Skip to content

පටුනට යන්න

දෙවිව ප්‍රසන්න කළ පූජා

දෙවිව ප්‍රසන්න කළ පූජා

දෙවිව ප්‍රසන්න කළ පූජා

“සියලු උත්තම පූජකයෝ පඬුරු [තෑගි, NW] සහ පූජා ඔප්පු කරන පිණිස පත්කරනු ලබති.”—හෙබ්‍රෙව් 8:3.

1. උපකාරය පතා දෙවි වෙතට හැරීමේ අවශ්‍යතාව මිනිසුන්ට දැනෙන්නේ මන්ද?

“පූජා ඔප්පු කිරීම, යාච්ඤා කිරීම තරම්ම වැදගත් දෙයක් ලෙස මිනිසුන් සලකන බව පෙනෙන්න තිබේ. යම් කෙනෙක් පූජාවක් ඔප්පු කරන්නේ තමාට තමන් ගැන සිතන ආකාරය ප්‍රකාශ කිරීමටයි. තවත් කෙනෙක් යාච්ඤා කරන්නේ දෙවි ගැන තමා තුළ ඇති හැඟීම් ප්‍රකාශ කිරීමටයි” කියා බයිබල් ඉතිහාසඥ ඇල්ෆ්‍රඩ් එඩෂයිම් පවසයි. පාපය ලෝකයට ඇතුල් වූ දා සිට මිනිසුන් එහි වේදනාකාරි ඵලවිපාක අද්දැක තිබෙන අතර, දෙවිගෙන් ඈත් වී, පිළිසරණක් නොමැති තත්වයකට පත්ව ඇත. මේ නිසා මිනිසුන්ට සහනය අවශ්‍යයි. තමන් කිසිදු පිළිසරණක් නොමැති තත්වයකට පත්ව සිටින බව ඔවුන්ට හැඟෙන විට, උපකාරය පතා දෙවි වෙතට හැරීමේ අවශ්‍යතාව මිනිසුන්ට නිරායාසයෙන්ම දැනෙයි.—රෝම 5:12.

2. දෙවිට ඔප්පු කළ මුල්ම පූජා පිළිබඳව බයිබලයේ සඳහන් වාර්තා මොනවාද?

2 දෙවිට පූජා ඔප්පු කිරීම ගැන බයිබලයේ සඳහන් මුල්ම වාර්තාව කායින් හා ආබෙල් සම්බන්ධවයි. අපිට එහි මෙසේ කියවීමට තිබේ. “කාලයකට පසු කායින් භූමියේ ඵලයෙන් [යෙහෝවාට] පඬුරක් ගෙනායේය. ආබෙල්ද තමාගේ රැළේ කුලුඳුලන්ගෙන්ද උන්ගේ තෙලින්ද ගෙනායේය.” (උත්පත්ති 4:3, 4) පූජා පිළිබඳව අපට ඊළඟට සොයාගත හැකි වාර්තාව නෝවා හා සම්බන්ධයි. ඔහුගේ කාලයේ විසූ දුෂ්ට පරම්පරාව විශාල ජලගැල්මක් මගින් විනාශ වූ අවස්ථාවේදී, දෙවි තමන්ව ආරක්ෂා කළ නිසා නෝවා යෙහෝවාට ‘පූජාසනයක් ගොඩනඟා දවන පූජා’ ඔප්පු කළේය. (උත්පත්ති 8:20) දෙවිගේ ඇදහිලිවන්ත සේවකයෙක් මෙන්ම මිත්‍රයෙක්ද වූ ආබ්‍රහම් දෙවිගෙන් ලද පොරොන්දු හා ආශීර්වාද නිසා, අවස්ථා කිහිපයකදීම “පූජාසනයක් ගොඩනඟා [යෙහෝවාගේ] නාමය කියා [යාච්ඤා කිරීමට]” ඔහු පෙලඹුණේය. (උත්පත්ති 12:8; 13:3, 4, 18) පසුකලෙක, තම පුත් ඊසාක්ව දවන පූජාවක් හැටියට ඔප්පු කරන්න කියා යෙහෝවා ආබ්‍රහම්ට පැවසූ අවස්ථාවේදී, ඔහු සිය ඇදහිල්ලේ ප්‍රබලතම පරීක්ෂණයට මුහුණ දුන්නේය. (උත්පත්ති 22:1-14) ඉහත සඳහන් කළ වාර්තා කෙටි වූවත්, අපි දැන් සලකා බලන්න යන පරිදි, පූජා පිළිබඳ විෂය හොඳින් තේරුම්ගැනීමට ඒවා අපට උපකාරවත් වේ.

3. නමස්කාරයේදී පූජා මගින් ඉටු කෙරෙන්නේ කිනම් කාර්යභාරයද?

