Skip to content

පටුනට යන්න

දෙවිව මහිමවත් කරන සත්ව ලෝකය

දෙවිව මහිමවත් කරන සත්ව ලෝකය

දෙවිව මහිමවත් කරන සත්ව ලෝකය

යෙහෝවාගේ ශ්‍රේෂ්ඨත්වය සත්ව ලෝකයෙන් දැකිය හැකියි. දෙවි මිනිසුන් ගැන වගේම සතුන් ගැනත් සැලකිල්ලක් දක්වනවා. (ගීතාවලිය 145:16) මිනිසුන්ගේ මෙන්ම සතුන්ගේද මැවුම්කරුව කෙනෙක් විවේචනය කරනවා නම් එය මොන තරම් අනුවණ දෙයක්ද! යෝබ් කියන්නේ ධර්මිෂ්ඨ මිනිසෙක්. ඒ වුණත් ඔහු ‘දෙවිට වඩා තමන් ධර්මිෂ්ඨයි’ කියා වරක් පැවසුවා. මේ නිසා ඔහුට යම් පාඩම් උගන්වමින් ඔහුව නිවැරදි කරන්න අවශ්‍ය වුණා.—යෝබ් 32:2; 33:8-12; 34:5.

දෙවි ක්‍රියා කරන ආකාරය ගැන ප්‍රශ්න කරන්න මිනිසුන්ට අයිතියක් නැති බව ඇතැම් සතුන් ගැන කියා දීමෙන් දෙවි යෝබ්ට පැහැදිලි කළා. යෙහෝවා යෝබ්ට පැවසූ දේවල් ගැන අපි හොඳින් සිතා බලන විට ඒ බව අපටත් හොඳින් පැහැදිලි වෙනවා.

සතුන්ට මිනිසුන්ගේ උදව් අවශ්‍ය නැහැ

දෙවි සතුන් ගැන ඇසූ ප්‍රශ්නවලට උත්තර දෙන්න යෝබ්ට නොහැකි වුණා. (යෝබ් 38:39-41) යෙහෝවා සිංහයන්ට හා කපුටන්ට ආහාර ලබා දෙන්නේ මිනිසුන්ගේ උපකාරය ඇතුව නොවෙයි. කපුටන් ආහාර සොයා ගියත් උන්ට ආහාර ලබා දෙන්නේ දෙවියි.—ලූක් 12:24.

දෙවි සතුන් ගැන ප්‍රශ්න කළ විට යෝබ් නිරුත්තර වුණා. (යෝබ් 39:1-8) කඳුවල වාසය කරන වල් එළුවන් හා මුවදෙනුන් * ළඟටවත් යන්න බැරි නිසා මිනිසුන්ට උන්ව ආරක්ෂා කරන්න බැහැ. (ගීතාවලිය 104:18) පැටවුන් බිහි කරන්න ළං වන විට හුදෙකලා තැනකට යා යුතු බව මුවදෙනකුට දැනෙන්නේ දෙවි ඌට දී තිබෙන සහජ හැකියාව නිසයි. මුවදෙන පැටවුන් ආදරයෙන් රැකබලා ගනියි. ඒත් උන් ‘හොඳින් වැඩුණු’ පසු උන්ට තනියම ජීවත් වෙන්න පුළුවන් වන විට ‘පිටත්ව ගොස් ආපසු හැරී එන්නේ නැහැ.’

නිදැල්ලේ දුව පැන හැසිරෙන සීබ්‍රාගේ * නිදහස නැති කරන්න යෝබ්ට පුළුවන් වුණාද? කාන්තාරවල ජීවත් වන වල් කොටළුවන්ගෙන් වැඩ ගන්න යෝබ්ට පුළුවන් වුණාද? වල් කොටළුවා කඳුකරයේ කෑම සොයමින් සෑම තැනම යයි. නගරයේ නිවසක ජීවත් වී පහසුවෙන්ම කෑම ලබාගන්නවාට වඩා ඌ ප්‍රිය කරන්නේ නිදහසේ ජීවත් වෙන්නයි. ඌ ඉන්න දිශාවට යම් කෙනෙක් එනවා දැක්කොත් ඌ පලා යනවා. මේ නිසා ‘දක්කන්නාගේ හඬ ඌට ඇසෙන්නේ නැහැ.’

