ලූක් 15:1-32

15  යේසුස් ඉගැන්වූ දේවලට සවන් දීම සඳහා සියලුම අයබදු එකතු කරන්නෝ*+ සහ ඔවුන් හා සමාන පව්කාරයෝ+ ඔහු ළඟට පැමිණියෝය.  එවිට පරිසිවරු සහ නීතිය පිටපත් කරන්නෝ යන දෙපිරිස, “මේ මිනිසා පව්කාරයන්ව පිළිගෙන ඔවුන් සමඟ කෑමත් කනවා”+ කියා තම තමන් අතරේ කොඳුරමින් සිටියෝය.  එවිට ඔහු ඔවුන්ට මේ උපමාව විස්තර කළේය.  “මිනිසෙකුට බැටළුවන් සියදෙනෙක් සිටිනවා කියා සිතන්න. උන්ගෙන් එකෙකු නැති වුණොත් ඔහු සමඟ පාළු බිම්වල සිටින අනික් අනූනවදෙනාට ඉන්න හැර, නැති වූ බැටළුවාව සම්බ වන තුරු මහත් වෙහෙසක් දරා සොයන්නේ නැද්ද?+  එම මිනිසා ඌව සොයාගත් විට ඔහු තුළ කොතරම් ප්‍රීතියක් ඇති වෙයිද!+ ඌව කරේ තබාගෙන,  ගෙදර ගොස් ඔහුගේ මිතුරන් සහ අසල්වැසියන් කැඳවා, ‘මගේ නැති වූ බැටළුවා සොයාගන්න මට පුළුවන් වුණා. ඒ නිසා ඇවිත් මා සමඟ ප්‍රීති වන්න’+ කියා ඔවුන්ට කියයි.  ඒ නිසා මේ දේ හොඳට මතක තබාගන්න. පසුතැවිලි වීමේ අවශ්‍යතාවක් නැති ධර්මිෂ්ඨ අනූනවදෙනෙකු ගැන+ ප්‍රීති වෙනවාට වඩා පසුතැවිලි වන එක පව්කාරයෙක් ගැන ස්වර්ගයේ සිටින දේවදූතයන් කොතරම් ප්‍රීති වෙනවාද!+  “එසේ නැත්නම් රිදී* කාසි දහයක් ඇති ස්ත්‍රියක් ගැන සිතන්න. ඇගේ එක රිදී කාසියක් හෝ නැති වුණොත් ඇය පහනක් දල්වාගෙන, ගේ අතුගා එය සම්බ වන තුරුම මහත් වෙහෙසක් දරා එය සොයන්නේ නැද්ද?  ඇය එය සොයාගත් විට ඇගේ මිතුරියන්ට සහ අසල්වැසියන්ට අඬගසා, ‘මගේ නැති වූ රිදී කාසිය මට සම්බ වුණා. ඇවිත් මා සමඟ ප්‍රීති වන්න’ කියා ඔවුන්ට පවසයි. 10  ඒ නිසා මම ඔබට කියන්නේ, පසුතැවිලි වන එක් පව්කාරයෙකු ගැන දෙවිගේ දූතයන් ප්‍රීති වන බවයි.”+ 11  යේසුස් මෙසේද කීවේය. “එක්තරා මිනිසෙකුට පුතුන් දෙදෙනෙක් සිටියා.+ 12  ඔවුන් දෙදෙනාගෙන් බාලයා තම පියා ළඟට ඇවිත්, ‘තාත්තේ, ඔබේ දේපොළෙන් මට අයිති කොටස දෙන්න’+ කියා පැවසුවා. එවිට පියා තමා සතු සියලු දේපොළ පුතුන් දෙදෙනාට බෙදා දුන්නා.+ 13  ටික කලකට පසු බාල පුත්‍රයා තමා සතු දේ රැගෙන දුර රටකට ගියා. ඔහු එහිදී අනාචාරයේ යෙදෙමින් ඉතා නරක ජීවිතයක් ගත කර තමා සතු දේ නැති නාස්ති කර දැමුවා.+ 14  ඔහු සියල්ල නාස්ති කළ පසු ඒ රට පුරාම මහත් සාගතයක් ඇති වුණා. එයින් ඔහු ඉතා අසරණ තත්වයකට පත් වුණා. 15  ඔහු ඒ රටේ ජීවත් වූ කෙනෙකු ළඟට ගොස් ඔහු යටතේ කුලී වැඩක් සොයාගත්තා. ඔහුට සිදු වුණේ ඒ පුද්ගලයාට අයිති ඉඩම්වලට ගොස් එහි සිටි ඌරන්ව බලාගැනීමටයි.+ 16  ඔහුට කෑමට කිසිවක් නොලැබුණු නිසා+ ඔහු තම කුසගින්න නිවාගත්තේ ඌරන්ට දැමූ කෑමවලිනුයි.* 17  “තමාගේ අඥානකම තේරුම්ගත් ඔහු මෙසේ කල්පනා කළා. ‘මම මෙතැන කන්න නැතුව මැරෙන්න යනවා. නමුත් මගේ පියා ළඟ කුලීකරුවන් කීදෙනෙක් වැඩ කරනවාද! ඔවුන් හැමෝටම ඕනෑ තරම් කෑම තිබෙනවා. 18  මම තාත්තා ළඟට දැන් ගියොත් හොඳයි.