3 යෙහෝවා පූජා පිළිබඳව නිශ්චිත නීති සපයන්න බොහෝ කලකට පෙර සිටම ඇතැම් පූජා, නමස්කාරයේ ප්‍රධාන අංගයක්ව තිබූ බව කලින් සඳහන් කළ ඒවායින් මෙන්ම වෙනත් බයිබල් වාර්තාවලින්ද පැහැදිලි වේ. මීට එකඟව, එක් ආශ්‍රේය ග්‍රන්ථයකට අනුව “පූජා” යනු “දේවත්වෙහිලා සලකන කෙනෙකුට යමක් ඔප්පු කිරීම ඇතුළත් වන ආගමික චාරිත්‍රයකි. මෙහි අරමුණ වන්නේ පරිශුද්ධ ලෙස සලකනු ලබන යමෙකු හා මිනිසා අතර සම්බන්ධතාවක් ඇති කරගෙන එය දිගටම පවත්වාගැනීම හෝ යළි පිහිටුවීමය.” කෙසේවෙතත්, අපේ සැලකිල්ල යොමු කළ යුතු මතු දැක්වෙන වැදගත් ප්‍රශ්න කිහිපය පැනනඟියි. නමස්කාරයේදී පූජා ඔප්පු කිරීම අවශ්‍ය වන්නේ මන්ද? දෙවි පිළිගන්නේ කුමන ආකාරයේ පූජාද? පුරාණයේ ඔප්පු කළ පූජාවලින් අදදින සිටින අපට අර්ථවත් වන දෙයක් තිබේද?

පූජා අවශ්‍ය වන්නේ මන්ද?

4. ආදම් සහ ඒව පව් කළ විට ඔවුන්ට අත් වූ විපාකය කුමක්ද?

4 ආදම් පව් කළේ හිතාමතාමයි. යහපත හා නපුර දැනගැනීමේ ගසේ ගෙඩිය ගෙන, අනුභව කිරීම ඔහු දැන දැනම කළ අකීකරුකමක්. එම අකීකරුකමට දඬුවම වූයේ මරණයයි. දෙවි කලින්ම මේ ගැන පැහැදිලිව මෙසේ පවසා තිබිණ. “එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහිය.” (උත්පත්ති 2:17) මේ අනුව අන්තිමේදී ආදම් සහ ඒව පාපයේ කුලිය ගෙවූහ. එනම් ඔවුහු මිය ගියහ.—උත්පත්ති 3:19; 5:3-5.

5. ආදම්ගෙන් පැවැතෙන්නන් වෙනුවෙන් යෙහෝවා මුල් පියවර ගෙන කටයුතු කළේ මන්ද? මෙහිදී ඔහු ඔවුන් වෙනුවෙන් කළේ කුමක්ද?

5 එනමුත්, ආදම්ගෙන් පැවතෙන්නන් ගැන කුමක් කිව හැකිද? ආදම්ගෙන් පාපය සහ අසම්පූර්ණත්වය උරුම වී තිබෙන නිසා ඔවුන්ද මුල් මිනිස් යුවළ මෙන් දෙවිගෙන් ඈත්ව, කිසිදු පිළිසරණක් නොමැතිව මිය යයි. (රෝම 5:14) කෙසේවෙතත්, යෙහෝවා යුක්තියේ හා බලයේ පමණක් නොව ප්‍රේමයේත් දෙවි වන බව අප මතක තබාගත යුතුය. ඇත්තෙන්ම ඔහුගේ ප්‍රධානතම ගුණාංගය ප්‍රේමයයි. (1 යොහන් 4:8, 16) එනිසා ආදම් ඔහුගෙන් පැවතෙන්නන්ට අහිමි කළ දෙය නැවත ලබා දීමට දෙවි මුල් පියවර ගෙන කටයුතු කළේය. “පාපයේ කුලී නම් මරණයය” කියා සඳහන් කිරීමෙන් අනතුරුව, බයිබලය තවදුරටත් පවසන්නේ ‘දෙවිගේ දීමනාව [ත්‍යාගය, NW] නම්, අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් තුළ සදාකාල ජීවනයය’ කියාය.—රෝම 6:23.

6. ආදම් කළ පාපය නිසා සිදු වූ පාඩුව සම්බන්ධයෙන් යෙහෝවා කරන්න යන්නේ කුමක්ද?

6 එම ත්‍යාගය ලබා දීමේදී යෙහෝවා දෙවිට ආදම්ගේ පාපය නිසා සිදු වූ පාඩුව සම්පූර්ණයෙන්ම පියවීම සඳහා යමක් සැපයීමට සිදු විය. කා·ෆර්ʹ යන හෙබ්‍රෙව් වචනයෙන් මූලිකව අර්ථවත් වන්නේ “සම්පූර්ණයෙන්ම පියවීම නොහොත් වසාලීම” විය හැක. ඇතැම්විට “පහ කර දැමීම” යන්නද ඉන් අදහස් විය හැක. එමෙන්ම “සමගි කිරීම” ලෙසද එම වචනය පරිවර්තනය කරනු ලැබේ. * වෙනත් වචනවලින් පවසනවා නම්, ආදම්ගෙන් උරුම වූ පාපය සම්පූර්ණයෙන්ම වසාලීම සඳහාද පාපයේ ප්‍රතිඵල නිසා සිදු වූ හානිය පහ කර දැමීම සඳහාද යෙහෝවා සැපයුමක් පිළියෙළ කළේය. තවද මෙම ත්‍යාගය ලබාගැනීම සඳහා සුදුසුකම් ලබන අයට පාපයේ සහ මරණයේ දඬුවමින් නිදහස් විය හැක.—රෝම 8:21

7. (අ) දෙවි සාතන්ට දුන් දඬුවම මගින් කිනම් බලාපොරොත්තුවක් සපයනු ලැබුවාද? (ආ) මනුෂ්‍යවර්ගයාව පාපයෙන් සහ මරණයෙන් මුදවාගැනීම සඳහා කිනම් මිලක් ගෙවිය යුතුද?