දෙවි ඊළඟට සඳහන් කරන්නේ කුළු හරකා ගැනයි. (යෝබ් 39:9-12) කුළු හරකා ගැන පුරාවිද්‍යාඥයෙක් එක් පොතක මෙසේ සඳහන් කළා. ‘කුළු හරකාට මොන තරම් ශක්තියක් තිබෙනවාද කියනවා නම් ඌව සමාන කර තිබෙන්නේ සිංහයාටයි. ඌත් සමඟ රජවරුන් සටන් කරන ආකාරයත්, රණ ශූරයන් අසු පිට නැඟී ඌව පන්නාගෙන යන ආකාරයත් බිතුසිතුවම්වල දකින්න තිබෙනවා.’ (Nineveh and Its Remains, 1849, Volume 2, page 326) පාලනය කරන්න බැරි කුළු හරකෙකුව පාලනය කරන්න ඥානවන්ත ලෙස ක්‍රියා කරන කිසිම කෙනෙක් උත්සාහ කරන්නේ නැහැ.—ගීතාවලිය 22:21.

යෙහෝවාව මහිමවත් කරන පක්ෂීන්

දෙවි ඊළඟට යෝබ්ගෙන් අසන්නේ පක්ෂීන් ගැනයි. (යෝබ් 39:13-18) මාන කොකා උගේ ශක්තිමත් පිහාටුවල ආධාරයෙන් ඉහළ අහසේ පියාසර කරනවා. (යෙරෙමියා 8:7) පැස්බරා කොතරම් වේගයෙන් පියාපත් ගැසුවත් ඌට පියාසර කරන්න බැහැ. මාන කොකා වගේ පැස්බරා ගසක කූඩුවක් සාදා බිත්තර දමන්නේ නැහැ. (ගීතාවලිය 104:17) ඌ වළක් හාරා බිත්තර එහි දමා, ඒවා වැලිවලින් වසන්නේ ඒවාට අවශ්‍ය උෂ්ණත්වය ලබා දෙන්නයි. ගැහැනු සතා මෙන්ම පිරිමි සතාද ඒ බිත්තර ආරක්ෂා කරනවා.

බිත්තර ආරක්ෂා කරමින් සිටින පැස්බරෙක් අනතුරක් දුටු විට පලා දුවනවා. මෙහිදී ඌ ‘ප්‍රඥාවන්තව’ ක්‍රියා නොකරන බව සිතිය හැකියි. එහෙත් එක් විශ්වකෝෂයක මෙසේ සඳහන් වෙනවා. “පැස්බරා පලා ගොස් තටු ගසන්නේ අනතුරු කරන්න එන සතුන්ගේ හෝ මිනිසුන්ගේ අවධානය වෙනතකට යොමු කරන්නයි. ඌ මෙසේ කරන්නේ බිත්තර ආරක්ෂා කරගැනීමේ උපක්‍රමයක් ලෙසයි.”—An Encyclopedia of Bible Animals.

පැස්බරා ‘අශ්වයාටත් ඌ පිට නැඟී යන්නාටත් සිනාසෙනවා’ කියා පවසා තිබෙන්නේ ඇයි? ඒ විශ්වකෝෂයේම මෙසේද සඳහන් වෙනවා. “පැස්බරාට පියාසර කරන්න බැරි වුණත් ඌට වේගයෙන් දුවන්න පුළුවන්. මීටර් 4.6ක දුරකින් අඩි තබමින් පැයට කිලෝමීටර් 64ක වේගයෙන් දුවන්න ඌට පුළුවන්.”

අශ්වයාට ශක්තිය දෙන්නේ දෙවියි

දෙවි ඊළඟට යෝබ්ගෙන් අසන්නේ අශ්වයා ගැනයි. (යෝබ් 39:19-25) පුරාණ කාලයේදී සොල්දාදුවන් යුද්ධවලට ගියේ අසුන් පිටයි. එමෙන්ම අශ්වයාට කොතරම් ශක්තියක් තිබෙනවාද කියනවා නම් යුද්ධවලදී අශ්ව කරත්තය දක්වන්නාට අමතරව තවත් සොල්දාදුවන් දෙදෙනෙක්ගේ බරද ඉසිලීමට ඌට හැකියි. යුද්ධයට සැරසී සිටින අශ්වයෙක් හේෂා රාවය නංවමින් හා කුර ගසමින් සටනට යෑමට නොඉවසිල්ලෙන් බලා සිටිනවා. හොරණෑ ශබ්දය ඇසුණු විගසම ඌ සටනට පිටත්ව යයි. ඌ වේගයෙන් පැන ගියත් අසරුවාට කීකරුයි.

