ලූක් 12:1-59

12  මේ අතරේ දහස් සංඛ්‍යාත ජනකායක් රැස් වෙමින් සිටියෝය. රැස් වූ සංඛ්‍යාව කොතරම්ද කිවහොත් ඔවුන්ට තම පය තැබීමටවත් ඉඩක් නොතිබිණ. ඒ අවස්ථාවේදී යේසුස් මුලින්ම තම ගෝලයන්ව අමතමින් මෙසේ කීවේය. “පරිසිවරුන්ගේ කුහකකම්වලින් පරෙස්සම් වන්න.+ එය හරියට මුහුන් වගෙයි.+  දැන් හොඳින් සඟවා තිබෙන කිසි දෙයක් අනාවරණය නොකර තිබෙන්නේ නැහැ. දැන් රහසක්ව තිබෙන කිසි දෙයක් හෙළි නොකර සිටින්නේ නැහැ.+  ඒ නිසා ඔබ අඳුරු තැන්වලට වී රහසින් පවසන දේවල් එළිමහනේ ඔබට අසන්න ලැබෙයි. ඔබ නිවස තුළට වී රහසින් මුමුණන දේ වහල්තලවලට ගොස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ලබයි.+  මගේ මිත්‍රයනි,+ මා කියන දේට සවන් දෙන්න. සමහරුන් ඔබව මරා දමයි. ඔවුන්ට කරන්න පුළුවන් එපමණයි. ඊට වඩා වැඩි දෙයක් කරන්න ඔවුන්ට බැහැ. එවැනි අයට භය වෙන්න එපා.+  නමුත් ඔබ ඇත්තටම බිය විය යුත්තේ කාටද කියා මම කියන්නම්.+ ඒ ඔබේ ජීවිතය නැති කර දමන්න පමණක් නොව ඔබව ගෙහෙන්නාවට* නියම කරන්නත් බලය ඇති තැනැත්තාටයි.+ ඔබ ඇත්තෙන්ම බිය විය යුත්තේ+ ඒ තැනැත්තාණන්ටයි.  ගේ කුරුල්ලන් පස්දෙනෙකු මිල දී ගැනීමට අවශ්‍ය වන්නේ සුළු වටිනාකමක් ඇති කාසි දෙකක් පමණයි. නමුත් දෙවිට උන්ගෙන් එකෙකුවත් අමතක වෙන්නේ නැහැ.+  ඔබේ හැම කෙස්ගසක්ම+ දෙවි ගණන් කර තිබෙනවා. ඒ නිසා ඔබට බිය වෙන්න හේතුවක් නැහැ. ගේ කුරුල්ලන් බොහෝදෙනෙකුට වඩා ඔබ වටිනවා.+  “යමෙක් මිනිසුන් ඉදිරියෙහි මාව පිළිගන්නවා නම්+ මනුෂ්‍ය පුත්‍රයා වන මමත් දේවදූතයන් ඉදිරියෙහි ඔහුව පිළිගන්නා බව කියන්න කැමතියි.+  නමුත් කෙනෙක් මිනිසුන් ඉදිරියෙහි මාව ප්‍රතික්ෂේප කළොත්+ මම ඔහුවත් දේවදූතයන් ඉදිරියෙහි ප්‍රතික්ෂේප කරනවා.+ 10  සමහරවිට කෙනෙක් මනුෂ්‍ය පුත්‍රයාට විරුද්ධව යමක් කියයි. ඔහු එසේ කිව්වත් ඔහුට සමාව ලැබෙයි. නමුත් කෙනෙක් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක දැකත් එයට විරුද්ධව අපහසාත්මකව කතා කළොත් ඔහුට කිසි සමාවක් නැහැ.