7 පාපයේ සහ මරණයේ වහල්භාවයෙන් මුදවාගනු ලැබීමේ බලාපොරොත්තුව ගැන යම් ඉඟියක් මුල් මිනිස් යුවළ පාපයට වැටීමෙන් අනතුරුව සපයන ලදි. සර්පයාගෙන් නියෝජනය කළ සාතන්ට දඬුවම් නියම කරමින් යෙහෝවා මෙසේ ප්‍රකාශ කළේය. “මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩිකරන්නේය, තෝ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහිය.” (උත්පත්ති 3:15) එම අනාවැකිමය ප්‍රකාශය මගින්, දෙවිගේ පොරොන්දුව කෙරෙහි ඇදහිල්ල තබන සියලුදෙනාටම ප්‍රීතිමත් අනාගතයක් ගැන බලාපොරොත්තු තබාගැනීම සඳහා පදනමක් සපයන ලදි. කෙසේවෙතත්, එම නිදහස ලබාගැනීම සඳහා මිලක් ගෙවිය යුතුව තිබේ. තවද පොරොන්දු වංශය පොළොවට පැමිණි විගසම සාතන්ව විනාශ කරන්න යන්නේ නැත. මන්ද මුලින්ම එම වංශයේ විලුඹ පොඩි කළ යුතු බැවිනි. මින් අදහස් කරන්නේ වංශය මරණය අද්දැකිය යුතුව තිබූ බවයි. නමුත් ඒ සදහටම නම් නොවෙයි.

8. (අ) කායින් පොරොන්දු වංශය විය හැකි බවට තබා තිබූ බලාපොරොත්තු කඩ වූයේ කෙසේද? (ආ) ආබෙල්ගේ පූජාව දෙවිට පිළිගත හැකි එකක් වීමට හේතු වූයේ කුමක්ද?

8 පොරොන්දු වංශය වන්නේ කවුද කියා ආදම් සහ ඒව කල්පනා කළ බවට සැකයක් නැත. ඒව ඇගේ කුලුඳුල් පුත්‍රයා වූ කායින්ව බිහි කළ පසු මෙසේ පවසන්නට විය. “මම යෙහෝවාගේ උපකාරයෙන් මනුෂ්‍ය පුත්‍රයෙකුව බිහි කළෙමි.” (උත්පත්ති 4:1NW) ඇගේ පුත්‍රයා පොරොන්දු වංශය වන්න යන බව ඈ කල්පනා කළා විය හැකිද? ඈ ඒ ගැන කල්පනා කළත් නැතත්, කායින් හෝ ඔහුගෙන් පැවතෙන කිසිවෙකු පොරොන්දු වංශය බවට පත් නොවීය. අනෙක් අතට, ඔහුගේ සහෝදරයා වූ ආබෙල් දෙවිගේ පොරොන්දුව කෙරෙහි ඇදහිල්ල පෙන්වමින් යෙහෝවාට පූජාවක් හැටියට ඔහුගේ රැළේ කුලුඳුලන් කිහිපදෙනෙකු පූජා කළේය. ඒ ගැන අපිට මෙසේ කියවීමට තිබේ. “ඇදහිල්ලෙන්, ආබෙල් කායින්ට වඩා උතුම් පූජාවක් [දෙවිට] ඔප්පුකෙළේය. . . . එයින් ඔහු ධර්මිෂ්ඨයෙකු බවට සාක්ෂි ලැබුවේය.”—හෙබ්‍රෙව් 11:4.

9. (අ) ආබෙල් ඇදහිල්ල තැබුවේ කුමක් කෙරෙහිද? ඔහු එය විදහා පෙන්වූයේ කෙසේද? (ආ) ආබෙල්ගේ පූජාවෙන් ඉටු වූයේ කුමක්ද?