මීට සමාන විස්තරයක් කරමින් පුරා විද්‍යාඥයෙක් මෙසේ සඳහන් කර තිබෙනවා. ‘බැටළුවෙක් වගේ සන්සුන් සතෙකු වන අරාබියේ සිටින විශේෂ අශ්ව වර්ගයකට අයත් වෙළඹව පාලනය කිරීමට අවශ්‍ය වන්නේ කටකලියාවක් පමණයි. ඌ සන්සුන් සතෙක් වුණත් යුද්ධයට යන හඬ ඇසෙන විට හා අසුරුවාගේ අතේ තිබෙන හෙල්ලය දකින විට උගේ ඇස් දෙක ගිනි බෝලයක් වගේ දිලිසෙයි. තද රතු පැහැයෙන් යුත් නාස් පුඩු විවෘත වෙයි. උගේ වලිගයේ හා බෙල්ලේ තිබෙන කේශර කෙළින් වෙයි. ඉන්පසු ඌ පවනට බඳු වේගයෙන් යුධ පිටිය බලා දිව යයි.’—Discoveries Among the Ruins of Nineveh and Babylon, 1853, page 330.

උකුස්සා සහ රාජාලියා

දැන් යෙහෝවා තවත් පක්ෂීන් කිහිපදෙනෙක් ගැන යෝබ්ගෙන් අසනවා. (යෝබ් 39:26-30) උකුස්සා ‘ඉහළට නැඟී උගේ පියාපත් විහිදයි.’ වේගයෙන්ම පියාඹන උකුසු වර්ගයක් ගැන එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “ඉහළ අහසේ සිට පහළට එන විට හෝ ගොදුරක් අල්ලාගන්න එන විට ඌ උපරිම වේගයෙන් පැමිණෙයි.” (The Guinness Book of Records) මේ කුරුල්ලා පැයට කිලෝමීටර් 349ක වේගයකින් අංශක 45ක ඇලයකින් පහළ බසියි.

රාජාලියාට පැයට කිලෝමීටර් 130කට වඩා වැඩි වේගයකින් පියාඹන්න පුළුවන්. අපේ ජීවිත කාලය වේගයෙන් ගෙවී යෑම යෝබ් සමාන කරන්නේ ගොදුරක් පිට කඩා පාත් වෙන රාජාලියෙකුගේ වේගයටයි. (යෝබ් 9:25, 26) යෙහෝවා ලබා දෙන ශක්තිය නිසා අපිට දේවල් දරාගන්න පහසුයි. මෙය හරියට වෙහෙසක් නොදරා පියාඹන රාජාලියෙකුගේ පියාපත් උඩ අපි ගමන් කරනවා වගෙයි. (යෙසායා 40:31) රාජාලියා ඉහළ අහසට පියාඹා යන්නේ උණුසුම් වායුව ආධාරයෙන්. ඌ උණුසුම් වායු ධාරාවකට ඇතුල් වූ විට කිසිම වෙහෙසක් නොදරා ක්‍රම ක්‍රමයෙන් ඉහළ නඟිනවා. මේ විදිහට යම් ඉහළකට පැමිණීමෙන් පසු තවත් උණුසුම් වායු ධාරාවකට පාවී ගොස් අඩුම ශක්තියක් වැය කරමින් පැය ගණනාවක් වුණත් ඉහළ අහසේ සිටින්න ඌට පුළුවන්.