+ 11  මිනිසුන් විශාල පිරිසක් ඉදිරියට හෝ රජයේ නිලධාරීන් හා වෙනත් බලධාරීන් ඉදිරියට හෝ ඔබව ගෙන ගියොත් ඔබ පැවසිය යුත්තේ කුමක්ද කියාවත් ඔබ නිදොස් බව ඔප්පු කර පෙන්වන්නේ කෙසේද කියාවත් සිතා කනස්සලු වෙන්න එපා.+ 12  මන්ද ඒ පැයේදීම දෙවි තම බලය ඔබට ලබා දී,+ ඔබ පැවසිය යුතු දේ ඔබට කියා දෙයි.”+ 13  එවිට සමූහයා අතර සිටි කෙනෙක් යේසුස්ට මෙසේ කීවේය. “ගුරුතුමනි, අපේ පියාගෙන් ලැබුණු උරුමය මා සමඟ බෙදාගන්න කියා මගේ සහෝදරයාට කියන්න.” 14  ඔහු, “ඔබේ විනිශ්චයකාරයා නැත්නම් ඔබ අතරේ දේපොළ බෙදා දෙන තැනැත්තා ලෙස මාව පත් කළේ කවුද”+ කියා ඔහුගෙන් ඇසුවේය. 15  පසුව යේසුස් සියලුදෙනාටම මෙසේ පැවසුවේය. “ඔබ දකින දේවල් ගැන සෝදිසියෙන් සිටින්න. විවිධ හේතු නිසා තණ්හාව ඇති වෙනවා. එයින් පරෙස්සම් වන්න.+ මන්ද කෙනෙකුට කොතරම් දේවල් තිබුණත් ඔහුට තිබෙන දේවලින් ඔහුගේ ජීවිතය රැකගන්න ඔහුට බැහැ.”+ 16  ඉන්පසු ඔහු ඔවුන්ට මෙම උපමාව විස්තර කළේය. “එක්තරා ධනවතෙක් සිටියා. ඔහුට අයිති ඉඩමෙන් හොඳ අස්වැන්නක් ලැබුණා. 17  ඒ නිසා ඔහු මෙහෙම හිතුවා. ‘මගේ අස්වැන්න රැස් කරන්න තැනක් නැහැ. මම දැන් මොනවාද කරන්නේ? 18  මුලින්ම මට තිබෙන ගබඩාවන් මම කඩා දමනවා.+ ඊටපස්සේ මම ඊටත් වඩා විශාල ගබඩාවන් ගොඩනඟනවා. එතකොට මට පුළුවන් මගේ මුළු ධාන්‍ය අස්වැන්න සහ මගේ අනිකුත් හැම සම්පතක්ම එහි රැස් කර තබන්න.+ 19  එතකොට අවුරුදු ගණනාවක් ජීවත් වෙන්න අවශ්‍ය දේවල් ඇති තරම් මට තියෙයි.+ මට පුළුවන් වෙයි හොඳින් කා බී, ප්‍රීති වෙමින් විවේක සුවයෙන් ඉන්න.’+ 20  නමුත් දෙවි ඔහුට මෙසේ පැවසුවා. ‘ඔබ ඉතා අඥාන කෙනෙක්! අද රාත්‍රියේ ඔබේ ජීවිතය අවසන් වෙයි.+ එවිට ඔබ රැස් කළ මේ දේවල් ලැබෙන්නේ කාටද?’+ 21  තමාගේ ජීවිතයේ මුල් තැන දෙවිට දෙනවා වෙනුවට+ තමාගේ සැප පහසුව සඳහා වස්තු රැස් කරගන්නා තැනැත්තාට සිදු වන්නෙත් ඒ දේමයි.” 22  එවිට යේසුස් තම ගෝලයන්ට මෙසේ කීවේය. “ඒ නිසා මා ඔබට කියන්නේ මෙයයි. කන්නේ මොනවාද කියා ඔබේ ජීවිත ගැනවත් අඳින්නේ මොනවාද කියා ඔබේ ශරීර ගැනවත් තවදුරටත් කනස්සලු නොවන්න.+ 23  කෑමට වඩා ජීවිතයත් ඇඳුම්වලට වඩා ශරීරයත් වටිනවා. 24  කපුටන් ගැන ටිකකට සිතන්න.