මතෙව් 26:1-75

26  යේසුස් ඒ වදන් සියල්ල කියා නිම කළ පසු ඔහු තම ගෝලයන්ට මෙසේ කීවේය.  “තව දවස් දෙකකින් පාස්කුව පැමිණෙන බව ඔබ දන්නවා.+ එවිට ඔවුන් මනුෂ්‍ය පුත්‍රයාව කණුවක ඇණ ගසා මරා දමයි.”+  නායක පූජකයෝද ජනතාව අතර සිටි වැඩිමහල්ලෝද කායෆස්+ නම් උත්තම පූජකයාගේ නිවසෙහි ඇතුල් මළුවට එක් රැස් වී,  කපටි උපායක් යොදාගෙන යේසුස්ව අල්ලාගෙන මරා දැමිය හැකි අයුරු ගැන සාකච්ඡා කළහ.+  නමුත් “සෙනඟ අතර කෝලහලයක් ඇති විය හැකි නිසා අපි ඒ දේ උත්සව දවස්වලදී නොකර සිටිමු”+ කියා ඔවුහු පැවසුවෝය.  යේසුස් බෙතානියේ+ ලාදුරු රෝගී සීමොන්ගේ නිවසෙහි සිටියදී,+  එක් ස්ත්‍රියක් එහි පැමිණියාය. ඇගේ අතෙහි මිල අධික සුවඳ තෙල්+ අඩංගු ඇලබැස්ටර්වලින් සාදන ලද බඳුනක් තිබූ අතර ඇය යේසුස් ළඟට ඇවිත් කෑම මේසයෙහි ඉඳගෙන සිටි ඔහුගේ හිස මත ඒ තෙල් වත් කරන්න පටන්ගත්තාය.  එය දුටු ගෝලයෝ කෝප වී, “මේ විදිහට නාස්ති කරන්නේ ඇයි?+  මෙය විශාල මුදලකට විකුණා ඒ මුදල් දිලිඳුන්ට දෙන්න තිබුණා”+ කියා කීවෝය. 10  යේසුස් එය දැනගෙන+ ඔවුන්ට මෙලෙස පැවසුවේය. “ඔබ මේ ස්ත්‍රියට කරදර කරන්නේ ඇයි? ඇය මා වෙනුවෙන් කළේ ඉතාමත් විශිෂ්ට ක්‍රියාවක්.+ 11  දිලිඳු අය ඔබ සමඟ සැමදාම සිටියි.+ නමුත් මම ඔබ සමඟ සැමදා සිටින්නේ නැහැ.+ 12  මේ ස්ත්‍රිය මෙම සුවඳ තෙල මගේ සිරුරේ වත් කළේ මාව තැන්පත් කිරීමට සූදානමක් ලෙසයි.+ 13  ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ලොව පුරාම ශුභාරංචිය දේශනා කරන සෑම තැනකදීම මේ ස්ත්‍රියව සිහි කිරීම සඳහා ඇය කළ දෙය ගැන පවසනු ලබන බවයි.”+ 14  ඉන්පසු දොළොස්දෙනාගෙන් එක් කෙනෙක් වූ යූදස් ඉස්කාරියොත්+ නායක පූජකයන් වෙතට ගොස්, 15  “මම ඔහුව ඔබට පාවා දුන්නොත් ඔබ මට දෙන්නේ මොනවාද”+ කියා ඇසුවේය. ඔවුහු ඔහුට රිදී කාසි තිහක් දීමට එකඟ වූහ.+ 16  ඔහු එතැන් පටන් යේසුස්ව පාවා දීමට සුදුසු අවස්ථාවක් එන තුරු බලා සිටියේය.+ 17  මුහුන් නොදැමූ රොටි උත්සවයේ පළමුවෙනි දවසේදී+ ගෝලයෝ යේසුස් වෙතට ඇවිත්, “පාස්කු උත්සවය පවත්වන්න අපි කොයි වගේ තැනක් සූදානම් කරනවාටද ඔබ කැමති” කියා ඇසූහ.+ 18  එවිට ඔහු මෙසේ කීවේය. “නුවරට ගොස් අහවල් කෙනාව+ හමු වී, ‘මගේ නියමිත වේලාව ළඟයි. මම කැමතියි මගේ ගෝලයන් සමඟ ඔබේ ගෙදරදී පාස්කුව පවත්වන්න’ කියා ගුරුතුමා පවසන බව ඔහුට කියන්න.”+ 19  යේසුස් අණ කළ ලෙස ඔවුහු පාස්කුව සඳහා දේවල් සූදානම් කළෝය.