රාජාලියා උගේ පැටවුන්ව ආරක්ෂා කරගැනීම සඳහා “කූඩු සාදන්නේ උස් තැන්වලයි.” ඌට මේ සහජ හැකියාව දී තිබෙන්නේ යෙහෝවා දෙවියි. යෙහෝවා ඌට තියුණු පෙනීමක් දී තිබෙන නිසා ‘දුර තිබෙන දේවල් පවා උගේ ඇස්වලට පෙනෙයි.’ ඉහළ අහසේ පියාඹන විට පහළ තිබෙන ගොදුරක් හෝ මළකඳක් දුටුවොත් උගේ දෘෂ්ටිය වෙනස් නොකර ඒ වෙත ඉතා වේගයෙන් පියාඹා එන්න ඌට පුළුවන්. ‘මළකඳන් කොතනද රාජාලීන් එතනය’ කියා පවසා ඇත්තේ ඒ නිසයි. තවද රාජාලීන් කුඩා සතුන් අල්ලා උගේ පැටවුන්ට ගෙන යයි.

යෙහෝවා යෝබ්ව නිවැරදි කරයි

දෙවි යෝබ්ගෙන් සතුන් ගැන ප්‍රශ්න ඇසීම ටිකකට නතර කර ඔහුව නිවැරදි කරයි. මෙහිදී යෝබ් නිහතමානීව දෙවි දෙන උපදෙස් පිළිගනියි.—යෝබ් 40:1-14.

යෝබ්ගේ අද්දැකීමෙන් අපිටත් මෙම වැදගත් පාඩම ඉගෙනගන්න පුළුවන්. සර්ව පරාක්‍රම දෙවිව විවේචනය කිරීමට කිසිම මිනිසෙකුට කොහෙත්ම පදනමක් නැහැ. අපේ කතා බහෙන් මෙන්ම ක්‍රියාවෙන්ද අපි දෙවිව ගෞරවයට පත් කළ යුතුයි. අපේ මූලික පරමාර්ථය විය යුත්තේ දෙවිගේ නාමය ගෞරවයට පත් කිරීමයි. එමෙන්ම ඔහුට යටත්ව සිටීමෙන් මිනිසාව පාලනය කිරීමට අයිතිය ඇති එකම තැනැත්තා යෙහෝවා බව ඔප්පු කිරීමයි.

දෙවිව මහිමවත් කරන බෙහෙමොත්

දෙවි නැවතත් යෝබ්ගේ අවධානය සතුන් වෙතට යොමු කරමින් බෙහෙමොත් ගැන ප්‍රශ්න කරයි. බෙහෙමොත් කියා හඳුන්වන්නේ හිපපොටේමස් විය හැකියි. (යෝබ් 40:15-24) හොඳින් වැඩුණු හිපපොටේමසෙක් දිගින් මීටර් 4ත් 5ත් අතර වෙනවා. බර කිලෝග්‍රෑම් 3,600ක් පමණ වෙනවා. ‘උගේ ශක්තිය තිබෙන්නේ තුනටියෙහියි.’ ඒ කියන්නේ උගේ ගාත්වල ඉහළ කොටසෙයි. උගේ කකුල් කොට නිසා ගංගාවල පතුලේ තිබෙන ගල්වලට උගේ බඩ හීරෙන්න පුළුවන්. ඒත් බඩේ සම ගනකම් නිසා ඌට එවැනි හානියක් සිදු වන්නේ නැහැ. හිපපොටේමසාගේ දැවැන්ත ශරීරය, විශාල කට හා ශක්තිමත් හකු සමඟ බලද්දී මිනිසාව උගේ අහලකින්වත් තියන්න බැහැ.

බෙහෙමොත් ගඟින් ගොඩට එන්නේ ‘තණකොළවලින්’ උගේ බඩ පුරවාගන්නයි. උගේ බඩ පුරවාගන්න නම් මුළු කන්දකම තියෙන තණකොළ කන්න වෙනවා. දිනපතාම ඌ කන කොළ ජාතිවල බර කිලෝග්‍රෑම් 90ත් 180ත් අතර වෙනවා. බඩ පුරවාගත් පසු ඌ කටු පඳුරු යට නිදාගනියි. මහ ජල කඳක් ඉදිරියේ වුණත් ඔලුව වතුරට උඩින් තියාගෙන පීනන්න ඌ දන්නවා. බෙහෙමොත්ගේ කට සහ ශක්තිමත් දළ දෙක බලද්දී ඌට නාස් ලණුවක් දාන්න තරම් නිර්භීතකමක් යෝබ්ට නැහැ.