9 ආබෙල්ට තිබුණේ කායින්ට තිබුණාක් මෙන් නිකම්ම දෙවි පිළිබඳ මතුපිට විශ්වාසයක් නොවේ. ඔහුට තිබුණේ ගැඹුරු ඇදහිල්ලකි. ඇදහිලිවන්ත මිනිසුන්ව ගළවාගැනීම සඳහා පොරොන්දු වංශයක් එවන බවට වූ දෙවිගේ පොරොන්දුව කෙරෙහි ඇදහිල්ලක් ආබෙල්ට තිබිණ. එම පොරොන්දුව ඉටු කරනු ලබන ආකාරය ගැන එළිදරව් කිරීමක් ඔහු ලබා නොතිබුණත්, දෙවිගේ පොරොන්දුවට අනුව යමෙකුගේ විලුඹ පොඩි කිරීමක් සිදු වන බව ආබෙල් දැන සිටියේය. මෙහිදී රුධිරය වැගිරවීමක් සිදු විය යුතු බව, එනම් පූජාවක් ලෙස සලකනු ලබන දෙයක් ඔප්පු කිරීම අවශ්‍ය බව ඔහු නිගමනය කළාය කියා සිතිය හැක. එනිසා ජීවිතයේ උල්පත වන දෙවිට ජීවය හා රුධිරය අඩංගු තෑග්ගක් ලෙස පූජාවක් ආබෙල් ඔප්පු කළේය. ඔහු මෙය කරන්න ඇත්තේ දෙවිගේ පොරොන්දුව ඉටු වෙනවා දකින්න ඔහු තුළ තිබූ දැඩි ආශාව හා බලාපොරොත්තුව ප්‍රකාශ කිරීම සඳහා විය හැක. මෙසේ ආබෙල් සිය ඇදහිල්ල ක්‍රියාවෙන්ද පෙන්වූ නිසා ඔහුගේ පූජාව දෙවිට ප්‍රසන්න එකක් වූ අතර, එමගින් පූජාවක සැබෑ අර්ථය කුමක්ද යන්න පැහැදිලි විය. ඇත්තෙන්ම පූජාවක් යන්නෙන් අදහස් වන්නේ පව්කාර මිනිසුන්ට දෙවිගේ අනුමැතිය ලබාගැනීම සඳහා ඔහු වෙත ළඟාවීමට ඇති මාර්ගයකි.—උත්පත්ති 4:4; හෙබ්‍රෙව් 11:1, 6.

10. යෙහෝවා ආබ්‍රහම්ට සිය පුත්‍රයාව පූජා කරන්න කියා පැවසීමෙන් පූජාවේ තිබෙන අර්ථය පැහැදිලි කරනු ලැබුවේ කෙසේද?

10 ආබ්‍රහම්ට සිය පුත් ඊසාක්ව දවන පූජාවක් හැටියට ඔප්පු කරන ලෙස යෙහෝවා අණ කළ අවස්ථාවේදී පූජාවක තිබෙන ගැඹුරු අර්ථය සුවිශේෂ ආකාරයකින් පැහැදිලි කරන ලදි. එම අවස්ථාවේදී ඇත්තෙන්ම පූජාවක් සිදු නොවූවත්, යෙහෝවා පසුකලෙක කිරීමට යන දෙයක් එම සිද්ධියෙන් නිරූපණය විය. එනම්, යෙහෝවා මනුෂ්‍යවර්ගයා හා සම්බන්ධ සිය අරමුණ ඉටු කිරීම සඳහා ශ්‍රේෂ්ඨතම පූජාව ලෙස තම ඒකජාතක පුත්‍රයාව ඔප්පු කිරීම එයින් නිරූපණය විය. (යොහන් 3:16) යෙහෝවාගේ තෝරාගත් සෙනඟගේ පාපවලට කමාව ලබාගැනීම සඳහාද, ගැළවීම පිළිබඳ ඔවුන්ගේ බලාපොරොත්තුව සහතික කරගැනීම සඳහාද ඔවුන් කළ යුතු දේවල් ඉගැන්වීම සඳහාද මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ අඩංගු පූජාවලින් හා පඬුරුවලින් ආදර්ශයන් සැපයීය. එම පූජාවලින් අදදින අපිට කුමක් ඉගෙනගත හැකිද?

යෙහෝවා පිළිගන්න පූජා

11. ඉශ්‍රායෙල්හි උත්තම පූජකයා විසින් ඔප්පු කරන ලද පූජා වර්ග දෙක කුමක්ද? ඒවා ඔප්පු කළේ කුමක් සඳහාද?

11 “සියලු උත්තම පූජකයෝ පඬුරු [තෑගි, NW] සහ පූජා ඔප්පු කරන පිණිස පත්කරනු ලබති” කියා ප්‍රේරිත පාවුල් පවසයි. (හෙබ්‍රෙව් 8:3) මෙහිදී පාවුල් පුරාණ ඉශ්‍රායෙල්හි උත්තම පූජකයා විසින් ඔප්පු කරන ලද පඬුරු, “තෑගි” සහ “පූජා” නොහොත් “පව් උදෙසා පූජා” වශයෙන් කොටස් දෙකකට වෙන් කරන බව සැලකිල්ලට ගන්න. (හෙබ්‍රෙව් 5:1) සාමාන්‍යයෙන් මිනිසුන් තෑගි දෙන්නේ සෙසු අය සඳහා ඇති තමන්ගේ සෙනෙහස සහ අගය කිරීම පෙන්වීමට මෙන්ම අන් අය සමඟ මිත්‍රත්වයක් ඇති කරගනිමින් ඔවුන්ගේ අනුග්‍රහය ලබාගැනීම සඳහාය. (උත්පත්ති 32:20; හිතෝපදේශ 18:16) මේ හා සමානව, ව්‍යවස්ථාව මගින් නියම කරන ලද පූජා බොහොමයක් දෙවිගේ අනුග්‍රහය ලබාගැනීමේ අරමුණින් ඔහුට දුන් “තෑගි” ලෙස සැලකිය හැක. * ව්‍යවස්ථාව කඩ කළ අවස්ථාවලදී, නැවත යථා තත්වයට පැමිණීමට හා වැරදි නිවැරදි කරගැනීමට “පව් උදෙසා පූජා” ඔප්පු කරනු ලැබීය. පංච පුස්තකයේ, විශේෂයෙන්ම නික්මයාම, ලෙවී කථාව හා ගණන් කථාව යන පොත්වල විවිධාකාර පූජා හා පඬුරු පිළිබඳ විස්තර රාශියක් අඩංගු වේ. එහි සඳහන් සෑම විස්තරයක්ම සම්පූර්ණයෙන්ම වටහාගැනීම හා මතක තබාගැනීම අපට අභියෝගයක් වුවත්, විවිධාකාර පූජා පිළිබඳව මූලික කරුණු කිහිපයක් සලකා බැලීම වටිනා දෙයක් බව ඔබ තේරුම්ගනීවි.