+ උන් බීජ වපුරන්නේවත් අස්වැන්න නෙළාගන්නේවත් නැහැ. උන්ට අටුවක්වත් ගබඩාවක්වත් නැහැ. නමුත් දෙවි උන්ව පෝෂණය කරනවා. ඒ කුරුල්ලන්ට වඩා ඔබ කොතරම් වටිනවාද!+ 25  කනස්සලු වීමෙන් තම ආයු කාලය සුළු මොහොතකින්වත්* වැඩි කරගන්න ඔබ අතරේ සිටින කාටවත් පුළුවන්ද?+ 26  ඉතින් ඔබට එවැනි සුළු දෙයක්වත් කරගන්න බැරි නම් අනිකුත් දේවල් ගැන කනස්සලු වන්නේ ඇයි?+ 27  ලිලී මල් වැවෙන ආකාරය ගැන ටිකක් සිතන්න.+ ඒවා මහන්සි වී වැඩ කරන්නේවත් තමන්ට ඇඳුම් මසාගන්නේවත් නැහැ. නමුත් මා ඔබට කියන්නේ, මේ මල්වල තිබෙන අලංකාරය සලමොන් තම රාජකීය තේජසින් යුතුව පැළඳ සිටි ඇඳුම්වලවත් නොතිබුණු බවයි.+ 28  අද තිබී හෙට දවා දමන තණබිමේ පැළෑටි දෙවි එසේ සරසනවා නම් ඔහු කෙරෙහි යම් විශ්වාසයක් ඇති ඔබව පළඳවන්න ඔහු ඊටත් වඩා සතුටු වන්නේ නැද්ද?+ 29  ඒ නිසා කන බොන දේ ගැනවත් අඳින පළඳින දේ ගැනවත් සිතසිතා කනස්සලු වෙන්න එපා.+ 30  ලෝකයේ සිටින බොහෝ මිනිසුන් මහත් උනන්දුවකින් හඹා යන්නේ ඒ දේවල් පසුපසයි. නමුත් ඒ සියල්ල ඔබට අවශ්‍ය බව ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් දන්නා බව මතක තබාගන්න.+ 31  එහෙයින් ඔහුගේ රාජ්‍යයට නොකඩවා මුල් තැන දෙන්න. එවිට අවශ්‍ය දේවල් ඔබට දෙනු ලබයි.+ 32  “කුඩා රැළ+ භය නොවන්න.+ මන්ද ඔබට රාජ්‍යය ලබා දෙන්න ඔබේ පියාණන් තම අනුමැතිය දී තිබෙනවා.+ 33  ඔබ සතු දේවල් විකුණා+ දිලිඳුන් වෙනුවෙන් යම් යහපතක් කරන්න.+ එමගින් කිසිදා දිරා නොයන පසුම්බිවල ස්වර්ගයේ වස්තු රැස් කරගන්න ඔබට හැකි වෙයි.+ ඒවා කිසිදා නැති නොවෙයි. සොරුන්ට කඩාවැද ඒවා සොරාගන්න බැහැ. කාවන්ටත් ඒවා නාස්ති කර දමන්න බැහැ. 34  ඔබේ වස්තුව කොතැනද ඔබේ සිතත් එතැනමයි.+ 35  “සූදානම් වී සිට*+ ඔබේ පහන් දල්වා තබාගන්න.+ 36  ඔබත් විවාහ උත්සවයකට ගොස් ආපසු පැමිණෙන ස්වාමියා+ එන තෙක් බලා සිටින දාසයන් හා සමානව සිටිය යුතුයි.+ ඒ දාසයන් බලා සිටින්නේ ස්වාමියා පැමිණ දොරට තට්ටු කරන විට+ දොර වහාම විවෘත කිරීමටයි. 