2 තෙසලෝනික 1:1-12

1  මෙම ලිපිය ලියන්නේ පාවුල්, සිල්වානස් සහ තිමෝතිය.+ මෙය ලියනු ලබන්නේ අපගේ පියාණන් වන දෙවි සහ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින තෙසලෝනිකවරුන්ගේ සභාව වෙතටය.  පියාණන් වන දෙවිගෙන්ද ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගෙන්ද ඔබට මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා!+  සහෝදරයෙනි, ඔබ සියලුදෙනාගේම විශ්වාසය තව තවත් ශක්තිමත් වන ආකාරය ගැනද+ එකිනෙකා සඳහා ඔබට තිබෙන ප්‍රේමය වැඩි වන ආකාරය ගැනද+ අපට ආරංචි වී ඇත. ඔබ ගැන දෙවිට නිතරම ස්තුති කළ යුත්තේ ඒ නිසාය.+  දෙවිගේ සභාවන් අතරෙහි ඔබේ සභාව ගැන පැවසීමට අපි ඉමහත් සේ සතුටු වන්නෙමු.+ මන්ද ඔබ බොහෝ පීඩාවලට හා දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටියත් ඔබ ඒවා විඳදරාගනිමින් ශක්තිමත් විශ්වාසයක් ඇතුව ක්‍රියා කරන බව අපි දනිමු.+  එසේ ඔබ දෙවිගේ රාජ්‍යය වෙනුවෙන් බොහෝ දුක් වින්දත්+ එයට පිවිසෙන්න ඔබ සුදුස්සන් බවට පත් වනු ඇත.+ එයින් පැහැදිලිව ඔප්පු වන්නේ දෙවි සෑම දෙයක්ම ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරන බවය.+  දෙවි ලබා දෙන එම විනිශ්චය ධර්මිෂ්ඨ එකක් වන්නේ ඔහු ඔබට පීඩා කරන අයට ඔවුන් කළ දේට අනුව ප්‍රතිඵල දෙන නිසාය.+  එමෙන්ම ස්වාමීන් වන යේසුස් තම බලවත් දේවදූතයන් සමඟ+ එළිදරව් වන අවස්ථාවේදී+ දැන් පීඩා විඳින ඔබට අප සමඟම සහනය ලැබෙනු ඇත.  ඇවිළෙන ගිනි ජාලාවක් ඇතුව එළිදරව් වන ඒ අවස්ථාවේදී ඔහු දෙවිගේ විනිශ්චය ඉටු කරනු ඇත.+ එසේ කරන්නේ දෙවිව දැන හඳුනා නොගෙන සිටින අයට+ හා අපගේ ස්වාමීන් වන යේසුස් පිළිබඳ ශුභාරංචියට+ කීකරු නොවන අයට+ එරෙහිවය.  ඔවුන්ට ලැබෙන දඬුවම+ නම් සදාකාල විනාශයයි.+ ඔවුන්ව ස්වාමීන් ඉදිරියෙන් තුරන් කරනු ලබන අතර ඔහුගේ තේජවත් බලය නැවත දැකගැනීමට අවස්ථාවක් ඔවුන්ට නොලැබේ.+ 10  යේසුස් තම ශුද්ධ තැනැත්තන් සමඟ තේජසට පත් වීම සඳහා පැමිණෙන ඒ දවසේදී+ ඔහු කෙරෙහි විශ්වාසය තැබූ සියලුදෙනා ඔහු දෙස මහත් ගෞරවයකින් බලනු ඇත. ඇත්තෙන්ම ඔබත් ඒ අය අතර සිටිනු ඇත. මන්ද අප දුන් සාක්ෂිය කෙරෙහි ඔබ විශ්වාසය තැබූ බව අපි දනිමු. 11  ඔබව කැඳවූ දෙවි ඉදිරියේ ඔබට අවසානය දක්වා සුදුස්සන් ලෙස සිටීමට අවස්ථාව ලැබෙන්න කියාත්+ දෙවි තම බලයෙන් ඉටු කිරීමට අදහස් කරන සෑම යහපත් දෙයක්ම සාර්ථකව ඉටු වෙන්න කියාත් ඔබ විශ්වාසයක් ඇතුව කරන සෑම දෙයක්ම ඔහුගේ ආශීර්වාදයෙන් සාර්ථක වෙන්න කියාත් අප යාච්ඤා කරන්නේ ඒ නිසාය. 12  ඒ දේවල් ඉටු වුණොත් අපගේ ස්වාමීන් වන යේසුස්ගේ නාමයට මහත් ගෞරවයක් ගෙන දෙන්න ඔබට හැකි වන අතර+ ඔහු සමඟ එකට බැඳී සිටින ඔබවද තේජසට පත් වනු ඇත.+ ඒ සියල්ල සිදු වන්නේ අපගේ දෙවිගේ හා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව නිසාය.+

පාදසටහන්