12. ව්‍යවස්ථාවේ සඳහන් පූජා පිළිබඳ කෙටි විස්තරයක් අපිට සොයාගත හැක්කේ බයිබලයේ කොතැනින්ද?

12 ලෙවී කථාව 1 සිට 7 දක්වා පරිච්ඡේදවල ප්‍රධාන පූජා වර්ග පහක් පිළිබඳ විස්තර අපට දැකගත හැක. දවන පූජා, ආහාර පූජා [ධාන්‍ය පූජා, නව අනුවාදය], ශාන්ති පූජා [සහභාගිකමේ පූජා, න.අ.], පාප පූජා හා අපරාධ පූජා එම වර්ගවලට අයත් වන අතර, මේවායින් සමහරක් එකවිට ඔප්පු කර තිබුණත්, වෙන වෙනම විස්තර කර තිබේ. එකිනෙකට වෙනස් අරමුණු සඳහා ඔප්පු කරන ලද මෙම පූජා වර්ග එම පරිච්ඡේදවල දෙවරක් විස්තර කර තිබෙන බවත් ඔබ දකීවි. පූජාසනය මත ඔප්පු කළ යුතුව තිබූ දේවල් පිළිබඳව විස්තර කරන ලෙවී කථාව 1:2 සිට 6:7 දක්වා තිබෙන වාර්තාව මින් එක් අවස්ථාවකි. දෙවන අවස්ථාව ලෙවී කථාව 6:8 සිට 7:36 දක්වා සඳහන් වන අතර, මෙම කොටසෙහි පූජකයා සඳහා මෙන්ම පූජාව ඔප්පු කරන තැනැත්තා සඳහා වෙන් කරන ලද කොටස් වෙන වෙනම විස්තර කෙරේ. දිනපතා, සතිපතා, මාස්පතා හා අවුරුදුපතා පවත්වන ලද උත්සවවලදී ඔප්පු කළ යුතුව තිබූ දේවල් පිළිබඳ කාලසටහනක් ලෙස සැලකිය හැකි විස්තරයක් ගණන් කථාව 28වන සහ 29වන පරිච්ඡේදවල අපට දැකිය හැක.

13. දෙවිට තෑගි ලෙස ස්වේච්ඡාවෙන් ඔප්පු කරන ලද පූජා විස්තර කරන්න.

13 තෑගි ලෙස හෝ දෙවිගේ අනුමැතිය ලබාගැනීමේ අරමුණින් ඔහු වෙතට ළඟාවීමේ මාර්ගයක් හැටියට හෝ ස්වේච්ඡාවෙන් ඔප්පු කරන ලද දේවලට දවන පූජාද, ධාන්‍ය පූජාද, සහභාගිකමේ පූජාද ඇතුළත් විය. “දවන පූජා” සඳහා වූ හෙබ්‍රෙව් යෙදුමෙහි “ඉහළ නැඟීමේ පූජාවක්” යන අර්ථය ගැබ් වී තිබෙන බව ඇතැම් විද්වතුන් පිළිගනියි. එම යෙදුම දවන පූජා සඳහා යෝග්‍ය වේ. මන්ද දවන පූජාවකදී, මරන ලද සත්වයා පූජාසනය මත තබා දවා දැමූ අතර, ශාන්තබවක් ඇති කරමින් එයින් මිහිරි සුවඳක් ස්වර්ගයට නැඟී ගිය බැවිනි. දවන පූජාවේ තිබූ එක් විශේෂ ලක්ෂණයක් වූයේ, පූජාව සඳහා යොදාගත් සතාගේ ලේ පූජාසනය වටේට ඉසීමෙන් පසුව, මුළු සතාවම දෙවිට පූජා කිරීමයි. පූජකයා ‘යෙහෝවාට ගින්නෙන් කළ මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් ලෙස ඒ සියල්ල පූජාසනය පිට දවා දැමීය.’—ලෙවී කථාව 1:3, 4, 9; උත්පත්ති 8:21.

14. ධාන්‍ය පූජා ඔප්පු කරනු ලැබුවේ කෙසේද?