+ 20  සවස් වූ විට+ ඔහු ගෝලයන් දොළොස්දෙනා සමඟ කෑම මේසයේ ඉඳගෙන සිටියේය.+ 21  ඔවුන් කමින් සිටියදී, “මා ඔබට කියන මේ දේට හොඳින් ඇහුම්කන් දෙන්න. ඔබ අතරෙන් එක් කෙනෙක් මාව පාවා දෙනවා” කියා කීවේය.+ 22  ඒ දේ ඇසූ ඔවුන් අතිශයින් ශෝක වී, “ස්වාමීනි, ඒ මමද”+ කියා එකිනෙකා අසන්න පටන්ගත්හ. 23  ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. “මාව පාවා දෙන්නේ මා සමඟ බඳුනේ අත දමන මෙහි සිටින අයගෙන් කෙනෙක්.+ 24  මනුෂ්‍ය පුත්‍රයා ගැන ලියා තිබෙන ආකාරයට+ ඔහු ඔබෙන් අනිවාර්යයෙන්ම සමුගනියි. නමුත් මනුෂ්‍ය පුත්‍රයාව පාවා දෙන ඒ තැනැත්තාට+ මොන තරම් දරුණු විපතකට මුහුණ දෙන්න සිදු වෙයිද!+ ඔහු ඉපදුණේ නැත්නම් ඔහුට වඩාත් හොඳයි.” 25  එවිට ඔහුව පාවා දෙන්න සූදානම්ව සිටි යූදස්, “ගුරුතුමනි, ඒ මමද” කියා ඇසුවේය. ඔහු, “ඒ ප්‍රශ්නයට පිළිතුර ඔබෙන් දැන් ලැබුණා” කියා ඔහුට පැවසුවේය. 26  ඔවුන් කමින් සිටියදී යේසුස් රොටියක් ගෙන+ යාච්ඤා කර, එය කඩා+ ගෝලයන්ට දුන්නේය. ඔහුද, “රැගෙන කන්න. මෙයින් නියෝජනය වන්නේ මගේ ශරීරයයි”+ කියා කීවේය. 27  ඉන්පසු ඔහු කුසලානයක් ගෙන+ ඒ සඳහා ස්තුති යාච්ඤාවක් කළ පසු ඔවුන්ට එය දෙමින් මෙසේ කීවේය. “ඔබ සියල්ලන්ම මෙයින් බොන්න.+ 28  මන්ද මෙයින් නියෝජනය වන්නේ+ පව් සමාව සඳහා+ බොහෝදෙනා උදෙසා වගුරුවනු ලබන+ මගේ රුධිරයයි.+ ගිවිසුම ස්ථිර වන්නේ මේ රුධිරයෙනුයි.+ 29  මා ඔබට කියන්නේ, මගේ පියාණන්ගේ රාජ්‍යයෙහි මා ඔබ සමඟ අලුත් වයින් බොන දවස එන තුරු මා මෙතැන් සිට මිදිවැලේ පලයෙන් ලැබෙන වයින් කිසිසේත් බොන්නේ නැති බවයි.”+ 30  ඔවුහු ප්‍රශංසා ගී ගැයීමෙන් පසු+ ඔලීව කන්දට පිටත්ව ගියෝය.+ 31  යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “අද රාත්‍රියේ මට සිදු වන දේ නිසා ඔබ සැමදෙනාම මාව අත්හැර යනවා. මන්ද ‘මම එඬේරාට පහර දෙන්නෙමි. එවිට රැළේ බැටළුවෝ සීසීකඩ විසිරී යනු ඇත’+ කියා ලියා තිබෙනවා. 32  නමුත් මාව මරණයෙන් නැඟිටුවනු ලැබූ පසු ඔබට කලින් මම ගලීලයට යනවා.”+ 33  නමුත් පේතෘස්, “අන් සියලුදෙනාම ඔබට සිදු වන දේ නිසා ඔබව අත්හැර ගියත් මම නම් කවදාවත් ඔබව අත්හරින්නේ නැහැ”+ කියා ඔහුට කීවේය. 34  එවිට යේසුස්, “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, කුකුළෙක් හඬලන්න කලින් මේ රාත්‍රියේම ඔබ මාව හඳුනන්නේ නැහැ කියා තුන් වතාවක් කියන බවයි”+ කියා ඔහුට කීවේය. 35  එවිට පේතෘස්, “මට ඔබ සමඟ මැරෙන්න සිදු වුණත් ඔබව හඳුනන්නේ නැති බව නම් කොහොමටවත් කියන්නේ නැහැ” කියා ඔහුට කීවේය. අන් සියලු ගෝලයෝද ඒ දේම පැවසූහ.