දෙවිව මහිමවත් කරන ලෙවියාතන්

ඊළඟට දෙවි යෝබ්ගෙන් අසන්නේ ලෙවියාතන් ගැනයි. (යෝබ් 41:1-34) පෙනෙන විදිහට ලෙවියාතන් කියන්නේ කිඹුලා විය හැකියි. ලෙවියාතන් ළමයින්ට සෙල්ලම් කරන්න පුළුවන් සතෙක් කියා යෝබ් හිතන එක සාධාරණද? මේ සතා ඉතා භයානකයි. යම් කෙනෙක් ඌව අල්ලන්න එක වරක් උත්සාහ කළොත් ආයේ කවදාවත් එසේ කරන්න හිතන්නේවත් නැහැ. ඒ තරමටම ඌ දරුණුයි.

හිරු නැඟ එන විට ලෙවියාතන් ජලයෙන් හිස ඔසවද්දී උගේ ඇස් දිලිසෙන්නේ උදයේ නිකුත් වන ආලෝක කිරණ වගේයි. උගේ ගන කොරපොතු තදින් එකිනෙකට ඇලී තිබෙන අතර උගේ සම ඉතාමත් ශක්තිමත්. උගේ සම පසාරූ කරන්න කඩු හෙල්ලවලට තියා උණ්ඩවලටත් බැරි තරම්. උගේ යටි බඩේ තිබෙන තියුණු කොරපොතු නිසා ඌ මඩේ ගිය විට හරියට “මඩින යන්ත්‍රයක්” ඒ මත ගියා වගේ පාර හිටිනවා. ඌ කෝපයෙන් වතුරේ එහා මෙහා යන විට වතුරේ පෙන නඟියි. උගේ දැවැන්ත ශරීරය නිසාත් බියකරු මුඛය හා ශක්තිමත් වල්ගය නිසාත් ඌව බිය ගන්වන්න නම් කිසිවෙකුට බැහැ.

යෝබ් වරද පිළිගනියි

යෝබ් ‘තමන්ට නොතේරුණාවූ පුදුම දේවල් ගැන කතා කළ බව’ ඔහු පිළිගත්තා. (යෝබ් 42:1-3) ඔහු දෙවි දුන් උපදෙස් පිළිගෙන පසුතැවිලි වුණා. දෙවි ඔවුන්ගේ මිතුරන්ට තදින් අවවාද කළත් යෝබ්ට දෙවි බොහෝ ආශීර්වාද කළා.—යෝබ් 42:4-17.

යෝබ්ගේ අද්දැකීම අපට කොතරම් ප්‍රයෝජනවත්ද! දෙවි ඔහුගෙන් ඇසූ සියලුම ප්‍රශ්නවලට උත්තර දෙන්න අපිටත් බැහැ. ඒ වුණත් දෙවිව මහිමයට පත් කරන විවිධාකාර වූ මැවිලි අගය කරන්න අපට හැකියි. ඇත්තෙන්ම අපි එසේ කළ යුතුයි.

[පාදසටහන්වල]

^ 6 ඡේ. යෝබ් 39:1, නව අනුවාදය බලන්න.

^ 7 ඡේ. යෝබ් 39:5හි මුලින්ම සඳහන් වල් කොටළුවා වන්නේ සීබ්‍රායි.

[13වන පිටුවේ පින්තූරය]

කඳු එළුවා

[13වන පිටුවේ පින්තූරය]

කපුටා

[13වන පිටුවේ පින්තූරය]

සිංහදෙන

[14වන පිටුවේ පින්තූරය]

සීබ්‍රා

[14වන පිටුවේ පින්තූරය]

පැස්බරා බිත්තර දමා ඉවත්ව ගියත් බිත්තර හොඳින් රැකබලා ගනියි

[14වන පිටුවේ පින්තූරය]

පැස්බරාගේ බිත්තර

[14, 15වන පිටුවේ පින්තූරය]

උකුස්සා

[හිමිකම් විස්තර]

උකුස්සා: © Joe McDonald/Visuals Unlimited

[15වන පිටුවේ පින්තූරය]

අරාබියේ වෙළඹ

[15වන පිටුවේ පින්තූරය]

රාජාලියා

[16වන පිටුවේ පින්තූරය]

බෙහෙමොත් කියා හඳුන්වන හිපපොටේමස්

[16වන පිටුවේ පින්තූරය]

ලෙවියාතන් කියා හඳුන්වන කිඹුලා