කෙසේවෙතත් යෙහෝවා දෙවි මේ නපුරු තත්වය දිගටම පැවතීමට ඉඩහැරියේ නැහැ. ඔහු ජලගැල්මක් ගෙනැවිත් නෙෆිලිම්වරුන් ඇතුළු සියලුම දුෂ්ටයන්ව විනාශ කර දැමුවා. බේරී ජීවත් වුණේ දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් පමණයි.—උත්පත්ති 6:1-7, 17; 7:23.

දෙවිට අකීකරු වූ ඒ දේවදූතයන් ජලගැල්මෙන් බේරීම සඳහා මිනිස් ශරීර අතහැර ස්වර්ගයට ගියා. එදා පටන් ඔවුන්ව හැඳින්වූයේ භූතයන් කියායි. ඔවුන් “භූතයන්ගේ පාලකයා” කියා හඳුන්වන යක්ෂයාගේ පැත්ත ගත්තා. (මතෙව් 12:24-27) ඔවුන්ගේ පාලකයා වගේ ඔවුනුත් මිනිසුන්ගේ නමස්කාරය ලබාගැනීමට දැඩි ආශාවක් දක්වනවා.

භූතයන් භයානක වුණත් අපි ඔවුන්ට බිය විය යුතු නැහැ. ඔවුන්ට තිබෙන බලය සීමිතයි. දෙවිට අකීකරු වූ දේවදූතයන් ආපසු ස්වර්ගයට ගිය විට ඔවුන්ව දෙවිගේ ස්වර්ගික පවුලට පිළිගත්තේ නැහැ. දෙවි සමඟ ඔවුන්ට තිබූ බැඳීම ඔවුන් අහිමි කරගත් අතර ඔවුන්ට තිබෙන්නේ අඳුරු අනාගතයක්. ඔවුන් සිටින මේ තත්වය බයිබලයේ හඳුන්වන්නේ ටාටරස් කියායි. (2 පේතෘස් 2:4) යෙහෝවා දෙවි ඔවුන්ව “සදාකාල බැඳුම්වලින්” බැඳ වෙන් කර තබා තිබෙනවා. ඔවුන්ට තවදුරටත් මිනිස් ශරීර මූර්තිමත් කරගත නොහැකියි.—යූද් 6.

ඔබ කළ යුත්තේ කුමක්ද?

භූතයන් මේ කාලයේදීත් මිනිසුන්ට බලපෑම් කරනවා. ඔවුන් මෙය කරන්නේ ඔවුන්ගේ පාලකයා වන යක්ෂයා යොදාගන්න ‘උපායන්ට’ සමාන කූට උපක්‍රම යොදාගෙනයි. (එෆීස 6:11, 12) කෙසේවෙතත් බයිබලයේ දී තිබෙන උපදෙස් ක්‍රියාවට නැඟීමෙන් භූතයන්ගේ උපායන්වලට හසු නොවී සිටින්න අපිට පුළුවන්. එමෙන්ම දෙවිට ප්‍රේම කරන අයට බලවත් දේවදූතයන්ගේ ආරක්ෂාව ලැබෙනවා.

එසේනම් ඔබ දෙවිගේ කැමැත්ත කුමක්ද කියා බයිබලයෙන් ඉගෙනගෙන ඊට එකඟව ජීවත් වීම මොන තරම් වැදගත්ද! ඔබ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හමුවීමෙන් හෝ මේ සඟරාවේ දෙවන පිටුවේ තිබෙන ලිපිනයකට ලිවීමෙන් බයිබලයේ ඉගැන්වීම් ගැන වැඩි විස්තර ඔබට දැනගන්න පුළුවන්. ඔබට පහසු ඕනෑම වේලාවක අය කිරීමකින් තොරව ඔබට බයිබලය ගැන ඉගැන්වීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් සතුටින් සිටිනවා.

[පාදසටහන]

^ 7 ඡේ. බයිබලයේ දේවදූතයන් ගැන සඳහන් කරද්දී ඔවුන්ව විස්තර කරන්නේ පුරුෂයන්ට සමාන කරමිනුයි.

[6වන පිටුවේ කොටුව]

දේවදූතයන් සංවිධානය වී සිටින අයුරු

යෙහෝවා දෙවි පහත දැක්වෙන ආකාරයට ඔහුගේ අතිමහත් දේවදූත සමූහය සංවිධානය කර තිබෙනවා.

වැඩිම බලයක් හා අධිකාරියක් තිබෙන දේවදූතයා වන්නේ අග්‍රදේවදූත මිකායෙල් කියා හඳුන්වන යේසුස් ක්‍රිස්තුස්. (1 තෙසලෝනික 4:16; යූද් 9) සෙරාප්, කෙරුබ් සහ වෙනත් දේවදූතයන් සිටින්නේ ඔහු යටතේයි.

සෙරාප්වරුන් සිටින්නේ දෙවිගේ ස්වර්ගික සංවිධානයේ ඉතා උසස් තත්වයකයි. ඔවුන් සේවය කරන්නේ දෙවිගේ සිංහාසනය අසලයි. ඔවුන්ගේ කාර්යය වන්නේ දෙවිගේ ශුද්ධකම ප්‍රකාශ කිරීම හා ඔහුගේ අනුමැතිය ලැබෙන තත්වයක සිටීමට ඔහුගේ සෙනඟට උපකාර කිරීමයි.—යෙසායා 6:1-3, 6, 7.

කෙරුබ්වරුන් (කෙරුබිම්) දෙවිගේ සිංහාසනය ආසන්නයේ සිට යෙහෝවාගේ ශ්‍රේෂ්ඨත්වය කියාපානවා.—ගීතාවලිය 80:1; 99:1; එසකියෙල් 10:1, 2.

අනිත් දේවදූතයන් යෙහෝවාගේ නියෝජිතයන් ලෙස සේවය කරන අතර ඔහුගේ කැමැත්ත ඉටු කිරීමට නිතර සැදී පැහැදී සිටිනවා.

[4වන පිටුවේ පින්තූරය]

දේවදූතයන් ලොත්ට හා ඔහුගේ දූවරුන්ට ආරක්ෂාව සැපයෙව්වා

[5වන පිටුවේ පින්තූරය]

යොහන් දේවදූතයෙකුට නමස්කාර කරන්න තැත් කළ අවස්ථාවේදී, “එසේ නොකරන්න!” කියා ඒ දේවදූතයා පැවසුවා

[6වන පිටුවේ පින්තූරය]

දෙවි ඔහුගේ විනිශ්චයන් ක්‍රියාත්මක කිරීමට දේවදූතයන්ව යොදාගන්නවා

[7වන පිටුවේ පින්තූරය]

දේවදූතයන්ගේ මඟ පෙන්වීම යටතේ දෙවිගේ සේවකයන් කරන දේශනා සේවයෙන් ඔබත් ප්‍රයෝජන ලබනවාද?