+ 36  එවිට යේසුස් ඔවුන් සමඟ ගෙත්සෙමනය ලෙස හැඳින්වූ ස්ථානයට+ ඇවිත්, “මා අතනට ගොස් යාච්ඤා කරන තුරු මෙහි ඉඳගෙන සිටින්න”+ කියා ගෝලයන්ට කීවේය. 37  ඔහු පේතෘස්වද සෙබදීගේ පුත්‍රයන් දෙදෙනාවද+ කැඳවාගෙන යද්දී, ඔහු තුළ දැඩි ශෝකයක්ද මහත් කැලඹීමක්ද ඇති වෙන්න පටන්ගත්තේය.+ 38  එවිට ඔහු, “මා තුළ ඇති වී තිබෙන ශෝකය කොතරම්ද කියනවා නම් මට දැනෙන්නේ මා මිය යනවා වගෙයි.+ ඔබ මෙහි නැවතී මා සමඟ අවදියෙන් සිටින්න”+ කියා ඔවුන්ට කීවේය. 39  ඔහු මදක් ඉදිරියට ගොස් දණින් වැටී යාච්ඤා කරමින්,+ “මගේ පියාණෙනි, පුළුවන් නම් මේ කුසලානය*+ මගෙන් ඉවත් කරන්න. නමුත් මගේ කැමැත්ත නොව+ ඔබේ කැමැත්ත සිදු වේවා”+ කියා කීවේය. 40  ඉන්පසු ඔහු ගෝලයන් ළඟට ඇවිත් ඔවුන් නිදාගෙන සිටිනවා දැක පේතෘස්ට මෙසේ කීවේය. “එක පැයක්වත් මා සමඟ අවදියෙන් සිටින්න ඔබට බැරි වුණාද?+ 41  යම් වරදක් කිරීමට පෙලඹීමක් ඇති නොවීම සඳහා+ ඔබ අවදිව සිට+ නොකඩවා යාච්ඤා කළ යුතුයි.+ නමුත් ඒ දේ කරන්න සිත කොතරම් කැමති වුණත් මිනිසුන්ගේ දුර්වලකම එයට ඉඩ දෙන්නේ නැහැ.”+ 42  ඔහු නැවතත් එනම්, දෙවෙනි වතාවටත්+ එතැනට ගොස් යාච්ඤා කරමින්, “මගේ පියාණෙනි, මෙම කුසලානයෙන් මට පානය කරන්නම අවශ්‍ය නම් ඔබගේ කැමැත්ත සිදු වේවා”+ කියා කීවේය. 43  ඔහු නැවත ඔවුන් ළඟට පැමිණි විට ඔවුන් නිදාගෙන සිටිනවා දුටුවේය. මන්ද ඔවුහු නිදිබරව සිටියෝය.+ 44  එහෙයින් ඔහු ඔවුන් වෙතින් ගොස් නැවතත් තුන්වෙනි වතාවටත්+ කලින් පැවසූ දේවල්ම කියමින් යාච්ඤා කළේය. 45  ඉන්පසු ඔහු ගෝලයන් ළඟට ඇවිත් ඔවුන්ට මෙසේ කීවේය. “මෙවැනි වේලාවක ඔබ නිදාගෙන විවේක ගන්නවාද? බලන්න! මනුෂ්‍ය පුත්‍රයා පව්කාරයන්ගේ අතට පාවා දෙනු ලබන පැය ළඟා වෙලා!+ 46  නැඟිටින්න, අපි යමු. මෙන්න! මාව පාවා දෙන තැනැත්තා ළඟටම ඇවිත්.”+ 47  ඔහු කතා කරමින් සිටියදීම, දොළොස්දෙනාගෙන් එක් කෙනෙක් වූ යූදස්+ ආවේය. ඔහු සමඟ විශාල පිරිසක්ද කඩු+ මුගුරු රැගෙන පැමිණියෝය. ඔවුන්ව එවා තිබුණේ නායක පූජකයන් හා ජනතාව අතර සිටි වැඩිමහල්ලන්ය.+ 48  යේසුස්ව පාවා දෙන තැනැත්තා ඔහුව අල්ලාගැනීම සඳහා ඔවුන්ට ලකුණක් දී තිබිණ. ඔහු ඔවුන්ට කියා තිබුණේ, “ඔබට ඔහුව හඳුනාගැනීම සඳහා මම ඔහුව සිඹගන්නවා. ඉන්පසු ඔහුව අත්අඩංගුවට ගන්න” කියායි.