14 ලෙවී කථාව දෙවන පරිච්ඡේදයේ ධාන්‍ය පූජාව ගැන විස්තර කෙරේ. මෙය ස්වේච්ඡාවෙන් ඔප්පු කරන ලද පූජාවක් වූ අතර, සිහින් පිටි, සුවඳ ද්‍රව්‍යයක් වන තුවරලා හා තෙල් එහි අඩංගු විය. “[පූජකයා] සිහින් පිටියෙන් සහ තෙලින් අතළොස්සක් එහි සියලු තුවරලා සමඟ ගත යුතුය. [ඔහු යෙහෝවාට] මිහිරි සුවඳක් වූ ගින්නෙන් කළ පූජාවක් මෙන් ඒ සිහිවීමේ කොටස පූජාසනය පිට දැවිය යුතුය.” (ලෙවී කථාව 2:2) තුවරලා යනු මණ්ඩපයේ සහ දේවමාළිගාවේ පිහිටි සුවඳ ද්‍රව්‍ය ඔප්පු කළ පූජාසනය මත දවා දමන ශුද්ධ ද්‍රව්‍යවලින් එකක් විය. (නික්මයාම 30:34-36) දාවිත් රජ මතු දැක්වෙන වදන් පැවසූ අවස්ථාවේදී ඒ පූජාව ඔහුගේ මතකයේ තිබූ බව පැහැදිලිය. “මාගේ යාච්ඤාව ඔබ ඉදිරියේ සුවඳ දුම් මෙන්ද මාගේ අත් එසවීම සන්ධ්‍යා පූජාව මෙන්ද පිහිටා ගනීවා.”—ගීතාවලිය 141:2.

15. සහභාගිකමේ පූජාවලින් බලාපොරොත්තු වූයේ කුමක්ද?

15 ලෙවී කථාව තුන්වන පරිච්ඡේදයේ විස්තර කර තිබෙන සහභාගිකමේ පූජා ස්වේච්ඡාවෙන්ම ඔප්පු කරන ලද තවත් එක් පූජා වර්ගයක් විය. මෙම පූජාව සඳහා භාවිත කර තිබෙන හෙබ්‍රෙව් වචනය “සාමය සඳහා වූ පූජාවක්” ලෙසද පරිවර්තනය කළ හැක. හෙබ්‍රෙව් භාෂාවේ “සාමය” යන්නෙන් අදහස් කරන්නේ හුදෙක් යුද්ධ සහ ආරවුල්වලින් තොර තත්වයකට වඩා වැඩි යමකි. “බයිබලයට අනුව එමගින් සාමකාමී තත්වයක් මෙන්ම දෙවි සමඟ අද්දකින සාමකාමී සබඳතාවක්ද, සෞභාග්‍යය හා සන්තෝෂය පිරි තත්වයක්ද අදහස් කරයි” කියා මෝසෙස්ගේ කාලයේ පැවති සංවිධානාත්මක ව්‍යූහය පිළිබඳ අධ්‍යයනය (ඉංග්‍රීසියෙන්) නමැති පොතේ සඳහන් වේ. මේ අනුව, සහභාගිකමේ පූජා ඔප්පු කරනු ලැබුවේ හුදෙක් දෙවි සමඟ සමාදාන වීම සඳහා පමණක්ම නොව, නමුත් ඔහුගේ අනුමැතිය ලැබූ අය ඔහු සමඟ භුක්ති විඳි ආශීර්වාද ලත් සාමකාමී තත්වය සඳහා ස්තුතිය ප්‍රකාශ කිරීම සඳහාය. මේ පූජාව සඳහා යොදාගන්නා ලද සත්වයාගේ ලේ සහ තෙල යෙහෝවාට ඔප්පු කිරීමෙන් අනතුරුව පූජකයන් සහ පූජාව ඔප්පු කළ තැනැත්තා ඒ සතාගේ මස් අනුභව කළහ. (ලෙවී කථාව 3:17; 7:16-21; 19:5-8) පූජාව ඔප්පු කළ තැනැත්තා, පූජකයන් හා යෙහෝවා දෙවි සංකේතාත්මකව එම ආහාරයට හවුල් වීමෙන් අඟවන්නේ ඔවුනොවුන් අතර පවතින සාමකාමී සබඳතාවයි.

16. (අ) පාප පූජාවලින් හා අපරාධ පූජාවලින් බලාපොරොත්තු වූයේ කුමක්ද? (ආ) එම පූජා දවන පූජාවලට වඩා වෙනස් වූයේ කෙසේද?

16 පව්වලට කමාව ලබාගැනීම සඳහා හෝ ව්‍යවස්ථාව කඩ කිරීම නිසා කළ වැරදිවලින් මිදීම සඳහා හෝ ඔප්පු කරන ලද පූජාවලට පාප පූජා හා අපරාධ පූජා ඇතුළත් විය. මේ පූජාවලදීද පූජාසනය මත දැවීමක් සිදු කළත්, දෙවිට ඔප්පු කළේ මුළු සත්වයාවම නොව උගේ තෙල හා ඇතැම් කොටස් පමණි. එමනිසා එය දවන පූජාවට වඩා වෙනස් විය. පූජාව සඳහා යොදාගන්නා ලද සතාගේ ඉතිරි කොටස් කඳවුරෙන් පිටත දැමීය. ඇතැම් අවස්ථාවලදී ඒවා පූජකයන් විසින් ආහාරයට ගන්නා ලදි. මෙම වෙනසෙහි විශේෂ වැදගත්කමක් තිබේ. දවන පූජා ඔප්පු කළේ, දෙවි වෙතට එළඹීම සඳහා යොදාගනු ලබන තෑග්ගක් ලෙසය. එනිසා මෙම පූජා සම්පූර්ණයෙන්ම ඔප්පු කළේ දෙවි සඳහාම පමණි. සිත්ගන්නාසුලු කරුණක් වන්නේ, සාමාන්‍යයෙන් දවන පූජාවක් ඔප්පු කිරීමට කලින් පාප පූජාවක් හෝ අපරාධ පූජාවක් ඔප්පු කළ යුතුවීමයි. මෙයින් ඇඟවූයේ පාපය කළ තැනැත්තාගේ තෑග්ග දෙවි විසින් පිළිගනු ලැබීම සඳහා, ප්‍රථමයෙන් ඔහුගේ පාපවලට කමාව ලබාගැනීම අවශ්‍ය වූ බවයි.—ලෙවී කථාව 8:14, 18; 9:2, 3; 16:3, 5.