+ ගිහින් මම මෙහෙම කියනවා. “තාත්තේ, මම මහ පව්කාරයෙක්. මම දෙවිටත්* ඔබටත් විරුද්ධව බොහෝ වැරදි කළා.+ 19  ඔබේ පුතෙක් කියන්නවත් මම වටින්නේ නැහැ. ඔබ ළඟ කුලීකරුවෙක් හැටියට වැඩ කරන්න මට ඉඩ දෙන්න.”’ 20  එසේ සිතා ඔහු තම පියා ළඟට ගියා. තම පුතාව ඈත තියා දුටු පියා තුළ මහත් අනුකම්පාවක් ඇති වී, ඔහු ළඟට දුව ගොස් ඔහුව මහත් ආදරයකින් සිප වැලඳගත්තා. 21  එවිට පුත්‍රයා, ‘තාත්තේ, මම මහ පව්කාරයෙක්. මම දෙවිටත් ඔබටත් විරුද්ධව බොහෝ වැරදි කළා.+ ඔබේ පුතෙක් කියා කියන්නවත් මම සුදුසු නැහැ. ඔබ ළඟ කුලීකරුවෙක් හැටියට වැඩ කරන්න මට ඉඩ දෙන්න’+ කියා ඔහුට පැවසුවා. 22  නමුත් පියා තම දාසයන්ව කැඳවා ඔවුන්ට මෙසේ කිව්වා. ‘ඉක්මනට ගිහින් හොඳම සළුව ගෙනැවිත් මගේ පුතාට අන්දවන්න.+ ඔහුට පාවහන් දෙකකුත් දී ඔහුගේ ඇඟිල්ලට මුද්දකුත් දමන්න.+ 23  තර වස්සෙක්ව+ මරා හොඳ කෑමක් පිළියෙල කර අපි සතුටු වෙමු. 24  මෙච්චර දවසක් මැරිල හිටිය මගේ පුතා දැන් ජීවත් වෙනවා.+ නැති වූ මගේ පුතා මට දැන් සම්බ වුණා.’ ඉන්පසු ඔවුන් සියලුදෙනාම එකට එක් වී සතුටු වුණා. 25  “ඒ අවස්ථාවේ වැඩිමහල් පුතා+ සිටියේ කෙතේ වැඩ කරමිනුයි. ඔහු නිවසට ළඟා වන විට ඔහුට සංගීතයේ හා නැටුම් ගැයුම්වල හඬක් නිවස දෙසින් ඇහුණා. 26  ඔහු සේවකයෙකුව කැඳවා එයට හේතුව කුමක්ද කියා විමසූ විට, 27  සේවකයා ඔහුට මෙසේ පැවසුවා. ‘ඔබේ සහෝදරයා+ ගෙදර ඇවිල්ලා. ඔහු කිසි අනතුරක් නැතුව ආපසු පියා ළඟට ඇවිත් සිටින නිසා ඒ සතුටට පියා+ තර කළ වස්සෙක්ව මරා කෑමකුත් පිළියෙල කළා.’ 28  ඒ දේ ඇසූ වැඩිමහල් සහෝදරයාට කොතරම් කෝපයක් ඇති වුණාද කියනවා නම් ගේ ඇතුළට යන්නවත් ඔහු කැමති වුණේ නැහැ. ඒ නිසා ඔහුගේ පියා පිටතට ඇවිත් ඔහුට ඇතුළට එන්න පෙරැත්ත කළා.+ 29  නමුත් ඔහු පියාට මෙසේ පැවසුවා. ‘මම මෙච්චර අවුරුදු ගණනාවක් තිස්සේ තාත්තා වෙනුවෙන් දාසයෙක් වගේ වැඩ කළා. මම එක දවසක්වත් තාත්තාගේ කැමැත්තට විරුද්ධව වැඩ කළේ නැහැ. ඒත් මගේ යාළුවෝ එක්ක කාලා විනෝද වෙන්න එක එළු පැටියෙක්වත් තාත්තා දුන්නේ නැහැ.+ 30  හැබැයි වේශ්‍යාවන් එක්ක ඉඳලා තාත්තාට අයිති දේවල් නාස්ති කර දැමූ+ පුතා+ ආවා විතරයි, තාත්තා තර කළ වස්සෙක්ව මරා ඔහු වෙනුවෙන් හොඳ කෑමකුත් පිළියෙල කළා.’+ 31  එවිට පියා ඔහුට පැවසුවේ මෙයයි. ‘පුතේ, ඔබ හැමදාම සිටියේ මා ළඟමයි. මට තිබෙන හැම දෙයක්ම අයිති වන්නේ ඔබටයි.+ 32  ඇත්තටම මේ අවස්ථාවේදී අපි කොතරම් සතුටු වෙන්න ඕනේද! මෙච්චර දවසක් ඔබේ සහෝදරයා හිටියේ මැරිලා. දැන් ඔහු ජීවත් වෙනවා. නැති වූ ඔබේ සහෝදරයාව දැන් සම්බ වුණා.’”+

පාදසටහන්

ඔවුන් එදා සමාජය විසින් හෙළාදකිනු ලැබූ පිරිසකි.
මූ.අ., “ඩ්‍රැක්මා කාසි.” එහි වටිනාකම එවකට සිටි කම්කරුවෙකු දිනකට ඉපයූ වැටුපෙන් හතරෙන් තුනකි.
හෝ, “කෙරටෝනියා ගසේ කරල්.”
එනම්, ස්වර්ගයටත්.