+ 49  එහෙයින් ඔහු කෙළින්ම යේසුස් වෙතට ගොස්, “ගුරුතුමනි,+ සුබ දවසක් වේවා” කියා පවසමින් මහත් ආදරයක් මවාපාමින් ඔහුව සිඹගත්තේය.+ 50  නමුත් යේසුස්,+ “ඔබ පැමිණ සිටින්නේ කුමක් සඳහාද” කියා ඔහුගෙන් ඇසුවේය. එවිට ඔවුහු ඉදිරියට ඇවිත් යේසුස්ව අත්අඩංගුවට ගත්හ.+ 51  යේසුස් සමඟ සිටි අයගෙන් එක් කෙනෙක් තම කඩුව ඉවතට ගෙන උත්තම පූජකයාගේ දාසයාට පහර දුන්නේය. එයින් ඒ දාසයාගේ කන කැපී ගියේය.+ 52  එවිට යේසුස් ඔහුට මෙසේ කීවේය. “ඔබේ කඩුව තිබුණ තැනට ආපසු දමාගන්න.+ මන්ද කඩු ගන්න සෑම කෙනෙක්ම කඩුවෙන්ම නසිනවා.+ 53  මේ මොහොතේ වුණත් දේවදූත සේනාංක දොළොසකටත් වඩා මගේ උපකාරයට එවන්න+ කියා මගේ පියාණන්ගෙන් ඉල්ලන්න මට බැහැයි කියා ඔබ සිතනවාද? 54  නමුත් මා එසේ කළොත් සිදු විය යුතු දේවල් ගැන ශුද්ධ ලියවිල්ලේ සඳහන් දේ ඉටු වන්නේ කොහොමද?” 55  ඒ පැයේදී යේසුස් පැමිණ සිටි පිරිසට මෙසේ කීවේය. “ඔබ කඩු මුගුරු රැගෙන මාව අත්අඩංගුවට ගන්න ආවේ මා සොරෙක් කියා හිතාගෙනද?+ මම හැමදාම දේවමාලිගාවේ+ ඉඳගෙන උගන්වමින් සිටියා නේද? නමුත් එහිදී ඔබ මාව අත්අඩංගුවට ගත්තේ නැහැ. 56  නමුත් මේ සියල්ල මෙලෙස සිදු වී තිබෙන්නේ අනාගතවක්තෘවරුන් ලියා ඇති දේවල් ඉටු වීම සඳහායි.”+ එවිට ගෝලයෝ සියලුදෙනාම ඔහුව අත්හැර පලා ගියෝය.+ 57  යේසුස්ව අත්අඩංගුවට ගත් අය උත්තම පූජකයා වූ කායෆස්+ වෙතට ඔහුව ගෙන ගියහ. නීතිය පිටපත් කරන්නෝද වැඩිමහල්ලෝද එහි රැස් වී සිටියහ.+ 58  පේතෘස් උත්තම පූජකයාගේ නිවසෙහි ඇතුල් මළුව දක්වා+ යේසුස් පසුපස ඔහුට තරමක දුරකින් පැමිණියේය. ඔහු මළුවට ඇතුල් වී සිදු වන්නේ කුමක්ද කියා බැලීමට නිවසේ සේවකයන් සමඟ ඉඳගෙන සිටියේය.+ 59  මේ අතරතුරේ යේසුස්ව මරණයට පත් කිරීම සඳහා නායක පූජකයෝද මුළු මන්ත්‍රණ සභාවද* ඔහුට විරුද්ධව බොරු සාක්ෂි සෙවූහ.+ 60  බොරු සාක්ෂිකරුවන් බොහෝදෙනෙකු ඉදිරිපත් වුවත් ඔප්පු කළ හැකි කිසි සාක්ෂියක් සොයාගත නොහැකි විය.+ පසුව දෙදෙනෙක් ඉදිරිපත් වී, 61  මෙසේ කීවෝය. “‘දෙවිගේ මාලිගාව කඩා දමා එය දවස් තුනකින් ගොඩනඟන්න මට පුළුවන්’+ කියා මේ මිනිසා පැවසුවා අපිට මතකයි.” 62  එවිට උත්තම පූජකයා නැඟිට, “ඔබට දෙන්න කිසි පිළිතුරක් නැද්ද? මොවුන් ඔබට විරුද්ධව දෙන මේ සාක්ෂි ඔබට ඇහෙනවාද”+ කියා ඔහුගෙන් ඇසුවේය. 63  නමුත් යේසුස් නිහඬව සිටියේය.