17, 18. පාප පූජා ඔප්පු කරනු ලැබුවේ කුමක් සඳහාද? අපරාධ පූජාවල අරමුණ වූයේ කුමක්ද?

17 පාප පූජා පිළිගනු ලැබුවේ ව්‍යවස්ථාවට විරුද්ධව නොදැනුවත්ව කළ පාප හෝ මාංශයේ දුර්වලකම නිසා සිදු කළ පාප සඳහා පමණි. ‘නොකටයුතුයයි යෙහෝවා විසින් අණ කළ කිසිවකට විරුද්ධව යමෙක් නොදැනුවත්ව පව් කළොත්,’ එවැනි අවස්ථාවකදී පව් කළ තැනැත්තා ඔහුගේ වත්කමේ හැටියට හෝ ප්‍රජාව තුළ ඔහුට හිමිව තිබූ තත්වය අනුව පාප පූජාවක් ඔප්පු කළ යුතු විය. (ලෙවී කථාව 4:2, 3, 22, 27) ඊට වෙනස්ව පසුතැවිලි නොවූ පව්කාරයන්ව මරණයට නියම කරන ලදි. ඔවුන් වෙනුවෙන් කිසිම පූජාවක් ඔප්පු කිරීමට නොතිබිණ.—නික්මයාම 21:12-15; ලෙවී කථාව 17:10; 20:2, 6, 10; ගණන් කථාව 15:30; හෙබ්‍රෙව් 2:2.

18 අපරාධ පූජාවල අර්ථය හා අරමුණ ගැන ලෙවී කථාව පස්වන සහ හයවන පරිච්ඡේදවල පැහැදිලි කර තිබේ. පුද්ගලයෙක් නොදැනුවත්වම පව් කළ හැක. එහෙත් ඔහු කළ පාපය යම් කෙනෙකුට හෝ යෙහෝවා දෙවිට විරුද්ධව සිදු කර තිබෙනවා විය හැක. මේ නිසා සිදු වූ වරදට අන් අයගෙන් සමාව ලබාගෙන, එය නිවැරදි කරගැනීම අවශ්‍ය විය. පාපය කිහිප ආකාරයකටම වර්ග කර දක්වා ඇත. සමහර ඒවා පුද්ගලයාට පමණක් බලපෑ පාප වූ අතර (ලෙවී 5:2-6), තවත් සමහර ඒවා ‘යෙහෝවාගේ ශුද්ධ වූ දේවලට’ විරුද්ධව කළ පාප විය. (ලෙවී 5:14-16) ඇතැම් පාප නොදැනුවත්ව සිදු වුවත්, තවත් ඒවා වැරදි ආශාවන් හෝ මාංශයේ දුර්වලකම් නිසා සිදු කළ පාප විය. (ලෙවී 6:1-3) මෙවන් පාප සඳහා පසුතැවිලි වීමට අමතරව, අවශ්‍යතාව අනුව වරදකරු තමා කළ වරද වෙනුවෙන් වන්දි ගෙවා, යෙහෝවාට අපරාධ පූජාවක් ඔප්පු කළ යුතුව තිබිණ.—ලෙවී කථාව 6:4-7.

පැමිණීමට තිබූ වඩා යහපත් දෙයක්

19. ව්‍යවස්ථාව හා එයින් නියම කර තිබූ පූජා තිබුණත්, ඉශ්‍රායෙල්වරුන් දෙවිගේ අනුමැතිය ලබාගැනීමට අසමත් වූයේ මන්ද?