37  ස්වාමියා පැමිණෙන විට ඔවුන් සෝදිසියෙන් සිටි බව ඔහු දැක්කොත්+ ඒ දාසයන්ට කොතරම් සතුටු විය හැකිද! ඇත්තටම මම ඔබට කියන්නේ, ඒ ස්වාමියා සූදානම් වී+ ඔවුන්ට තම මේසය වටා ඉඳගන්න කියා පවසා ඔවුන් ළඟට ගොස් ඔවුන්ට ඇප උපස්ථාන කරන බවයි.+ 38  ඔහු රාත්‍රියේ දෙවෙනි රැකවල් යාමයේදී* හෝ තුන්වෙනි රැකවල් යාමයේදී* හෝ පැමිණ බලන විට ඔවුන් සෝදිසියෙන් සිටින ආකාරය දැක්කොත් ඔවුන්ට කොතරම් සතුටු විය හැකිද!+ 39  ඔබ මේ දේත් සිතට ගත යුතුයි. එනම් යම් ගෙහිමියෙක් තම නිවසට සොරෙක් එන පැය දැනගෙන සිටියොත් ඔහු අවදිව සිටියි. තමාගේ නිවසට කඩාවදින්න ඔහු ඉඩ තබන්නේ නැහැ.+ 40  ඒ වගේම ඔබත් නිතරම සූදානමින් සිටිය යුතුයි. මන්ද මනුෂ්‍ය පුත්‍රයාත් එන්නේ ඔබ නොසිතන පැයකදීයි.”+ 41  එවිට පේතෘස්, “ස්වාමීනි, ඔබ මේ උපමාව කියන්නේ අපටද නැත්නම් සියලුදෙනාටමද” කියා ඇසුවේය. 42  යේසුස් මෙසේ කීවේය. “ස්වාමියා විසින් තම සේවක පිරිසට නියම වේලාවට+ ඔවුන්ට නියමිත වූ ආහාර කොටස නොකඩවා ලබා දීමට ඔවුන් කෙරෙහි පත් කරන විශ්වාසවන්ත හා නුවණ ඇති+ සේවකයා*+ කවුද? 43  ඔහුගේ ස්වාමියා පැමිණෙන විට ඔහු තම වගකීම් හොඳින් ඉටු කරනවා දැක්කොත් ඒ දාසයාට කොතරම් සතුටු විය හැකිද!+ 44  ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ඒ ස්වාමියා තමා සතු සියලු දේවල් බලා කියා ගැනීම සඳහා ඔහුව පත් කරන බවයි.+ 45  නමුත් ඒ දාසයා, ‘මගේ ස්වාමියා එන්න ප්‍රමාද වෙයි’+ කියා සිතමින් නිවසේ සිටින මෙහෙකරුවන්ට සහ මෙහෙකාරියන්ට තළමින් කා බී වෙරි වී සිටියොත්,+ 46  ඒ දාසයාගේ ස්වාමියා, ඔහු බලාපොරොත්තු නොවූ දවසක ඔහු නොදන්නා පැයකදී ඇවිත්+ ඔහුට ඉතා තදින් දඬුවම් කර දෙවිට අවිශ්වාසවන්ත වූ අය සමඟ සිටීමට නියම කරයි.+ 47  එවිට තම ස්වාමියා තමාගෙන් බලාපොරොත්තු වූ දේ දැන දැනත් එය ඉටු කිරීමට සූදානම් නොවූ, කිසිවක් කිරීමට පියවර නොගත් ඒ දාසයාට බොහෝ පහර ලැබෙයි.+ 48  නොදැනුවත්කම නිසා+ පහර ලැබීමට සුදුසු දේවල් කළ දාසයාට පහර ලැබෙන්නේ ස්වල්ප වශයෙනුයි.+ මන්ද කෙනෙකුට බොහෝ දේවල් භාර දෙන විට ඔහුගෙන් වැඩියෙන් බලාපොරොත්තු වෙනවා.+ මිනිසුන් කෙනෙකුට බොහෝ දේවල් භාර දී යම් වගකීමක් ඉටු කරන්න ඔහුව පත් කරන විටත් ඔහුගෙන් සාමාන්‍යයට වඩා වැඩි යමක් බලාපොරොත්තු වෙනවා.