+ එහෙයින් උත්තම පූජකයා ඔහුට මෙසේ කීවේය. “මා ජීවමාන දෙවිගේ නාමයෙන් දිවුරා ඔබ ඉදිරියේ ප්‍රශ්නයක් අසන්න කැමතියි.+ ඔබ දෙවිගේ පුත්‍රයා වන ක්‍රිස්තුස්ද+ කියා අපට කියන්න.” 64  යේසුස් ඔහු අමතා,+ “ඒ ප්‍රශ්නයට පිළිතුර ඔබෙන් දැන් ලැබුණා.+ නමුත් මා ඔබ සැමට කියන්නේ මෙයයි. එනම් මෙතැන් පටන්+ මනුෂ්‍ය පුත්‍රයා+ බලවත් තැනැත්තාණන්ගේ දකුණු පැත්තේ ඉඳගෙන+ සිටින ආකාරයත් ආකාශයේ වලාකුළු මත පැමිණෙන ආකාරයත්+ ඔබ දකින බවයි” කියා කීවේය. 65  එවිට උත්තම පූජකයා තම පිට වස්ත්‍ර ඉරාගනිමින් මෙසේ කීවේය. “ඔහු දැන් කළේ දේවඅපහාසයක්!+ අපට තව සාක්ෂිකරුවන් අවශ්‍ය නැහැ.+ දැන් ඔහුගේ දේවඅපහාසය ඔබට ඇහුණා නේද?+ 66  ඔබ සිතන්නේ කුමක්ද?” ඔවුහුද, “ඔහුට මරණ දණ්ඩනය නියම කළ යුතුයි”+ කියා පිළිතුරු දුන්නෝය. 67  එවිට ඔවුහු ඔහුගේ මුහුණට කෙළ ගසා,+ තම අත් මිටමොළවමින් ඔහුට පහර දුන්හ.+ අන් අය ඔහුගේ කම්මුලට පහර දෙමින්,+ 68  “ඔබ ක්‍රිස්තුස් නේද?+ ඔබ අනාගතවක්තෘවරයෙක් නම් ඔබට පහර දුන්නේ කවුද කියා අපට කියන්න”+ කියා කීවෝය. 69  ඒ අවස්ථාවේ පේතෘස්, පිටත මළුවෙහි ඉඳගෙන සිටියේය. එවිට සේවිකාවක් ඔහු වෙතට ඇවිත්, “ඔබත් ගලීලයේ යේසුස් සමඟ සිටියා නේද”+ කියා ඇසුවාය. 70  නමුත් ඔහු ඒ සියල්ලන් ඉදිරියෙහි එය ප්‍රතික්ෂේප කරමින්, “ඔබ මොනව කියනවාද කියා මම නම් දන්නේ නැහැ” කියා කීවේය. 71  ඔහු එතැනින් පිටත් වී දොරටුව අසලට ගිය පසු වෙනත් තරුණියක් ඔහුව දැක, “මේ මිනිසා නාසරෙත් නුවරින් පැමිණි යේසුස් සමඟ සිටියා”+ කියා එහි සිටි අයට කීවාය. 72  එවිට ඔහු එය නැවතත් ප්‍රතික්ෂේප කරමින්, “මම ඒ මිනිසාව හඳුනන්නේ නැහැ” කියා දිවුරමින් කීවේය.+ 73  මද වේලාවකට පසු එතැන සිටගෙන සිටි අය ඇවිත්, “අනිවාර්යයෙන්ම ඔබත් ඔවුන්ගෙන් එක් කෙනෙක්. ඒ බව ඔබ කතා කරන විදිහෙන්ම තේරෙනවා”+ කියා පේතෘස්ට කීවෝය. 74  එවිට ඔහු තමාටම ශාප කරමින්, “මම ඒ මිනිසාව හඳුනන්නේ නැහැ” කියා දිවුරන්න පටන්ගත්තේය. ඒ මොහොතේදීම කුකුළෙක් හැඬලුවේය.+ 75  “කුකුළෙකු හඬලන්න කලින් ඔබ මාව හඳුනන්නේ නැති බව තුන් වතාවක් කියනවා”+ කියා යේසුස් පැවසූ දේ එවිට පේතෘස්ට මතක් විය. ඔහු පිටතට ගොස් මහත් ශෝකයෙන් හැඬුවේය.+

පාදසටහන්

කුසලානයෙන් අදහස් කරන්නේ දෙවිගේ කැමැත්තයි. එනම්, දෙවිට අපහාස කරන්නෙකු යන බොරු චෝදනාව මත යේසුස්ව මරණයට පත් කිරීමයි.
එනම්, යුදෙව් සැන්හෙඩ්‍රින සභාව.