19 බොහෝ පූජා හා පඬුරු පිළිබඳව විස්තර ඇතුළත් මෝසෙස්ගේ ව්‍යවස්ථාව ඉශ්‍රායෙල්වරුන්ට දෙනු ලැබුවේ, පොරොන්දු වංශය පැමිණෙන තෙක් දෙවිගේ අනුමැතිය හා ආශීර්වාද භුක්ති විඳීම සඳහා ඔවුන්ට මාර්ගය සලසා දීමටය. උපතින්ම යුදෙව්වෙක් වූ ප්‍රේරිත පාවුල් මෙසේ පැවසුවේය. “අපි ඇදහිල්ල කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලබන පිණිස, ව්‍යවස්ථාව අප [ක්‍රිස්තුස්] ළඟට පමුණුවන අපේ ගුරුවරයෙක් වී තිබේ.” (ගලාති 3:24) කනගාටුදායක ලෙස ජාතියක් හැටියට ඉශ්‍රායෙල්වරුන් එම ගුරුවරයාව පිළිගත්තේ නැත. එමෙන්ම ඔවුහු එම ගුරුවරයාගෙන් ඉගෙනගැනීමට තිබූ වරප්‍රසාදයෙන්ද නිසි ප්‍රයෝජන නෙළා නොගත්හ. මෙහි ප්‍රතිඵලයක් හැටියට, ඔවුන් ඔප්පු කළ පූජා රාශිය යෙහෝවාට පිළිකුල්සහගත විය. ඔහු ඒ ගැන මෙසේ පැවසුවේය. “මුළු බැටළු පූජාවලින්ද තරකළ සතුන්ගේ තෙලින්ද පිරී සිටිමි; ගොනුන්ගෙත් බැටළුවස්සන්ගෙත් එළුවන්ගෙත් ලෙයට මම ප්‍රසන්න නොවෙමි.”—යෙසායා 1:11.

20. ව්‍යවස්ථාව හා එහි නියම කර තිබූ පූජා ගැන සලකා බලන කල පො.යු. 70දී සිදු වූයේ කුමක්ද?

20 පොදු යුගයේ 70දී යුදයේ තිබූ දේවමාළිගාව හා පූජකතන්ත්‍රය යුදෙව් ක්‍රමය සමඟම අවසන් විය. ඉන්පසු ව්‍යවස්ථාවේ නියමයන්ට අනුකූලව පූජා ඔප්පු කළ නොහැකි විය. නමුත් අදදින සිටින දෙවිගේ නමස්කාරකයන්ට ව්‍යවස්ථාවෙහි ප්‍රධාන තැනක් හිමි වී තිබූ පූජාවලින් කිසිම දෙයක් අර්ථවත් නොවන බව එයින් අදහස් කරයිද? ඊළඟ ලිපියේදී අපි මෙය පරීක්ෂා කර බලමු.

[පාදසටහන්වල]

^ 6 ඡේ. Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (ඉංග්‍රීසියෙන්) නමැති පොතෙහි ඒ පිළිබඳව මෙසේ පැහැදිලි කරයි. “බයිබලයේ භාවිත කර තිබෙන ආකාරයට ‘සමගි කිරීම’ යන වචනයෙහි ‘වැසීම’ හෝ ‘හුවමාරු කිරීම’ යන මූලික අර්ථ ගැබ් වී තිබේ. හුවමාරුවක් හැටියට හෝ යමක් ‘වැසීම’ සඳහා හෝ දෙනු ලබන දෙය, මුලින් තිබූ දෙයට මුළුමනින්ම සමාන විය යුතුය. . . . ආදම්ගේ වරද නිසා දෙවි සහ මිනිසා අතර තිබූ සබඳතාව බිඳී ගිය අතර, එය යළි පිහිටුවීම සඳහා, එනම් සමගි කිරීමක් සඳහා පරිපූර්ණ මිනිස් ජීවිතයක් ඇතුළත් පාප පූජාවක් ඔප්පු කිරීම අවශ්‍ය විය.”

^ 11 ඡේ. බොහෝ අවස්ථාවලදී “පඬුරු” ලෙස පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් වචනය කොර්·බාන්ʹ වේ. ලියන්නන්ගේ හා ඵරිසිවරුන්ගේ ප්‍රතිපත්ති ගරුක නොවූ ක්‍රියාවක් පිළිබඳව යේසුස් විසින් කරන ලද හෙළාදැකීමක් ගැන මාර්ක් වාර්තා කරමින්, “කොර්බාන්” යන්නෙහි අර්ථය වන්නේ “දෙවිට කැපකරන ලද ත්‍යාගයක්” බව පැහැදිලි කළේය.—මාර්ක් 7:11NW.

ඔබට පැහැදිලි කළ හැකිද?

• යෙහෝවාට පූජා ඔප්පු කිරීම සඳහා පුරාණයේ විසූ ඇදහිලිවන්තයන් තුළ පෙලඹවීමක් ඇති කළේ කුමක්ද?

• පූජා ඔප්පු කිරීම අවශ්‍ය වූයේ මන්ද?

• ව්‍යවස්ථාවට අනුව ඔප්පු කරන ලද ප්‍රධාන පූජා වර්ග මොනවාද? ඒවායින් බලාපොරොත්තු වූයේ කුමක්ද?

• පාවුල් පැවසූ පරිදි, ව්‍යවස්ථාවෙන් සහ එහි නියම කර තිබූ පූජාවලින් මූලිකව ඉටු වූයේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[14වන පිටුවේ පින්තූරය]

ආබෙල් ඔප්පු කළ පූජාව මගින් යෙහෝවාගේ පොරොන්දුව කෙරෙහි තිබූ ඔහුගේ ඇදහිල්ල පිළිබිඹු වූ නිසා, එය දෙවිට ප්‍රසන්න විය

[15වන පිටුවේ පින්තූරය]

ඔබ මේ දසුනෙහි වැදගත්කම අගය කරනවාද?