+ 49  “මා ආවේ පොළොවේ ගින්නක් අවුළන්නයි.+ එය දැනටමත් ඇවිළී තිබෙනවා නම් මට තව අවශ්‍ය වන්නේ මොනවාද? 50  මා තවත් ආකාරයකින් බව්තීස්ම විය යුතුයි. ඒ බව්තීස්මය සිදු වන තුරු මා සිටින්නේ දැඩි පීඩනයකිනුයි!+ 51  මම පොළොවට සාමය ගෙන දෙන්න ආවා කියා ඔබ සිතනවාද? ඇත්තටම මම ආවේ භේද ඇති කරන්නයි.+ 52  මෙතැන් පටන් එකම නිවසේ සිටින පස්දෙනෙකුගෙන් දෙදෙනෙකුට විරුද්ධව තුන්දෙනෙක් සිටියි. තුන්දෙනෙකුට විරුද්ධව දෙදෙනෙක් සිටියි.+ 53  පියා පුතාට විරුද්ධ වෙයි. පුතා පියාට විරුද්ධ වෙයි. මව දුවට විරුද්ධ වෙයි. දුව ඇගේ මවට විරුද්ධ වෙයි. නැන්දම්මා ඇගේ ලේලිට විරුද්ධවත් ලේලි ඇගේ නැන්දම්මාට විරුද්ධවත් සිටියි.”+ 54  ඉන්පසු ඔහු රැස්ව සිටි සමූහයාට මෙසේ කීවේය. “සාමාන්‍යයෙන් බස්නාහිර දෙසින් වලාකුළක් එනවා ඔබ දකින විට ඔබ එවෙලේම, ‘කුණාටුවක් එනවා’ කියා කියයි. ඉන්පසු ඔබ පැවසූ දේම සිදු වෙයි.+ 55  ඒ වගේම දකුණු දෙසින් සුළඟක් හැමුවොත් ‘දැඩි උණුසුමක් ඇති වෙයි’ කියා ඔබ කියයි. ඉන්පසු ඔබ පැවසූ දේම සිදු වෙයි. 56  ඔබේ කුහකකම මොන තරම්ද! අහස සහ පොළොව දෙස බලා සිදු වන වෙනස්කම් තෝරා දෙන්න ඔබ දැනගෙන සිටියත් මේ කාලයේ වැදගත්කම අවබෝධ කරගන්න ඔබට බැරි ඇයි?+ 57  ධර්මිෂ්ඨ දේ කුමක්ද කියා ඔබට තේරුම්ගන්න බැරි ඇයි?+ 58  යම් කෙනෙක් ඔබට විරුද්ධව නඩුවක් දමා ඇත්නම් ඒ නඩුවට යන්න කලින් ඔහුව හමු වී ඒ ප්‍රශ්නය නිරවුල් කරගැනීමට උත්සාහ කරන්න. එසේ නොකළොත් ඔහු ඔබව විනිශ්චයකරු ඉදිරියට ඇදගෙන ගොස් ඔබව වරදකරුවෙක් කරයි. විනිශ්චයකරු ඔබව සිරගෙයි දැමීමට අධිකරණයේ නිලධාරියාට භාර දිය හැකියි.+ 59  මා ඔබට කියන්නේ, අන්තිම සතය* ගෙවා දමන තුරු ඔබට එතැනින් නිදහස් වෙන්න බැරි වන බවයි.”+

පාදසටහන්

යෙරුසලමෙන් පිටත කසළ පුලුස්සා දැමීම සඳහා භාවිත කළ ස්ථානය. උපග්‍ර. 2 බලන්න.
මූ.අ., “රියනකින්වත්.”
මූ.අ., “ඔබේ ඉඟටි බැඳගෙන.”
එනම්, ප.ව. 9 සිට මධ්‍යම රාත්‍රිය දක්වාය.
එනම්, මධ්‍යම රාත්‍රියේ සිට පෙ.ව. 3 දක්වාය.
හෝ, “නිවස භාර සේවකයා.”
හෝ, “ඉතා සුළු වටිනාකමක් ඇති කුඩා කාසිය.”